අපි ඒකා­කාරිත්ව­යට වඩා විවි­ධ­ත්ව­යට කැමැ­තියි | සිළුමිණ

අපි ඒකා­කාරිත්ව­යට වඩා විවි­ධ­ත්ව­යට කැමැ­තියි

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හා රජත පුස්තක සම්මාන උලෙළේ හොඳම කෙටිකතා සංග්‍රහය වශයෙන් සම්මානයට පාත්‍ර වූයේ සුමුදු නිරාගි සෙනෙවිරත්නගේ “ගිහින් එන්න කානිවල්” කෘතියයි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.

ඔ‍බේ කුලුඳුල් නවකතාව වන “දූල්වල අලංකාරේ” රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වුණා. ඔබේ කුළුඳුල් කෙටිකතාව වන “ගිහින් එන්න කානිවල්” රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් රජත පුස්තක සම්මානයත් දිනා ගත්තා. මේ පිළිබඳ ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක් ද?

මූලිකව ම කියන්න තියෙන්නේ මට ඒ ගැන ලොකු සතුටක් දැනෙන බව. හැබැයි මම පොත් ලියන විට සම්මාන ලැබේවී කියලා හිතුවෙ නැහැ. සම්මාන ගැන මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒත් මම නවකතාවක් කෙටිකතාවක් ලියන විට ගුණාත්මක තත්ත්වය සහ නිර්මාණාත්මක බව ආරක්ෂා කර ගනිමින් යම් මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කරනවා. මේ සම්මානවලින් මගේ වෑයම ඇගයීමට ලක් කර තිබෙනවා. ඒ ගැන මට සතුටුයි.

ඔබේ මව පද්මිණි සෙනෙවිරත්න. ඈ ලියූ “වර්ණ” නවකතාව මෙවර ස්වර්ණ පුස්තකය ඇතුළු සෑම සාහිත්‍ය සම්මානයක් සඳහා අවසාන වටයට නිර්දේශ වුණා.මව සහ දියණියගේ සාහිත්‍ය සබැඳියාව ගැන කෙටි විස්තරයක් කළ හැකි ද?

අම්මා කැමති ඓතිහාසික නවකතා ලියන්න. මම නම් එහෙම නැහැ. හැබැයි අම්මා ලියන කතාවේ පළමුවැනි පාඨකයා වන්නේ මම. මම ලියන පොත්වල පළමුවැනි පාඨකයා වෙන්නේ අම්මා. අම්මාගේ පොත්වල අඩුපාඩු මම පෙන්වලා දෙනවා. මගේ පොත්වල අඩුපාඩු අම්මා පෙන්වලා දෙනවා. ඔය විදිහට තමයි අපි දෙදෙනාගේ සාහිත්‍ය සබැඳියාව.

 

ඔබ වඩාත් ඇලුම් කරන්නේ කෙටිකතා රචනයට ද? නවකතා රචනයට ද?

මම මේ ශානර දෙකට ම එක වගේ කැමතියි. තේමාව අනුව තමයි මම තීරණය කරන්නේ එය නවකතාවකට ද කෙටිකතාවකට ද සුදුසු කියලා. පොදුවෙ ගත්තාම ස්වතන්ත්‍ර නිර්මාණ වශයෙන් මම මේ ශානර දෙකට ම කැමතියි.

 

අද කෙටිකතාව පාඨකයන්ගෙන් ඈත් වී යන බව පෙනෙනවා. ඇතැම් ප්‍රකාශකයන් කෙටිකතා පොත් ප්‍රකාශයට මැළිකමක් දක්වනවා. ඊට හේතු වශයෙන් ඔබ දකින්නේ කවර කාරණ ද?

කෙටිකතා පොත් විකිණෙන ප්‍රමාණය අඩු නිසා ප්‍රකාශකයන් කෙටිකතා පොත් පළ කිරීමට උනන්දුවක් නැති බව ඇත්ත. කෙටිකතාවට වඩා නවකතාව වැඩි වශයෙන් විකිණෙන්නේ නවකතා ගැන සමාජය කතා කරන නිසා. ස්වර්ණ පුස්තක සම්මානයත් එක්ක නවකතාව කෙ‍රෙහි සමාජයේ ලොකු පිබිදීමක් ඇති වුණා. එය නවකතාවේ අලෙවියට ලොකු බලපෑමක් කළා.

