ඝාතනය කර, හිස කඳින් වෙන් කරන්න හදලා... | සිළුමිණ

ඝාතනය කර, හිස කඳින් වෙන් කරන්න හදලා...

  •  දකුණ කැලඹූ හක්මණ මන්ත්‍රී ඝාතනය පාතාලයේ වැරැදුණු කුරුමානමක්

"ධර්මදාසගේ ඥාතියාට දුරකථන ඇමැතුමක් ලැබී තිබුණේ විදේශයක සිටයි. එම ඇමැතුමෙන් කියා තිබුණේ,“ ධර්මදාස මේ අවස්ථාවේ බේරුණත් අනිවාර්යයෙන්ම ඔහුගෙන් හෝ පවුලේ අයගෙන් පළිගන්නා“ බවය. එම ඇමැතුමත් සමඟ ධර්මදාස පොලීසියට පැවසුවේ තමනට කලෙක සිටම පාතාල තර්ජනයන් තිබෙන බවයි."

ඉකුත් දින කීපය තුළ මාතර දිස්ත්‍රික්කයේ ඌරුබොක්ක, රොටුඹ, හක්මණ ප්‍රදේශවල වෙඩි තැබීම්, ඝාතනය කිරීම් කීපයක්ම වාර්තා වුවත් එම සිදුවීම් පෞද්ගලික ආරවුල් මත සිදුවූ බවට මේ වන විට පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

එහෙත් පසුගිය ඉරිදා (04) දා සවස හතරයි තිහට පමණ හක්මණ පොලිස් වසමේ කැබිලියපොළ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු මාතර රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත් වී තිබිණි. එම ඝාතනය පාතාල සාමාජිකයන් විසින් සිදුකළ ඝාතනයක් බවට මේ වන විට තහවුරු වෙමින් තිබෙන බව මාතර කොට්ඨාස බාර පොලිස් අධිකාරි හසන්ත මාරපන කීවේය.

ඝාතනයට ලක්වූයේ තිදරු පියෙකු වූ 53 හැවිරිදි ලොකුහකුරුගේ ශාන්ත නමැති හක්මණ නරවැල්පිට උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ප්‍රදේශයේ කා අතරත් 'හොඳ' නමක් දිනා සිටි ව්‍යාපාරිකයෙකි. තිබූ ජනප්‍රියතාව සහ මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිවරයාට දැක්වූ ඇල්ම නිසා ඔහු පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් දේශපාලනයට පිවිසියේය. ඔහු තරග කළේ ‍පොහොට්ටු ලකුණිනි. අනතුරුව පොදුජන පෙරමුණෙන් ඇල්ලෙවෙල කොට්ඨාසයට තරගකොට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් හේ හක්මණ ප්‍රාදේශීය සභාවට තේරී පත්විණි.

අනතුරුව ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන්මඟට ශක්තියක් වෙමින් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය. පසුගිය පස්වැනිදා පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති ජනපති, අගමැති ප්‍රමුඛ රැලියට සහභාගි වීමට අවශ්‍ය සියලු කටයුතු හක්මණ ජනතාව සමග සූදානම් කළේ ඔහුය.

මේ සංවිධාන කටයුතු කරමින් සිටින අතර පසුගිය හතර වැනිදා පස්වරුවේ ශාන්තගේ අතිජාත මිත්‍රයෙකු වූ කඹුරුපිටියේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු වන ධර්මදාස තවත් දෙදෙනෙක් සමඟ ශාන්තව සොයාගෙන පැමිණියේ ය. ඒ ශාන්ත විසින් විකුණා දැමීමට සැරැසුණු ඔහුගේ ඉඩමක් සම්බන්ධව කතිකා කරගැනීමටය. ශාන්ත, ධර්මදාස සමඟ වසර තිහක පමණ කලෙක සිට ඇසුරක් පවත්වමින් මැණික් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටියේ අඹ යහළුවන් මෙනි.

