කවුද මේ සහරාන්? | Page 2 | සිළුමිණ

කවුද මේ සහරාන්?

සුනාමි ව්‍යසනයෙන් පසු විනාඩි කීපයක් අතරතුරුදී එකවර සිය ගණනකගේ ජීවිත විනාශ වූයේ පසුගිය 21 වැනිදා එල්ල වූ අති අමානුෂික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙනි. එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ලකර ඇති බවට වාර්තා වන්නේ ලෝකයටම පිළිලයක් වී තිබෙන අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ගෙන් පෝෂණය වන මෙරට අන්තවාදී කල්ලියක් වන ජාතික තවුහිද් ජමාඩ් (NTJ) සංවිධානයේ නායකයා ලෙස පෙනී සිටි මොහොමඩ් හෂිම් මොහොමඩ් සහරාන් හෙවත් සහරාන් හෂිම්ගේ නායකත්වයෙන් යුත් අන්තවාදී කණ්ඩායමක් විසිනි.

වහබ්වාදය ලෙසින් හඳුන්වන අන්තවාදය, අන්‍ය ආගම් මෙන්ම සංස්කෘතීන්වලට ගරහමින්, සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ටද තර්ජනයක්ව සිටින ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාඩ් නායකයා ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ දෙදෙනාගෙන් අයකු ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන ඇත.

එල්ලවූ ම්ලේච්ඡ ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකාරයා ලෙස ප්‍රහාරය එල්ලව විනාඩි ගණනකදීම අන්තර්ජාතික මාධ්‍යයද ඡායාරූපද පළකරමින් සහරාන් නමැත්තා ගැන මුලින්ම හෙළි කළේය. මෙරට පමණක් නොව ලෝකයේම අවධානයට ලක්වූ ම්ලේච්ඡ අපරාධකාරයකු ලෙස දැන් මුළු ලෝකයම ඔහු හඳුන්වයි.

සහරාන් ගැන මුලින්ම විශේෂයෙන්ම සමාජ ජාලා මාධ්‍යයන්හි කතාබහට ලක්වන්නෙ මීට දෙවසරකට පෙරදීය. ඒ 2017 මාර්තු 10 වැනිදා නැඟෙනහිර පළාතේ මඩකළපු දිස්ත්‍රික්කයේ කාතන්කුඩි ප්‍රදේශයේදී ඇතිවූ සාම්ප්‍රදායික මුස්ලිම් ජනයා අතර වූ ගැටුමක් නිසාය. එදින සිදුවී තිබුණේ කාතන්කුඩිහි සාම්ප්‍රදායික මුස්ලිම් ජනයාගේ පල්ලියක් ඉදිරිපිට සහරාන් ඇතුළු සගයන් වේදිකාවක් ගොඩනඟා දේශන මාලාවක් පවත්වමින් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් සමඟ ගැටුමක් ඇතිකරගැනීමයි. එහිදී සහරාන්ලාගේ පාර්ශ්වය එල්ල කළ පහරදීම් නිසා සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් බොහෝ දෙනෙකුට බරපතළ තුවාල සිදුවී තිබිණි. පසු දා කාතන්කුඩි වැසියන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි බසින් ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් සහරාන්ගේ රුව රැගත් පුවරු අතැතිව උද්ඝෝෂණය කරමින් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටියේ කඩිනමින් ඔහු අත්අඩංගුවට ගෙන රටට සිදුවන්නට යන විනාශය වළකාලන ලෙසයි. ඒ අනුව සහරාන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උසාවි නියෝගයක්ද ලැබිණි. එහෙත් සහරාන් පොලිසියට කට්ටි පනිමින් එදා සිට සැඟවුණු දිවියක් ගතකර තිබිණි. එහෙත් ඔහු සිය මුහුණුපොත මඟින් අන්තවාදී, ත්‍රස්තවාදී මත ප්‍රචාරය කරමින් සක්‍රීයව සිටි බව කාතන්කුඩි වැසියන් පමණක් නොව සහරාන් ගැන අවධානයෙන් සිටි සියලු මුස්ලිම් වැසියෝ දැන සිටියහ.

සියලු ප්‍රචාර දෙමළ බසින් සිදු කරමින් සහරාන් 2016 වර්ෂයේ සිට ලොව භයානකම සහ අමානුෂිකම ත්‍රස්ත සංවිධානය වන අයිඑස්අයිඑස් සංවිධානයට සහාය දක්වන මත ප්‍රචාරය කරමින් ජිහාද්වාදී සංකල්ප ඇතුළත් වීඩියෝ පටද සමාජ මාධ්‍යයන්ට යොමු කරමින් සැඟවුණු දිවියක් ගතකර ඇත.

අන්තවාදී මත ප්‍රචලිත කිරීම නිසා සහරාන් සමඟ කිසිදු සබඳතාවක් නොපැවැත්වූ බව සහරාන්ගේ සොහොයුරියක වන මදානියා හෂිම් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණාය. එසේම සහරාන් 2017 කාතන්කුඩි පහරදීමෙන් අනතුරුව පලා යාමෙන් අනතුරුව තම සංවිධානය සමඟ කිසිදු ලෙසකින් සබඳතාවක් නොපැවැත්වූ බව ජාතික තවුහිද් ජමාඩ් වර්තමාන නායකයා වන මවුලවි තවුෆික් නමැත්තාද මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

සහරාන්ගේ ක්‍රියා කලාපයේ තිබූ අන්තවාදී සහ ත්‍රස්තවාදී හැසිරීම නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඇතැම් මුස්ලිම් සංවිධාන මෙන්ම දේශපාලනඥයන්ද බොහෝ අවස්ථාවලදී ආරක්ෂක අංශවලට පවසා තිබිණි. එහෙත් වසර 2017 මාර්තු මාසයේ සිට සැඟවුණු දිවියක් ගත කළ සහරාන් නැවතත් කරළියට ආවේ මෙදා එල්ල වූ අමානුෂික ප්‍රහාරයත් සමඟිනි.

