රටේ ලොකුම කුඩු තොගය ඩීල් කළ කවුද මේ සුසේයි . . . . . | Page 2 | සිළුමිණ

රටේ ලොකුම කුඩු තොගය ඩීල් කළ කවුද මේ සුසේයි . . . . .

පසුගිය සෙනසුරාදා (07) රාත්‍රී 8.15ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) උප පොලිස් පරීක්ෂක ලයනල් ඇතුළු පිරිස කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේ රැකවල්ලා සිටියේ ලැබුණු හෝඩුවාවකට අනුවය. ඔත්තුවෙන් කියැවුණේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහනයක් ගැනය. එය සුදු පැහැති වෙසල් වර්ගයේ ජිප් රථයකි.

ඔත්තුවෙන් කියැවෙන වාහනය වේගයෙන් ඉදිරියට එමින් තිබිණි. නිලධාරීහු වාහනය නැවැත්වූහ. පරීක්ෂා කළහ. අවසානයේ ජීප් රථයේ ඩිකියේ තිබුණු විශාල ගමන් මල්ලක් ඔවුන් අතට පත්විය. එය පරීක්ෂාවට ලක්විය. පොලිසියට ලැබී තිබුණු ඔත්තුව ටක්කයටම හරිය. ගමන් මල්ලේ තිබුණේ හෙරොයින්ය.

ප්‍රමාණය හෙරොයින් පැකට් 30 කි. එහි බර කිලෝ 33යි ග්‍රෑම් 344 කි. බඩුත් සමගම හොරු පොලිසිය අතේය. ජීප් රථයේ සිටි 29 හැවිරිදි මොහොමඩ් සුහයිඩ් මොහොමඩ් මාහිර් සහ රියැදුරු ලෙස කටයුතු කළ 40 හැවිරිදි මල්ලිකාරච්චිගේ චතුර ජයශාන්ත නැමැති පුද්ගලයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

මොහොමඩ් මාහිර් දෙහිවල, රොබට් පාරේ, පදිංචිකරුවෙක් වුවත් ඔහුව අත්අඩංගුවට පත්වන විට මුන්තොටුවත්ත, පිටිපන දකුණ, හෝමාගම ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටියේය. චතුර ජයශාන්ත පදිංචිව සිටියේ පාසල් මාවත, දෙහිවල ලිපිනයේ ය.

පොලිසිය ඔවුන් දෙදෙනාව ප්‍රශ්න කළේය. මේ ප්‍රශ්න කිරීමත් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ සියලු තතු ටිකෙන් ටික හෙළි විය. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් තිබුණේ මසකට රුපියල් හැත්තෑපන්දහසකට කුලියට ගත් තෙමහල් නිවසක සිටය. නිවස පිහිටා තිබුණේ බත්තරමුල්ල, සුභූතිපුර, රෝහණ මාවතේය. දෙහිවල වෙසෙන එහි අයිතිකරුවාගෙන් මොවුන් නිවස කුලියට ගෙන තිබුණේ අන්තර්ජාලයේ දැන්වීමකට අනුවය. ජාවාරම්කරුවන් භාවිත කළ වාහනය ද රුපියල් 150,000ක මාසික කුලියට කිරුළපන වාහන කුලියට දෙන ස්ථානයකින් ලබාගත් එකකි.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු එම තෙමහල් නිවෙස පරීක්ෂා කළහ. තවත් හෙරොයින් කිලෝ 70යි ග්‍රෑම් 574ක පමණ ප්‍රමාණයක් පාර්සල් 66ක් තුළ සඟවා තිබියදී සොයා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එම නිවෙසේ තිබී කාර්මික ශිල්පීන් භාවිත කරන විශාල ගෑස් සිලින්ඩර් දෙකක්ද පොලිසියට හමු විය. එම සිලින්ඩර් දෙකෙහි ඉහළ කොටස කපා වෙන්කර තිබෙනු දැක්නට ලැබිණි. සැක සහිත මේ උපකරණ ගැන ප්‍රශ්න කෙරිණි. හෙළිදරව් වූයේ මේ සිලින්ඩර දෙකෙහි බහා විදේශයන්හි සිට මත්කුඩු මෙරටට රැගෙන ආ බවය. මත්ද්‍රව්‍ය කිරා මැනීමට භාවිත කරන විද්යුත් තරාදි දෙකක්ද භාණ්ඩ අතර තිබී හමු විණි.

