ශූරතාව ජෝන් කීල්ස් දිනා ගනී | සිළුමිණ

ශූරතාව ජෝන් කීල්ස් දිනා ගනී

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ සිංගර් කුසලාන සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජොන් කීල්ස් කණ්ඩායම සමත් වූයේ ය.

ඊට සති දෙකකට පෙර පැවැති පන්දුවාර 50 තරගාවලියේ දී ශූරතාව අහිමි කර ගනිමින් අනුශූරතාව දිනා ගත් ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ දී ශූරතාව දිනා ගන්නේ MODE ඉංජිනියරින් කණ්ඩායමට එරෙහිව ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් හිමි කර ගනිමිනි. 

අවසන් පූර්ව වටයේ තරගවල දී MODE ඉංජිනියරින් ක්‍රීඩකයෝ හේලීස් කණ්ඩායම පරාජය කරමින් සහ ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් සපුරා ගත් හ.

කොළඹ 7, වෙළෙඳ සේවා පිටියේ දී පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් MODE ඉංජිනියරින් කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජෝන් කීල්ස් කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 156ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ දී MODE ඉංජිනියරින් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 152ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජෝන් කීල්ස් ක්‍රීඩකයනගේ ආරම්භය එතරම් ම සාර්ථක නොවූ හ. ඔවුන්ගේ පළමු කඩුලු 4ක් ලකුණු 22කට සීමා වුණි. නමුත් එතැන් සිට ඉනිම ගොඩනැඟීමට කවින් බණ්ඩාර සහ සචිත ජයතිලක සමත් වුහ. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 94ක් එක් කළ හ.

කවින් බණ්ඩාර පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටිය දී දැවී යෑමෙන් එම කඩුල්ලේ සබඳතාව බිඳී යද්දී ජෝන් කීල්ස් ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 116ක් බවට පරිවර්තනය වූයේ ය.

සචිත ජයතිලක පන්දු 39කට මුහුණ දෙමින් හයේ පහර 7ක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිමින් තරගයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ ය.

පන්දු යැවීමේ දී අරුල් ප්‍රගාෂ්, සඳකැන් පතිරණ සහ තීසාන් විතුසාන් කඩුලු 2 බැගින් දවා ගත් අතර ඉම්ටියාෂ් ස්ලාෂා සහ දුශාන් හේමන්ත කඩුල්ල බැගින් බිඳ හෙලූ හ.

ලකුණු 157ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි MODE ඉංජිනියරින් ක්‍රීඩකයන්ගේ ඉනිම පාලනය කිරීමට ජෝන් කීල්ස් පන්දු යවන්නන්ට දැඩි වෙහෙසර වෑයමක නිරත වීමට සිදු වූහ. 

පළමු කඩුලු කිහිපය අඩු ලකුණුවලට සීමා වූව ද ඔවුන්ගේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවක් එක් කිරීමට දුෂාන් හේමන්ත සහ සසිඳු නානායක්කාර සමත් වූ හ. දුෂාන් හේමන්ත පන්දු 20ක දී හයේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත් අතර සසිඳු නානායක්කාර පන්දු 32ක දී හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත් හ.

තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් MODE ඉංජිනියරින් කණ්ඩායමට ලකුණු 12ක් අවශ්‍ය වූ අතර පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක්වූ සචිත ජයතිලක එම පන්දුවාරය යෑවීම බාර ගත්තේ ය. ඒ වන විට ප්‍රතිවාදීන්ට තවත් කඩුලු 2ක් සතු වූ හ. නමුත් එම පන්දුවාරය ලකුණු 7ක සීමා කරමින් කඩුල්ලක් ද දවා ගැනීමට සචිත ජයතිලක සමත් වූයේ ය. අවසන් මහා තරගයේ වීරයා ලෙසින් නම් කෙරුනේ ද සචිත ජයතිලක ය.

පන්දු යැවීමේ දී ඉෂාන් ජයරත්න ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. ඊට අමතර ව සචිත ජයතිලක සහ මාලිංග අමරසිංහ කඩුලු 2ක් බැගින් ද මලිඳු ෂෙහාන් සහ අකිල ධනංජය කඩුල්ල බැගින් ද දවා ගත් හ.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ මාධව වර්ණපුර ද තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්පත් බැංකු කණ්ඩායමේ සමීන් කඳනාරච්චි ද නම් කෙරුණි.

ජගත් ප්‍රේමචන්ද්‍ර 
ඡායාරූප - ද පපරේ

Comments