කැලේ වවන හමුදා මෙහෙයුම | සිළුමිණ

කැලේ වවන හමුදා මෙහෙයුම

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිළිබඳව සටහන් තැබීමේදී අ‍පගේ මතකයට එක්වරම නැගෙන්නේ කපීර්, මිග්, එම්.අයි‍. 24 වැනි යානා පිළිබඳවය.

එසේම යුද්ධය පැවැති සමයේ අසාමාන්‍ය ගුවන් ඉලක්ක ඉතා සාර්ථකව ලබා ගනිමින් ලෝකයම පුදුම කළ ගුවන් විරුවන් මානුෂීය මෙහෙයුමේදී ඒ සඳහා දැවැන්ත සහයෝගයක් ලබාදුන්හ.

මේ වනවිට ගුවන් හමුදාව උතුරේ ජනතාව සමඟ එක්වෙමින් සංහිදියාව ඇති කිරීම සඳහා ක්‍රීඩා ඇතුළු නොයෙක් අංශ ඔස්සේ වැඩසටහන් රාශියක් ක්‍රියත්මක කරමින් සිටිති.

එලෙසම ගුවන් හමුදාව විසින් ඉකුත් දෙසැම්බර් 12 වැනිදා නව ව්‍යාපෘතියක් ආරම්භ කරනකු ලැබීය. එය ගුවන් හමුදාව මෙතෙක් ආරම්භ කළ ව්‍යාපෘතිවලින් අනාගතය සඳහා විශාල පිටුවහලක් මෙන් ම ලෝකයාගේ අවධානය නැවත වතාවක් දිනාගැනීමට සමත්වනු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ වන ආවරණය වැඩිකිරීමේ අරමුණක් යුතුව ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට ගුවනින් බීජ ඉස වනාන්තර වැවීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

මෙම සුවිශේෂ අවස්ථාව සඳහා තවත් ආයතන කිහිපයක් ගුවන් හමුදාව වෙත සහය ලබා දෙමින් අත්වැල් බැඳගෙන ඇත.

මෙය ක්‍රියාත්මක කිරීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, හා මාස් හෝල්ඩීන්ග්ස් පෞද්ගලික සමාගම එක්ව සිටිති.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන වර්ෂ 2030 වනවිට හරින ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීම සඳහා මේ මගින් විශාල දායකත්වයක් ලබාදීම සිය බලාපොරොත්තු බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා පවසයි.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන ප්‍රථමයෙන් පරීක්ෂණ මට්ටමින් අනුරාධපුර රනෝරාව රක්ෂිත වනාන්තරයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ආරම්භ කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් මෙම වනාන්තරයේ අක්කර පහක භූමි ප්‍රමාණය සඳහා බීජ 5000 ක් පමණ පොළවට ඉසීම සිදු කළේය.

අංක 06 වැනි හෙළිකොප්ටර් බලඝනය අයත් බීජ රැගත් හෙළිකොප්ටර් යානාව එහි අණදෙන නිලධාරි එන්.ටී.පී‍. ප්‍රනාන්දු සහ සහයක නියමු ස්කොඩ්‍රන් ලීඩර් එම්. එන්‍. ද සිල්වා සමඟ එක්ව දෙසැම්බර් 12 වැනිදා උදෑසන 9.00 ට පමණ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් සැතපුම් 13 ක් පමණ දුරට ගොස් මෙම බීජ ඉසීම ආරම්භ කළේ ය.

එය සාර්ථකව සිදු කෙරෙනවාද යන්න පිළිබඳව ගුවනේ සිට විධායක කෘෂි නිලධාරි ගෲප් කපිතාන් ඩී.ඒ.එස්.එස්. ප්‍රනාන්දු මහතා අධීක්ෂණය කළේය.

බීජ සකස් කිරීම මාස්හෝල්ඩින්ස් ආයතනය විසින් සිදුකර ඇති අතර එය ගුවනේ සිට විදීමට සිදු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

බීජවලට කිසිදු හානියක් නොවී එම බීජ පොළවට පතිත කළ බවත් ඒ සඳහා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානාවලට ආවේණික ක්‍රමයක් භාවිතා කළ බවත් සෙනෙවිරත්න මහතා අවධාරණය කළේ ය.

මෙම බීජවලට ඒවා වේගයෙන් වැඩීම සඳහා අවශ්‍ය කාබනික අංග එක්කර බීජ පැළවීම සඳහා අවශ්‍ය ස්වාභාවික කාබනික ද්‍රව්‍ය ඇතුළත් කළ මැටි මිශ්‍රණයක් ද එකතු කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

කුඹුක්, කරද සහ වීර යන ශාක බීජ මෙහිදී ප්‍රථමයෙන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ගුවන් හමුදාව විසින් වනාන්තරයට හෙලන ලද ප්‍රථම බීජ 5000 ට මෙම ශාක වර්ගවල බීජ ඇතුළත් කර තිබේ.

විශේෂයෙන් ම වියළි කලාපය තෝරාගෙන ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිසා වියළි කලාපයට අයත් ශාක මෙලෙස යොදා ගැනීම ඉතා සාර්ථක එකක් බවට පත්වනු ඇතැයි ව්‍යාපෘතිය භාර නිලධාරියෙක් ‘සිළුමිණ’ ට පැවසීය.

ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් දැනට කරගෙන යන මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය අධීක්ෂණය කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

දැනට බීජ ඉසින ලද ස්ථානවලට ගුවන් හමුදා කෘෂි ඒකකයේ නිලධාරීන් කණ්ඩායම් ගොස් අධීක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.

මේ ක්‍රමය සාර්ථක වුවහොත් කඳු මුදුන්, කඳු බෑවුම් වල පැළෑටි ඇතුළු ශාක වර්ග වැඩීම වේගවත් කළ හැකි බව ගුවන් හමුදාව පෙන්වා දෙයි.

විශේෂයෙන් ම සාමාන්‍ය ජනතාවට ළඟා වීමට නොහැකි භූ විෂමතාවයෙන් යුත් ස්ථානවල රෝපණය කිරීම් හෙලිකොප්ටර් ආධාරයෙන් සිදු කළ හැකි බව ද ගුවන් හමුදාව සඳහන් කරයි.

මේ ව්‍යාපෘතිය ඉතා හොඳ ක්‍රියාවලියක් හැටියට මා දකිනවා. හැබැයි මෙහි සැබෑ ප්‍රතිඵල ලබා ගැනීමට නම් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් පර්යේෂණ සිදු කළ යුතු යැයි වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් අනුර හතුරුසිංහ මහතා අප කළ විමසුමට පිළිතුරු දෙමින් පැවසීය.

Comments