දැන් රජත පුස්තක සම්මානය සමඟ කෙටිකතාව ගැන සමාජයේ උනන්දුවක් ඇති වී තිබෙන බව පෙනෙනවා. අවසාන වටයට නිර්දේශ වන නවකතා වගේ ම කෙටිකතා පොතුත් දැන් පාඨකයන් කියවන්න පෙලඹිලා. පොත් ප්‍රකාශකයනුත් කෙටිකතා පොත් පළ කරන්න උනන්දු වන බව දැන් දකින්න පුළුවන්.

 

අද ඇතැම් ලේඛකයන් ද පාඨකයන් ද ළිං මැඬි මානසිකත්වයේ පෙළෙන බවට චෝදනාවක් නැ‍ඟෙනවා. එහි සත්‍යතාවක් තිබෙනවාද?

වර්තමාන ලේඛකයන් ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා ගැන උනන්දුවක් දක්වන බව පෙනෙනවා. ඒවායෙන් ආභාසය ලබා ගන්නා බව දකින්න පුළුවන්. හැබැයි තවමත් අපේ පාඨක සමාජයේ ජනප්‍රිය වී තිබෙන්නේ යථාර්ථවාදී නවකතා රීතිය. එය අඛණ්ඩව දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැතගෙන ආ නිසා වෙන්න ඇති පාඨකයන්ට යථාර්ථවාදී නවකතාව මේ තරම් සමීප වී තිබෙන්නේ. ඒත් මෙතනදි ප්‍රශ්නයක් මතු වෙනවා ලංකා‍වේ පාඨකයන් සම්බන්ධයෙන්. ඒ තමයි නව දැනුම ගලා යෑමේ ප්‍රශ්නය. නාගරික ප්‍රදේශවල සාහිත්‍ය සංවාද, කතිකා සම්මන්ත්‍රණ පැවැත්වෙන නිසා නව ප්‍රවණතා ගැන ඒ ප්‍රදේශවල පාඨකයන් දැනුම්වත් වී සිටිනවා. ඒත් ගමේ පාඨකයාට ඒ දැනුම ගලා යන්නේ නැහැ. ඒ නිසා ඔවුන් නව ප්‍රවණතා ගැන දන්නේ නැහැ. මේ මට්ටම් දෙක නිසා වෙන්න ඇති පාඨකයන් ළිං මැඬි මානසිකත්වයේ සිටින චෝදනාව එල්ල වෙන්නේ.

 

වර්තමානයේ ස්වතන්ත්‍ර නිර්මාණ අබිබවා පරිවර්තන සාහිත්‍යයක් බිහි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?

පරිවර්තන සාහිත්‍යයේ දී වෙනස් වෙනස් සමාජයන් ගැන, වෙනස් වෙනස් සංස්කෘතීන් ගැන කියවන්න ලැබෙනවා. අපේ පොත් කියවන විට එකම රාමුවක ජීවත් වන සමාජ මුණ ගැහෙන්නේ. කොහොමටත් අපි ඒකාකාරීත්වයට වඩා විවිධත්වයට කැමතියිනේ. ඒ නිසා පාඨකයන් පරිවර්තන කෘතිවලට වඩාත් කැමැත්තක් දක්වනවා ඇති. හැබැයි අපේ රටේ පරිවර්තන සාහිත්‍යයේ ගැටලු නැතුවා ම නොවෙයි. අද ස්වතන්ත්‍ර ලේඛකයන්ට වඩා පරිවර්තන ලේඛකයො වැඩියි.

පරිවර්තන පොත්වලට ඇති පාඨකයන්ගේ ඉල්ලුම නිසා අද බොහෝ දෙනෙක් පරිවර්තනයට නැඹුරු වෙලා. අද ඉන්න සමහර පරිවර්තන ලේඛකයන්ගෙන් මුල් කෘතියට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඔවුන්ට නොවැටහෙන කොටස් අත් හරිනවා. සමහරු ඉංග්‍රීසි වැරදියට තේරුම් අරන් විකෘති කරලා ලියනවා. ඒ නිසා පාඨකයන්ට කියවන්න ලැබෙන පරිවර්තනය හොඳ පොතක් ද නැතිද කියලා ප්‍රශ්න තිබෙනවා.

 

“ගිහින් එන්න කානිවල්” කෙටිකතා සංග්‍රහයට ලැබෙන විවේචන, විචාර සහ ප්‍රතිචාර කොහොමද?

හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවම නම් විවේචන හෝ විචාර ලැබුණේ නැහැ. පොත හොඳයි කියලා තමයි හැමෝම කියන්නේ.

Comments