පන්සිල් ගැන අවබෝධය තිබුණත් බොහෝ දෙනා සිල් රකින්නේ නෑ | සිළුමිණ

පන්සිල් ගැන අවබෝධය තිබුණත් බොහෝ දෙනා සිල් රකින්නේ නෑ

  • ඇස සංවර කිරීම
  • දවල් නින්ද
  • මරණින් පසු අපායට

අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ මජ්ජිම නිකායේ සේඛ නමින් හැදින්වෙන සුත්‍ර දේශනාවේ ඉගැන්වෙන පසළොස් චරණ ධර්ම පිළිබදවයි. පසළොස් චරණ කියන වචනයේ අර්ථය මුලින්ම ඉගෙන ගනිමු. පසළොස් කියන්නේ පහළොව කියන අර්ථයයි. චරණ කියන්නේ හැසිරිම යන අර්ථයයි. ඇවිදීම යන අර්ථයෙත් යෙදෙනවා. මේ පසළොස් චරණ ධර්මවල ගුණ ධර්ම පහ‍ළොවක් තිබෙනවා. මේ ගුණ ධර්ම ප්‍රගුණ කරන තැනැත්තා දවසින් දවස නිර්වාණය කරා යොමු වෙනවා. ඒ නිසා තමයි එම ගුණධර්ම පසළොස් චරණ නමින් හැඳින්වෙන්නේ. ඒ පසළොස් චරණ ධර්ම ‍බෞද්ධ වූ අප හැම දෙනාම පුරුදු පුහුණු කළ යුතු ඉතාම වැදගත් ගුණධර්ම පහළොවක්.

මින් පළමු වෙනි ගුණ ධර්මය වන්නේ සීල සංවරය යි . සිල සංවරය කියන්නේ තමන්ට නියමිත ශික්ෂා‍ පද ඉතා හොඳින් ආරක්ෂා කිරීමට යි. බෞද්ධ පින්වත් තැනැත්තට තථාගතයන් වහන්සේ ශික්ෂා පද පහක් දේශනා කළා. එය හඳුන්වන්නේ පංච සීලය නමින් බව අපි කවුරුත් දන්නවා.

සැම කෙනෙකුටම පන්සිල් පිළිබඳ අවබෝධයක් තියෙනවා‍. ඇත්ත‍ වශ‍යෙන්ම බෞද්ධයාට ඒ අවබෝධය තිබුණත් , සිල් රකින පිරිස දුර්ලභයි. සිල් පුරුදු කරන්නට කැමැති කෙනෙකු මැස්සෙක්, මදුරුවෙක්, කුඹියෙක්වත් මරන්නේ නැතුව පළමු වෙනි ශික්ෂා පදය ආරක්ෂා කරන්නට ඕනෑ. අන් සතු තණපතක් තරම්වත් සොරසිතින් ගන්නේ නැතුව දෙවැනි ශික්ෂා පදය ආරක්ෂා කරන්නට අවශ්‍යයි.

තුන්වැනි ශික්ෂා පදය ද අනිවාර්යෙන්ම ආරක්ෂා කිරීම මෙලොව පරලොව වශයෙන් ආනිශංස ලැබෙනවා. විවාහ ජීවිතයට පත් වෙන තෙක් අඹුසැමි සම්බන්ධතා පවත්වන්නේ නැතුව සිටිය යුතු සේම විවාහ ජීවිතයට පත්වෙන තෙක් පිරිසුදු ජීවිතයක් ගත කළ යුතුයි . එසේම විවාහ වීමෙන් පසුවත් තමන්ගේ ස්වාමියා හෝ භාර්යාව ඉක්මවා පර ස්ත්‍රීන් පර පුරුෂයන් සේවනය නොකළ යුතු සේම සීලවන්ත විය යුතුයි. හතරවැනි ශික්ෂා පදය වන බොරුව වංචාව අනුන් රැවටීම මුළා කිරීම අත්හරිමින් සත්‍යවාදි කෙනෙකු බවට පත් විය යුතුයි. අදහන්න පුළුවන් විස්වාස කළ හැකි වචන කතා කරමින් හතර වන සික්ෂා පදය රැකිය යුතුයි. මත්පැන් දුම්වැටිමත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකි පස් වැනි සීලය ආරක්ෂා කළ යුතුයි. මේ ආකාරයට සීලසංවරය ඇති කර ගත යුතුයි. සීලසංවරය වැඩිය යුතුයි.

