අත කනකර උගසට තියලා සුදුසුකම් ලැබිමේ තරගාවලියට ගියේ | සිළුමිණ

අත කනකර උගසට තියලා සුදුසුකම් ලැබිමේ තරගාවලියට ගියේ

ආසියානු කාන්තා හොකී සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා බැංකොක් හිදී පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම 2023 වසරේ දී චීනයේ පැවැත්වීමට නියමිත තරගාවලිය වරම් දිනාගෙන තිබෙනවා.

ඒ අනුව, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ප්‍රථම ස්ථාන 6 අතර සිටින කණ්ඩායම් චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා අවස්ථාව හිමිවන අතර, මෙම තරගාවලිය ඉන්දුනීසියා ජකර්තාහි දී පැවැත්විණි. මේ එකි තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ප්‍රදීපා නිල්මිණී ගේ කතාබහකට අප වෙන් කළ ඉඩකඩයි.

අපිට මෙවර ටුවර් එක වෙනුවෙන් ගුවන් ටිකට් පත් නොමිලයේ ලැබුණු අතර සෙසු වියදම් සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 2ක් පමණ වියදම් දැරීමට සිදු වුණා. කොහොම හරි අපි මෙවර ආසියානු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. මේ නිසා ප්‍රථම වතාවට කාන්තා හොකී කණ්ඩායමක් ආසියානු තරගාවලියක් සඳහා තේරී පත්වීමේ භාග්‍ය ශ්‍රී ලංකාවට උදා වුණා. රටවල් 7කින් අපි 06 වන ස්ථානය හිමිකර ගත්තා. ඒ අනුව අපිටත් ආසියානු තරගාවලියට සහභාගිවීමේ වරම් ලැබුණා.

මහනුවර සීතා දේවි විද්‍යාලයේ 5 වසරේ ඉගෙනුම ලබන අවධියේ සිටම හොකී ක්‍රීඩාවට ඇලුම් කළ තමා මේ දක්වා හොකී ක්‍රීඩාවේ නියැළෙමින් සිටින බව ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායමේ නායිකා ප්‍රදීපා නිල්මිණී ක්‍රීඩා වෙත පැවසුවාය. එදා පාසලේ මාත් සමඟ හොකී ක්‍රීඩාවේ නියුතුව සිටි ක්‍රීඩිකාවන් 18 දෙනෙක් ම මීට වසර 13කට පමණ පෙර නාවික හමුදාවට එක්වූ බවද ඔවුන්ගෙන් 9 දෙනෙකු තවමත් හොකී කණ්ඩායමේ ක්‍රීඩා කරන බවද ඇය කියා සිටියා ය.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය වෙනුවෙන් තෝරා ගන්නා තරගාවලිය වෙනුවෙන් නාවික හමුදාවෙන් ක්‍රීඩිකාවන් 4ක්ද ගුවන් හමුදාවෙන් ක්‍රීඩිකාවන් 4ක්ද යුද හමුදාවෙන් ක්‍රීඩිකාවන් 5ක්ද විශ්වවිද්‍යාලයෙන් එක් ක්‍රීඩිකාවක්ද පාසල් වලින් ක්‍රීඩිකාවන් 4 දෙනෙක් ඇතුළු ක්‍රීඩිකාවන් 18 දෙනෙකු කාන්තා හොකී තරගාවලිය වෙනුවෙන් සම්බන්ධ වුණා.

