ඉන්ධන මිල ඉහළ පහළ යන මිල සූත්‍රය | සිළුමිණ

ඉන්ධන මිල ඉහළ පහළ යන මිල සූත්‍රය

දින සති ගණන් කරළියේ කතා බහ වෙමින් තිබූ ඉන්ධන මිල සූත්‍රය පසුගිය 18 වැනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රථම වරට මාධ්‍ය වෙත අනාවරණය කරන ලදී. ඇමැතිවරයා මීට පෙර පවසා සිටියේ එය ඔලුව අවුල් වෙන සූත්‍රයක් බවයි. එහෙත් අනාවරණය කළ ඒ සූත්‍රය වටහා ගැනීම එතරම් අපහසු නොවන මිල සූත්‍රයකි.

රථවාහන ඉන්ධන සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සමීකරණයක් පදනම් කරගන්නා ලදී‍. ඒ සඳහා පසුගිය මැයි මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රථවාහන ඉන්ධන සඳහා පිරිවැය අනුව මිල තීරණය කිරීමේ මිල සූත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණි. මිල සූත්‍රය හඳුන්වා දෙන ලද්දේ ඉන්ධන මිලට ගැනීමේ දී සිදු වන ක්‍රියාවලියන් සැලකිල්ලට ගනිමිනි. ඒ සඳහා තාක්ෂණික කමිටුවක් එක් වී මේ මිල සූත්‍රය හඳුන්වා දුන් බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ මිල සූත්‍රය සඳහා පදනම් කරගන්නා දර්ශකයන් හතරකි. මේ වන වි‍ට හඳුන්වා දී ඇති මිල සූත්‍රය මෙසේ දැක්විය හැකිය.

MRP = V i + V ii + V iii + V iv

උපරිම සිල්ලර මිල (MRP) = වරායට ගොඩබාන පිරිවැය (V i) +

සැකසීමේ පිරිවැය (V ii) + පරිපාලන පිරිවැය (V iii) + බදු පිරිවැය (V iv)

(V i) ලෙසින් දැක්වෙන්නේ වරායේ ගොඩබාන පිරිවැයයි. එහිදී ඉන්ධන බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ මිල (Platt’s Price) මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ.

(V ii) ලෙසින් දැක්වෙන්නේ සැකසීමේ පිරිවැයයි. සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන හානි, වෙළඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුළත්ය.

(V iii) ලෙසින් දැක්වෙන්නේ පරිපාලන පිරිවැය සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද රුපියලේ අගය අවප්‍රමාණවීම ද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම් ය.

(V iv)ලෙසින් දැක්වෙන්නේ බදු පිරිවැයයි. මීට අයත්වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු අය කිරීම්ය.

මේ දර්ශක හතරේ එකතුව මත රථවාහන ඉන්ධන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) - MRP තීරණය වේ.

ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සිංගප්පූරු (Platt’s) බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස්වීම පාලනය කළ නොහැකි විචල්‍යයන් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. සෙසු නිර්ණායක දර්ශකයන් පාලනය කළ හැකි බවද අමාත්‍යාංශය පවසයි. දැන් අප සලකා බැලිය යුත්තේ ඉන්ධන ලීටරයක මිල තීරණය කිරීමේදී මේ නිර්ණායක ලෙස අය කරනු ප්‍රතිශතයන් මොනවාද යන්න ගැනයි.

එයද එක් එක් ඉන්ධන වර්ගය පරිදි විශ්ලේෂණය කර ඇත.‍ පහත අප දක්වා ඇත්තේ ඔක්ටේන් 92 පෙට්රල් සඳහා වන මිල නියම කිරීමේ ක්‍රමවේදයයි.

ඔක්ටේන් 92 පැට්රල් මිල නියම වීම සිදු කෙරෙන අයුරු

1. වරාය ගොඩබාන පිරිවැය (V i) 59.68% = රු. 93.84

2. සැකසීමේ පිරිවැය (V ii) 3.74% = 5.87

3. පරිපාලන පිරිවැය (V iii) 2.44% = 3.83

4. බදු අයකිරීම් (V iv) 34.14% = 53.68

100% - 157.22

ඒ අනුව පැට්රල් ලීටරයක මිල විය යුත්තේ රුපියල් 157.22ක් විය යුතුය. එහෙත් පැට්රල් ලබා දෙන්නේ රුපියල් 155.00ක මිලකට බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි‍. එසේම ඔක්ටේන් 95 සඳහා අය කරනු ලබන බදු ප්‍රතිශත මීට වඩා වෙනස්ය‍. එම අය කිරිම මෙසේ දැක්විය හැකිය.

ඔක්ටේන් 95 පැට්රලි සඳහා වන වියදම්

1. වරාය ගොඩබාන පිරිවැය (V i) 57.77% = රු. 97.85

2. සැකසීමේ පිරිවැය (V ii) 3.69% = 6.25

3. පරිපාලන පිරිවැය (V iii) 2.36% = 4.00

4. බදු අයකිරීම් (V iv) 36.18% = 61.27

100% - 169.17

එසේම ඩීසල් ලීටරයක මිලද ඉහත පරිදිම පෙන්වා දිය හැකිය. ඒවා සඳහාද අය කරනු ලබන ප්‍රතිශතයන් ඉන්ධන වර්ගය අනුව වෙනස් වේ.

සාමාන්‍ය ඔටෝ ඩීසල්

1. වරාය ගොඩබාන පිරිවැය (V i) 74.56% = රු. 99.95

2. සැකසීමේ පිරිවැය (V ii) 3.41% = 4.58

3. පරිපාලන පිරිවැය (V iii) 3.02% = 4.05

4. බදු අයකිරීම් (V iv) 19.01% = 25.48

100% - 134.06

සුපිරි ඩීසල්

1. වරාය ගොඩබාන පිරිවැය (V i) 70.83% = රු. 99.53

2. සැකසීමේ පිරිවැය (V ii) 3.37% = 4.73

3. පරිපාලන පිරිවැය (V iii) 2.87% = 4.03

4. බදු අයකිරීම් (V iv) 22.93% = 32.21

100% - 140.50

මේ මෙතෙක් සැඟවී තිබූ ඉන්ධන මිල සූත්‍රයයි. මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අසල්වාසී රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන සඳහා අය කරනු ලබන බදු ප්‍රතිශතය ඉහළ අගයක් නොගන්නා බවයි.

ඉන්දියාවේ පෙට්‍රල් සඳහා රුපියල් 82‍.14ක්ද ඩීසල් සඳහා රුපියල් 57.52ක්ද අය කරනු ලබන බවත් පෙන්වා දෙයි. එමෙන්ම එක්සත් රාජධානියේ පෙට්‍රල් සඳහා රුපියල් 178.70ක් සහ ඩීසල් සඳහා රුපියල් 180.27ක්ද අය කරනු ලබන බවත් අමාත්‍යාංශය පවසයි. කෙසේ හෝ දැන් මිල සූත්‍රය පැමිණ ඇත. එහෙත් ජනතාව බලා සිටින්නේ මේ මිල සූත්‍රයෙන් මිල අඩු වන්නේ කවදාද යන්න ගැනය.

 

Comments