මීමුරේදී කෙළවර වූ කුඩු ශාන්තගේ හැංගිමුත්තම | සිළුමිණ

මීමුරේදී කෙළවර වූ කුඩු ශාන්තගේ හැංගිමුත්තම

බන්ධනාගාරගතව සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරීන්ගේ ඇස්වලට වැලි ගසා පලා ගිය පුවතක් නිසා පසුගිය දින කීපයේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිවිණි.

එම නිසා සිරකරුවා බාරව සිටි කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් අටදෙනෙකුගේ සේවය අත්හිටුවීමක්ද සිදුවූයේය.

එම සිරකරුවා බරපතළ ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකි. නම සුනිල් ශාන්ත හෙවත් අජිත් වීරසිංහය. ඔහු ඉකුත් නොවැම්බර් 17 වැනිදා කෑගල්ල බන්ධනාගාරයේ සිට 19 වැනිදා මතුගම අධිකරණයේ පැවැත්වීමට තිබූ නඩුවක් වෙනුවෙන් කළුතර බන්ධනාගාරය වෙතට රැගෙන යමින් සිටියේය.

එදින වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ අපරාධකරුවා ඒ අවස්ථාවේ කළුතර බන්ධනාගාර නිලධාරීන්ට බාර දීමට නියමිතව තිබිණි.

එහෙත් කළුතර බන්ධනාගාර නිලධාරීන් සේ වෙස්ගෙන බන්ධනාගාර නිලධාරී නිල ඇඳුම් ලා සිටි ශාන්තගේ සහචරයන් පිරිසක් විසින් කෑගල්ලේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් බන්ධනාගාර රෝහල අසලදී ශාන්තව බාරගෙන කළුතර බන්ධනාගාරයට රැගෙන යන බව පවසා තිබුණේය. එහෙත් පසුව බන්ධනාගාරය අසල බේස්ලයින් මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයකට නංවාගෙන ශාන්ත ඇතුළු පිරිස පලා ගියේය. එලෙස ශාන්තගේ පලා යාම අවසානයේ බන්ධනාගාර නිලධාරින්ටද ප්‍රහේලිකාවක් වූයේය. ඒ ඔහු පැන ගිය ආකාරය ඔවුන්ද නොදැන සිටි නිසාය. ශාන්ත පලා ගිය බව ඒත්තු ගියේ කළුතර බන්ධනාගාර නිලධාරින් විසින් පසු දින කෑගල්ල නිලධාරින්ගෙන් සිරකරුවා ගැන විමසූ විටය.

මෙලෙස පැන ගිය සිරකරුවා සෙවීම බාර කෙරුණේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාගේ මෙහෙයවීමෙන් යුත් සංවිධානාත්මක අපරාධ නිවාරණ ‍කොට්ඨාසයටය. පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ කැලෑ සටන් පුහුණුව ලත් විශේෂ කණ්ඩායමකගේද සුවිශේෂ දායකත්වයකින් යුතුව සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් පසු ශාන්ත සැඟව සිටි හුදෙකලා ගම්මානයක් වූ අතිදුෂ්කර මීමුරේ ගම්මානයේ පුස්සෙඇළ ප්‍රදේශයේදී ඔහු ඇතුළු සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනුණි. ඒ පසුගිය 11 වැනිදා රාත්‍රියේදීයි. එම මෙහෙයුමට කැලෑ සටන් පුහුණුවලත් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් පිරිසකගේ සහාය ලබාගත්තේ අපරාධකාරයාව යම් හෙයකින් පැන ගියා නම් කැලෑබද මීමුරේ වැනි දුෂ්කර ප්‍රදේශයකදී ඔහුව නැවතත් කොටුකර ගැනීම අපහසු වන හෙයිනි.

