ක්‍රිකට් ලෝක කුසලානයක උණුසුම දිනා දුන් නිහඬ විප්ලවකරු | සිළුමිණ

ක්‍රිකට් ලෝක කුසලානයක උණුසුම දිනා දුන් නිහඬ විප්ලවකරු

 

මෙරට ක්‍රිකට් වංශකතාවේ ආඩම්බරයෙන් සැමරෙන අවස්ථා දෙකකි. ඒ 1996 ලෝක එක්දින ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමත් සහ 2014 වසරේ දී විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමත් ය.

 

නමුත් ඊට හරියට ම වසර 4කට පසුව එනම් 2018 වසරේ දී ද මෙරට තවත් ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගන්නේ ය. ඒ ශ්‍රවණාබාධිත විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයයි. පෙර තරගාවලි දෙක තරමට ම නොවූවත් එයට ද ලක් ඉතිහාසයේ වැදගත් තැනක් හිමි වුණි. ලෝක කුසලාන දිනා දුන් නායක අර්ජුන රණතුංග සහ නායක ලසිත් මාලිංග තරමට ම නොවූවත් නායක ගිමඳු ලක්රු මැල්කම් ගේ නම ද තැන තැන කියැවෙන්නට ගත්තේ ය. විශේෂයෙන් ම ඔහුගේ දක්ෂතා ඇගයූවේ ය.

ජයග්‍රාහී ශ්‍රවණාබාධිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ගිමඳු, තරගාවලියේ වීරයා සේ ම තවත් තරග 3ක තරගයේ වීරයා සම්මාන දිනා ගැනීමට සමත් වීම ඊට හේතු විය. වමතින් පන්දුවට පහර දෙමින් සහ වමතින් දඟ පන්දු යවමින් දැක් වූ දක්ෂතා එදා සේ ම අද ද ගිමඳු සතු ය.

එම දක්ෂතාත් සමඟින් ගිමඳු මේ වෙද්දී එළඹෙන ජුලි මාසයේ දී මෙරට පැමිණෙන පාකිස්තාන ශ්‍රවණාබාධිත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 ක්‍රිකට් තරගාවලියන් දෙකකට සහභාගීවීමට සුදානම් වෙමින් සිටින්නේ ය. එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ද ගිමඳුට ය.

“අපි හොඳ පුහුණුවක් ලබමින් සිටිනවා. ගොඩාක් දවසකට පස්සේ සංචාරක කණ්ඩායමක් එන්නේ. ඔවුන්ට හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට දිනන්න පුළුවන් වෙයි.” ගිමඳු දුරකතනය මත තැබූ සටහනකින් අප සමඟ සම්බන්ධ වූවේ ය.

ගිමඳු උපතේ දී ම ශ්‍රවණාබාධිතයෙකි. ඒ මව් කළලයේ සිටිය දී ම ඇයට දරුණුවට වැලඳුණ පැපොල රෝගය හේතුවෙන් වූ බලපෑම ය. ගිමඳු මෙලොව එළිය දැක ඉතා කෙටි කාලයකින් ම මේ ආබාධිත බව හැඟෙන්නේ, ඔහුගේ ආච්චිට ය. මේ ප්‍රවෘත්තිය පවුලේ සියල්ලෝ ම සසල කළෝ ය. “පුතාට ඇහෙන්නෙ නැහැ කියල දැනගත්ත දවසෙ ඉඳල ම අපි විවිධ තැන්වලින් ප්‍රතිකාර ගත්තා. නොගිය තැනක් නැහැ. හොඳයි කියල ආරංචි වෙන හැම වෛද්‍යවරයෙක්ට ම පුතා පෙන්නුවා. ඒත් පුතාව හරියට ම හොඳ කරගන්න අපිට බැරි වුණා..” ගිමඳුගේ මව පැවැසුවා ය.

වෛද්‍ය මතය වූයේ ශ්‍රවණාබාධිත යන්ත්‍රයක් පැලඳීමෙන් මේ ආබාධිත බව සුව කළ හැකි බවයි. රත්මලාන අඳ ගොළු බිහිරි විද්‍යාලය ද ගිමඳුගේ ආබාධිත බව දකින්නේ යම් කාලයක දී සුව කළ හැකි රෝගී තත්ත්වයක් ලෙසිනි. ඒ නිගමනයත් සමඟින් එකල ගිමඳු ඊට දිගින් දිගට ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේ ය.

