ලොව වේගවත්ම මිනිසා එම්බැපේ ද? | Page 2 | සිළුමිණ

ලොව වේගවත්ම මිනිසා එම්බැපේ ද?

ලීග් 01 යනු ප්‍රංසයේ ප්‍රධානතම ලීග් පාපන්දු තරගාවලියයි. මෙවර එනම් 2018 -19 තරගාවලියේ තවත් තරගයක් ඉකුත් 21 වැනි පාස්කු ඉරු දින පැවැත්විණි. එහි දී තරග කළේ පැරිස් සෙයින්ට් ජර්මෙයින් සහ මොනකෝ යන කණ්ඩායම්ය.

මෙම තරගයේ 15 වැනි විනාඩි‍යයි. ප්‍රංස යොවුන් ක්‍රීඩක 20 හැවිරිදි කිලියාන් එම්බැපේ ගෝලයක් රැස් කිරීම සඳහා අධික වේගයකින් දිව්වේය. එය කෙතරම් සාර්ථක වූයේ ද යත් තරගයේ ප්‍රථම ගෝලය රැස් කිරීමට ඔහුට හැකි වූයේය.

පසුව වාර්තා වූයේ මෙම ගෝලය රැස් කිරීමට එම්බැපේ දුවගෙන ගිය වේගය පැයට සැතැප්ම 23.61 ක් බවය. එහි වේගය පැයට කිලෝමීටර් 38කි. එය සැබැවින්ම අතිවිශිෂ්ටය.

ඒ‍ වෙන කිසිවක් නිසා නොව එය ලෝක වාර්තාගත කාලයකි. මෙම කාලයට අනුව වත්මන දී ලොව වේගවත්ම මිනිසා විය යුත්තේ එම්බැපේය. මීටර් 100 ලෝක වාර්තාවේ හිමිකරුවා වන්නේ ජැමෙයිකාවේ යුසේන් බෝල්ට්ය.

බෝල්ට් (උපත 1986 අගෝස්තු 21) වත්මන් මලල ක්‍රීඩාවේ මීටර් 100 ඉසව්‍වට ලෝක වාර්තාව පිහිටු වූයේ 2009 වසරේදීය. එහි කාලය තත්පර 9.58කි. එය පැයට සැතැප්ම 23.35කි. පැයට කිලෝමීටර්වලට අනුව නම් 37. 58 කි. මේ අනුව නොනිල වශයෙන් බෝල්ට්ගේ ලෝක වාර්තාව එම්බැපේ විසින් බිඳ දැමීමට සමත් වූයේය.

පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ වේගවත්ම ඉදිරිපෙළ ක්‍රීඩකයන් කිහිපදෙනකුම සිටියහ. වත්මන දී ඊට එක්වන්නේ එම්බැපේය. ඉහත තරගයෙන් පැරිස් කණ්ඩායමට ගෝල 3-1 ක ජයකි. මෙම ගෝල 03 හෙවත් හැට්ට්‍රිකය රැස් කළේත් එම්බැපේමය.

මෙම තරගය වෙතට අවධානය යොමු වීමට ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් බලපෑවේය. ඒ ගත වූ අවසන් වාරයන් ත්‍රිත්වයේදීම ලීග් 01 ශූරයෝ වූයේ මෙම පැරිස් සහ මොනකෝ කණ්ඩායම් නිසාය. මොනකෝ 2016 – 17 ශූරයෝය. 2017 -18 සහ 2018 – 19 ශූරයෝ පැරිස් සෙයින්ට් ජර්මෙයින්ය. එම්බැපේ මෙම සෑම අවස්ථාවකදීම ශූරතාව හිමිකර ගත් කණ්ඩායමේ සාමාජිකයෙකි. පැරිස් කණ්ඩායම මෙම තරගයට සහභාගි වූයේ මෙවර ලීග් ශූරයෝ වශයෙනි.

මෙවර තරගවාරය එම්බැපේට පුද්ගලික දක්ෂතා අනුව නම් දැනටමත් සාර්ථකය. මෙවර සම්පූර්ණ තරග 40 ක දී හෙතෙම ගෝල 36 ක් රැස් කිරීමට සමත් වී සිටියි. මින් ගෝල 30 ක්ම රැස් කළේ ලීග් 01 තරගාවලියේදීය. එම තරගාවලියේ වාරයක දී එම්බැපේට පෙර අවසන් වරට එවැනි දස්කමක් දැක්වූයේ ජීන් පියෙරි පැපින් විසිනි.

