කාගෙ කාගෙත් කවි රෝහිත විජ­ය­කෝන් | සිළුමිණ

කාගෙ කාගෙත් කවි රෝහිත විජ­ය­කෝන්

රෝහිත විජයකෝන්ගේ පළමු කාව්‍ය සංග්‍රහය නැණිල ප්‍රකාශනයකි (2019). සම්මත සිව්පද ආකෘතියෙන් මෙන් ම නිදහස් ආකෘතියෙන් ද රචනා ව‍ූ පද්‍ය නිර්මාණ එකතුව ‘පුරඟන කවිය, ලෙස ඔහු විසින් නම් කොට තිබේ. කාලීන සමාජ ප්‍රශ්න, සමාජ අසාධාරණයෙන් බැට කන, කවියාගේ සියුම් නිරීක්ෂණයට ලක් වූ චරිත හෝ, දුක් විඳින පන්තියේ චරිත කවියාගේ නිර්මාණ සඳහා විෂය වේ. ඔහුගේ කවියෙහි විශේෂත්වය ලෙස මා දකින්නේ නවීන ජීවිතානුභූතීන් තම නිර්මාණ සඳහා තෝරා ගැනීමට ඔහු තුළ ඇති කැමැත්තයි. ‘කාගෙ කාගෙත්, කවි පුරඟන කවිය පද්‍ය සංග්‍රහයෙහි හමු වන අපූරු රචනයකි. කවියට විෂය වී ඇති චරිත පහක් පිළිබඳ උත්ප්‍රාසය පිරුණු නව කවියක් නිර්මාණයට රෝහිත සමත්ව සිටින බව මෙම නිර්මාණය සාක්ෂි දරයි.

ගාමන්ට් කෙල්ලගෙ කවිය:

ඉරී ඉරී යන ජීවිතය

මහගන්ට වෙලාවක් නැත

අනුන්ට ඇඳුම් මහන්ට

වෙහෙසෙන බැවින

තොටියාගේ කවිය:

පෝයදාට පන්සලට ගොස්

බණ පදයක් අසා

පිනක් කර ගන්ට

වේලාවක් නැත

මෙගොඩ සිට

‍එගොඩ පන්සලට

‍උපාසක උපාසිකාවන්

ගෙන යන්ට ඇති බැවින

මල් කෙල්ලගෙ කවිය:

බුදුන් අබියස මලක් පුදා‍

ප්‍රාර්ථනාවක් කරගන්ට

වේලාවක් නැත

පන්සලට යන

උවැසි උවසුවන්ට

මල් විකුණන්ට

ඇති බැවින

යුද සෙබළාගේ කවිය:

තමන්ගේම කියා‍

ඉඩමක් ගෙන

ගෙයක් හදාගන්නට

වේලාවක් නැත

මුළු රටම බේරා ගැනීම‍

සඳහා

පෙරමුණේ - සටන් වැද

සිටින බැවින

ගණිකාවකගෙ කවිය:

මටම කියා

ස්වාමි පුරුෂයෙක්

සොයාගන්ට

වෙලාවක් නැත

මට බොහෝ දෙනා‍

පෙම් කරන බැවින්

මා උන්ට

පෙම් කළ යුතු බැවින...

අහඹු ලෙස වූවත් කවියා විසින් තෝරාගෙන ඇති ඉහත චරිත සියල්ල අප ජීවත්වන ජන සමාජයේ විවිධ ස්තර නියෝජනය කරන්නා වූ එහෙත් නෙක ජීවන ප්‍රශ්න විසින් ඔවුන්ගේ ජීවිත වටා පිරුණු අඳුර දක්නට ලැබෙන චරිතය. මධ්‍යම පන්තිය හෝ ඉහළ මධ්‍යම පන්තියට අයත් චරිත නොවන සියලු දෙනා ජීවිතය සමඟ ජීවත්වීමට අරගල කරනා, පොර බඳනා චරිත වේ. ඔවුන් සියලු දෙනාටම සාක්ෂාත් කරගත යුතු ජීවිත අපේක්ෂා වේ. කවියා ගේ පරිකල්පනයෙහි නිර්මාණශීලී ගුණය මතු වී පෙනෙන්නේ ඉහත චරිත විසින්, ජීවිතාපේක්ෂා ඉටු කරගැනීමේ දුෂ්කරතා ලෙස කාලය කෙසේ බලපාන්නේ ද යන්න විග්‍රහ කෙරෙන බැවිනි.‍ සංක්ෂිප්ත ගුණය මේ නිර්මාණයෙහි ප්‍රබල කාව්‍ය විධිය ලෙස භාවිත කරනු ලබන කවියා විසින් එකී චරිත අභ්‍යන්තරය විනිවිද දැකීමට සමත් වන්නේ කවියට උචිතම ප්‍රබලම කාව්‍යොක්ති හා රූපකාර්වන් බසක් තෝරාගැනීමෙනි. ගාමන්ට් ළඳුන් පිළිබඳ කොතෙක් කව් ගී ලියැවී ඇද්ද? කවියාගේ ගාමන්ට් ළඳගේ ජීවිතය ඉරි ඉරී යන්නකි. එය මසා ගන්නට වෙලාවක් නැත්තේ අනුන්ගේ ඉරී යන ජීවිත සඳහා ඇඳුම් මසන්නට ඇයට සිදුව ඇති බැවින්. උත්ප්‍රාසය මඟින් මතු කෙරෙන ව්‍යංග්‍යාර්ථය ගාමන්ට් කෙල්ලකගේ චරිතය පිළිබඳ පාඨක සිත දයාරදු ගුණයෙන් පුරවන්නකි.

