සම්මානය උත්තේජනයකට වඩා, අභියෝගයක් | සිළුමිණ

සම්මානය උත්තේජනයකට වඩා, අභියෝගයක්

සමන් වික්‍රමාරච්චි

(ස්වර්ණ පුස්තක හා ගොඩගේ සම්මානලාභී)

සාහිත්‍ය මාසයේ පැවැත්වෙන විවිධ සම්මාන උත්සව අතර ‘ස්වර්ණ පුස්තක සම්මානය’ සහ ‘ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළෙහි’ සම්මාන බොහෝ දෙනකුගේ අවධානයට ලක්වන සාහිත්‍ය සම්මාන දෙකකි. මෙවර ස්වර්ණ පුස්තකය ලෙසටත් ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළෙහි විශිෂ්ටතම නවකතාව ලෙසටත් සම්මානයට පාත්‍ර වූයේ සමන් වික්‍රමාරච්චිගේ ‘අප්පච්චි ඇවිත්’ නවකතාවය.

‘අප්පච්චි ඇවිත්’ නවකතාවේ කර්තෘ, සමන් වික්‍රමාරච්චි සමඟ මේ සංවාදය කරනු ලැබුවේ එය සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ නිසා ය.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සහ ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළෙහි හොඳම නවකතාවට හිමි සම්මානය හිමි වුණේ ඔබ විසින් රචිත ‘අප්පච්චි ඇවිත්’ කෘතියට. ඒ ගැන මොනවාද ඔබට හිතෙන්නේ?

සම්මාන ලැබීම ගැන සතුටක් තිබෙනවා. එහෙම නැහැ කියලා කියන්න බැහැ. ඒක අපි කාටත් ඇතිවන හැඟීමක්. හැබැයි මට සම්මාන ලැබෙන විට කල්පනා වෙන කාරණාවකුත් තිබෙනවා. ලංකාවේ මේ සම්මාන උලෙළ ද්විත්වය හැර තවත් සම්මාන උලෙළවල් තිබෙනවානේ. අනෙක් කිසිම සම්මානයකට ‘අප්පච්චි ඇවිත්’ නවකතාව නිර්දේශ වුණේවත් නැහැ. එය තීන්දු වෙන්නේ විනිශ්චය මණ්ඩලවල කියැවීම් අනුව බව මම දන්නවා. උගත්, විද්‍යාර්ථීන්ගෙන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලවල තීරණවල පරස්පර විරෝධයක් තිබෙන බව මෙයින් පෙනෙනවා. මම කතා කරන්නේ මගේ පොත සෙසු සම්මානවලට නිර්දේශ නොවීම ගැන නොවෙයි. මෙය අපි බොහෝ අවුරුදුවල දකින දෙයක්. මෙතනදී විනිශ්චය මණ්ඩලවල කියැවීමේ ප්‍රශ්නයක් තිබෙනවාද, පොත්වල ප්‍රශ්නයක් තිබෙනවාද කියන සැකය මට ඇති වෙනවා. ඒ පරස්පර විරෝධය ගැන මම සිතමින් සිටිනවා. සෑම අවුරුද්දකම අපි එය දකින නිසා ඒ පරස්පර විරෝධයට විසඳුම් සෙවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතුවලට සම්මාන හිමිවීම හොඳ උත්තේජනයක් ද?

එය උත්තේජනයකට වඩා අභියෝගයක් හැටියටයි මට නම් හඳුන්වන්න වෙන්නේ. මොකද මෙම සම්මාන සමඟ අපි සම්මානනීය ලේඛකයො බවට පත් වෙනවා. එතකොට ඒ සම්මානනීය ලේඛකයාට සාධාරණයක් ඉෂ්ට කරන්න වෙනවා. ඒ ගැන හිතලා තමයි ඉදිරි නිර්මාණ කරන්න වෙන්නේ. සාමාන්‍ය විදිහට නිදහසේ සරලව ලිව්වොත් සමහර විට අර කිව්ව සම්මානනීය ලේඛකයා නැති වෙන්න පුළුවනි. ඒ නිසයි මම කිව්වෙ මෙය මට උත්තේජනයකට වඩා අභියෝගයක් කියලා.