ඔහුගේ දස්කම් අන්තර්ජාතිකව මුල් වරට දැක ගැනීමට හැකි වූයේ 2018 ලෝක කුසලාන තරගාවලියේදීය. එවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වූයේ රුසියාවේදීය. එහි දී ප්‍රංසය ලෝක ශූරයෝ වූහ. අනුශූරතාව ක්‍රොයේෂියාවටයි. එවර තරගාවලියට සහභාගි වන විට එම්බැපේ 19 හැවිරිදි වියේ පසුවිය.

2018 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩකයන් අතර සම දෙවන තැන එම්බැපේට හිමි වූයේය. එහි දී ක්‍රීඩකයෝ 05 දෙනෙක් ගෝල 04 බැගින් රැස්කර ගත්හ. ඒ බෙල්ජියමේ රොමෙලියු ලුකාකු (උපත 1993 මැයි 13), ප්‍රංසයේ ඇන්ටොයින් ග්‍රියිස්මන් (උපත 1991 මාර්තු 21), පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ (උපත 1985 පෙබරවාරි 05), රුසියාවේ ඩෙනිස් චර්ෂෙව් (උපත 1990 දෙසැම්බර් 26) සහ එම්බැපේය. එවර වැඩිම ගෝල රැස් කර ගත්තේ එංගලන්තයේ හැරී කේන්ය. ඔහුට (උපත 1993 ජුලි 28) ගෝල 06කි. එ හි දී මුල් වටයේ දී පීරුට එරෙහිව ගෝල 01කි. 16 වටයේ දී ආර්ජන්ටිනාවට එරෙහිව ගෝල ද්විත්වයකි. එහි දී එම්බැපේ තරගයේ වීරයාත් විය. මීට අමතරව අවසන් තරගයේ දී ඔහු තවත් ගෝලයක් රැස් කර ගත්තේය.

ලෝක කුසලාන ඉතිහාසයේ ළාබාලතම ප්‍රංස ගෝලලාභියාත් ඔහු විය. එමෙන්ම ලෝක කුසලාන තරගයක දී ගෝල දෙකක් සහ අවසන් මහා තරගයක දී ගෝලයක් රැස් කළ දෙවන යොවුන් ක්‍රීඩකයාත් එම්බැපේ විය. ඉහත දස්කම් දැක් වූ ප්‍රථමයා වන්නේ පාපන්දු ක්‍රීඩාවේ රජු ලෙසට සැළකෙන බ්‍රසිලයේ පේලේය.

1958 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූයේ ස්වීඩනයේදීය. එහි දී අවසන් මහා තරගයේ දී තරග කළේ සත්කාරක ස්වීඩනය සහ බ්‍රසීලයයි. එම තරගයේ දී පේලේ (උපත 1940 ඔක්තෝබර් 23) ගෝල ද්විත්වයක් රැස් කිරීමට සමත් වූයේය. එවිට ඔහුගේ වයස අවුරුදු 17 කි.

“අපේ සමාජයට සාදරයෙන් පිළිගන්නවා. කිලියාන් මේ වගේ දිගටම මගේ වාර්තා සමකළහොත් මට නැවත වතාවක් මගේ සපත්තුවල දූවිලි පිහිදාන්න වේවි” මේ යොවුන් ක්‍රීඩකයාගේ දස්කම් අගය කරමින් පේලේ එසේ පැවැසීය. ඊට එම්බැපේ මෙසේ පිළිතුරක් දෙනු ලැබීය. “රජු සැමදාමත් රජු තමයි”.

එම්බැපේ 2017 වසරේ දී මංගල අන්තර්ජාතික තරග වරම හිමිකර ගත්තේය. එය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකි. ඒ සමඟම ප්‍රංස ජාතික කණ්ඩායම නියෝජනය කළ දෙවන ළාබලාතමයා වශයෙනුත් ඔහු පත් විය. එවිට ඔහුගේ වයස අවුරුදු 18 මාස 03 දින 05කි.

එහි ප්‍රංස වාර්තාව මාර්යාන් විස්නියිස්කිටයි. හෙතෙම (උපත 1937 පෙබරවාරි 01) 1955 වසරේ දී ක්‍රීඩා කරන විට වයස අවුරුදු 18 මාස දෙකකි. ප්‍රංසය 1998 ලෝක ශූරයෝ වීමෙන් අනතුරුව උපත ලබා ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රථමයාත් එම්බැපේ වේ.

කිලියාන් සාන්මි එම්බැපේ ලොටින් 1998 වසරේ දෙසැම්බර් මස 20 වැනි දා උපත ලැබුවේ පැරිස් නුවරදීය. ඔහුගේ උස අඩි 5 අඟල් 10 කි. ඔහුගේ පියා විල්ෆ්‍රයිඩ් එම්බැපේය. හෙතෙම පාපන්දු පුහුණුකරුවෙකි. මව ෆේෂා ලමාරිය. පියා කැමරූන් ජාතිකයෙකි. මව ඇල්ජීරියානුවෙකි. ඇය හෑන්ඩ්බෝල් හෙවත් අත්පන්දු ක්‍රීඩිකාවකි. ඇය ප්‍රංස ප්‍රථම පෙළ තරගවලට ක්‍රීඩා කර තිබේ. එම්බැපේගේ පියා ක්‍රිස්තියානිය. මව මුස්ලිම්ය.

