මට ඕනෑ වුණේ හැල්මේ දුවන ජීවිත ගැන සංවා­ද­යක් ඇති කරන්නයි | සිළුමිණ

මට ඕනෑ වුණේ හැල්මේ දුවන ජීවිත ගැන සංවා­ද­යක් ඇති කරන්නයි

සමාජයේ ඇති නොයෙක් පුරුෂාර්ථයන්ට යටත්ව, පවුල් සංස්කෘතිය තුළ සිර වී සිටින කාන්තාවන් සහ නොයෙකුත් සමාජ සාධක හේතුවෙන් දුරාචාරයන්ට යොමු වී සිටින්නන් වෙනස් ආකාරයක සමාජ දෘෂ්ටියකින් කියවීමට යත්න දරන අශෝක කුමාර කුලතුංගගේ ‘ඉගි‍ල්ලෙන කරදහි කුරුල්ලා’කාව්‍ය කෘතිය ඉකුත් දා එළිදුටුවේය. කවිය හා සමාජ යථාර්ථය අරබයා ඔහු ‘සිළුමිණ’ ‘පුන්කලස’ හා කතාබහකට එක් වූයේ මෙලෙසිනි.

ඔබේ කවි පොත - ‘ඉගි‍ල්ලෙන කරදහි කුරුල්ලා.’ එය බිහි වූ තැනින්ම මේ කතාබහ ඇරඹුවොත්...

කාව්‍යකරණයේ යෙදෙන ඕනෑම කෙනකු දකින සිහිනයක් ති‍බෙනවා. ඒ තමයි තම කාව්‍ය එකතුව ‘කෘතියක්’ බවට පත් කරගැනීම. ඉතා කෙටි කාලයක් තුළ ඒ භාග්‍යය උදා කරගැනීමට මට හැකියාව ලැබුණා. 2017 වර්ෂයේ පැවැත්වූ කාව්‍ය අත්පිටපත් තරගාවලියක හොඳම කාව්‍ය අත්පිටපත් දහය අතරට මා විසින් ඉදිරිපත් කළ කාව්‍ය අත්පිටපතත් තේරී පත් වූවා.

■ ඔබේ කවියට වස්තු විෂය සපයාගෙන ඇති බව පෙනෙන්නේ ඔබ අවට පරිසරයෙන්මයි... ඔබ මෙහිදී පහළ මධ්‍යම පාන්තික ජනයාගේ ජනජීවිතය, ඔවුන්ගේ සමාජ හැසිරීම්, අසාධාරණකම්, ඛේදාන්තයන්, ප්‍රවණතාවන් පිළිබඳ විග්‍රහ කිරීමට කවිය නමැති මාධ්‍යයම භ‍ාවිත කරන්න සිතුවේ ඇයි?

ඕනෑම කෙනකු‍ට හදව‍තේ ගැඹුරුම තැන ස්පර්ශ කළ හැකි ප්‍රබලම මාධ්‍යය කවියයි. ඒ වාගේම ඉතා දීර්ඝ වස්තු විෂයයක් බොහොම සංක්ෂිප්තව හා රසාලිප්තව ඉදරිපත් කිරීමේ හැකියාව කවිය සතුයි. වර්තමාන මධ්‍යම පාන්තික ජන ජීවිතය සහ ඔවුන්ගේ හැසිරීම් හා බැඳුණු වස්තුවිෂයන් පිළිබඳව තවෙකකුට දැනෙන්න කියන්න පුළුවන් හොඳම මාධ්‍යය කවිය කියලයි මා සිතුවේ.

■ ඔබ කවියේ ප්‍රමුඛතම කාරණාවක් වන ව්‍යංග්‍යාර්ථවත් බස භාවිත කිරීමෙන් කවියේ සියුම් අරුත් පාඨක සහෘදයාට සීරුවට පාදාගන්න අවකාශයක් සලසා තිබෙනවායැයි කිවහොත්? ‘අභිසාරිකාව’ වැනි කාව්‍ය නිර්මාණයක් උක්ත කරුණට එක්තරා නිදසුනක් සපයනවා...

තම ශරීරය විකුණා මුදල් කරන ගැහැනියගේ අභ්‍යන්තරයේ ඇත්තේ බොහෝ වි‍ට ඛේදාන්තයක්. ඇයට සමාජයෙන් නොයෙක් අර්ථකථන ඉදිරිපත් වුවත්, ඇය කෙරේ වඩා වෙනස් මානයකින් බලන්න මා උත්සාහ කරනවා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල බහුල වශයෙන් විවිධ අවස්ථාවල එවැන්නවුන් බිහි කරන්නේ මේ සමාජ ආර්ථික ක්‍රමයේ ඇති දුබලතා හා සමාජ අසාධාරණයකම් නිසා බව මට කියන්නට අවශ්‍ය වුණා. පවත්නා සමාජයේ පුරුෂාර්ථයන්‍ට යටත්ව ඇතැම් විට තම පවුල් සංස්කෘතිය තුළ සිදු වන ඛේදවාචකයන් හමුවේ මංමුළා වී, ජීවත් වීමට කිසිදු මඟක් නොමැතිව සමාජයේ ‍නොයෙකුත් ඇතැම් පිරිස් නොයෙකුත් දුරාචාරයන්ට යොමු වනවා. ඒ පිළිබඳව කතා කරන්න මා මේ කවි නිර්මාණ අතර වඩා ඉඩ වෙන් කළා. එහෙත් ‘අභිසාරිකාව’ යන හිසින් රචිත නිර්මාණයේ මා කතා කරන්නේ පාරම්පරික ⁣අබිසරුලිය පිළිබඳ නෙමෙයි. ප්‍රධාන වශයෙන් තම ජීවනෝපාය ලෙස ගණිකාවෘත්තිය තෝරාගත් නූතනම කාන්තා චරිතයක් ඉස්මතු කිරීමටයි මා මෙහිදී උත්සාහ කරන්නේ. එයත් මේ සමාජයේම නිර්මාණය වූ නූතන ඛේදාන්තයක්. පැහැදිලිවම සමාජය වෙනස් වීමත් සමඟ අවශ්‍යතාවන්ගේ වෙනසද කියවාගැනීමට මා මෙහිදී උත්සාහ කළා.