ටෙක්සි මැල්කම්, ගිමඳුගේ පියා ය. ජාතික කඩදාසි සංස්ථාවේ සේවය කළ ඔහු එම ආයතනය වැසූ පසු තුන් රෝද රියකින් තම පවුල නඩත්තු කරගන්නා තැනැත්තෙකි. ඔහු ගාලු පාර ආසන්නයේ ම පිහිටි තම නිවස අසල වූ හෙප්පුමුල්ල හන්දියේ සිට ජීවිකාව ගෙන යෑමට මහමඟ රස්තියාදු වන්නේ ය. මව ප්‍රියානි හේමලතා, ගෘහනියකි. මැල්කම්ගේ පවුලේ තිදෙනෙකි. අයියා, ජමිඳු මැල්කම් මේ වනවිට විදෙස් ගතව සිටී. අක්කා චමෝදි කෞෂල්‍යා මැල්කම් දැනට පෞද්ගලික ආයතනයක සේවය කරන්නී ය.

ඔවුන් සමඟින් ගිමඳු විශේෂ අවශ්‍යතාවන් සමඟින් හැඳී වැඩෙන්නේ පවුලේ මෙන් ම අසල්වාසීන්ගේ ද නොමද ආදරයට ලක් වෙමිනි. මේ අතර ගිමඳු පාසල් යන වයසට ද පිවිසියේ ය. ඒ අනුව දෙමාපියන් විසින් ඔහුගේ අයියා සහ අක්කා ද ඒ වෙද්දී පාසල් අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ ප්‍රසිද්ධ පාසලකට අයැදුම් කරන්නේය. මව ද එම විද්‍යාලයේ ම ආදි ශිෂ්‍යාවකි.

නමුත් ගිමඳුගේ ආබාධිත බව හේතුවක් කර ගත් විදුහල්පතිවරයා ගිමඳු එම විද්‍යාලයට එක්කර ගන්නේ නැත. කෙතරම් උත්සාහ කළත්, ඒත්තු ගැන්වූවත් ගිමඳුට අවස්ථාවක් ලබා දෙන්නට එම විදුහල්පතිවරයා කටයුතු නොකළේ ය. අවසානයේ ගිමඳුගේ දෙමාපියන් මේ ප්‍රශ්නයත් රැගෙන අධිකරණයේ පිහිට පතන්නේය. මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කරන්නේය.

“අධිකරණය කරුණු 8කින් යුක්තව පුතාට පක්ෂව තීන්දූව ලබා දෙනවා. ඒ අනුව අපි පුතාව පාසලට රැගෙන ගියා. ඒත් විදුහල්පතිවරයා පුතාව පාසලට ගන්න කැමැති වුණේ විශේෂ අධ්‍යාපනය සඳහා සුදුසු යැයි සටහන් කරමින්. අපි ඒකට කැමැති වුණේ නැහැ.” ගිමඳුගේ පියා, ටෙක්සි මැල්කම් පැවැසුවේ ය.

ගිමඳුගේ දෙමාපියන් ඊට අකමැති වන්නේ අධිකරණ නියෝග පවා නොතැකු විදුහල්පතිවරයෙක් විසින් පාලනය කරන පාසලක දී ගිමඳුට විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වෙතැයි යන උපකල්පනය මත ය. ඉන් පසුව ඔවුන් තම නිවසින් කිලෝ මීටර් 3ක පමණ දුරකින් පිහිටි වතුගෙදර සිරි අභයතිස්ස කනිෂ්ඨ විද්‍යාලය වෙත ගිමඳු යොමු කරන්නේ ය. ඒ තම හිතවතියක් එම විද්‍යාලයේ ගුරුවරියක් ලෙසින් කටයුතු කිරීමේ වාසිය ද ලබා ගනිමිනි.

කුඩා ගිමඳු දැන් ශ්‍රවණාබාධිත යන්ත්‍රයන් ද කන් දෙකේ රුවා ගනිමින් පාසල් යන්නේ ය. එහෙත් අධ්‍යාපන වැඩ කටයුතුවලට වඩා ගිමඳුගේ වැඩි කැමැත්ත වූයේ ක්‍රිකට් ක්‍රීඩාවට ය. නමුත් සිරි අභයතිස්සයේ ක්‍රිකට් ක්‍රීඩාවක් තිබුණේ නැත.

හෙප්පුමුල්ල වෙරළ තීරයත් ගිමඳුගේ නිවසත් වෙන් කළේ ගාලු පාරෙනි. පාසල නිමා වී පැමිණෙන ගිමඳු හැල්මේ වාහන දුවන ගාලු පාර පැන වෙරළට යෑම පුරුද්දක් කර ගත්තේ ය. ඒ ක්‍රිකට් සෙල්ලමට ය.

