ආසියානු ශක්තිය උරගාන ඉන්දුනීසියාවේ පොර පිටිය 2018 ආසියානු ක්‍රීඩා උලෙළ ඇරඹෙයි | සිළුමිණ

ආසියානු ශක්තිය උරගාන ඉන්දුනීසියාවේ පොර පිටිය 2018 ආසියානු ක්‍රීඩා උලෙළ ඇරඹෙයි

ආසියානු කලාපයේ මහා ක්‍රීඩා මංගල්‍යය හෙවත් ආසියානු ක්‍රීඩා උලෙළ 18 වැනි වරට මෙවර ඉන්දුනීසියාවේදී පැවැත්වේ. ඒ අගෝස්තු 18 සිට සැප්තැම්බර් 02 දක්වාය.

ඉන්දුනීසියාවේ ජකර්තා සහ පාලෙම්බාංග් යන නගර මෙවර සත්කාරකත්වය දරනු ලබයි. ජකර්තා යනු ඉන්දුනීසියාවේ අගනුවර මෙන් ම විශාලතම නගරයයි. එරටේ ම දකුණු සුමාත්‍රා පළාතේ අගනුවර පාලෙම්බාංග් වේ. ආසියානු ක්‍රීඩා උලෙළක් නගර දෙකක සත්කාරකත්වයෙන් පවත්වන ප්‍රථම වතාවත් මෙවර වේ.

දශක පහක ඉඩෝරය නිමයි

මෙම ක්‍රීඩා උලෙළ ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන්නේ දශක පහකට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයකි. එනම් 1962 වසරෙන් පසුවයි. එම වසරේදී සත්කාරකත්වය දැරුවේ ජකර්තා ය.

රටවල් 45

ආසියානු ඔලිම්පික් සභාවට (ඕ.සී.ඒ.) අයත් සාමාජික රටවල් 45 ම මෙවර සහභාගි වේ. ඊට ශ්‍රී ලංකාවත් අයත්ය. එහිදී ඇතැම් ඉසව්වලදී උතුරු සහ දකුණු කොරියාව ඒකාබද්ධව තරග කරයි.

මේ අතර කුවේට් ජාතික ඔලිම්පික් කමිටුව දැනට තාවකාලික තහනමකට ලක් වී සිටියි. එම නිසා එරටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර සහභාගි වන්නේ ස්වාධීන ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරමිනුයි. ඒ අනුව ඔවුන් ඔලිම්පික් ධජය යටතේ තරග කරනු ඇත.

ක්‍රීඩා 40

මෙවර පදක්කම් පිරිනමන මුළු ක්‍රීඩා ගණන 40 කි. ඒ ඉසව් 465 ක් සඳහාය. මීට අමතරව ප්‍රථම වරට ප්‍රදර්ශනාත්මක ක්‍රීඩා දෙකකුත් මෙවර ඇතුළත් කර තිබේ. ඒ ඊ - ස්පෝර්ට්ස් සහ ඔරු පෝලෝ ක්‍රීඩා ය.

මින් ඊ - ස්පෝර්ට්ස් ක්‍රීඩාවට 2022 ආසියානු ක්‍රීඩා උලෙළේ දී පදක්කම් පිරි නැමීමට තීරණය කර ඇත. ලබන ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඊ - ස්පෝර්ට්ස් ක්‍රීඩාව ඉලෙක්ට්‍රොනික් ස්පෝර්ට්ස් ලෙස ද හැඳින්වෙයි. මෙය වීඩියෝ ක්‍රීඩා තරග ඇසුරෙන් පවත්වයි.

මුල් ම අවස්ථාව වියට්නාමයට

මෙවර ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය තේරීම සඳහා 2012 වසරේ දී පැවැති ඡන්ද විමසීමේ දී ජය ගනු ලැබුවේ වියට්නාමයේ අගනුවර වන හැනෝයිය. එහිදී දෙවැනි තැන ඉන්දුනීසියාවේ සුරාබායා නුවරට හිමි වූයේය. නැගෙනහිර ජාවා හි අගනුවර වන්නේ සුරාබායා ය. ‍

කෙසේ වෙතත් මෙම ක්‍රීඩා උලෙළ පැවැත්වීමට වියට්නාමයේ ආර්ථිකය සවිමත් නැති බවට වාර්තා විය. එය සනාථ කරමින් 2014 වසරේදී එවකට අගමැති වූ න්ගුයෙන් ටැන් ඩුන්ග් නිල වශයෙන් වියට්නාම සත්කාරකත්වය ඉවත් කර ගත්තේය.

මේ නිසා ම ආසියානු ඔලිම්පික් සභාවට වෙනත් සත්කාරක රටක් තෝරා ගැනීමට සිදුවිය. එහිදී ඉන්දුනීසියාව, චීනය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවල් ඉදිරියෙන් සිටිය හ.

2014 වසරේ ජූලි මාසයේ දී ඉන්දුනීසියාව ඒ සඳහා තෝරා ගත්තේ ය. නමුත් සුරාබායා නගරය මෙවර සත්කාරකත්වයෙන් ඉවත් විය. එම නිසා ප්‍රධාන සත්කාරකත්ව නගරය ලෙසට ජකර්තා සහ සහායට පාලෙම්බාංග්ට අවස්ථාව උදා විය.