එදින අත්අඩංගුවට ගැනුණු මුළු හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 103යි ග්‍රෑම් 948කි. එහි මූල්‍යමය වටිනාකම රුපියල් එකසිය විසිහතර කෝටි අසූ ලක්ෂයක් පමණ විය. මීට පෙර ලංකාවෙන් සොයා ගත් විශාලම කුඩු තොගය හමුවූයේ 2014 ජුනි 11 දාය. විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් ඒ කුඩු ප්‍රමාණය කිලෝ 85 කි. එය අයත්ව තිබුණේ වෙලේ සුදාටය. ඒ වාර්තාව මොහමඩ් සුහයිඩ්ලා බින්දේය. වර්ෂ 1973 දී ස්ථාපිත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එදා-මෙදා තුර අත්අඩංගුවට ගත් වැඩිම කුඩු ප්‍රමාණය මෙයය. දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් එලෙස මල්පල ගැන්වූයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ අධීක්ෂණයෙන් යුතුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී. ඒ. සී. ධනපාලගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ සූක්ෂ්ම මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. දිවා රෑ නොබලා ජීවිත ආශාවද නොතකා මෙවැනි වැටලීම්වලට එක්වන සියලු නිලධාරීන්ගේ අප්‍රතිහත ප්‍රතිඵල නිසා ජාවාරම්කරුවන්ට යනඑන මං නැතිවෙද්දී එවැනි නිලධාරින් අගය කිරීම පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු වගකිවයුත්තන්ගේ යුතුකමක්ද වන්නේය.

නිලධාරීන්ගේ දිගින් දිගටම ප්‍රශ්න කිරීම්වලදී මාහිර් සහ ජයශාන්ත දෙදෙනා කීවේ මත්කුඩු තොගය ජනවාරි මාසයේ අගදී දෙදෙනෙකු විසින් වෑන් රථයකින් පැමිණ ගෙනැවිත් බාර දී ගිය බවය.

“ඔවුන් දෙදෙනා ඊට පෙර කිසිදු දිනෙක අපි දැකලා නැහැ. ඒ වගේම එදායින් පස්සෙ නැවතත් කිසිම දිනෙක ඔවුන් හමු වුණෙත් නැහැ. පස්සෙ දෙන්නා සමඟ කිසිම සම්බන්ධතාවක් තිබුණෙත් නැහැ.” එයින් සැකකරුවන් කියන්නට උත්සාහ කළේ මේ මත් ජාවාරම පිටුපස සිටින්නන් එකිනෙකාට කිසිදු සබඳතාවක් නොමැති බුද්ධි මෙහෙයුමක ඉත්තන් බවය. එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් යම් දෙයක් ගැන හෝ කරුණක් ගැන මාස ගණනාවක් තුරා නිරීක්ෂණය කිරීමට යොදන ‘අවේක්ෂණ නිලධාරීන්’ගේ උකුසු ඇසට වැලි ගැසීමට ජාවාරම්කරුවන්ට හැකියාවක් තිබුණේ නැත. මාස ගණනක් තිස්සෙ කළ තොරතුරු රැස් කිරිමෙන් ලබාගත් තොරතුරු මත අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගයේ තිරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මාහිර්ට සහ ජයශාන්තට අවසානයේ හෙළිකරන්නට සිදු විණි.

ඒ අනුව මේ විශාල මත්කුඩු තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් දකුණු පළාතේ වෙරළ තීරයට ගොඩ බා මාහිර් සහ ජයශාන්ත අතට පත්කර ඇත්තේ සුසේයි නමැත්තාගේ අනුදැනුම මතය. මේ මත්කුඩු ජාවාරමේ තිරය පිටුපස චරිතය සුසේයි බව සැකකරුවන් දෙදෙනාට හෙළි කරන්නට සිදුවිය.

සුසේයි යනු දැනට වැලිකඩ බන්ධනාගාරයේ දිවි ගෙවන මරණීය දණ්ඩනය නියම වූවෙකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටි මත්ද්‍රව්‍ය වැටලීමේලා දක්ෂ නිලධාරියෙකු වූ පොලිස් පරීක්ෂක නොයෙල් රංගජීවගේ ප්‍රධානත්වයෙන් කළ වැටලීමකින් 2013 පෙබරවාරි 13 වැනිදා සුසේයි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට පත් වූයේ බම්බලපිටියේ පිහිටි පර්ල් සිටි තට්ටු නිවාස සංකිර්ණයේ කාමරයක සිටියදීයි. එදා තට්ටු නිවාසයේ සිට කඹයක ආධාරයෙන් පැන යෑමට තැත් කිරීමේදී නිලධාරීන්ට කොටු වූ සුසේයි සතුව මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් තිබී හසු විණි. එසේ කඹෙන් බැස යෑමට තැත් කරද්දී සුසේයි නොහොත් ධර්මරාජා සුසේන්ද්‍රන් සහ කේ. ගෞතමන් නොහොත් ගෞතම් නමැත්තාද අත්අඩංගුවට පත්විණි.

