මත්පෙති කෝටි එකහමාරක් ගෙන්වූයේ කවුද? | Page 2 | සිළුමිණ

මත්පෙති කෝටි එකහමාරක් ගෙන්වූයේ කවුද?

දිනය - පසුගිය සැප්තැම්බර් මස 5 වැනිදා

ස්ථානය - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය

වේලාව - පස්වරු 1.00ට පමණ

තමන් බලාපොරොත්තුවෙන් සිටි තහනම් භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයක් කොළඹ වරායට ගොඩ බා ඇති බවට දුරකථන පණිවිඩයක් ලැබුණේය. එසැණින් ක්‍රියාත්මක වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.සී.ඒ. ධනපාල මහතා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහත්වරුන් ඒ පිළිබඳව වහා රේගුවට දැන්වීමට පියවර ගත්තේ හැකි ඉක්මනින් වරාය බලා පිටත් වීමට සූදානම් වෙමිනි.

එහි ගොස් රේගු නිලධාරීන් හා එක්ව කන්ටේනරය විවෘත කර පරීක්ෂා කරන්නට වූ ඔවුනට බැලූවනම කන්ටේනරය තුළ දක්නට ලැබුණේ ළදරු පැම්පස් තොගයකි. එහෙත් දිගටම පිරික්සීමේදී දැකගන්නට ලැබුණේ කන්ටේනරයේ ඇතුළතට වන්නට අසුරා තිබුණු අධිමාත්‍රා මාදක ඖෂධයක් වන ට්‍රැමඩෝල් පෙති තොගයකි.

වෙළෙඳ නාමය සලකන කල ට්‍රැමඩෝල් යනු ඖෂධයකි. එහෙත් ඖෂධ නියාමන අධිකාරිය ලංකාවට ගෙන ඒමට හා මෙරට තුළ අලෙවියට අවසර ලබා දී ඇත්තේ මිලිග්රෑම් 50 ට්‍රැමඩෝල් ඖෂධ පමණක් වන අතර ඒවාද අලෙවි කිරීමට අවසර දී ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ නියාමනයට බඳුන් වන ෆාමසිවලට පමණි. කන්ටේනරය තුළ ඇත්තේ මිලිග්‍රෑම් 225 ප්‍රමාණයේ ට්‍රැමඩෝල් පෙති තොගයකි. කන්ටේනරය පුරා මේ ට්‍රැමඩෝල් පෙති තිබෙන බව නිරීක්ෂණය කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියොජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා දින ගණනාවක් හෝ එක දිගට එය පරීක්ෂා කර බැලිය යුතු බවට තීරණය කළහ. ඒ අනුව තවත් නිලධාරීන් ගෙන්වා, පස්වරු 2.00 සිට එහි තිබූ සියලු ඇසිරුම් පරීක්ෂා කළ අතර, පසු දින එනම් 6 වැනිදා අලුයම 2 දක්වාම සිදු කෙරුණු පරීක්ෂාව සඳහා රේගු නිලධාරීහුද එක් වූහ. පරීක්ෂාවේදී ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 225 ප්‍රමාණයේ පෙති එක්කෝටි පනස් ලක්ෂ පනස් දහස් එකසිය හැත්තෑවක් (15,050,170) අඩංගු පෙට්ටි 585ක් සොයාගැනීමට විමර්ශන කණ්ඩායමට හැකි විය.

ට්‍රැමඩෝල් අඩංගු කන්ටේනරය රඳවාගෙන ඒ පිළිබඳව අභ්‍යන්තර තොරතුරු සෙවීම ඇරැඹූ විට තොරතුරු එකිනෙක හෙළි වන්නට විය. ඒ අනුව පැම්පස් හා වෛද්‍ය ආම්පන්න අඩංගුව ඇති බව ලේඛනවල දක්වමින් මේ කන්ටේනරය පසුගිය අගෝස්තු මස අවසන් සතියේ ඉන්දියාවේ මුම්බායි වරායෙන් දියත් කර ඇත්තේ ශ්‍රී ලංකාව හරහා ලිබියාවට යැවීම පිණිසය. එහි ට්‍රැමඩෝල් අඩංගු වන බවක් නැව් ලේඛනවල සඳහන්ව නැති අතර, කන්ටේනරය තුළ කිසිදු වෛද්‍ය උපකරණ තොගයක් අඩංගු වූයේ නැත.

“ඉතින් මේ ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 225 නොහොත් අධිමාත්‍රා ප්‍රමාණයේ පෙති භාවිත නොකළ යුත්තේ ඇයි?” යනු දැන් ඕනෑම කෙනකු තුළ ඇති වන පැනයයි. අපි ඒ ගැන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.සී.ඒ. ධනපාල මහතාගෙන්ම විමසුවෙමු.

“මිලිග්‍රෑම් 225 අධිමාත්‍රා පෙති භාවිත කරන්නන්ගේ අස්ථි දිරා යනවා, විරූප වෙනවා, මරණය කරා ඉක්මනින් රැගෙන යනවා. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල මේ ට්‍රැමඩෝල් අධිමාත්‍රා පෙති ආනයනය නොවෙයි, මුහුදු සීමාවට ගෙන ඒම පවා තහනම් කරලයි තිබෙන්නේ! ශ්‍රී ලංකාවේත් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 50ට වැඩි ට්‍රැමඩෝල් ගෙන්වීම හෝ බෙදාහැරීම හෝ සම්පූර්ණයෙන්ම තහනම්. මේ ට්‍රැමඩෝල් අධිමාත්‍රාව භාවිත කරන්නේ හෙරොයින් වෙනුවට ආදේශකයක් ලෙසයි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සාමාජික රටවලට දැනුම් දී තිබෙනවා මෙවැනි මත්පෙති වර්ග ආනයනය පාලනය කිරීමට පියවර ගන්නා ලෙසට.