අනතුරුව ශාන්තත්, ධර්මදාසත්, ඉඩම මිලදී ගැනීමට පැමිණි කාන්තාව සහ තවත් පුද්ගලයෙකු සමඟ කැබිලියපොළ තිබෙන අක්කර හතරහමාරක වූ ඒ කුරුඳු ඉඩම බලන්නට ගියේය. ඒ අදාල ගනුදෙනුව ගැන කතිකා කරගැනීමටය.

එදින ශාන්තගේ කුරුඳු ඉඩම මිලදී ගැනීමට පැමිණි කාන්තාව ධර්මදාසගේ දියණියගේ යෙහෙළියකි. කඹුරුපිටිය ගෝදාව ප්‍රදේශයේ වෙසෙන එම තැනැත්තිය ඉඩම මිලදී ගැනීමේ කටයුත්ත වෙනුවෙන් පැමිණ තිබුණේ ජපානයේ වෙසෙන තම ස්වාමියාගේ පියාණන් සමඟිනි.

ඉඩමේ හතර මායිම් සෝදිසි කොට එහි රූ ඡායාරූප පිටරට වෙසෙන තම ස්වාමියාටද කාන්තාව විසින් ඒ මොහොතේම අන්තර්ජාල දුරකථන මාර්ගයෙන් යැව්වාය.

ඉඩම දැක බලාගත් කාන්තාව ඇතුළු පිරිස ඔවුන් පැමිණි වෑන් රථය වෙත පැමිණෙමින් සිටියේය. ඒ අතරේ ඔවුන් ඉදිරියට පැමිණියේ යතුරුපැදියක් සහ වෑන් රථයකි. එසැණින් යතුරුපැදියෙන් බැසගත් මුහුණු ආවරණය කරගත් එකෙක් ශාන්තට වෙඩි පිට වෙඩි තැබුවේය. ශාන්ත ලේ පෙරාගෙන ඇදගෙන වැටුණේය. සියල්ලෝ මර බියෙන් විකල් වූහ. පිරිස හිස් ලූලූ අත පලාගොස් කුරුඳු ගස් අතර සැඟවුණහ. ධර්මදාස දිවයද්දී වළකට ඇදවැටුණේය. අයෙක් ධර්මදාසව සොයද්දී තවත් අයෙක් වෙඩි වැදී ලේ විලක පණ අදිමින් සිටි ශාන්තගේ සිරුරින් හිස වෙන් කර රැගෙන යෑමට උත්සාහ කළහ. වළට වැටුණු ධර්මදාස ඝාතකයන්ට කොටු නොවුණි. ශාන්තගේ හිස කඳින් වෙන් කිරීමට ද වෙලාවක් ගතවන බව පෙනුණි. මිනීමරුවෝ කඳින් අඩක් වෙන්කළ හිස සහිත සිරුර එතැනම දමා පලා ගියහ. මාතර රෝහලට රැගෙන ගොස් තිබුණේ ශාන්තගේ මලකඳය.

මේ වෙඩි ප්‍රහාරය ගැන ඉඩම මිලදී ගැනීමට පැමිණි කාන්තාව විසින් හක්මණ පොලිසියට පැමිණිලි කළාය. ඒ සමඟ හක්මණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් වීරවර්ධන මේ පිළිබඳව සිය උසස් නිලධාරීන් දැනුවත් කළේය. පසුව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ මාතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්නගේ උපදෙස් මත මාතර කොට්ඨාස බාර පොලිස් අධිකාරී හසන්ත මාරපනගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ඇරැඹිණි.

ඉඩම මිලදී ගැනීමට පැමිණි කාන්තාවටද තර්ජනය කොට පලා ගිය ඝාතකයන් ගැන මේ වන විට පැති කිහිපයක් ඔස්සේම පරීක්ෂණ සිදුකරන බව හක්මණ පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

මුලින් ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක්ද යන්න සැක කෙරුණත් ශාන්ත සමඟ සිටි ධර්මදාසව හක්මණ පොලිසිය තුළ සිටියදී ඔහුගේ ඥාතියෙකුට පැමිණි දුරකථන ඇමැතුමක් නිසා මෙය පාතාල සාමාජිකයන් විසින් සිදුකළ ඝාතනයක් බවට තහවුරු වූයේය. එම දුරකථන ඇමැතුමෙන් අනාවරණය වී තිබුණේ මෙදින ඝාතකයන්ගේ ඉලක්කය වී තිබී ඇත්තේ ධර්මදාස බවය.

