අදට (24) යෙදෙන දේවා­නන්ද වෛද්‍ය­සේ­ක­රගේ 85 වැනි ජන්ම දිනය වෙනු­වෙනි | සිළුමිණ

අදට (24) යෙදෙන දේවා­නන්ද වෛද්‍ය­සේ­ක­රගේ 85 වැනි ජන්ම දිනය වෙනු­වෙනි

මාතර පාරම්පරික රාජකීය වෙද පරපුරකින් පැවත ආ එරබද්දෙගොඩ දොන් පිලිප්පු වෛද්‍යසේකර ආයුර්වේද වෛදවරයා තම පස් වන පුතණුවන් බටහිර වෛද්‍යවරයකු කිරීමට සිහින මැව්වේය. එහෙත් පුතා කුඩා කල සිට ම සංගීතයට ආදරය කළේය. කෙදින හෝ සංගීතඥයකු වීමට ය; ඔහු සිහින මැව්වේ. ඔහු පසු කලෙක සිංහල සුභාවික ගීතයේ කුසලතා දැක් වූ විශිෂ්ට ගණයේ ගායකයෙක් විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ඔහු ගැයූ ගීත අතළොස්ස ද නොමැකෙන මං සලකුණු විය.

ඔහු නමින් ඔහු දේවානන්ද වෛද්‍යසේකර ය.

අදින් හරියට අවුරුදු 85කට පෙර 1934 මාර්තු 23 වැනි දා මහනුවර දී උපත ලැබූ එරබද්දේගොඩගේ දොන් ධර්මසේන වෛද්‍යසේකරගේ මව වූයේ මහනුවර පල්ලියමුල්ලේ සීලවතී මැණිකේය.

“එකොළොස් දෙනෙකුගෙන් යුත් දරු පවුලක මම නම වෙනියා. අද ජීවත් වෙන්නේ නව දෙනයි. මට අයියලා තුන්දෙනෙකුයි, අක්කලා දෙදෙනෙකුයි, නංගිලා තුන් දෙනෙක් හිටියා. මෙයින් කලාවට සම්බන්ධ වුණේ එක අයියා කෙනෙක් විතරයි. එයා විමල් වෛද්‍යසේකර. “තරංගා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විමල් අයියා අද කැනඩ‍ාවේ පදිංචි වෙලා ඉන්නේ.” ඔහු අතීතයට යොමු වෙමින් කීවේය. මහනුවර පේරාදෙණියේ අමරවංශ මාවතේ නි‍ෙවසේ වෛද්‍යසේකරයෛා් නිතිපතා වෙදකම් කරමින් සතුටින් ජීවිතය ගත කරති.

මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ මූලික අධ්‍යාපනය ලබා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ද්විතීය අධ්‍යාපනය ලැබූ ඔහු ඇලුම් කළේ පෙරදිග සංගීතයට ය. එහෙත් බටහිර සංගීතය මුල් තැනක් දුන් කිංස්වුඩ් විද්‍යාලයේ බටහිර සංගීතය නිසා ඔහු තනිවම සංගීතය ඉගෙනීමට උත්සාහ ගත්තේය. කුඩා කල සිටම දේවානන්ද හින්දි චිත්‍රපට ලෝලයෙක් විය.

“මහනුවර වෙම්බ්ලි සිනමාහලේ තිරගත වූ “බර්සාත්” චිත්‍රපටය නරඹලා කොයිතරම් එහි ගීතවලට අදාරය කළා ද කිව්වොත් ඒ චිත්‍රපටයේ ගීත එන වේලාවල් දන්න නිසා සිනමාහලේ දොර අසලට ගිහින් කන්දීගෙන ඉඳලා රසවිඳිනවා. මොකද? චිත්‍රපටය නැවත බලන්න සල්ලි නැති හින්දා. මම මහනුවර සිට කොළඹ ආවා වැඩිදුර ඉගෙන ගන්න පෙම්රොක් විද්‍යාලයට. එහිදී පන්ති සගයකු වූ මහනුවර ම පසු කලෙක ගායකයකු ලෙස ප්‍රකට වූ ටියුඩර් කඳන ආරච්චි මාව සංගීතය පැත්තට යොමු කළා.

