මීපිටියේ - මදුරන්කුලියේ බොරු අංක තහඩු හැදුවේ කාට දෙන්නද? | Page 2 | සිළුමිණ

මීපිටියේ - මදුරන්කුලියේ බොරු අංක තහඩු හැදුවේ කාට දෙන්නද?

ගෙවුණු කාලය පුරා මෙරට විවිධ ස්ථානවල සිදු වූ අපරාධ සඳහා බොහෝ විට යොදාගෙන තිබුණේ ව්‍යාජ අංක තහඩු යෙදූ වාහන වන අතර, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පවා අඳුනාගත නොහැකි පරිදි සියුම් ලෙස එබඳු ව්‍යාජ අංක තහඩු සැකසූ ආයතනයක් සොයාගන්නට පසුගියදා කෑගල්ල පොලීසිය සමත් විය. අප ඒ ගැන සොයා බලන විටම පුත්තලම - මදුරන්කුලිය පැත්තෙන්ද ඒ අයුරින්ම ව්‍යාජ අංක තහඩු සකසන ආයතනයක් හමු විය. ඒ පුත්තලම 143 බළසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ උපදෙස් මත යුද හමුදා කණ්ඩායම් කිහිපයක් විසින් කළ සෝදිසි මෙහෙයුමකදීය.

ජාතික ආරක්ෂාවට ඍජුවම විශාල තර්ජනයක් විය හැකි මේ බැරෑරුම් කරුණ පිළිබඳ විමසීමට අප පළමුවම යොමු වූයේ කෑගල්ල පොලීසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක පොලිස් පරික්ෂක ප්‍රණීත් මානවඩු මහතා වෙතටය.

‘‘පොලිස් ස්ථානයට ප්‍රදේශයේ ජනතාවගෙන් තොරතුරක් ලැබුණා නීති විරෝධි කාර්යයන් සිදු කරන ස්ථානයක් කෑගල්ල පොලිස් වසමට අයිති මීපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට. ඒ සම්බන්ධව දැනගත් වහා මා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත රුවන් බණ්ඩාර මහතාට දැනුම් දුන්නා. ඔහු විශේෂ කණ්ඩායමක් සමඟ මේ වැටලීම සිදු කළා. එහිදී සිංහල ජාතිකයකුට අයත් වෙළෙඳසලක ඉතා රහසිගතව සිදු කර ඇති මේ මහා පරිමාණ වංචාව අපට හසු කරගන්නට හැකි වුණා.

මේ වෙළෙඳසල සිංහල ජාතිකයකුට අයත් වුවත් එය මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනකු කුලියට ගෙන තිබෙනවා. කොළඹ - නුවර පාරේම පිහිටා තිබෙන හෙයින් කිසිවකුට සැක සිතන්න බැහැ. එතරම් සූක්ෂ්ම ලෙස ඔවුන් මේ අංක තහඩු නිෂ්පාදනය කර තිබෙනවා.

එසේම ඔවුන් ඒ සඳහා උපයෝගි කරගත් නවීන පරිගණකයක් ඇතුළු උපාංග රැසක්ද මෙහිදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන් නවීනතම තාක්ෂණය භාවිත කර ඇති බව පැහැදිලියි. ඔවුන්ට මේ සඳහා සහයෝගය දුන් අය සොයා මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙනවා.“

සිද්ධිය සැල වූ වහා පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ මහතාද දැනුවත් කර ඇති අතර ඔහුගේ උපදෙස් පරිදි ඉදිරි පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙහිදී ව්‍යාජ අංක තහඩු සවි කළ යතුරු පැදි දෙකක්ද, දත්ත ගබඩා කර ඇති පරිගණකයට අමතරව ස්ටිකර් මුද්‍රණ යන්ත්‍රයක්, අංක සකසන ප්ලාස්ටික් හා තහඩු සකසන යන්ත්‍රයක්ද මෙහිදී අත්අඩංගුවට ගත් අනෙක් උපකරණ අතර විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති අතර, ඔවුන් සම්බන්ධව විශේෂ විමර්ශන කටයුතු සිදු කෙරේ.