මේ යුවළට සිටින්නේ පුතුන්ම තිදෙනෙකි. මින් ජිරෙස් කෙම්බෝ ඊකොකෝ (උපත 1988 ජනවාරි 08) කොංගෝ ජාතිකයෙකි. ඔහුව හදා වඩා ගත්තේ එම්බැපේ යුවළයි. මේ වන විට 31 හැවිරිදි හෙතෙම 2009 – 11 අතර කාලයේ දී ප්‍රංස වයස අවුරුදු 21න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළේය. මෙම පවුලේ බඩපිස්සා ඊතන්ය. ඔහුත් පාපන්දු ක්‍රීඩකයෙකි. එම්බැපේට පිටිය තුළ දී වේගයෙන් ක්‍රීඩා කිරීමටත් පන්දුව පාලනය කිරීමටත් ඉතා විශාල හැකියාවක් ඇත. එය අතිසාර්ථක ඉදිරිපෙළ ක්‍රීඩකයකු බවට මේ යොවුන් ක්‍රීඩකයාව පත් කර ඇත.

කුඩා කළ සිටම ඔහු පාපන්දු ක්‍රීඩාව ගැන උනන්දු වීමත් ඊට හැකියාවක් දැක්වීම ගැනත් කිසිවකුත් පුදුමයට පත් වූයේ නැත. ඔහු මුලින්ම ක්‍රීඩා කළේ ප්‍රංසයේ ඒ. එස්. බොන්ඩියි කණ්ඩායමටයි. ඒ 2004 සිට 13 දක්වාය. ඔහුගේ පියා එම සමාජයේ පුහුණුකරුවකු වීමත් ඊ‍ට බලපෑවේය. මේ අතර සිය හැකියාව තවදුරටත් වැඩි කර ගැනීමේ අරමුණින් ප්‍රංසයේ සුප්‍රකට ක්ලෙයාර්ෆොන්ටෙයින් පාපන්දු ඇකඩමියටත් එම්බැපේ සම්බන්ධ වුයේය.

එම්බැපේ 2017 වසරේ සිට අන්තර්ජාතිකව ප්‍රංසය නියෝජනය කරයි. එහි දී තරග 30 ක දී ගෝල 12කි. දැනටමත් ඔහු දෙස් විදෙස් ශූරතා කිහිපයකම හිමිකරුවෙකි.

2018 ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු දැක් වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් එවර දක්ෂතම යොවුන් ක්‍රීඩකයා සම්මානයත් එම්බැපේට හිමි වූයේය. ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් මෙය සම්මානයක් ලෙසට පිරිනැමීම ඇරඹුවේ 2006 වසරේ සිටය. එය මේ දක්වා හිමිකර ගැනීමට හැකි වී තිබෙන්නේ දෙරටකට පමණකි.

2018 ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් තෝරා ගත් ෆීෆා ලෝක කුසලාන කණ්ඩායමටත් එම්බැපේ අයත් වූයේය. එමෙන්ම එම වසරේම යුරෝපීය පාපන්දු සංගමය හෙවත් යුයේෆා වසරේ කණ්ඩායමටත් මේ ‍යොවුන් තරුව තෝරා ගනු ලැබීය.

එම්බැපේ පිටියේ දී විශිෂ්ටයෙකි. එමෙන්ම පිටතදීත් අති විශිෂ්ටයෙකි. ඒ ඔහුගේ පරිත්‍යාගශීලිබව නිසාවෙනි. ඔහු ආධාර කරන්නේ ඒ ප්‍රිමියර්ස් ඩි කෝර්ඩි නමැති ප්‍රංසයේම පිහිටි පුණ්‍යායතනයකටයි. එම ආයතනය රෝහල්ගත හෝ විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන් වෙනුවෙන් සමාජ සුබසාධන කටයුතු සිදු කරයි.

ආර්ජන්ටිනාවේ එමිලියානෝ සාලා වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කළේ ප්‍රංසයේ නොන්ට්ස් කණ්ඩායම වෙනුවෙනි. ඔහුට වේල්සයේ කාර්ඩිෆ් සිටි කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාවක් ලැබිණි. ඒ සඳහා වේල්සය බලා ඔහු ගමන් කරමින් සිටියේ සැහැල්ලු ගුවන් යානයකිනි. එම ගුවන් යානයේ එමිලියානෝ හැරුණු විට සිටියේ ගුවන් නියමුවා වූ ඩේවිඩ් ඉබොට්සන් පමණි.