“පුතා සෙල්ලම් කරන්න යන්න ලෑස්ති වෙද්දි අපි කවුරු හරිත් ලෑස්තු වෙන්න ඕන පුතාව පාරෙන් මාරු කරන්න. පොඩ්ඩක්වත් පරක්කු වෙන්න බැහැ. එහෙම ගිහිල්ල ගොඩාක් ම හවස් වෙද්දි තමයි ගෙදර එන්නේ. පුතාට දිගින් දිගට ම ශ්‍රවණාබාධිත යන්ත්‍ර කනේ තියෙන්න ඕන කියල කිව්වත් සෙල්ලම් කරන වෙලාවට ඒක දැම්මෙ ම නැති තරම්. අපි කොච්චර කිව්වත් පුතා පුංචි දවස්වල සිට ම ඒකට එතරම් කැමැති වුණේ නෑ. ඒක කනේ තියෙද්දී පුතාට ගොඩාක් කේන්ති යනවා. ඒ වගේ ම තමයි සෙල්ලම් කරන්න එපා කිව්වත් ඒ කේන්තිය ඒ වගේමයි. දිගින් දිගට ම වෛද්‍ය ප්‍රතිකාර ගත්තා නම් පුතාට හොඳ කරගන්න තිබුණා කියල හිතෙනවා. නමුත් දැනටත් පුතාට ටිකක් විතර ඇහෙනවා. හොඳට ඇහුම්කන් දීල කතා බහ කරනවා” ගිමඳුගේ මව නැවැත පැවැසුවා ය.

ගමේ කොලු නඩේට වැටී ගැසූ ක්‍රිකට් ගැහිල්ලේ දී ගිමඳු ප්‍රධාන චරිතයක් වුයේ ය. ගිමඳු ගලක් වීසි කලත් එය ටක්කෙට ම ඉලක්ක ගැනීමට සමත් වීලු. මේ නිසා ගමේ ක්‍රිකට්කාරයන්ගේ ඉල්ලුම ගිමඳු තම කණ්ඩායමට ගැනීමට ය.

“පුතා ක්‍රිකට් ගහන්න දක්ෂ නිසා අපි ලෙදර් බෝල ක්‍රිකට් ගහන්න අම්බලන්ගොඩ සිංහ ක්‍රිකට් සමාජයට එක්කගෙන යනවා. ඒකෙ සෙල්ලම් කරද්දි තමයි බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට යන්න ලැබෙන්නේ. ඒ තනිකරම ක්‍රිකට් ගහන්න තිබුණ ආසාව නිසා. පුතා සිද්ධාර්ථෙන් අවුට් වෙනතුරුම ක්‍රිකට් ගැහුවා. ඊට පස්සෙ තමයි ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමට යොමු වෙන්නේ.” ගිමඳුගේ පියා ටෙක්සි මැල්කම් පැවැසුවේය.

එතැන් සිට කාලය ගලා යමින් ගිමඳු ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ද පත් වෙන්නේ ය. ඔහු නායකත්වය දක්වමින් සහභාගී වූ පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාව දිනා ගැනීම දක්වා තම කණ්ඩායම රැගෙන යෑමට ගිමඳු සමත් වෙන්නේ ය. ඒ 2018 වසරේ දී ය. අවසන් තරගයේ සේ ම තරග කිහිපයක ම ගිමඳු තරගයේ වීරයා කිරුළ ද දිනා ගත් අතර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය ද දිනා ගත්තේ ය. ලෝක කුසලානය දිනාගත්ත ද ශ්‍රවණාබාධිත කණ්ඩායම ඉන් පසුව මෙතෙක් සහභාගී වී ඇත්තේ එක් තරගාවලියකට පමණි. ඒ මෙරට දී පැවැති ඉන්දියාව සමඟ තරගාවලියයි. එම තරගාවලිය එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරගයකින් ද සමන්විත විය. එක්දින තරගාවලිය 2-1ක් ලෙසිනුත් විස්සයි විස්ස තරගාවලිය 1-0ක් ලෙසින් ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ හ.