ඔබ නවකතාකරුවකු ලෙස සටහන් තැබුවේ ‘අසන්ධි මිත්තා’ කෘතියෙන්. එය ඒ වසරේ සාහිත්‍ය සම්මාන කීපයක් සඳහා ම නිර්දේශ වුණා. මෙවර ‘අප්පච්චි ඇවිත්’ නවකතාව සම්මාන දිනා ගත්තා. නවකතාකරුවකු ලෙස ‍‍ඔබේ ආරම්භය කෙසේද?

නවකතාකරුවකු ලෙස මා ලියූ මුල්ම පොත ‘අසන්ධිමිත්තා’ නොවෙයි. බොහෝ කලකට පෙර මුල් කාලයේ ‘අසනි වැහි’ සහ ‘ඊශ්වරිගේ කතා වස්තුව’ යනුවෙන් නවකතා දෙකක් රචනා කළා. ඊට පසුව වෙනත් සාහිත්‍ය කටයුතුවල නිරත වුණා. ‘අසන්ධිමිත්තා’ නවකතාව ලියා පළ කළේ දශක ගණනක් ගතවූ පසුවයි. ඒ වනවිට මමත් මුහුකුරා ගිය කෙනෙක්. පොත්පත් පරිශීලනයෙන් බො‍හෝ අත්දැකිම් සහ හැදෑරීම් ලැබූ කෙනෙක්. ඒ නිසා ‘අසන්ධිමිත්තා’ හොඳ නවකතාවක් විදිහට ලියවෙන්න ඇති. ඒ හේතුව නිසා ‘අසන්ධිමිත්තා’ නවකතාව කතාබහට සහ අවධානයට ලක් වුණා.

‘අප්පච්චි ඇවිත්’ නවකතාව මනෝ විශ්ලේෂණාත්මක පැත්තකින් ලියන්න උනන්දුවක් දැක්වූයේ ඇයි?

අප පය ගසා සිටින සමාජය නවකතාවේදී නිරූපණය කරන විට මනෝ විශ්ලේෂණාත්මක පැත්තෙන් නිරූපණය කරන්න හිතුවේ අපේ සමාජය ප්‍රබන්ධයක් නිසා. අප ජීවත්වන කාලීන සමාජය යථාර්ථයක් කියලා අපි දැක්කාට මේ සමාජය ප්‍රබන්ධයක්. ආත්මය විවරණය කළ හැකි දාර්ශනික හැඩයක් මේ නවකතාවට දුන්නේ ඒ නිසයි.

ඔබ වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ නිර්දය විචාරකයකු හැටියට. විචාරකයා ලේඛකයා වීම ගැන ඔබේ අදහස?

විචාරකයා සහ ලේඛකයා යන භූමිකා දෙකම ලංකාවේ පළමු වැනි වතාවට කළ තැනැත්තා මම නොවෙයි. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යන අයත් මේ භූමිකා දෙකම කළා.

ලෝක සාහිත්‍යයෙත් එවැනි අය ඉන්නවා. මගේ පෞද්ගලික අදහස නම් ඕනෑම නවකතාකරුවකුගේ නවකතාවකින් එයාගේ විචාරය එළියට එනවා. අපි උදාහරණයක් හැටියට යථාර්ථවාදී නවකතාවක් ලිව්වා කියලා හිතමු. එයින් ප්‍රක්ෂේපණය වෙන්නේ එයා ඒ ගැන දරන අදහස. විචාරකයා ලේඛකයා වීම මා දකින්නේ විචාරයේම දිගුවක් හැටියටයි.

විවිධ ආකෘති යටතේ පළවන කියවීමට වෙහෙසකර, නීරස නවකතාවලට සම්මාන ලැබෙනවා යනුවෙන් අද පාඨකයන්ගේ චෝදනා එල්ල වෙනවා. ඒ පිළිබඳව ඔබ දරන අදහස කුමක්ද?