1975 වසරේ මඩකළපුව දිස්ත්‍රික්කයේ කාතන්කුඩිහිදී උපන් සහරාන්ගේ මවුපියන් වූයේ 55 හැවිරිදි ‍මොහොමඩ් හෂිම් සහ 50 හැවිරිදි අබ්දුල් කාදර් සමීමාය. එම පවුලේ දරුවන් පස්දෙනාගෙන් වැඩිමලා වූයේ සහරාන්ය. කාතන්කුඩිහි අරාබි විද්‍යාලයෙන් ඉගෙනීම ලැබු ඔහු 2007 වසරේ ඉන් ඉවත්ව පූජකවරයකු, මවුලවිවරයකු ලෙස අන්තවාදී අදහස් වපුරන දේශන පවත්වමින් සිය ගමන්මඟ ආරම්භ කර තිබේ.

2005 වසරේදී මෙරට බිහිවූ ශ්‍රී ලංකා තවුහිද් ජමාඩ් සංවිධාන හා සහරාන්ද එක්ව කටයුතු කර තිබිණි. පසුව එම සංවිධානය සමඟ ඇතිවූ මත ගැටුම් හේතුවෙන් ඉන් ඉවත්ව 2012 වසරේදී පමණ සහරාන් විසින් කාතන්කුඩි ප්‍රදේශය මූලික කරගෙන ජාතික තවුහිද් ජමාඩ් සංවිධානය බිහිකර ඇත. දැනටත් සාමාජිකයන් ඉතාම සීමිත ප්‍රමාණයක් සිටින එම සංවිධානය වෙනුවෙන් ඔහු එම ප්‍රදේශයේ පල්ලියක්ද ඉදිකර ඇති බවට වාර්තා වේ.

සහරාන් 2017 දී සිට සැඟවුණු දිවියක් ගත කරමින් අයිඑස්අයිඑස් සංවිධානය හා එක්ව කටයුතු කර ඇති බව ඔහුගේ මුහුණුපොතෙහි ඔහු විසින් පළකර තිබූ සටහන් සහ ජිහාද්වාදී රූපරාමුවලින් ගම්‍ය වන බව මුස්ලිම් සංවිධාන බොහොමයක් සනාථ කරයි.

කුරුණෑගල කැකුණුවල කාන්තාවක වූ 23 හැවිරිදි මොහොමඩ් හාදියා හා විවාහව සිටි සහරාන්ට අට හැවිරිදි පුතෙක් සහ සිවු හැවිරිදි දියණියක්ද වෙති.

මේ වන විට අතුරුදන්ව සිටින තිස් හැවිරිදි මොහොමඩ් ශෙයින් හෂිම්, සහරාන්ගේ සොහොයුරෙකි. 23 හැවිරිදි අබ්දුල් ගෆුර් අෆ්රින් සමඟ විවාහව සිටි ශෙයින්ට පස්හැවිරිදි සහ තෙහැවිරිදි දියණියන් දෙදෙනෙකි. සහරාන්ගේ මතය වපුරමින් සමාජයේ සැරිසැරු ශෙයින්ද භයානක පුද්ගලයකු ලෙස සැලැකේ. ඔහුට 28 හැවිරිදි මොහොමඩ් රිල්වාන්(28), මොහොමඩ් යෂීරා හෂිම්(20) සහ මොහොමඩ් මදානියා හෂිම් (25) නමින් සොහොයුරු සොහොයුරියෝ වෙති. ඒ සියලු දෙනාටම දූදරුවන් රැසක්ම සිටින බවට වාර්තා වේ. එසේම සහරාන්ගේ සොහොයුරිය මදානියා පසුගියදා මාධ්‍යයට කියා තිබුණේ තමා මවුපියන් බැලීමට පසුගිය 18 වැනිදා කාතන්කුඩිහි, ජාතික තවුහිද් ජමාඩ් පල්ලිය අසල තිබෙන මාපියන් විසූ නිවෙසට ගියද නිවෙසේ කිසිවෙක් නොසිටි බවයි. ඒ අනුව මේ වන විට සහරාන්ගේ දෙමවුපියන් ඇතුළු සහෝදර සහෝදරියන්ද අතුරුදන්ව සිටින බවට සැලවේ. එහෙත් මදානියා පවසන්නේ සහරාන් ඇතුළු අනෙකුත් සහෝදර සහෝදරියන් දැක්වූ අන්තවාදී සහ ත්‍රස්තවාදී අදහස් නිසා සිය සැමියා ඇයට ඔවුන් සමඟ කිසිදු සබඳතාවක් පැවැත්වීමට ඉඩ නොදුන් බවයි.

වහබ්වාදය පතුරවමින් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ට එක්ව සිරියාව හෝ ඉරාකයේදී මරාගෙන මැරෙන පුහුණුව ලබා ‘අබු උබෙයිඩා’ ලෙසින් අයිඑස් සංවිධානයෙන් අන්වර්ථ නාමයක් ලැබූ සහරාන් ඇතුළු ම්ලේච්ඡයන් එල්ල කළ ප්‍රහාරය අහස - පොළොව නුහුළන අපරාධයක් ලෙස මුළු ලොවම හඳුන්වයි.

Comments