දෙවැනි සංවරය හඳුන්වන්නේ ඉන්ද්‍රිය සංවරය කියලයි. පංචසීලය ආරක්ෂා කළ පමණින්ම අපේ ඉන්ද්‍රියන් සංවර කිරීම අපහසුයි. ඉන්ද්‍රියන් කියා සදහන් වෙන්නේ ඇස‍, කන ,නාසය ,දිව, ශරිරය සහ මනස කියන මේ හයට කියන නමයි.

ඇස සංවර කර ගැනිමට නම් ඇසට පෙනෙන රූප කෙරෙහි දැඩි ලෝබය උපදවා ගන්නේ නැතුව සිටීම පුරුදු කළ යුතුයි. ඇසට පෙනෙන රූප ගැන තරහා වෛරය ද්වේෂය ඉරිසියාව ඇති කර ගන්නේ නැතුව වාසය කළ යුතුයි. පෙනෙන රූප කෙරෙහි මුළාවට පත් නොවිය යුතුයි. ඒගේම ඔබට නොගැළපෙන ‍රූප කෙරෙහිවත් ලෝබය උපදවා ගනනේ නැතුව සිටීමට කටයුතු කළ යුතුයි.‍ අකමැති ‍රූප දකින්නට ලැබුණා කියලා තරහක් ඇති කරගන්නේ නැතුව සිටිය යුතුයි. මුළාවට පත් වන රූප කෙරෙහි මුළාවට පත් වෙන්නේ නැතුව ඉන්න.

ඒ විදහට ශබ්ද කෙරෙහි තරහාව මුළාව ඇති ‍කර නොගැනිම සුවඳ කෙරෙහි දැඩි ලෝබය තරහව මුළාව ඇති කර නොගැනීම ආහාර පාන කෙරෙහි ඇති මුළාව ලෝබ කම ඇති නොගැනීම ස්පර්ෂයන්ටත් දැඩි ලෝබයක් තරහවක් ඇති කර නොගැනීම මේ තමයි ඉන්ද්‍රිය සංවර සීලය.

තුන්වැනි ගුණ ධර්මය වන්නේ භෝජනයෙහි පමණ දන්නා බව. අද කාලයට ඉතා වැදගත් වන සීලයක්. භෝජනයෙහි පමණ දන්නා බව කියන්නේ ආහාර පාන අනුභව කරන විට‍ හොඳින් ආහාර පාන ගන්න‍ා පුළුවන් කෙනෙක් නම් මට තව ප්‍රමාණයක් කන්න පුළුවන් කියලා හිතෙන කොට ආහාර ගැනීම නතර කරන්නට ඕනෑ. නවත්තලා වතුර ස්වල්පයක් පානය කරන්නට අවශ්‍යයි. ආහාර පාන ගැනීමේ ජලය ස්වල්පයක් පානය කළ යුතුයි. ආහාර පාන ගැනීමෙන් පසුව විශාල ලෙස ජලය පානය නොකළ යුතුයි. ඒවගේම ආහාර අධික ලෙස පානය කිරීමෙන් නිසි ආකාරයට ජීර්ණය වන්නේ නැහැ මේවා ධර්මයෙහි ඉගැන්වෙනවා. ඒවගේම නොයෙක් රෝග පීඩාවන්‍ටත් ‍හේතු වෙනවා. ආහාර ගැනීමෙන් පැයකට පමණ පසු ජලය පානය කළාට ගැටලුවක් නැහැ. ඒ ආකාරයට ආහාර ගන්නා අවස්ථාවේ දී මම මේ ආහාර ගන්නේ ශරීරය පවත්වා ගැනීම පිණිසයි. ඉරියව් සුවසේ පවත්වා ගැනීම පිණිසයි. ජීවත් වීම පිණිසයි පවු සිදු නොවන ආකාරයට ධාර්මික ජීවිතයක් ගත කිරීම පිණිසයි කියා නුවණින් කල්පනා කර බලලා ආහාර පාන ගැනීමට පුරුදු වෙන්න. එය භොජනයෙහි පමණ දන්නා බව කියන ගුණධර්මයයි.

හතර වැනි ගුණ ධර්මය යනුවෙන් හඳුන්වන්නේ නිදි වැරීමයි. එයින් අදහස් වන්නේ නොනිදා සිටීම නොවෙයි. මනුස්සයෙකු වුණාම රාත්‍රියේ මධ්‍යම කාලය පමණක් නින්දට වැය කරන්නට අවශ්‍යයි මධ්‍යම කාලය යනුවෙන් සඳහන් වන්නේ දැනට භාවිත වන රාත්‍ රිදොළහ නොවෙයි රාත්‍රි දහයට පමණ නින්දට ගිහිල්ලා උදෑසන හතරහමාර පමණ වන විට අවදි වෙන්න ඕනෑ.