ධර්මදාසගේ ඥාතියාට එලෙස දුරකථන ඇමැතුමක් ලැබී තිබුණේ විදේශයක සිටයි. එම ඇමැතුමෙන් කියා තිබුණේ,“ ධර්මදාස මේ අවස්ථාවේ බේරුණත් අනිවාර්යයෙන්ම ඔහුගෙන් හෝ පවුලේ අයගෙන් පළිගන්නා“ බවය. එම ඇමැතුමත් සමඟ ධර්මදාස පොලීසියට පැවසුවේ තමනට කලෙක සිටම පාතාල තර්ජනයන් තිබෙන බවයි.

ඔහුට තර්ජන කර තිබුණේ ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවකු වූ දැනට විදේශයක සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාය. ධර්මදාසගේ හෙළිදරව්වත් සමඟ ශාන්තගේ ඝාතනය මාකඳුරේ මධුෂ්ගේ සහචරයන්ගේ 'වැඩක්' බව පොලීසිය විශ්වාස කරයි.

මධුෂ් විසින් කඹුරුපිටියේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් ලෙස ප්‍රචලිත ධර්මදාසගෙන් කලෙක සිටම කප්පම් ඉල්ලා ඇත්තේය. එහෙත් ධර්මදාස කිසිදු විටෙක අපරාධකරුවන්ට කප්පම් ලබා දී නැත. එම නිසා මධුෂ් විසින් කීප අවස්ථාවකදීම තම ගෝලයන් යොදවා ධර්මදාස ඝාතනය කිරීමට උත්සාහ දරා තිබිණි. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම ධර්මදාස බේරි තිබේ. මේ අවස්ථාවේද ධර්මදාස ඉලක්කකොට පැමිණි ඝාතකයන් නිසා ශාන්තට නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවට පොලිසිය සැක කරන්නේය.

එහෙත් ඝාතකයන් විසින් ධර්මදාස පසුපස හඹා ගොස් ඔහුට වෙඩි නොතැබීමත්, ශාන්තට වෙඩි තබා හිස කඳින් වෙන්කොට රැගෙන යාමට තැත් කිරීමත් නිසා මේ ඝාතනය ගැන පැති කිහිපයක් ඔස්සේම පරීක්ෂණ සිදු කෙරෙමින් ඇත.

පසුගිය දිනවලදී මධුෂ්ගේ සහචරයන් විසින් සිදුකළ මිනිස් ඝාතන කිහිපයකදීම හිස කඳින් වෙන්කර තිබිණි. මේ ඝාතනයේදීත් එවැනි උත්සාහයක් දරා තිබේ. මේ ඝාතනය ගැන හක්මණ පොලීසියට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි. ඒ අතරතුර ධර්මදාසගේ ආරක්ෂාව ගැනද පොලිසිය අවධානය යොමුකර තිබේ. මේ වන විට ධර්මදාසගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම යොදවා තිබේ. එහෙත් හැමදාම පොලිස් නිලධාරීන් යොදවා පුද්ගලයන් ආරක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බව කිව යුතුව ඇත.

පසුගිය හත්වැනිදා ශාන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයාද පැමිණියේය. මැති ඇමැතිවරු රැසක්ම ඔහුට අවසන් බුහුමන් දැක්වීමට එක්වූහ. පසුගිය අට වැනිදා ශාන්ත හක්මණ ජනතා සෝ සුසුම් මැද අවසන් ගමන් ගියේය. ඒ පාතාලයේ තවත් තිරශ්චීන ගොදුරක් ලෙසය. කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, කුලියට මිනීමැරුම් සිදුකරන මේ පාතාල සංස්කෘතිය මේ රටින් තුරන් කරන තුරු මේ රටේ මිනිසුන්ට මිනිසුන් ලෙස ජීවත්වීමට ඉඩ නොලැබෙනු ඇත.

පසුබිම් කතාව සහ සේයාරූ - සම්පත් දෙනිපිටියගේ

Comments