තොටියාගේ කවිය මෙන් ම මල් කෙල්ලගේ කවියෙන් ද නිරූපිත චරිත හමුවේ ඇත්තේ අප අසා පුරුදු දන්නා ප්‍රශ්නයි. එහෙත් තොටියා ගේ චරිතයෙහි මෙන් ම මල් විකුණන දැරියගේ චරිතයෙහි ද විශේෂත්වය වන්නේ, ඔවුන්ගේ ජීවිතාශා ඉටු කරගැන්මට හරස් වන්නන්ගේ චරිත සතුව ඇත්තේ ද ඔවුන්ගේ ම ජීවිතාශා වන බැවිනි. තොටියාට මෙන්ම මල් විකුණන්නියට ද පෝයදාක පන්සලට ගොස් බණ පදයක් අසා බුදුන්ට මලක් පුදන්නට සිහිනයක් ඇති මුත් ඔවුන්ට ඊට ඉඩ නොලැබේ. ඔවුන් මල් රැගෙන පාරුවෙන් එගොඩට ගිය හොත් පෝදා පන්සල් යන්නන්ට බුදු පුදට මල් මිලට ගන්නන්ට අත්වන ඉරණම කුමක්ද? තොටියාගේ මෙන් ම මල් විකුණන්නියගේ ද පරිත්‍යාගය, ඔවුන‍්ගේම අරමුණු ඉටු කිරීම සඳහා නොවේද?

යුද සෙබළා මෙන් ම ගණිකාව ද වර්තමාන ජනජීවිතය තුළ අපට හමුවන සුපුරුදු චරිත වේ. කවියා විසින් නිරූපිත යුද සෙබළාට හිසට වහලක් නැත. ඔහුට ඊට ඉඩ හසරක් නොවේ. ඔහුගේ වගකීම, යුතුකම, පෞද්ගලික ජීවිත අරමුණකට වඩා වෙනස් ය, උදාර’ යැයි සිතේ. ඔහු පෙරමුණට ගොස් සටන් වදින්නේ සමස්ත ජනතාව වෙනුවෙනි. ඔහුගේ ආත්ම පරිත්‍යාගය ඔහු වටා ජීවත් වන සමස්ත ජන සමාජය වෙනුවෙනි. ගණිකාවගේ චරිතය ද බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා අත්දැකීම් වූ චරිතයකි. ඈ පිළිබඳ රචනා වූ කව්, ගී, කතා, නාටක බොහෝය. එබඳු පෙර නිර්මාණකරුවන් මෙන් ම නොවූවත් රෝහිත විජයකෝන් කවියා වෙනස් අයුරකින් ගණිකාවගේ චරිතය දෙස දයාර්දු බැල්මක් හෙළීමට උත්සාහ ගනී. ගැහැනියකගේ ජීවිතයේ විශාලතම සිහිනය වන්නේ තමන්ගේ ම කුටුම්බයක ජීවත් වීම බව නොරහසකි. ඒ සඳහා අවශ්‍ය අත්වැල සැපයෙන්නේ ඇය සමඟ ජීවත් වීමට එක්වන සහකරුවාගෙනි. එහෙත් කවියෙහි නිරූපිත චරිතයට ඊට ඉඩක් නොලැබේ. මිල මුදලට වුව බොහෝ දෙනා ඇයට පෙම් කරනා කල්හි, පෙරළා ඈ විසින් ඔවුනට ප්‍රේමය පූජා කළ යුතු වේ. එවන් මොහොතක, ඇයගේම කියා සන්තකයෙහි තබාගත හැකි ස්වාමි පුරුෂයකු සොයාගැනීමේ අසීරු බව පාඨකයනට දැනේ. ජීවිතයේ ඇතැම් අවස්ථා සඳහා මුහුණ පානා කල්හි එම චරිත අතර වන ප්‍රතිවිරෝධතා අතුරින් තම අරමුණ ඉටු කරගැනීමට ගත් උත්සාහය අපූරුවට පෙනේ.

Comments