ඔවුනට වේල්සය වෙතට ළඟා වීමට අවස්ථාව උදා වූයේ නැත. ඒ ඉංග්‍රීසි ඕඩයට ඉහළින් පියාසර කරමින් සිටින විට මෙම ගුවන් යානය අතුරුදහන් වූ බැවිනි.

පසුව අතුරුදහන් වූ ගුවන් යානය සෙවීම සඳහා පුද්ගලික මෙහෙයුමක් දියත් කරනු ලැබීය. ඒ සඳහා පාපන්දු ක්‍රීඩකයන් ආධාර කළහ. එම්බැපේ ඒ වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 34, 000 ක මුදලක් පරිත්‍යාග කළේය.

දින කිහිපයකට පසුව අතුරුදන් වූ ගුවන් යානයේ කොටස් කිහිපයක් සොයා ගැනීමට හැකි විය. ඒ අතර එමිලියානෝගේ නිසල සිරුරත් විය. පසුව ගුවන් නියමු ඉබොට්සන්ගේ සිරුර සොයා ගැනීම සඳහාත් තවත් මෙහෙයුමක් දියත් විය. ඒ සඳහාත් එම්බැපේ පවුම් 27, 000 ක මුදලක් පරිත්‍යාග කළේය. තවමත් ගුවන් නියමුවාට සිදු වූ දෙය සොයා ගැනීමට හැකි වී නැත.

2018 වසරේ පෙබරවාරි මාසයේ දී තවත් විශේෂ ව්‍යාපෘතියකට එම්බැපේ දායක වූයේය. එය හැඳින්වුයේ අප්‍රිකාවේ ක්‍රීඩා සංවර්ධනය නමිනි. එම්බැපේට අමතරව එහි සමාරම්භයට හිටපු සුපිරි පාපන්දු තරු වන වත්මන දී ලයිබීරියාවේ ජනාධිපති ජෝර්ජ් වෙයාහ් (උපත 1966 ඔක්තෝබර් 01), අයිවරි කෝස්ට් රාජ්‍යයේ ඩිඩියර් ඩ්‍රොග්බා (උපත 1978 මාර්තු 11), ප්‍රංස ජනපති එමැනුවෙල් මැක්‍රොන් (උපත 1977 දෙසැම්බර් 21) සහ ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ස්විට්සර්ලන්තයේ ජියානි ඉන්ෆැන්ටිනෝ (උපත 1970 මාර්තු 23) සහභාගි වූහ.

මෙම වැඩසටහනට සම්බන්ධ වීමට තමන්ට බලපෑ හේතුව එම්බැපේ මෙසේ පැහැදිලි කළේය. “අප්‍රිකාවේ ක්‍රීඩා සංවර්ධනය මට ඉතා වැදගත් වෙනවා. ඒ මගේ මවුපියන් අප්‍රිකානු සම්භවයක් සහිත නිසා.”

එම්බැපේගේ පෙම්වතිය වන්නේ ප්‍රංසයේ ඇලිෂියා අයිලිස්ය. ඇය (උපත 1998 අප්‍රේල් 21) අඩි 5 අඟල් 10 ක් උසති මෝස්තර නිරූපිකාවකි. එමෙන්ම ඇය 2017 ප්‍රංස රූප සුන්දරියයි. තවද එම වසරේම මිස් යුනිවර්ස් තරගයටත් ඇය ප්‍රංසය නි‍යෝජනය කළාය.

ලොව ඕනෑම ක්‍රීඩා තරුවකට කුඩා කාලයේ දී ක්‍රීඩා වීරයෝ සිටිති. මීට වසර කිහිපයකට පෙර එම්බැපේටත් එය එසේම විය. ඔහු 14 හැවිරිදි වියේ දී ආධුනික පාපන්දු ක්‍රීඩකයකු වශයෙන් ස්පාඤ්ඤයේ සුප්‍රකට රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය නැරැඹීමට ගියේය.

එහි දී ඔහුට සුවිශේෂි තරුවක් හමු විය. පසුව දෙදෙනාම ඡායාරූපයකට පෙනී සිටියහ. මෙම හමුව කුඩා එම්බැපේට කිසි දිනකවත් අමතක නොවේ. ඒ අදාළ තරුව එම්බැපේගේ වීරයා වූ බැවිනි. එය කෙතරම් ද යත් සිය නිවසේ ඔහුගේ කාමරය සරසා තිබුණේත් ඉහත සුපිරි තරුවගේ පෝස්ටර්වලිනි. මේ සුපිරි තරුව හෙවත් එම්බැපේගේ වීරයා වන්නේ අන් කවරකුත් නොව පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝය.

Comments