මේ අතර මස්සිනා (ඊ.ඒ. ජයනෙත්ති ලොකු අක්කගේ සැමියා) මගේ සංගීතයට ඇති උනන්දුව දැක සංගීත සාජ්ජ බලන්න එක්කන් ගියා. දක්ෂ තබ්ලා වාදකයකු මගේ මස්සිනා රූපසිංහ මාස්ටර් ප්‍රවීණ තබ්ලා පොඩි අප්පුහාමි (ප්‍රවීණ ගායක මිල්ටන් පෙරේරාගේ පියා) ගෙන් මස්සිනා සංගීතය හදාරා තිබුණා. ඔහුගේ මඟ පෙන්වීම නිසා මට සංගීතඥ එම්.ජී. සුගතදාසයන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණා. ඒ මහතාගේ “සරසවි කලායතනයට” සම්බන්ධ වීම නිසා සිතාරය, වයලීනය, එස්රාජය, තබ්ලාව හා රාගධාර සංගීතය හැදෑරීමට අවස්ථාව ලැබුණා.” විමල් වෛද්‍යසේකර තම කලා ජීවිතයේ ආරම්භය ගැන සඳහන් කරමින් කීවේය.

තම මස්සිනාගේ මාර්ගයෙන් ගුවන් විදුලියේ සංගීත අංශයේ පී. ඩන්ස්ටන් ද සිල්වා හමු වී 1953 පණඩිත් රතන ජන්කර් පඬිතුමාගේ පරීක්ෂණය ඉදිරිපත් වූ පහළොස් හැවිරිදි එකම තරුණයා වෛද්‍යසේකර ය. සී ශ්‍රේණියෙන් සමත් වෛද්‍යසේකරට “මාසික රැඟුම” ප්‍රසංගයේ ගීතයක් ගැයීමට අවස්ථාවක් ලැබිණ. එම ගීතය රචනා කර දුන්නේ සංගීතඥ එම්.ජී.සුගතදාසන්ය. මෙහි විශේෂය නම් මේ ගීතයේ තනුව නිර්මාණය කළේ මේ ළාබාල ගායක වෛද්‍යසේකරයන් වීම ය. ඔහු ඉන්පසු ‘නව මිහිර’ , ‘රස දහර’ සංගීත වැඩසටහන්වලින් තම ප්‍රතිභාව විදහා පෑවේ ය.

“මගේ සරල ගී වැඩ සටහනට මට අවශ්‍ය වුණා කරුණාරත්න අබේසේකරයන් ලවා ගීතයක් ලියවා ගන්න. දවසක් ගුවන් විදුලියේ කොරිඩෝව දි‍ගේ කරු ඇවිදගෙන එනවා. මට ඔහුට අත්පොළොසන් දී කතා කළා. ඔහු නැවතුනා. මම ඔහු වෙත ගියා.

“කරු, මගේ සරල ගී වැඩසටහනට ගීතයක් ලියලා දෙන්න.” මම කිව්වා.

ඔහු මගේ අතින් අල්ලාගෙන 10 වැනි මැදිරියට එක්ක ගියා.

“දේවානන්ද‍ගේ ගම කොහේද?”

‘මහනුවර....’

එහෙනං ලස්සන මැණිකෙලා ඇති නේද?”

“මම හිනා වුණා. කරු මැදිරියේ තියෙන ලොකු පියානෝව උඩ තියාගෙන ගීතයක් ලිව්වා.

“මේක යුග ගීතයක්...”

කරු සිනාවෙමින් කඩදාසි මා අත තබා ගියා. මම මේ ගීතයට තනුවක් ගැන සිතමින් ඉන්න වේලාවක මගේ මිත්‍රයෝ කිහිප දෙනෙක් එක් නුවර පීල්ලට ගියා නාන්න. රිදී ජල ධාරාවෙන් හිසට දැනෙන විට තනුව ඉබේම මැවුණා. මේ ගීතය මම ගැයුවේ මාලා නන්දනී පෙරේරා සමඟ. ඒ කාලේ ඇය ජනප්‍රිය ගායිකාවක්. ඇය හා විල්ප්‍රඩ් පෙරේරා “තනියම ඇයි මේ වනේ” ගීතයට මම ප්‍රිය කළා. මම හිතුවා මගේ ගීතයේ සහාය ගායිකාවට ඇය තෝරා ගන්න. ඇය මෑතක මිය ගියා. මේ ගීතය එදා අතිශයින්ම ජනප්‍රිය ගීතයක්. මගේ තනුවක්.”