මෙහි සකසන අංක තහඩු මිලට ගෙන ඒවා සවි කර දිවයිනේ විවිධ ප්‍රදේශවල ජාවාරම් සදහා යොදාගන්නට හෝ පසුගියදා සිදු කළ ඝාතනවලට හෝ යම් ආකාරයක් සම්බන්ධ වන්නට ඇතැයි මේ වන විට සැක පහළව ඇත.

කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත රුවන් බණ්ඩාර, පො.සැ. 20590 වීරකෝන්, පො.කො. 77312 කුමාර, පො.කො. 91044 හර්ෂණ යන නිලධාරි කණ්ඩායමක් මේ වැටලීමට එක් වී තිබිණි.

ඒ සිදුවීම එසේ සිදු වෙද්දී අප පෙර කී පරිදි අනෙක් සිදුවීම වාර්තා වූයේ මදුරන්කුලියෙනි. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙන අතරතුර පුත්තලම 143 බළසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක පැවසුවේ පුත්තලමේ රාත්‍රී කාලයේ සිදු කරනු ලබන මෙහෙයුම්වලට විදුලිය බල මණ්ඩලයේ පුත්තලම ඩිපෝවෙන් දැඩි බාධා එල්ල වන බවයි.

‘‘මෙහෙයුම් සිදු කිරීම ආරම්භ කිරීමේ සිට අවසානය දක්වා වරින් වර විදුලිය අත්හිටුවෙනවා. මේ සම්බන්ධව ඉදිරියේදී යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට වේවි. ව්‍යාජ අංක තහඩු මුද්‍රණාලය අපට අසු වූයේත් අප කළ මෙහෙයුමකදී මදුරන්කුලිය ප්‍රදේශයේදී. කිසිවකුට ඒ අංක තහඩු ව්‍යාජ ඒවා බව සොයා ගන්නට බැහැ.

ස්ටිකර් මුද්‍රණය කරන ස්ථානයක් වශයෙන් ඒ ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා. එහි සිටි දෙදෙනා අප අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසියට බාර දුන්නා. මේ අංක තහඩු අතර නැ‍ඟෙනහිර සහ බස්නාහිර පළාත්වලට අයත් අංක තහඩු රැසක් තිබුණා.‘‘

මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරගත කර ඇත.

මේ සිදුවීම් දෙකම පසුගිය සතිය ආරම්භයේම සිදු වූ අතර, ඒවා පිටුපස සිටින අය සොයා මේ වන විට විමර්ශන කටයුතු සිදු කෙරේ. කෑගල්ලේදී අත්අඩංගුව ගත් දෙදෙනා පවසා ඇත්තේ තමන් දෙදෙනා පමණක් මේ කටයුත්තට සම්බන්ධ බව වුවත් ඒ අංක තහඩු නිෂ්පාදනයට යොදාගෙන ඇති නවීන තාක්ෂණය හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලූ විට මේ පිටුපස යම් මොළකරුවකු හෝ අපරාධකරුවකු හෝ සිටින බවට සැක පහළව ඇති අතර, මදුරන්කුලියේ හා කෑගල්ලේ ව්‍යාජ ආයතන දෙකම එක හා සමාන තාක්ෂණයන් භාවිත කිරීම අනුව මේ ආයතන දෙකම එක් අයකුගේ මෙහෙයවීම මත සිදු වන්නට ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සැක පළ කරයි.

මේ අංක තහඩු මිල දී ගත් අය හා එලෙස මිලට ගත් අංක තහඩු සවි කළ වාහන යොදාගත්තේ කුමක් සඳහාද යන්න ගැනත් විවිධ අංශ ඔස්සේ මේ වන විට විමර්ශන පැවැත්වේ.

ඡායාරූප
මිහිර විජේසේකර - මාරවිල සමූහ, ගාමිණි රම්‍යපාල - සබරගමුව සමූහ

Comments