සංක්ෂිප්ත කවි කීපයක් | සිළුමිණ

සංක්ෂිප්ත කවි කීපයක්

චන්දන ඉලන්දාරිගේ, ඔහුටම ආවේණික කාව්‍ය ශෛලියකින් කාව්‍යකරණයෙහි නිරත අනාගතය පිළිබඳ විසල් අපේක්ෂා රඳවාගත හැකි නවීන කවියෙකි. මම ඔබට පෙම් කරමි නමින් ඔහු තම පළමු කවි එකතුව පළ කරන්නේ 2017 වර්ෂයේදී ය. නැණිල ප්‍රකාශනයක් ලෙසින් 2019 වර්ෂයේ ප්‍රකාශයට පත් වී ඇති කවියාගේ දෙවන කාව්‍ය ‘අවසානය, නම් වේ. කාව්‍ය නිර්මාණ සියයක් මුද්‍රිත පිටු විසි තුනක් (23) තුළ සිරකිරීම තුළින් අපූරු කේවල කාව්‍ය සියයකට ආසන්න සංඛ්‍යාවක් රචනා කළ කවියෙකුගේ කෘතිය, ග්‍රන්ථයක් ලෙස සැලකීමට අවශ්‍ය සම්මත පිටු හතළිස් නවයට (49) අඩුවීම හේතු කොටගෙන ප්‍රකාශකයන් විසින් මේ කවියාට සිදුකොට ඇති අගතිය විසාල වන්නේ, ඔහුගේ බහුතර ඒකල රචනා අපූරු කවිත්වයක් ප්‍රකට කෙරෙන බැවිනි. චන්දන ඉලන්දාරිගේ කවියාගේ කවි සංක්ෂිප්ත සැකෙවි හෝ මුක්තක කවි ලෙස හැඳින්වීමට හැකි ය. සංක්ෂිප්ත හෝ සැකෙවි කවියා සිංහල පාඨකයනට ආගන්තුක නොවේ. සීගිරි කැටපත් පවුරේ කවි රස විඳ ඇති පාඨක ප්‍රජාවකට, හයිකු කවිය පිළිබඳ තොරතුරු දන්නා, ඒවා රස විඳිනා හා එකී ශෛලියෙන් ම කාව්‍ය නිර්මාණ‍ෙය්දී යෙදීමට රුචියක් දක්වන ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි කවීන්ගේ නිර්මාණ ආශ්‍රය කරන සිංහල පාඨකයනට සංක්ෂිප්ත කවියෙහි අර්ථපූර්ණ හා භාව ප‍ූර්ණ ගුණය පිළිබඳ සිහිපත් කළ යුතු යයි නො සිතමි. කෙටි කවියක රසය මෙන් ම අරුත ද පිළිබඳ සීගිරි කවි පවසන තොරතුරු අතිශයින් ම පාඨක සිත් පැහැර ගනී. එහෙත් කැටපත් පවුරේ ගී වලට හාත්පසින් ම වෙනස් වූ අපූරු රසයක් ජනනය කෙරෙන චන්දන ඉලන්දාරිගේ කවියාගේ නිර්මාණ පහක් පහත දක්වන්නේ ඒවායින් ප්‍රකට කෙරෙන දර්ශනය පාඨක හදට සමීප බැවිනි. කවියා ඔහුගේ එකදු කවියකට හෝ මාතෘකාවක් භාවිත කොට නො මැති මුත්, ඉන් කවියේ මුඛ්‍යාර්ථයට කිසිදු හානියක් සිදුවී නොමැති බව අපගේ වැටහීමයි. පහත ඉදිරිපත් කෙරෙන තෝරාගත් නිර්මාණ සියල්ලෙහි වාච්‍යාර්ථය ඉක්මවා ගිය කාව්‍යාර්ථ රැගත් අනුභූතීන් කිහිපයක් හමුවේ.

පළමු කවිය

පැළ’ඹර අර දුබල හිරුගෙ
රැස් දහරින් දැන් නැහැවෙයි
නටබුන් නගර වනගත
හඬා වැටෙන හැම කල්හිම
දහස් වසක් හඬා වැටී
ඒ බදාම ගඩොල් ගල් ද
නිබඳ කියන දුක් කතාව
කුමක්ද අඳුරේ සැඟවුණ?

බටහිර අහසෙහි හිරු රැස් දුබලය. වනගත නගරයක නටබුන් හැම කල්හිම හඬා වැටේ. අඳුරු වන පෙතක හිරු බැස යන සැඳෑවක එහිරු දෙසින් තෙමුණු වනගත නගරයක නටබුන්? ඒ නටබුන් අතර හඬා වැටෙමින් නිබඳවම දුක් කතාවක් පවසන්නේ බදාම ද, ගඩොල් ද ගල් ද? අඳුරේ සැඟවුණු ඒ කතාව පාඨකයන්ට සිහිපත් කරන්නේ බදාම, ගඩොල් ගල් එක් කරමින් ඉදිකළ නටබුන් වූ නගරයේ ජීවත් වූ මිනිසුන්ගේ දුක්බර කතාව නොවේ යැයි අපට සිතන්නට නොහැකි ද? අඳුරේ සැඟවුණ දුක් කතාව යන්නෙන් එකී යටි අරුත තීව්‍ර වෙයි.