ප්‍රථම ජනපති වෙනුවෙන්

මෙවර ආරම්භක සහ සමාප්ති උලෙළ පැවැත්වෙන්නේ ගිලෝරා බුන්ග් කාර්නෝ ප්‍රධාන ක්‍රීඩාංගණයේදී ය. එය ජකර්තා නුවර පිහිටා ඇත. මේ ක්‍රීඩාංගණය විවෘත කරනු ලැබුවේ 1962 වසරේදීය. එය නම් කළේ ඉන්දුනීසියාවේ ප්‍රථම ජනපති සුහර්නෝ මහතා (උපත - 1901) (විපත - 1970) වෙනුවෙනි. ඒ මහතා 1945 - 67 දක්වා එම ධුරය දැරීය. මෙම ක්‍රීඩාංගණයේ දී වැඩි වශයෙන් ම පැවැත්වෙන්නේ පාපන්දු ක්‍රීඩා තරගයි. එහි ප්‍රේක්ෂක ධාරිතාව 76,127 කි.

ආසියාවේ ශක්තිය

මෙවර ක්‍රීඩා උලෙළේ ආදර්ශ පාඨය වනුයේ එනර්ජි ඔෆ් ඒෂියා හෙවත් ආසියා‍වේ ශක්තියයි. මෙම උලෙළට ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2 කි. වාහන තදබදයට, වායු දූෂණයට පිළියම් සඳහාත් දැඩි ආරක්ෂාවක් සැපයීමටත් සංවිධායකයෝ ක්‍රියා කර තිබේ. තවද 11,000 අධික සහභාගි වන පිරිසට නවාතැන් පහසුකම් සැපයීමටත් සාර්ථක ප්‍රවාහන සේවයක් ලබා දීමටත් ඔවුහු ක්‍රියා කරමින් සිටිති. ඉන්දුනීසියා ආසියානු ක්‍රීඩා උලෙළ සංවිධාන කමිටුව (ඉනාස්ගොක්) මෙවර සංවිධායක‍යෝ වෙති.

සංගීත ඇල්බමයක්

ආසියානු ක්‍රීඩා උලෙළ වෙනුවෙන් නිල සංගීත ඇල්බමයකුත් නිර්මාණය කර තිබේ. ඊට ගීත 13 ක් අයත්ය.

ත්‍රිත්ව ක්‍රීඩා සුරතලුන්

මෙම ක්‍රීඩා උලෙළ ත්‍රිත්ව ක්‍රීඩා සුරතලුන්ගෙන් සමන්විත වේ. ඔවුන් නම් බින් බින්, අටුන්ග් සහ කාකාය. මින් බින් බින් යනු ඉතා අලංකාර පිහාටු ඇති පක්ෂි වර්ගයකි. අටුන්ග් යනු බාවේයානු මුවෙකි. කාකා යනු ජාවා රයිනෝසිරස්ය.

එමෙන් ම මෙම ත්‍රිත්ව ක්‍රීඩා සුරතලුන් ඉන්දුනීසියාවේ නැගෙනහිර, මධ්‍යම සහ බටහිර ප්‍රදේශ නියෝජනය කරති. ඒ වගේ ම උපායශීලීත්වය, වේගය සහ ශක්තියත් මෙම ක්‍රීඩා සුරතලුන්ගෙන් වැඩිදුරටත් පිළිඹිඹු වෙති.

ඉතිහාසයෙන්

මෙවර පැවැත්වෙන්නේ 18 වැනි ආසියානු ක්‍රීඩා උලෙළයි. එහි ඉතිහාසයේදී නගර දෙකක් සත්කාරකත්වය දරනු ලබන ප්‍රථම වතාවත් මෙවර වේ.

මංගල ආසියානු ක්‍රීඩා උලෙළ පැවැත්වූයේ 1951 වසරේදීය. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීය. මේ වන විට වැඩිම අවස්ථා ගණනකදී මෙම උලෙළේ සත්කාරකත්වය දැරූ නගරය වන්නේ තායිලන්තයේ බැංකොක්ය. ඒ 1966, 70, 78 සහ 1998 වසරවලදී සිවු වතාවකි. එමෙන් ම පිට පිට සත්කාරකත්වය දැරූ එකම නගරයත් බැංකොක්ය.

නවදිල්ලි (1951/1982) සහ ජකර්තා (1962/2018) ලෙසට ද්විත්ව අවස්ථාවන්හිදී සත්කාරකත්වය දරා තිබේ.

ජපානය, දකුණු කොරියාව සහ චීනයත් ආසියානු ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය දැරූ රටවල් අතර සිටියි. ඒ ජපානයේ ටෝකියේ 1958 සහ හිරෝෂිමා 1994 වසරවලදීය. දකුණු ‍කොරියාවේ සෝල් 1986, බුසාන් 2002 සහ ඉන්චියොන් 2014 වසරවලදීය. චීනයේ බෙයිජිං 1990 සහ ගුවාන්ග්ෂු 2010 දීය.