පසුගිය සෙනසුරාදා ප්‍රතිබිම්බාරාම පාරේදී අත්අඩංගුවට පත්වූ මාහිර්ද එදා සුසේයි සහ ගෞතම් සමඟ අත්අඩංගුවට පත්විණි. පසුව මාහිර් අධිකරණයෙන් නිදහස ලැබීය.

එහෙත් එදා අත්අඩංගුවට පත් සුසේයි සහ ගෞතම් රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වූ පරිදි හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 97ක ප්‍රමාණයක් ළඟ තබා ගැනීම නිසා වරදකරුවෝ වූහ. ඒ අනුව වසර හතරකට අධික කාලයක් කොළඹ අලුත්කඩේ අංක එක මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින් අනතුරුව 2017 මාර්තු 30 දා විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා සුසේයිට සහ ගෞතම්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වෙසෙන සුසේයි මෑත කාලයේ මෙරට මත්කුඩු ජාවාරමේ රජා ලෙස කිරුළු පැලඳු ගම්පොළ විදානගේ සමන්ත කුමාර විතානගේ නොහොත් වෙලේ සුදාගේ සමීපතම සගයෙක් ලෙස පෙනී සිටියේය.

පසුගිය පාලන සමයේ වෙලේ සුදා ළඟින් ඇසුරු කළ දේශපාලනඥයකුගෙන් පසුව එල්ල වූ තර්ජනවලින් ගැලවීම සඳහා සුදා මෙරටින් පැන ගියේ ඔහුට එරෙහිව අධිකරණවල විභාග වෙමින් තිබූ නඩු කටයුතුද මඟ හරිමිනි. ඒ අනුව වෙලේ සුදා 2011 ඔක්තෝබර් 14 දා ඉන්දියාවට පැන ගියේය. එහිදී වෙලේ සුදාට සියලු පහසුකම් සලසමින් රැකවරණය ලබා දී තිබෙනුයේ සුසේයි විසිනි. ඊට හේතු වී තිබුණේ වෙලේ සුදාගේ ‘එකවුන්ටන්’ ලෙස කටයුතු කරමින් සියලු මුදල් හදල් කටයුතු ඇතුළුව බැංකු කටයුතු බාරව ක්‍රියා කළ සුරාස් අහමඩ් නමැත්තාය. සුරාස් අහමඩ් යනු සුසේයිගේ අතිජාත මිත්‍රයෙකි. සුරාස්ගේ කීමට වෙලේ සුදාගේ රැකවරණයට ඉන්දියාවේදී ඉදිරිපත් වූ සුසේයි, යාපනයේ උපන්නෙකු වුවත් ඉන්දියාව තුළද විශාල සබඳතා තිබූ කෙනෙකි. එම සබඳතා හරහා සුසේයි විසින් වෙලේ සුදාට ඉන්දියාවේදී නොසෑහෙන ලෙස සැලකිලි සේම රැකවරණය ලබා දී තිබිණි. 2011 අවසාන සමයේදී සුසේයිගේ මැදිහත් වීමෙන් වෙලේ සුදා සහ සුසේයි දෙදෙනා එක්ව සිංගප්පූරුවටද ගොස් තිබුණේ ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ ප්‍රබල සාමාජිකයකු වූ සිද්දික් මුණගැසීමටය. සිද්දික් යනු පාකිස්තානයේ සිට මත්කුඩු බෙදා හැරීම සිදුකළ වෙලේ සුදාගේ පියාගේද මිත්‍රයෙකි.