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා

කලයේ දිය නෑ - ළිපට දර නෑ

මඟ ඇති අම්මා බලා

ඔ‍හොම පිටු පා ඒ දවස්වල

කිසිම දුක දී නැහැ ග‍ියෙ

ඔය නෝක්කඩු කියන බව

ඔබ දන්නවා නම් ප්‍රියේ

ළඟදි ඉඳලා වෙනස් වීලා

මගේ මැණිකේ මා කෙරේ

සත්තකට නෑ ඇත්තමයි සුදා

ඒ වගේමයි ආදරේ

දේවානන්ද වෛද්‍යසේකර දැන ගුවන්විදුලි ගායකයකු ලෙස ප්‍රකටය. අලුත් ගීත රචනා තෝරා ගැනීමේ දී තමා ඉගෙන ගත් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙනීම ලැබූ වැඩිහිටි ශිෂ්‍යයෙකු සිහිපත් විය. ඔහු කවියකු ලෙස ද එකල විද්‍යාලයේ කැපී පෙනුණේය. ඔහුගේ නම මඩවල එස්. රත්නායකය. දිනක් ඔහු හමුවීමට මම එකල නවාතැන් ගෙන සිටි බොරැල්ලේ වයි.එම්.බී. ඒ. ශාලාවේ බෝඩිමට ගියා.

“මඩේ, මට හොඳ ගීතයක් ලියලා දෙනවද?”

“මම ලියපු කවි පොතක් තියෙනවා. ඒ පොතෙන් ගීතයකට සුදුසු එකක් තෝරා ගන්න” මඩවල තමා අතින් ලියූ කවි පොත මා අත තැබුවා.

නීල නුවන් මහනෙල් මල්

ඇයගේ වත පුන් සඳ වෙයි

ගමනින් නා ලිය පරදන

ටිකිරිලියා ටිකිරිලියා

කළෙත් අරන් ළිඳට ගියා

කියඹුලතා නළලෙ වැදී

නව රසයක් මුහුණෙ සැදේ

කොමළ පාද තියා තියා

ටිකිරිලියා ටිකිරිලියා

කළෙත් අරන් ළිඳට ගියා

හිරු පිබිදෙයි ඔබ දකිමින්

මුළු ගම රසවෙයි මිහිරෙන්

විහඟ ගීත ගමේ සඳා

ටිකිරි ලියා ටිකිරි ලියා

කළෙත් අරන් ළිඳට ගියා

උදනක්කේ වතුර සොයා

ටිකිරිලියා ටිකිරිලියා

කළෙත් අරන් ළිඳට ගියා

ළිඳ වට කර කබර ගොයා

කකුල කාපි දිය බරියා

මේ ගීතය කොතරම් ගුවන් විදුලියේ 1960 දශකයේ ජනප්‍රිය වී ද යත් “අසන්නන් කැමති ගීතයට” වැඩිම තැපැල්පත් ලැබුණු ගීත වීලු.

“ටිකිරිලියා” ගීතය ජනප්‍රිය වූ පසු මඩවල එස්. රත්නායක තවත් ගීතයක් වෛද්‍යසේකරට ලියා දුන්නේය. ඒ ගීතය තනුව යොදා ඔහු ගැයුවේ චන්ද්‍රානී රුද්‍රිගු (ගුණවර්ධන) සමඟ ය.

“සඳ පායා සිනා සී

ඔබගෙ මුහුණේ උදා වී

රස පෑරූ ගමේ

මනහාරි මගේ

මනහාරි මගේ මැණිකේ

ඔබ ඊයේ සැදෑවේ - ගැයු

පැල් කවියේ රාවේ

තව මහදේ රැඳී- රසපෑරී

නැගී රස පෑරි නැ‍ඟේ සුහදේ

හේනේ කුරක්කන්

සුළ‍‍ඟේ සැලෙද්දී ඔබගෙ

මුහුණේ සොබා මැවුණා

සේදී සේදී ගොස් පාළුවට රජ වූ

මා හද රසයෙන් පිරුණා

හඳ පායා...