මීට අමතරව පිලිපීනය මැනිලා 1954, ඉරානය ටෙ‍ෙහරාන් 1974 සහ කටාර් දෝහා 2006 වසරවලදී ආසියානු ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය දරා තිබේ.

චීනය පෙරමුණේ

වැඩි ම රන් සහ සමස්ත පදක්කම් ගණනක් හිමිකර ගෙන ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ සාර්ථකතම රට බවට චීනය පත්ව සිටියි. ඒ රන් 1342 - රිදී 900 - ලෝකඩ 653 - එකතුව 2895 කි. ජපානයට දෙවන තැන හිමිය. ඒ 957 - 980 - 913 - 2850 ක් වශයෙනි. 696 - 606 - 761 - 2063 ක් හිමි දකුණු කොරියාවට තෙවන තැනය. ඉරානයට සිවුවන තැනය. ඒ 159 - 161 - 175 - 495 ක් ලෙසටයි. සෝවියට් ‍ෙද්ශයෙන් වෙන් වී ස්වාධීන රටක් වූ කසක්ස්තානයට පස්වැනි තැන හිමි වේ. ඒ 140 - 141 - 200 - 481 ක් හිමිකර ගනිමිනි.

දකුණු ආසියානු දස්කම්

සුපුරුදු පරිදි මෙම කලාපයෙන් ඉදිරියෙන් ම සිටින්නේ ඉන්දියාවයි. ඒ රන් 139 - රිදී 178 - ලෝකඩ 299 - එකතුව 616 ක් වශයෙනි. ඔවුනට සමස්ත පදක්කම් සටහනේ 06 වැනි තැනය.

දකුණු ආසියානු කලාපයේ දෙවන තැන පාකිස්තානයටයි. ඒ 44 - 63 - 93 - 200 කි. තෙවන ස්ථානය ශ්‍රී ලංකාවටයි. ඒ 11 - 11 - 24 - 46 ක් ලෙසටයි.

මෙම කලාපයෙන් පදක්කම් හිමි කර ගත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය - 01 - 05 - 06 - 12, ඇෆ්ගනිස්තානය රිදී 05 - 06 - 11 ක් සහ නේපාලය රිදී 01 - 22 - 23 වේ.

පදක්කම් අහිමියි

ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ කිසිඳු පදක්කමක් හිමි කර නොගත් ජාතික ඔලිම්පික් කමිටු 07 ක් වේ. ඒ භූතානය, නැගෙනහිර ටි‍මෝරය, මාලදිවයින, උතුරු බොර්නියෝ, උතුරු සහ දකුණු යේමනය මෙන් ම සරාවක් ය.

මින් මාලදිවයින ක්‍රීඩා උලෙළ නවයකට මේ වන විට සහභාගි වී තිබේ. භූතානයට 08 කි. නැගෙනහිර ටිමෝරයට 04 කි. උතුරු බොර්නියෝට 03 කි. උතුරු යේමනයට දෙකකි. එමෙන් ම දකුණු යේමනය සහ සරාවක්ට එක බැගිනි.

ඊශ්‍රායලයේ දස්කම්

අද ඊශ්‍රායලය යුරෝපයේ රටකි. නමුත් මීට දශක කිහිපයකට පෙර ඔවුන් නියෝජනය කළේ ආසියාවයි. ඊශ්‍රායලය 1954 සිට 1974 දක්වා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි විය.

එම උලෙළවල් වලදී ඔවුන් හිමිකර ගත් මුළු පදක්කම් ගණන 53 කි. ඊට රන් 18 - රිදී 16 - ලෝකඩ 19 කි.

නමුත් පසු කලෙක දේශපාලනික හේතු මත ඊශ්‍රායලයට ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය.

සුපිරිතම දක්ෂයෝ

1998 වසරේ සිට අදාළ ක්‍රීඩා උලෙළේ සුපිරිතම දක්ෂයන් තෝරා ගෙන සම්මානයක් ප්‍රදානය කරයි. මේ දක්වා එය හිමි කර ගෙන තිබෙන්නේ ක්‍රීඩකයන් පමණකි. ඔවුන් නියෝජනය කළේ ජපානය, දකුණු කොරියාව සහ චීනයයි.

මෙහි ප්‍රථමයා වනුයේ 1998 වසරේදී කෝජි ඉටෝය. හෙතෙම මලල ක්‍රීඩාවෙනි. 2002 දී කොසුකේ කිටජිමාය. 2014 දී කොසුකේ හගිනෝ ය. ඔවුන් තිදෙනා ම ජපනුන් ය. කිටජිමා සහ හගිනෝ පිහිනුම් ක්‍රීඩකයෝ ය.

2006 වසරේදී මෙම සම්මාන ලාභියා වූයේ දකුණු කොරියාවේ පාර්ක් ටේ හ්වාන් ය.

ඔහුත් පිහිනුම් ශූරයෙකි. චීනයේ ලින් ඩැන් 2010 වසරේ සම්මානලාභියා ය. බොහෝ දෙනාට අනුව බැඩ්මින්ටන් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතමයාත් ලින් ඩැන් වේ.

Comments