ශාන්ත සමඟ සිටි ඔහුගේ 16 හැවිරිදි දියණිය සහ ශාන්තට නවාතැන් දුන් සුමේධ නමැති ඔහුගේ ළඟම හිතවතා සමඟ සුමේධගේ බිරියද අත්අඩංගුවට ගැනිණි. ඊට අමතරව ශාන්තව මීමුරේට රැගෙන ගිය කැබ් රථයද අත්අඩංගුවට ගැනිණි. මේ වන විට ශාන්ත ඇතුළු පිරිස සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත. අත්අඩංගුවට පත්වීමෙන් පසු ශාන්ත පවසා තිබුණේ විදේශයකට පැන යෑමට එලෙස සැඟවී සිටි බවයි. ඒ අනුව තවත් දින කීපයක් ගත වූවානම් ඔහු නිසැක ලෙසම රටින් පැන යන බව සැල වේ.

2000 වර්ෂයේ සිටම විශේෂයෙන්ම දිවා කාලයේ ගෙවල් බිඳීම්, මත්කුඩු ජාවාරම් ආදියට මාරවිල, දොම්පේ, බණ්ඩාරගම, කුරුණෑගල, ගාල්ල ආදි රටපුරා තිබෙන පොලිස් ස්ථාන 15කට වැඩි ප්‍රමාණයක නඩු කටයුතු විශාල ගණනකට නම සටහන් වී ඇති සුනිල් ශාන්ත ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි‍‍.

වීරක්කොඩිගේ සුනිල් ශාන්ත සහ අජිත් වීරසිංහ නමින් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක්ද භාවිත කළ ඔහු එම හැඳුනුම්පත්වල උපන් දින ලෙස 1982 සහ 1979 ලෙස වර්ෂ දෙකක් සටහන් කර තිබිණි. ලිපින ලෙස යන්තම්පලාව සහ රාජගිරිය දක්වා ඇත.

මීට පෙර 2013 වසරේදීද ඔහු බන්ධනාගාරයෙන් පැන ගත්තේය. ඒ සඳහාද ඔහු ලක්ෂ ගණනක් වියදම් කළේය. ශාන්ත මෙවරද පැන යෑමට ලක්ෂ 15කට අධික මුදලක් තම සහචරයන්ට ලබාදී ඇතැයි වාර්තා වේ.

පසුගිය මැයි මාසයේ දියණියද සමඟ හෙරොයින් කිලෝ දෙකක් ළඟ තබාගෙන හොරණ, මොරගහහේන ප්‍රදේශයේ සැඟවි සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගැනුණු ශාන්ත මෙවර විශේෂ අපරාධකාරයන් රඳවන සිර මැදිරියක රඳවා සිටියේය. එවර අත්අඩංගුවට ගැනුණු දියණිය පසුව නිදහස් වූවාය.

එදින ශාන්ත ළඟ තිබී හමුවූ හෙරොයින් දැනට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන සුසෙයි හෙවත් සුසේන්ද්‍රන්ගේ බවටද හෙළි විණි. ඒ අනුව ශාන්ත යනු සුසෙයි, වෙලේ සුදා, සිද්දික් වැනි මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රබල සගයකු බව අනාවරණය විය.

එදා ශාන්ත ළඟ තිබී හමුවූ හෙරොයින් කිලෝ දෙක ඔහුට ලැබී තිබුණේ පසුගිය ජූනි 07 වැනිදා හෙරොයින් කිලෝ 103ක් සමඟ කළුබෝවිලදී සහ බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගැනුණු මාහිර් ඇතුළු සුසෙයිගේ තවත් ප්‍රබල ගෝල පිරිසකගෙනි. එම මහා පරිමාණ හෙරොයින් ජාවාරමද අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ සුසෙයි බන්ධනාගාරය තුළ සිට භාවිත කළ දුරකථන පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ සූක්ෂ්ම දුරකථන විශ්ලේෂණ මඟිනි. ඒ අනුව ශාන්ත ළඟ තිබී හමුවූ හෙරොයින් කිලෝ දෙකද කිලෝ 103 මත්කුඩු තොගයේම කොටසකි.