මොනම ආකාරයකටවක් දවල් නින්දට නම් පුරුදු විය යුතු නැහැ. දවල් නින්ද බොහෝ ලෙඩ රෝග ඇති කරනවා. ඒ බව ඉපැරණි පතපොතේ සඳහන් වෙනවා. ඒ නිසා දවල් නින්ද නම් එතරම් සුදු නැහැ. රාත්‍රියේ මධ්‍යම කාලය පමණ නින්දට යොමු කරනවා නම් ඉතා වටිනවා.

සිංහ පවුලක සිටින සිංහයෙක් දවල් වෙන තුරු නිදාගත්තොත් ඒ සිංහ පවුලට ආහාර පානවත් ලැබෙන්නේ නැති බව දේශනාවේ සදහන් වෙනවා. යම් කිසි ගෙදරක ලොකු මහත් වුණ අය වැඩිහිටියන් තරුණ අය දවල් වන තුරු නිදාගෙන සිටිනවා නම් ඒ අය අභාග්‍ය සම්පන්න වෙනවා. කොච්චර ධනය සෙව්වත් ඒ ධනය ඉතිරිවන්නේ නැහැ ජාගිරියානු යෝගය නමින් හැඳින්වෙන මේ යෝගය ජීවිතයට එකතු කරගැනීමෙන් අපේ ජීවිතය යහපත් කර ගැනීමට හැකිවෙනවා.

ඊළඟට ගුණ ධර්මය වන්නේ ශ්‍රද්ධාවයි බුද්ධ ධම්ම සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය පිළිබදව සිතේ ඇතිවන ශ්‍රද්ධාවයි. එම ප්‍රසාද ඇතිවන ආකාර දෙකක් තිබෙනවා. සමහර කෙනෙක් බුදු ගුණ දහම් ගුණ සඟ ගුණ ඉගන ගෙන තෙරුවන් කෙරේ ප්‍රසාදය ඇති කරගන්නවා. එය ඉතා අවබෝධයෙන් යුතුව ඇති කරගන්නා පැහැදීමක් . තවත් සමහර අය බුදු ගුණ දහම් ගුණ සග ගුණ දන්නෙත් නැහැ. ඒ නමුත් තෙරුවන් කෙරෙහි පැහැදීමක් තියෙනවා. එම පැහැදීම නම් එතරම් උසස් පැහැදිමක් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන කාරණාවෙන් බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් ගුණ හොදින් හඳුනාගෙන තිසරණය විස්වාස කිරීමයි.

ඊළඟ ගුණය වන්නේ හිරිගුණයයි. එනම් පාපයට ලැජ්ජා විම සුවඳ පැනින් ස්නානය කර පිරිසුදු වස්ත්‍ර හැඳගත් තරුණයෙක් හෝ තරුණියක් මල මුත්‍ර ටිකක් ගෙන තමාගේ මුහු‍ණේ තවරා ගැනිමට යම් සේ අපුලක් ඇති කරගනීද පිළිකුල් කරයිද ? අකමැති වෙයිද? ඒ ආකාරයට බුද්ධිමත් තැනැත්තෝ පවු කිරීම පිළිකුල් කරති. පවු කිරීම ප්‍රතිෂේප කරයි. පාපය නින්දාවක් කොට සලකයි. පාපයක් කොට ඇති වු තමන්ගේ සිත තමන්ට චෝදනා කරනවා. එය අත්තවාද බය නමින් හැඳින්නෙවා. මේ බය මුල් කරගෙන තමන්ගේ හිත තමන්ටම දොස් නඟනවා.

ඒ අකාරයට පව පිළිකුල් කිරීම සහ ලැජ්ජා වීම පාපය නින්දා කොට සැලකීම හිරි ගුණය නමින් හඳුන්වනවා.

ඊළඟ ගුණය ඔත්තප්ප ගුණය යි . ඔත්තප්ප ගුණය කියන්නේ කුමක්ද පවට බය වීම තමන් පවක් කළ විට තමන්ගෙ සිත තමන්ගේ හිත තමන්ට දොස් කියනවා එ නිසා අපි පවට බිය විය යුතුයි. පව් කළ විට එය දැනගත් ඥානවන්තයන් ඔබ පවුකාරයෙකු යැයි කියා අපිට චෝදනා කරනවා . ඒ පරවාද බය තේරුම් ගෙන පවට බිය විය යුතුයි. පවු කළ තැනැත්තාට මරණාසන්න මොහොතේ ගඟක් ගලන්නා සේ කළ පව් සිහි පත්වීමට පටන් ගන්නවා. එවිට මරණ බය දැනෙනවා මරණ බය ඇති නොවන්නට භාවනා වැඩිය යුතුයි.