■ කවියකු වීමට තියුණු ජීවන දෘෂ්ටියක් තිබිය යුතු සේම සම්ප්‍රදාය පිළිබඳ අවබෝධයක්ද තිබිය යුතු වනවා. එසේ නොවන කල සාර්ථක නිර්මාණයක් බිහි වෙයි කියලා ඔබ සිතනවාද?

පද කිහිපයක් ලියූ පමණින් එය කවියක් වන්නේ නෑ. ඒ නිසා කවියක් නිර්මාණය කිරීමට හොඳ පරිකල්පන ශක්තියක්, භාෂා නෛපුණ්‍යයක්, ප්‍රබල ජීවන දෘෂ්ටියක් හා සම්ප්‍රදාය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබිය යුතුයි. සම්ප්‍රදාය අතික්‍රමණය කර නිර්මාණ බිහි කළ හැකි වන්නේ එවිටයි‍. පාඨක හදවතෙහි යම් කැලඹීමක් ඇති කිරීමට නම් ඒ නිර්මාණය පාඨක හදවතට දැනෙන සේ නිර්මාණය විය යුතුයි. ඒ සඳහා ජීවිතය පිළිබඳ පෘථුල අවබෝධයක් නිර්මාණකරුවාට තිබිය යුතුයි.

■ ඔබේ නිර්මාණය සඳහා යොදාගත් ආකෘතිය පිළිබඳ කතා කළොත්...

ආධුනික කවියකු හැටියට මම කැමැතියි ටිකක් වෙනස් ආකෘතියකින් මගේ කවි නිර්මාණය කරන්න. වෙනත් කාව්‍ය රචකයකුගේ රටාවකට අප ගැති විය යුතු නෑ. එහෙත් අතීතයේ සිට මේ දක්වා කාව්‍ය ක්ෂේත්‍රයේ නියැළුණු, වර්තමානයේද එලෙසින්ම නියැළෙන නූතන කවීන්ගේ කෘති අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතුයි. ඒ සෑම කෘතියකින්ම උගත හැකි දේ බොහෝයි. කාව්‍යකරණයේ නියුතු වන නිර්මාණකරුවකු නම් කියවීම හැකි සෑම මොහොතකම සිදු කළ යුතුයි. ‘ඉගි‍ල්ලෙන කරදහි කුරුල්ලා’ කෘතියේ ආකෘතිය ටිකක් වෙනස් ආකාරයට නිර්මාණය කරන්න මා උත්සාහ කළා.

■ කවියකු හැටියට ඇත්තටම ඔබේ ඉලක්කය, අරමුණ වී ඇත්තේ කුමක්ද?

ධනවාදි අර්ථ ක්‍රමයත්, කාර්යබහුල ජීවිතයත්, නව විද්‍යා තාක්ෂණයේ දියුණුවත් නිසා පීඩිත පන්තිය කෙරෙහි සමාජ අවධානය අල්ප වී ඇති බව මගේ නිරීක්ෂණයයි. සමාජ අසාධාරණයට ලක් වූ පුද්ගල චරිත දෙස ජීවිතාවබෝධයෙන් යුතුව බැලීමට අද යාන්ත්‍රික මිනිසා අසමත් වී තිබෙනවා. මං මාවත්වල, පදික වේදිකාවල සිටින යාචකයකු අතේ යම් මුදලක් තබනවා මිස, ඔවුන්ගේ ඛේදවාචකය දෙස නිරවුල් මනසින් බැලීමට සමාජය පෙලඹෙන බවක් පෙනෙන්න නැහැ. එවන් කාලවකවානුවක මට අවශ්‍ය වූයේ එම සමාජ පන්තිය සමාජයට මතු කර පෙන්වීමටයි; ඔවුන් සමාජයෙන් ලබන පීඩාව, අසාධාරණය සමාජගත කරන්නයි. මේ හැල්මේ දුවන ජීවිත පිළිබඳ සංවාදයක් ඇති කරලීමටයි මට අවශ්‍ය වුණේ. ඒ වගේම පීඩිත සමාජ පන්තිය පිළිබඳ ප්‍රතිකියවීමක් මතු කර පෙන්වීමටයි මට ඕනෑ වු‍ණේ. විශේෂයෙන්ම ඔවුන් සමාජයේ ලබන පීඩාව, අසාධාරණය සමාජගත කරන්න. මෙමඟින් හෝ අපේ සමාජය මේ පිරිස් කෙරෙහි දයාර්ද්‍රව, මානුෂිකව බලා, ඒ ජීවිතවලට යම්කිසි යහපතක් සලසා දෙන්න පෙලඹෙන්නේ නම්, එය තමයි මගේ කවිය ලබන ජයග්‍රහණය.

Comments