ක්‍රීඩාංගණයක්වත් හරියට නෑ

ඇත්තෙන්ම ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායමට මෙයට වඩා ඉදිරියට එන්න තිබුණා. අපිට පුහුණුවට හොඳ ක්‍රීඩාංගණයක් නැහැ. ලංකාවටම කෘත්‍රීම හොකී ක්‍රීඩා පිටි දෙකයි තියෙන්නේ. එකක් මාතලේ අනෙක කොළඹ ටොරින්ටන්. මාතලේ හොකී ක්‍රීඩාපිටිය අභාවයටම ගිහින් කොළඹ එකත් හොඳ තත්ත්වයේ නැහැ.ගොඩක් දුර්වල මට්ටමේ තමයි තියෙන්නේ. එම අඩුපාඩුව අපිට ජාත්‍යන්තර හොකී ක්‍රීඩා පිටි වල සෙල්ලං කරන විට හොඳටම දැනෙනවා. ඒ වගේ ම අපිට පුහුණුව මදි. අපි නාවික හමුදාවේ පුහුණුව ලැබුවට කණ්ඩායමක් වශයෙන් පුහුණු කිරීමට ලැබුණේ දින 5ක් 6ක්. සංචිතය තෝරා ගැනීම් සිදු කළේ අවසන් කාලයේයි. අත්දැකීම් අඩු ක්‍රීඩිකාවන් 13ක්ම කණ්ඩායමේ හිටියා.ඉතිං ඒ ක්‍රීඩිකාවන්ට තරගාවලිය ආරම්භයේ ජාත්‍යන්තර කෘත්‍රීම ක්‍රීඩා පිටිවලට හුරු වෙන්න කාලයක් ගත වෙනවා. අපිට ක්‍රීඩිකාවන් වගේම පුහුණුකරුවන් අත්දැකීම් බහුල අය ලැබෙනවා නම් මීට වඩා හොකී ක්‍රීඩාව ඉදිරියට ගෙන ඒමේ හැකියාව තියෙනවා.

අත කනකර උගසට තියලා ගියේ

ලබන අවුරුද්දේ ආසියානු තරගාවලිය පවත්වනවා. හොකී ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙවර ප්‍රථම වතාවටයි සුදුසුකම් ලැබුවේ. අපේ ක්‍රීඩිකාවන් බහුතරයක්ම විදෙස් ගත වුණේ තමන්ගේ රන් ආබරණ උකස් කර හා වෙනත් අයගෙන් අත මාරුකරගෙන ඉතා දුෂ්කරවයි. ඒ අය එසේ කළේ තම කණ්ඩායම ආසියානු තරගාවලියට සහභාගි වීමේ අධිෂ්ඨානය පෙරදැරි කරගෙනයි. එවැනි වාතාවරණයක් උඩ අපිට ආරංචියක් තියෙනවා ආසියානු මෙඩල් එකකට යන්න බැරිවෙයි කියලා හිතන ක්‍රීඩා කණ්ඩායම් ආසියානු තරගාවලියට සහභාගි නොකිරීමට බලධාරීන් තීරණය කරලා තියෙනවා කියලා. වසර 6කට වරක් පවත්වන එම තරගාවලියට සහභාගි වෙන්න ක්‍රීඩිකාවන් හරි කැමැත්තෙන් ඉන්නේ. ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකා ජර්සිය දාන්න ආසයි. අපිට ලැබුණු චාන්ස් එක නැවත ශ්‍රී ලංකාවට ලැබෙන එකක් නැහැ. ආසියානු තරගාවලියක් දැක සහභාගිවීමත් කණ්ඩායමට ලොකු අත්දැකීමක් ලෙසයි මා දකින්නේ. මේ නිසා අපිට ලැබුණු මේ වරප්‍රසාදය ලබා දෙන ලෙස කණ්ඩායම් නායිකාව ලෙස මා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

අපි යන විදියම අසාර්ථකයි

අපි සමඟ තරගකළ සෙසු සියලු විදේශ කණ්ඩායම් වසර 5ක් 6ක් එක දිගටම පුහුණුවීම් කරලයි එවැනි තරගාවලියට මුහුණ දුන්නේ. නමුත් අපි සුළු කාල සීමාවක් තුළ සංචිත තෝරා පුහුණුවීම් දින කිහිපයකට සීමාකර අදාළ තරගාවලියට සහභාගි කළා. ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා මීට වඩා හොකී ක්‍රීඩාව කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