ජාවාරම්කරුවන් රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන්නේ එක් එක් ආකාරයටයි. අපට තොරතුරක් ලැබුණා වරායට ට්‍රැමඩෝල් අධිමාත්‍රා පෙති රැගත් කන්ටේනරයක් එන බවට. අපට අසු වූ මේ ට්‍රැමඩෝල් ඉන්දියාවේ නිෂ්පාදනය කළ බවට අදාළ ඇසුරුම්වල සඳහන් වුවත් නිෂ්පාදනය කළ ආයතනය හෝ ආයතනය පිහිටි ප්‍රදේශය හෝ දුරකතන අංකයක් හෝ විද්යුත් තැපෑලක් හෝ කිසිවක් සඳහන් වන්නේ නැහැ. එහෙත් ෆාමසිවල අලෙවි කළ හැකි පරිදි මනරම් අසුරනවල බහා එවා තිබෙනවා. මේ ට්‍රැමඩෝල් අධිමාත්‍රාවන් ඇතැම් මැද-පෙරදිග රටවල මෙන්ම අප්‍රිකානු රටවලත් භාවිත කරනවා.”කොළඹ වරායේ UTC ජැටියේ තිබූ නෞකාවකින් ගොඩ බාන ලද මේ කන්ටේනරයේ තිබූ ට්‍රැමඩෝල් තොගයේ බර කිලෝග්රෑම් 6040ක් වන අතර, සාමාන්‍යෙයන් පෙත්තක මිල රුපියල් 200ක් ලෙස සැලකුව හොත් අත්අඩංගුවට ගෙන ඇති ට්‍රැමඩෝල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2000 ඉක්මවනු ඇත. අත්අඩංගුවට ගත් මේ තොගය මෙරටදී අත්අඩංගුව ගත් වැඩිම මත් පෙති තොගය වන අතර ඉන්දියාවෙන් මේ කන්ටේනරය එවා ඇත්තේ කවුරුන් විසින්දැයි යන්න මේ වන විට සොයා බලමින් පවතී. එසේම ගමනාන්තය වන ලිබියාවේදී එය බාර ගන්නට සිටි තැනැත්තා කවුරුන්ද යන්න ගැනත් මේ වන විට අවශ්‍ය තොරතරු සම්පාදනය කර ගන්නට කටයුතු කරමින් සිටී.

ඉන්දියාවේ පවා මේ ට්‍රැමඩෝල් අධිමාත්‍රා භාවිතය තහනම් කර ඇති අතර මේ වන විට ලිබියානු තානාපති කාර්යාලය දැනුවත් කර, ලිබියාවේ ට්‍රැමඩෝල් භාවිතය සම්බන්ධව පවත්නා නීතිය සම්බන්ධව සොයා බැලීමට කටයුතු කර ඇත.

මේ වන විටත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙන්ම රේගුවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියත් එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් හා පරීක්ෂණයක් සිදු කරමින් පවතින අතර, රේගු නිලධාරියකු සිළුමිණ කළ විමසීමකදී පැවසුවේ මේ සම්බන්ධ පරීක්ෂණ නිම වන තුරු නියමිත තීරණයකට එළැඹිය නොහැකි බවයි. විශේෂයෙන්ම රේගුව විසින් පහසුකම් සැලසිය යුතු ආයතනයක් බවත්, පහසුකම් සලසමින්ම අදාළ වැටලීම් කළ යුතු බවත් ඒ ප්‍රකාශකයා කීවේය.

කෙසේ හෝ වේවා අධිමාත්‍රාවෙන් යුක්තව පැරසිටමෝල් භාවිතය හෝ සුදුසු නොවන බව අපි දනිමු. එමෙන්ම නිෂ්පාදන ආයතනයේ නම පවා සඳහන් නොවන්නේ නම් ඒ ඖෂධය සම්බන්ධව අපට පැන නඟින්නේද බරපතළ පැනයකි. මන්ද ඖෂධයකින් ජීවිතයක් ගලවාගත හැකි සේම ජීවිතයක් එකවර විනාශ වීම හෝ ක්‍රමයෙන් විනාශ වීම හෝ සිදු විය හැකි හෙයිනි. ට්‍රැමඩෝල් අධිමාත්‍රා පෙති සම්බන්ධයෙන් අපට පැහැදිලිවම පෙනෙන්නේ ඒවා නීතියේ ඇස් වසා ගෙන-යන්නට උත්සාහ දරන ලද බවයි. පෙරද පැවසූ ලෙස, මේ කන්ටේනරය ඉන්දියාවේ මුම්බායි වරායේ සිට මෙරට හරහා ලිබියාව දක්වා ගෙන යෑමට පියවර ගෙන තිබුණු අතර, මෙරටදී යම් පෙති ප්‍රමාණයක් රට ඇතුළට ගෙන යෑමට උත්සාහයක් ගෙන තිබුණේද යන්න කෙරෙහිද මේ වන වට පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමුව පවතී. අවසාන තීන්දුව දෙස අපි බලා සිටිමු.

සේයාරූ
පොලිස් මාධ්‍ය ඒකකයේ අනුග්‍රහයෙනි.

 

Comments