මේ කාලය තුළ දේවානන්ද ගුවන් විදුලියේ A ශ්‍රේණියේ ගායකයෙකු ලෙස සමත් වීය. ඩන්ස්ටන් ද සිල්වා, එඩ්වින් සමරදිවාකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විසින් විවිධ නිර්මාණය කොට නිෂ්පාදනය කරන ලද වැඩසටහන්වල ඔහුට ගී ගැයීමට අවස්ථාව ලැබුණු අතර ඔහු සමඟ ඉන්ද්‍රානි විජේබණ්ඩාර, වජිරා බාලසූරිය, ෆිම්රෝස් ජයසිංහ, දයාරත්න රණතුංග, අමරා රණතුංග, මිල්ටන් ලියනගේ, පියසිරි විජේරත්න සහභාගි වී තිබුණි. මේ ගීතවල සංගීත නිර්මාණය සඳහා ඩබ්ලිව්. ඇ‍ෆ්. විමලසිරි හා දේවානන්ද වෛද්‍යසේකර ද දායක වූහ.

මඩවල එස්. රත්නායකගේ තවත් ගීතයක් තනුව නිර්මාණය කර චන්ද්‍රානි රුද්‍රිගු (පසුව ගුණවර්ධන) සමඟ ගැයුහ.

“හඳ පායා සිනා සී

ඔබගෙ මුහුණේ උදා වී

රස පෑරූ ගමේ -

මනහාරි මගේ

මනහාරි මගේ මැණිකේ

හඳ පායා

ඔබ ඊයේ සැඳැවේ

ගැයූ පැල් කවියේ රාවේ

තව මහදේ රැඳී - රසපෑරී

නැගි රස පෑරී නැ‍ඟේ සුහදේ

හේනේ කුරක්කන්

සුළ‍ඟේ සැලෙද්දී - ඔබගෙ

මුහුණේ සොබා මැවුණා

සේදී සේදී ගොස් පාළුවට රජ වූ

විමල් අභයසුන්දරයන් රචනය කළ තවත් ගීතයක් දේවානන්ද හා ඉන්ද්‍රානි විජේබණ්ඩාර සමඟ ගයා ඇති. ගුවන් විදුලියේ අතිශයින් ම ජනප්‍රිය වූ ඒ ගීතයේ තනු නිර්මාණය ද දේවානන්දගෙනි.

පෙම් මදිරාවේ රන් කුසලානේ

මදු මධු මාලා

උන්මාදනියේ රූ රජ දහනේ

සක්විති මගේ අභිසෙස් ලබමු

මගේ ගා‍ෙන්

පුන් සඳ පානේ මල්පෙතියානේ

නැළවෙමු නැළවෙමු

සුහදින් එක් වී

එක්ටැම් ගෙය නොපෙනේවි

නෙත් ගුණ රූබර චිත්‍රා සුර රන් පරයා

ඔබ ජය ගත්තා

ජය පැන් බොමු රෑ යාමේ

මයලන් හට හෝ මා පුතු නිසිනා

උල්කාපාතය වන සැටි දනිමි

ඔහු රැකි ගත යුතු වන්නේ

දිවි වුව පුද දී සැනසිලි ගෙනදි

රැක ගන්නෙමි මං යහතින් ම පුතු

සොඳුරිය බිය ‍ෙනාවන්න

1961 දී පමණ දේවානන්ද තම වැඩිමහල් අයියා විමල් වෛද්‍යසේකර සමඟ “කලා පෙළට” බැඳුණි. කලා පෙළ මඟින් ජී.ඩී.එල්. පෙ‍ෙර්රා අධ්‍යක්ෂණය කළ “සාමා” චිත්‍රපටයට සම්බන්ධ වූ මේ දෙසොහොයුරෝ ඉඩමක් විකුණා ඒ චිත්‍රපටයට උදව් කළහ. එක් අයෙක් කාර් එකක් විකුණා මුදල් දුන්නේය. “සාමා” චිත්‍රපටයේ එන ගීතයක් ගැයීමේ අවස්ථාව දේවානන්දට හිමි විය. එ් ගීතයේ රචනය සඳහා නවකයෙකු තමාම තෝරා ගන්නා බව දේවානන්ද කීවේය. එපමණක් නොව එහි තමා විසින්ම නිර්මාණය කරන බව ඔහු කියා සිටියේය.