පවු කරන්න‍ා මරණින් පසු අපායේ උපත ලබනවා. අපායගත වීමෙන් පසු අනන්ත අප්‍රමාණ දුක්විඳිනවා. අපාය බය සිහි කොට පාපයට බිය විය යුතුයි. මේ ගුණ ඔත්තප්ප ගුණය නමින් හඳුන්වනවා.

ඊළඟ ගුණය බහුශ්‍රැත ගුණයයි. බොහෝ ඇසු පිරූ තැන් ඇති යන අර්ථයෙන් බහුශ්‍රැත යැයි සඳහන් කරතත් ශාසනය තුළ බහුශ්‍රැත යනුවෙන් සඳහන් වන්නේ බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය බහුල වශ‍යෙන් අසා තිබිමයි. බණ ඇසුවාට මදි අසන ධර්මය හිතෙහි ධාරණය කළ යුතුයි. ධාරණය කළ යුතු ධර්මය නැවත නැවත මෙනෙහි කළ යුතුයි. බහුශ්‍රැත බව ගැන කතා කරන විට පැරණි බෞද්ධ අධ්‍යාපනය සිහිපත් කිරීම වටිනවා.

බෞද්ධ අයට තිබුණේ ධර්මය ඉගන ගන්න වෙනම අධ්‍යාපන ක්‍රමයක්. ඒ න්‍යාය බුදු දහමට පමණක් ආවෙණික වු න්‍යායක් නොවෙයි. ඒ න්‍යාය පෙරදිග සියලු භාෂා ආගම් ඉගන ගන්නට භාවිතා කළා. නමුත් වර්තමානයේ එම න්‍යාය සමාජයෙන් ඉවත් වීම විශාල අභාග්‍යයක්. එම න්‍යාය ඔස්සේ දැනුම ඒක රාශිකරගන්නවා නම් දක්ෂ පඩිවරයෙකු වීම නොඅනුමානයි. එම පෙරදිග අධ්‍යපන ක්‍රමය කුමක්ද ගුරුවරයා උගන්නවනවා ශිෂ්‍යා එම උගන්වනු ලබන දේ ඉතා හොඳින් අවාධානයෙන් අසාගෙන සිටිනවා. එවිට කන් යොමාගෙන ඇස් යොමාගෙන වෙන දේවල් වලට සිත යොමු නොකර ඒ පිළිබදවම සිත යොමු කරගෙන ඇසිම අවශ්‍යයි.

දෙවැනි ‍ කරුණ ‍ගුරුවරයා උගන්වනු ලබදේ මතකයේ තබා ගැනීම ධාරණය කිරීම ගුරුවරයා ප්‍රශ්න අසනවා. ශිෂ්‍යයා මතකයේ තබාගත් ආකාරයට ඒ මොහොතම ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. එය වච සා පරිචිත‍ා යනුවෙන් හඳුන්වනව‍ා.

හතර වැනි ක්‍රමය වන්නේ ඉගෙන ගත්ත දේ එදා දවසේම මෙනෙහි කළ යුතුයි මෙනෙහි කිරිමට කියන්නේ මනසානු පෙක්ඛිතා කියලා සඳහන් කරනවා. උගන්වන කාරණා සහ එහි අර්ථ පිළිබඳ හොඳින් වැටහෙන්න‍ට පටන්ගන්නවා.

පහ අනුගමනය කරනවා නම් එම තැනැත්තාට ඉතා දක්ෂ පඩිවරයෙකු බවට පත්වීමට හැකියාව ලැබෙනවා. බදුදහමේ උගන්වන මේ න්‍යායට අනුව ධර්මය ඉගන ගැනීම බහුශ්‍රැත බව කියනවා. ධර්මයට අමතර විෂයන් පිළිබද ඉගන ගන්න විටත් පෙරදිග මේ න්‍යාය කතා කරන්නට සැදැහැති සත්පුරුෂ දුදරුවන් පුරුදු වෙනවා නම් ඉතා වටිනවා

ඉතිරි කොටස ලබන සතියේ

 

Comments