එය ලේඛකයාගේ ප්‍රශ්නයක් නොවෙයි. එය පාඨකයන්ගේ ප්‍රශ්නයක්. රසවින්දනය කියන්නේ විශ්වයන් දෙකක ගැටීම. පාඨකයන්ගේ ලෝකය පටු වෙලා ලේඛකයන්ගේ ලෝකය පුළුල් වුණාම ඔය විදිහෙ ප්‍රශ්න එනවා. සමහර වෙලාවට පාඨකයන්ගේ ලෝකය පුළුල් වෙලා ලේඛකයන්ගේ ලෝකය පටුවන අවස්ථාත් අපි දකිනවා. ආකෘති වෙනස්කම් කියන්නේ හුදු හරඹයක් නොවෙයි. ඒ ආකෘතියෙහිත් යම් කියවීමක් තිබෙනවා. මට නම් කියන්න තිබෙන්නේ පහසු කියවීම් අවශ්‍ය පාඨකයන් ඔවුන්ට ගැළපෙන පොත් තෝරාගත් විට ප්‍රශ්නය ඉවරයි කියලා.

අද වෙළෙඳ අරමුණු ඉලක්ක කරගෙන සම්මාන උත්සව පැවැත්වෙන බවට ඇතැම් අය පවසනවා. එය ඔබ අර්ථ දක්වන්නේ මොන ආකාරයටද?

අද සංස්කෘතිය කියන්නේ වෙළෙඳ භාණ්ඩයක්. පශ්චාත් ධනවාදය තුළ සංස්කෘතිය විකුණන්න පුළුවන්. ඒ නිසා ඒ වෙළෙඳපළ එක්ක ගනුදෙනු කරන්න අපට සිද්ධ වෙලා තිබෙනවා.

අද පොතක් ලියනවා කියන්නේ ආර්ථික කාරණාවක්. ඉස්සර තමයි පොත් ලියලා ‍පැත්තකට වෙලා ඉඳලා එය සංස්කෘතික කාර්යයක් බවට පත් වුණේ. අද අසභ්‍ය පොත්පත් පළ වෙනවා. ඒ සමහරක් පොත් මිනිසුන්ගේ සාක්කු හ‍ූරාගෙන කන පොත්. සමහර පොත් වාරණය කළා කියලා මහ ඉහළින් කතා කරනවා. හැබැයි ඒ කිසිම කෙනෙක් වාරණය කළ පොතේ අන්තර්ගතය ගැන කතා කරන්නේ නැහැ.

අන්තර්ගතය ගත්තොත් කතා කරන්න තරම් නොවටිනා, මෙ‍ලෝ වැඩක් නැති දෙයක් වෙන්න පුළුවන්. අන්න එතන නම් තිබෙනවා වෙළෙඳ උපක්‍රමයක්. ඒ හැර සම්මාන දීමෙන් සහ නිර්දේශ වීමෙන් පොත් විකුණගන්න හදන එක මහ ඉහළින් කතා කළ යුතු දෙයක් නොවෙයි. මොකද අද ධනවාදය තුළ සංස්කෘතිය විකිණෙන නිසා. කොහොම වුණත් විද්වත් මණ්ඩලයක නිර්දේශයෙන්නේ සම්මාන පිරිනැමෙන්නේ. එය හොඳ දෙයක්නේ.

ඒ වගේ ම සම්මාන ඉලක්ක කරගෙන ඇතැම් ලේඛකයන් පොත් රචනා කරන බවටත් සමහරු ප්‍රකාශ කරනවා. එහි සත්‍යතාවක් තිබෙනවාද?

ඇත්තක් නැත්තේමත් නැහැ. එහි යම් සත්‍යතාවක් තිබෙනවා. සමහරු සම්මාන දිනපු නවකතා දිහෑ බලාගෙන පොත් ලියනවා. එහෙම ප්‍රවණතාවක් තිබුණට හැම ලේඛකයාම ඒ විදිහට ලියන්නේ නැහැ. මම සම්මාන බලාගෙන නවකතා ලියනවා නම් ලියන්නේ මේ විදිහෙ කතාවක් නොවෙයි. ලේඛකයා සම්මාන ලැබීම හෝ නොලැබීම ගැටලුවක් කරගත යුතු නැහැ. ලේඛකයා නිදහස් මනසකින් තම සිතැඟි පරිදි නවකතාව ලිවිය යුතුයි‍. සම්මාන ලැබෙනවා නම් ලැබෙයි. නොලැබුණත් එය ප්‍රශ්නයක් කරගත යුතු නැති බවයි මගේ හැඟීම.

 

Comments