“පුතා ඒ දවස්වල පුහුණුවීම්වලට ගියේ ගෙදර ඉඳලා. ඒක හරි දුෂ්කරයි. පුතාගෙ කණ්ඩායමේ හම්බන්තොට ළමයෙක්ට සජිත් ප්‍රේමදාස මහත්තයා මොරටුවෙන් ගෙයක් දුන්නා. ඒකෙ නතර වෙලා කාලයක් පුහුණුවීම්වලට ගියා. ඒත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇති වූ කලබලකාරී තත්ත්වය නිසා ආරක්ෂක හමුදාවන් නිතර නිතර ඒ ගෙවල් පරීක්ෂා කළා. පුතාවත් අවස්ථා ගණනාවක දී ප්‍රශ්න කරල තිබුණා. ඒක ඒ ගෙදර අයටත් කරදයක් නිසා පුතා ගෙදර ආවා. ගෙදර ඉඳල තමයි ඊට පස්සේ පුහුණුවීම්වලට ගියේ. දැනුත් අඟහරුවාදා උදෙන් ම ගෙදරින් පුහුණුවීම්වලට ගිහින් පුතාත් සමඟ සෙල්ලම් කරන අසංක මංජුල පුතාගේ ගෙදර නතර වෙලා බදාදාටත් පුහුණුවිම් කරල ඉවර වෙලා තමයි ගෙදර එන්නේ.” ගිමඳුගේ පියා පැවැසුවේ ය.

ගිමඳු මේ වෙද්දී කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ තෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙන්නේ ය. එහි මෙතෙක් පැවැති තරග 3කට සහභාගී වෙන ඔහු අර්ධ ශතකයක් සමඟින් ලකුණු 103ක් ලබා සිටින්නේ ය. එහි සාමාන්‍ය 51.1ක් ලෙසින් රඳවා ගැනීමට සමත් වීම කැපී පෙනෙන අතර ඊට අමතර ව කඩුලු 5ක් ද ලබා ගන්නේ ය. “පුතාගේ එක ම ආසාව ක්‍රිකට් ම විතරයි. ක්‍රිකට් නිසා ම අධ්‍යාපනයත් අමතක කළා. පුතාගෙ තත්ත්වය නිසා අපි පුතා අකමැති කිසිම දේකට වැඩිය එළෙව්වෙ නැහැ. අන්තිමට සාමාන්‍ය පෙළ විභාගෙන් පාස් වුණේ ඉංග්‍රීසි විතරයි. හොඳට කොම්පියුටර් දැනුම තියෙනවා. ඒත් රස්සාවකට යන්න කැමැති නෑ. පුතා කියන්නෙ පුළුවන් කාලයක් ක්‍රිකට් ගහනව කියලයි. කවද හරි ක්‍රිකට්වලින් සමුගන්නෙත් හොඳට නම තියෙද්දි කියලත් කියනවා. ඉතිං අපිත් අපිට පුළුවන් විදිහට පුතාගෙ ගමනට උදව් කරනවා” මේ දිරිය පියා පවසන්නේ ය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙරට ට ගෞරවයක් ලබා දුන් නායකයන් අතර ගිමඳුට ද හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයකි. එහෙත් එහි පිළිගැනීමක් වී නම් ඒ, 2018 ලෝක කුසලානය දිනා දුන් අවදියෙන් නිමා වූ බවකි, හැඟෙන්නේ. නමුත් ශාරීරිකව මෙන් ම වෙනත් අවශ්‍යතාවන් හී ද කෙතරම් අඟ-හිඟතා තිබුණත් ගිමඳුලා අදටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්නේ ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙනි. ඒ වෙනුවෙන් උරදෙන ඔවුන්ට “ක්‍රීඩා” වෙතින් සුබ පැතුම්.

 

**********************

“ආසියානු ක්‍රිකට් තරගාවලියට මේක හොඳ පෙරහුරුවක්”

උෂාන්ත ගුණරත්න

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු

 

“ජුලි මාසෙ 5 වැනිදා පාකිස්තාන සමඟ තරගාවලිය පැවැත්වෙනවා. සියලුම තරග පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 2ක් තිබෙනවා. පාකිස්තානය මේ තරගාවලියට සහභාගී වෙන්නේ එංගලන්තය සමඟ පැවැති තරගාවලිය ජයග්‍රහණය කරමින්. ඒ නිසා එම කණ්ඩායම ගැන සුළුවෙන් හිතන්න බැහැ. කොහොමටත් අපිට හොඳ විශ්වාසවන්ත කණ්ඩායමක් සිටිනවා. ඒ නිසා තියුණු තරගාවලියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේ ම මං විශ්වාස කරනවා, මේක අපේ ක්‍රීඩකයන්ට ලැබුණ සුවිශේෂ අවස්ථාවක්. මොකද මේ දෙසැම්බර් මාසේ දී බංග්ලාදේශයේ දී ආසියානු ශ්‍රවණාබාධිත ක්‍රිකට් තරගාවලිය තියෙනවා. ඒකට පෙරහුර තරගාවලියක් ලෙසින් මෙය වැදගත් වේවි.