“සාමා චිත්‍රපටයේ ප්‍රධාන කතානායිකාව වූ සාමාවතී දිවි නසා ගෙන මිය ගොස් අන්තිම ගමන යන අවස්ථාවක් ඒ. මට එකවරටම මතකයට ආවේ ආයුර්වේද විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි දක්ෂ කවියෙක්. මම ඔහු හමුවෙන්න ගියා.

“බණ්ඩාර චිත්‍රපටයක ගීතයක් ලියමු ද?”

“මොනවා! චිත්‍රපටයකට. සරල ගීයකටවත් ගීතයක් නොලියපු මම...?”

“ඔබ් බණ්ඩාරට පුළුවනි. මම තනුව යොදන්නම්.”

“හොඳා, ලියමු.”

මම අදහස කිව්වා. බණ්ඩාර ලිව්වා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාරගේ පළමුවැනි චිත්‍රපට ගීතය ඒ.

“ආශා දෑසින් දකිනා සිහිනේ

මිහිර මැකී යනවා

ඒ සිහිනේ පුතු තනිකම ‍ඉපදී

හද තුළ තෙරපෙනවා

ආ මඟ දෑලේ පිපි මල් වී

නෑ පල හට ගන්නේ

සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳි

උන්මය රිදවන්නේ

ආශා දෑසින් පැතුමේ වරයට

ගිලිහී බිම වැටිලා

දෛවයෙ ගොනු ඇද ජීවන ගැලගෙන

ඈ මඟ දිග යනවා

ඈත අතීතයෙ සිහින මැදින් යළි

ජීවනයට යනවා”

“මම මුලින් ම චිත්‍රපටයක ගීත ගැයුවේ “සාමා” චිත්‍රපටයෙන් නොවේ. මගේ මිත්‍ර චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ ෂෙල්ටන් ප්‍රේමරත්න මාව සිරිසේන විමලවීර මාස්ටර්ට හඳුන්වා දුන්නා. මගේ ගීත අහල තිබුණ විමලවීර මාස්ටර් තමා අධ්‍යක්ෂණය කරමින් සිටි “මා ආලය කළ තරුණිය” චිත්‍රපටයේ ‍ෙත්මා ගීතය ගැයීමට අවස්ථාව දුන්නා. මේ 1958 වසරේ. ගීතය ලියලා දුන්න විමලවීර මාස්ටර් ෂෙල්ටන්ට කිව්වා තනුවක් හදන්න කියලා. කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයේ පටිගත වුණේ. මේ ඒ ගීතය. සහාය ගායනය දයා නෙල්ලම්පිටිය.”

“ඈත පිටිසර මහ කැලෑවක

ගහක අතු කොළ රිකිලි දාලා

තරුණ වයසට එළඹි ඒ ගස

නටන්නට වනි ඔමරි පාලා

ඒ අසල සිටි හාතවාරිය

වැලක් ඒ ගහ දිහා බලලා

කලක් ගත වුණි වැලක් බේරුණි

මුළු ගස ම දැන් වැලේ පැටළුණි

එයින් තෘප්තිය නො ලත් ඒ වැල

අසල තිබී තව ගසක් හමු වුණි

සිවු සැටක් මායම් දමා

ඒ ගහෙත් වැල පැටළුණා

කොහේ ඉඳල ද කවුරු එවුවද

නොදත් සුළඟක් කොහේන් ආව ද

ගස් දෙක ම බිම පෙරළුවා

වැල කැඩී සුළඟට ගියා

මෙහි ගේය පද සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ සිංහල චිත්‍රපට ගීතාවලිය (1957 – 1961) කෘතියෙන් උපුටා ගන්නා ලදි.

දේවානන්ද වෛද්‍යසේකර 1964 වසරේ කල්කටා වෛද්‍ය විද්‍යාලයට ගොස් වසර 7ක් ඉගෙන හෝමියෝපති විශේෂඥයෙකු ලෙස සමත්ව අද වනතුරු බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කරයි.