මම හොකී ක්‍රීඩාවට ඇවිත් අවුරුදු 20කට වැඩියි. නාවික හමුදාවේ අවුරුදු 13ක් ම හොකී ක්‍රීඩා කළා. 2009 සිට ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ හිටියා. අපි 2013දී සාෆ් රිදී පදක්කම, ඒෂියන් චැලෙන්ජ් ට්‍රෝපි රිදී පදක්කම දිනා ගැනීමට හැකි වුණා. ඒ වගේම ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ සම මට්ටමේ හිටියා. එදා තායිලන්තය පවා පරාජය කිරීමට අපි දක්ෂ වුණා. මෙවර ටුවර් එකේදී 6-0 ලෙස ලකුණු පුවරුවේ සනිටුහන්වීමට ප්‍රධාන හේතුව ක්‍රීඩිකාවන්ගේ පුහුණුවේ අඩුපාඩු සිදුවීම නිසයි. 

පළපුරුදු අය හිටියේ නෑ

ආර්ථික අපහසුතා නිසා පළපුරුදු ක්‍රීඩිකාවන් මෙවර සහභාගි නොවීම. නමුත් නවක ක්‍රීඩිකාවෝ පළමු මැච් එකට වඩා මැචස් 5,6 ගහන විට හොඳට ක්‍රීඩා කළා. අපේ ගෝල් කීපස්ල දෙන්නත් පාසල් ක්‍රීඩිකාවන්. මේ තත්ත්වය මත අපිට ඒෂියන් ගේම්ස් හීනයක්. ඊට වඩා ඔලිම්පික් ගේම්ස් හීනයක්. නමුත් ඒෂියන් ගේම්ස් අපි පේන තෙක් මානෙට ඇවිත් ඊට වඩා යන්න අමාරුයි. රටේ ප්‍රශ්න එක්ක අවුරුදු ගානකවත් පුහුණු කරන්න වෙනවා. අපි ආසියානු තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. ඊට වඩා දෙයක් කරන්න බැහැ. ඇත්තටම ඔලිම්පික් යන්න බැරි වෙයි. අපි බලන් ඉන්නවා ආසියානු තරගාවලියට සහභාගි වීමට අපට අවකාශ ලබා දෙයි කියා. නමුත් රටේ වාතාවරණය අනුව බල කිරීම අසාධාරණයි.කොහොමත් ආසියානු පදක්කමකට යන්න අමාරුයි. රටේ වාතාවරණය වෙනස් වෙන්න පුළුවන් එහෙම වුණොත් ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට සාධාරණයක් ඉටු කරයි කියලා හිතනවා.

ත්‍රිවිධ හමුදාව නැත්නම් ක්‍රීඩාවක් නෑ

නාවික හමුදා,යුද හමුදා හා ගුවන් හමුදා යන හමුදාවල ක්‍රීඩිකාවන් නැත්නම් මෙරට කාන්තා හොකී වලට මොනා වෙලා තියෙයිද කියලා හිතන්න බැහැ. හොකී ඉදිරියට පවත්වාගෙන යෑමට නම් අනිවාර්යයෙන්ම දෙවන පෙළක් හැදිය යුතුයි. ජාත්‍යන්තර කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණ මෙරටත් ඇති කළ යුතුයි. කාන්තා හොකී ක්‍රීඩාව නඟා ඉහළට ගැනීමට නම් ක්‍රීඩිකාවන්ට දීර්ඝ පුහුණුව මෙන්ම පළපුරුදු පුහුණුකරුවන්ගේ සේවය අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

මෙරට හොකී වලට පහසුකම් නොමැති නිසා මගේ දරුවන් මේ ක්‍රීඩාවට යොමු කරනවාද නැද්ද කියා දැන්ම කියන්න අපහසුයි. අපේ රටේ ක්‍රිකට්,රගර් වලටනේ පහසුකම් තියෙන්නේ. ඒ නිසා දරුවන් කැමැති ක්‍රීඩාවකට යොමු කරන්නයි අපේ බලාපොරොත්තුව.

Comments