ඒ වගේ ම අපේ කණ්ඩායම මේ දවස්වල කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ තෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනවා. ඒ වෙනුවෙන් අපේ කණ්ඩායමට සහභාගී වෙන්න ලබා දීම ගැන ඔවුන්ට ස්තූති වන්ත වෙනවා. ඒ නිසා අපේ ක්‍රීඩකයන්ට තවත් අත්දැකීම් ලබා ගන්න පුළුවන්.

කණ්ඩායමේ සියලු පහසුකම් ලබා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතත් සහ වඩාත් වැදගත් කාර්යභාරයක් සිදු කරන ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයටත් මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා මේ කණ්ඩායම වෙනුවෙන් දක්වනු ලබන දායකත්වයට.”

*************************

“මේ අය සාමාන්‍ය ළමුන් ලෙස සමාජගත කරන්නයි අපේ උත්සාහය”

අනුලා රංජනී

ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ ආරම්භක සභාපතිනි

අපි ක්‍රිකට් ගහන දරුවන්ගේ දෙමාපියන් කිහිප දෙනෙක් එකතු වෙලා මේ සංගමය ආරම්භ කරන්නේ 1996 දි. එදා සිට මේ දක්වා ම අපි මේ සංගමය කරගෙන යනවා. පැරා ඔලිම්පික් සංගමයේ ලියාපදිංචි වී ඇති අපි ක්‍රීඩා අමාත්‍යාංශයේ ද අනුමැතිය ඇතිවයි සියලු කටයුතු කරගෙන යන්නේ.

අපි ලැබූ ඉහළ ම ජයග්‍රහණය තමයි 2018 ලෝක කුසලානය දිනා ගත් එක. අපි ගොඩාක් අඩු-පාඩු එක්ක ඒ තරගාවලියට සහභාගී වුණේ. තවමත් ඒ අඩු-පාඩු විවිධ අයුරින් තිබෙනවා. විශේෂයෙන් ම අපේ කණ්ඩායමේ ඈත් ප්‍රදේශවල ළමයි ඉන්නවා. ඔවුන්ට කොළඹ ඇවිත් නවතින්න තැන් නැහැ. ඒ වගේ ප්‍රශ්නත් මතු වෙනවා.

කොහොම නමුත් මේ වන විට අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල සහයෝගයක් දක්වනවා. මෙම තරගාවලියත් සංවිධානය වෙන්නේ ඔවුන්ගේ උදව් ඇතිව. පුහුණුකරු උෂාන්ත ගුණරත්න මහතා වගේ ම කලින් ශ්‍රවණාබාධිත කණ්ඩායමේ ක්‍රීඩා කළ හේමජිත් වජිර කුමාර පුහුණුවිම්වලට දායක වෙනවා.

මේ ළමුන් ගොඩාක් දක්ෂතා දක්වන අය. ඔවුන්ට ක්‍රීඩා පහසුකම් ලබා දෙමින් සාමාන්‍ය අය ලෙස සමාජ ගත කරන්නයි අපේ උත්සාහය. ක්‍රීඩාව ඒකට මහත් රුකුලක්. මොකද මෙතැන බෙදීම් නැහැ. ඒ තත්ත්වය සමාජයටත් බද්ධ කරන්නයි අපේ උත්සාහය.

අපි රටවටා ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආරාධනා කරනවා පැමිණ මේ තරග නරඹන්න කියලා. මේ ඔබේ ම සොහොයුරන් පිරිසක් ලෙසින් ඔවුන්ට ධෛර්යය දෙන්න. කිසිදු අය කිරීමක් නොමැතිව ඔබට ක්‍රීඩාංගණයට ඇතුළත් වෙන්න පුළුවන්.

------------------

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින සහ විස්ස විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් ජුලි මස 5 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ දී පැවැත්වීමට නියමිතය.

------------------

තරග කාලසටහන

 

ජුලි 05 - පළමු එක්දින තරගය

ජුලි 06 - දෙවැනි එක්දින තරගය

ජුලි 08 - තෙවැනි එක්දින තරගය

ජුලි 09 - පළමු විස්සයි විස්ස තරගය

ජුලි 10 - දෙවැනි විස්සයි විස්ස තරගය

 

Comments