ඒ අතරතුර ජී.ඩී.එල්. පෙරේරා අධ්‍යක්ෂණය කළ “දහසක් සිතුවිලි” චිත්‍රපටයේ ගැයූ සතුටු ගීතය තවත් සාදවලදී අනිවාර්ය ගීතයක් ‍වී ඇත. මේ ගී‍තයෙන් ඔහු අලුත් ගීත රචකයකු හඳුන්වා දුන්නේය. ඔහුගේ නම නිමල් වික්‍රමසේකරය. එහි තනුව නිර්මාණ්‍ය කළේ මෑත දී මියගිය ජයතිස්ස අලහකොන් ය.

“සතුට විලයි සැපත විලයි

නෙළුවොත් මල අතින් එකයි

පමාවුණොත් මල පරවෙයි

ඉරට යටින් හඳට යටින්

කාලය පැන යනවා

මල හීයට ඇයි අඬන්නේ

මොකටද හෙට ගැන හිතන්නේ

කඳුළයි ඉකියයි ඇයි පිළිගන්නේ

සිනාව ආව ම කොතනද ඉන්නේ

මල් කෙමියේ රස තියෙන්නේ

ජීවිතයේ රස තියෙන්නේ

“මම චිත්‍රපට ගීත රචනයට හඳුන්වා දුන් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර හා නිමල් වික්‍රමසේකර අද ජීවතුන් අතර නැහැ.” ඔහු වේදනාවෙන් කීවේ ය.

දේවානන්දගේ බිරිය මානෙල් වෛද්‍යසේකර මහත්මිය කලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජයවර්ධන ශාලාවේ (කාන්තා) ශාලාධිපතිනිය ලෙස සේවය කළාය. ඇය මහාචාර්ය සඳගෝමි කෝපරහේවා ගේ පුංචි අම්මා ය.

1991 වසරේ දේවානන්ද වෛද්‍යසේකර ‘නීල නුවන්’ ගී කැසට් පටයක් නිකුත් කළේය. එහි නව සංගීත නිර්මාණය කළේ රෝහණ වීරසිංහ විසිනි. ඔහු සමඟ මුල් ගීත ගැයූ ගායිකාවන් යුග ගී ගැයීම ද මෙහි විශේෂයකි. මෙහි ඔහු ඉන්ද්‍රානි පෙරේරා සමඟ “තරංගා” චිත්‍රපටයට ගැයූ අමරදේවයන් තනුව නිර්මාණය කළ ධර්මසිරි ගමගේ ගැයූ ගීත තමා අවසන් වරට ගැයූ චිත්‍රපට ගීතයය බව පවසයි.

පවන් සුසුම් දැලින් වෙළී

ශෘංගාර රාවේ නොසංගා

නුවන් කොනින් සුපෙම් හැඟුම්

නින්නාද නැංවූ තරංගා

කුසුම් ළඳුන් බිඟුන් මුවින්

අනුරාග පෙම් රාව නංගා

ප්‍රසන්න වැව් කෙරේ නැ‍ඟේ

සංයෝග පෙම් ගී තරංගා

මේ සීත වරුසාව නිල් වැව් තලාවේ

අනුරාග හෝරාව එළඹී තියේ‍

ළං වී සිනාසෙන්න මුව මී උරා බොන්න

අභිෂේක යාමේ උදා වී තිබේ

දේවානන්ද වෛද්‍යසේකර ගේ පුතුන් නදීන් හා ප්‍රවීන් දෙදෙනා ම මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇත. නදීන් ජර්මන් නාවික සමාගමක ප්‍රධාන ඉංජිනේරුවෙකි. ප්‍රවීන් බ්‍රිතාන්‍ය නාවික නැවක කපිතාන්වරයෙකි.

පේරාදෙණියේ අමරවංශ පෙදෙසේ අංක 13/9/c නිවසේ සිය බිරිය සමඟ සැඳෑ සමය ගත කරමින් තවමත් රෝගීන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෙදැදුරු ජ්‍යෙෂ්ඨ ගාන්ධර්ව ගායන ශිල්පියාට දිගාසිරි පතමු.

Comments