ශාන්ත බන්ධනාගාරයේ සිටි සමයේදී ඔහු විසින් මෙහෙයවමින් හෙරොයින් ජාවාරම සිදුකළ ශාන්තගේ වැඩිමහල් සහෝදරයෙකු වූ වීරක්කොඩිගේ බුද්ධික නැමැත්තෙකි. ඔහු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග අත්අඩංගුවට පත් විය. ඔහුගේ යහළුවකු වූ ධනුෂ්ක නමැත්තාද හෙරොයින් තොගයක් සමඟ ගාල්ලේදී අත්අඩංගුවට පත්විය.

වැල්ලවත්තේ විසූ ශාන්තගේ තවත් යහළුවකු වූ කුමුදු ප්‍රියංකරද වැල්ලවත්තේදී අත්අඩංගුවට ගැනුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනි. ඒ සියලු අත්අඩංගුවට ගැනීම් වූයේ ශාන්ත බන්ධනාගාරය තුළ සිට සිදුකළ දුරකථන ඇමැතුම් ගැන විශ්ලේෂණය කරමිනි. අත්අඩංගුවට ගැනුණු ඒ සියලු දෙනාම පවසා තිබුණේ හෙරොයින් ජාවාරම බන්ධනාගාරයේ සිට මෙහෙයවන්නෙ ශාන්ත බවයි.

ශාන්තට බන්ධනාගාරයෙන් පැන යෑමට සහාය වී තිබුණේ ගාල්ලෙ හිතවතුන් වූ කුරුල්ලා, සුදුමල්ලි යන නම්වලින් හඳුන්වන පිරිසක් සමඟ ඉන්දික නමැත්තෙකි. ඔවුන්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. ව්‍යාජ බන්ධනාගාර නිල ඇඳුමක් හැඳගෙන පැමිණ ඉන්දික, ශාන්තව කෑගල්ල බන්ධනාගාර නිලධාරින්ගෙන් මුදවා ගෙන ඔහු මෝටර් රථයක නංවාගෙන ගාල්ල ප්‍රදේශයට ගොස් තිබිණි. ගාල්ලට ශාන්තගේ දියණියද පැමිණ සිටියාය. එහිදී ශාන්තගේ දියණියගේ පෙම්වතා වූ ගල්කිස්සේ බඩෝවිට වෙසෙන තරුණයකු ගාල්ලට ගෙන්වාගෙන තිබිණි. ඔහු එම තරුණයාට දින දෙකක් පුරාවට දස වධ දී ඇතැයි වාර්තා විය..

අනතුරුව දින කීපයක් ගාල්ලේ ගත කළ ශාන්ත සහ දියණිය අනුරාධපුර, මාතලේ ඇතුළු ප්‍රදේශ කීපයකටම ගොස් නුවරට පැමිණ තිබුණේ මීමුරේට යෑමටය. ශාන්තගේ සියලු මුදල් පරිපාලනය කළ සීදුවේ වෙසෙන සුමේධ නමැත්තාය. සුමේධගේ බිරියගේ ගම මීමුරේය. ශාන්ත මීමුරේ යන්නේ ඒ සබඳතා ඔස්සේය.

දින 25ක ශාන්තගේ හැංගිමුත්තම අවසන් කිරීමට හැකි වූයේ බන්ධනාගාරයේ සිටියදී ඔහු භාවිත කළ ඇපල් වර්ගයේ දුරකථන තුන විශ්ලේෂණය කර ඔහු සිටින ඉසව්ව සොයා ගැනීමෙනි.

ශාන්ත බන්ධනාගාරයෙන් පැහැරගෙන ගොස් තිබුණේ මාකඳුරේ මධුෂ්ගේ ගෝල පිරිසක් ලෙස වාර්තා වුවත් එය ශාන්ත විසින්ම ගොතන ලද්දක් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ. නීතියට වැලි ගසා ජාවාරම්කොට නිලධාරීන්ට 'නින්ජා' සෙල්ලම් පෙන්වා පැන ගිය ශාන්තට ඉදිරියේදී නැවතත් 'සෙල්ලම්' දමන්නට නොහැකි වනු ඇත. ඒ ආරක්ෂක අංශ ඔහු කෙරෙහි දැඩි අවධානයෙන් සිටින හෙයිනි.

 

 

 

 

 

Comments