දෙවැනි කවිය

කොතැන සිට මේ ගඟ ගලා එයිදෝ
කොතැන නම් මේ ගඟ ගලා යයිදෝ
නොනැවතී යන ගමන් කිම්දෝ
කවුරු නම් එය පවසා සිටීදෝ

එළිසම කොට බඳිනු ලැබූ මේ කවිය සංක්ෂිප්තය‍. එහෙත්, ඉන් කවියා මතු කිරීමට උත්සාහ ගනු ලබන ජීවිතාර්ථය ගැඹුරු ය. මේ ජීවන ගංගාවේ ඇරඹුම කොතැනද, ගලා යන්නේ කොතැනට ද, නොනැවතී යන මේ ගමනේ අරුත පහදා දෙන්නට සමත් වන්නෝ කවුරුන්ද? ගලා යන ගඟක් හා ජීවිතය අතර බැඳීම අපට හුරු පුරුදු උපමාවක් සිහිගන්වන්නකි. සයුරක, ගඟක, ස්වභාවය, ජීවිත ස්වභාවය වැන්න.

තුන්වන කවිය

අවන්හලේ මඳ අඳුරට හුරු නෙතින්
මීවිත තොලගාමින් තෙපලන දනෙනී
බලනු මැනවි ගිලිහී යන ඔබ අතිනී
විත බිම වැඳ කැබැලි ව යන සැටිසැණින්

ජීවිතයේ අනිත්‍ය බව කියැවෙන මේ නිර්මාණයේ සංක්ෂිප්ත ගුණය ‍කැපී පෙනෙන අතර, අවන්හලකට ඒ අඳුරට හුරු නෙතින් මීවිත තොල ගාන දනන්ගෙ දසුනට හසු නොවූ සිදුවීමක් කවියා නෙතට හසුවේ. ඔවුන් අතින් ගිලිහී යන්නේ ජීවිතය නමැති මී බඳුනයි. එය බිම වැද සැණින් කැබලි වී ගොසිනි‍.‍ ජීවිතයේ අතිර බව සංකේතවත් කරනුයේ බිම වැද කැබැලිව ගිය මීවිතයි. මීවිත තොල ගාමින් තෙපලන දනන්ට එය නොපෙනේ. එහෙත් යථාර්ථය එයයි.

සිව්වන කවිය

විඩාපත් තණ බිම ඔබ මොබ යමින‍්
වැද නිදයි ගං ඉවුරේ ගොපල්ලා
පහළ රූටා ගොස් අත කෙවිට උන්
වැටී ගඟදිය මත ගසාගෙන යයි

මෙය අපූරු අත්දැකීමක් කවියට නැඟූ අවස්ථාවක් නොවන්නේද? විඩාපත් ගොපල්ලා තණබිම ඔබ මොබ යමින් ගං ඉවුරේ නින්දට වැටෙයි. ‍ඔහු අත පහළට ර‍ූටා ගොස් අතවූ කෙවිට ගඟ දියට වැටී ගඟ දිය මත ගසාගෙන යයි. තොටියාට හබල යම් සේද ගොපල්ලාට කෙවිටකින් තොර ජීවිතයක් නොවේ. ඉහත කවියෙන් නිරූපිත විඩාපත් ගොපල්ලා අතින් කෙවිට ගිලිහී ගොස් ගඟදියෙහි ගසාගෙන ගොසිනි. ඔහු එය නොදන්නවා විය යුතු ය. ඇහැරුණ කල, ඔහුගේ කෙවිටට අත් වූ ඉරණම පිළිබඳ කුමක් සිතෙනු ඇද්ද? කවියට ඇවැසිම වචන පමණක් තෝරා ගත් කවියෙකුගේ නිර්මාණයක සංක්ෂිප්ත ගුණය කෙතරම් ප්‍රබල ද යන්නට කදිම නිදසුනකි ඉහත කවිය.

පස්වන කවිය

බිත්තර කූඩය පුරවා
ගොවියා ගොවි පොළෙන් ඇදෙයි
කිකිළිය නිහඬ ව නිසල ව
බලා හිඳින්නී ඔහු දෙස

කුමක්ද කවියා මේ කෙටි කවියෙන් පවසන්නේ? බිත්තර කූඩය පුරවා ගත් ගොවියෙකු ගොවිපොළෙන් නික්ම යාමෙහි කුමන අපූර්වත්වයක්ද? එය සුලබ සිදුවීම කැයි සිතෙන්නට ඉඩ ඇත. එහෙත් මෙහිදී කවියා ගේ පරිකල්පනීය ගුණය මතු වීමෙන් නිරූපිත චරිතය ගෙස බැලීම වටී. බිත්තරවල හිමි කාරිත්වය සතුවන්නී කිකිළියට නොවේද? එහෙත් ඈ කුමක් කරන්නද නිහඬව නිසලව, තම සම්පත රැගෙන ඉවත යන්නා දෙස ‘බලා සිටිනු විනා’ දුකින් සිටිනා කිකිළියගේ චිත්තරූපය පාඨක සිතට දුකක් ගෙනෙන බව හැ‍ඟේ.‍ ජීවිතයේ ස්වභාවය ඒ යැයි සිතීම පමණි පාඨකයනට ඉතිරි වී ඇත්තේ. චන්දන ඉලන්දාරිගේ කවියා ගේ සංක්ෂිප්ත කවිය සිංහල කවියේ වෙසෙස් ලකුණක් සටහන් කර ඇතැයි සිතේ.

Comments