කට්ටි පනිමින් සිටි වෙලේ සුදා 2014 නොවැම්බර් මාසයේදී පාකිස්තානයේ අයි.එස්. අයි. රහස් ඔත්තු සේවාව මඟින් අත්අඩංගුවට ගෙන 2015 ජනවාරි මාසයේදී මෙරට පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී. අවසානයේ 2008 සිට අධිකරණයේ විභාග වූ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.5ක නඩුවක් හේතුවෙන් 2015 ඔක්තෝබර් 14 දා වෙලේ සුදාට මරණීය දණ්ඩනය නියම කෙරිණි. 2013 පෙබරවාරි 13 දා පර්ල් සිටි තට්ටු නිවාසයේදී අත්අඩංගුවට පත්වූ සුසෙයි ඒ වන විට සැකකරුවකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ රැඳී සිටියේය.

නැවතත් බන්ධනාගාරය තුළදී යාළුමිත්‍රකම් අලුත් කළ වෙලේ සුදා සහ සුසේයි බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සූක්ෂ්ම ලෙස මෙහෙයවූයේය. එසේ දෙදෙනා එක්ව මෙහෙයවූ මත්කුඩු ජාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කොටුකර ගත්තේ 2016 ජුනි 21 දා රාත්‍රියේදීය. වැල්ලවත්තෙ හැව්ලොක් පාරේ පැනොරාම නිවාස සංකීර්ණයේ ප්‍රධාන දොරටුව අසලදී එදින අත්අඩංගුවට පත්වූයේ වෙලේ සුදාගේ සහ සුසේයිගේ සමීපතම ගෝලයන් වූ අශෝකන් දිල්රුක්ෂන්, ලෝගනාදන් කිරුෂාන්ත් සහ මොහොමඩ් හසන් යන තිදෙනාය.

ඔවුන් අත්අඩංගුවට පත්වූයේ රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝ එකක් සහ මුදලින් රුපියල් හත්ලක්ෂ තිස්පන්දහසක්ද අතැතිව සුඛෝපභෝගී ජීප් රථ දෙකක් සමඟිනි. එදා එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ වෙලේ සුදා සහ සුසේයි මෙහෙයවීමෙන් මත්කුඩු තමනට ලැබුණු බවයි.

එසේ බන්ධනාගාරගතව සිටියත් සුසේයි සහ වෙලේ සුදා එක්ව මත්කුඩු ජාවාරම ගජරාමෙට කරගෙන ගොස් තිබිණි. පසුගිය සෙනසුරාදා ප්‍රතිබිම්බාරාම පාරේ වැටලීමට පෙර පසුගිය මස 14 ද වෙලේ සුදාගේ සහ සුසේයිගේ මෙහෙයවීම මත සිදුකරන මත්කුඩු ජාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කොටුකර ගත්තේ පිළියන්දළ මාවිත්තර ප්‍රදේශයේදීයි. එදින අත්අඩංගුවට පත්වූ අළුබෝමුල්ල, පාණදුර ලිපිනයේ පදිංචි ප්‍රදීප් නිශාන්ත අප්පුහාමි නමැත්තා ළඟ තිබී රුපියල් කෝටි දෙකහමාරක පමණ මූල්‍ය වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 120ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනිණි. එදා අත්අඩංගුවට පත්වූ ප්‍රදීප් පවසා තිබුණේ වෙලේ සුදා සහ සුසේයිගේ මෙහෙයවීමෙන් මත්කුඩු තමන්ට ලැබෙන බවයි. “මං ගිහිල්ලා දෙහිවල හෝ ඒ අවට කිසියම් ප්‍රදේශයක ඉන්නවා. එහෙම ඉන්න තැනකට කොහෙන්හරි එක්වරම වාහනයක් එනවා... ඇවිල්ලා මට බඩු දීලා යනවා. මම කිසිම දවසක ඒ එන අය කවුද කියලා දන්නෙ නැහැ... අද ආපු කෙනා නෙවෙයි හෙට එන්නෙ...”

එසේ වෙලේ සුදා සහ සුසේයි එක්ව බන්ධනාගාරය තුළ සිට මෙහෙයවන මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් හරහා ලැබෙන මත්ද්‍රව්‍ය ප්‍රදීප්ලා වැනි අය කුඩා කොටස්වලට වෙන්කොට බෙදාහැරීම සිදු කරයි. විශාලම මත්කුඩු තොගය සමඟ අත්අඩංගුවට ගැනුණු මාහිර් සහ ජයශාන්ත යනු වෙලේ සුදාට සහ සුසේයිට කලින් කලට සිටින ගෝලයන් අතර පසුගිය සමයේ සිටි ප්‍රධානතම ගෝලයන් දෙපළයි.

මරණ දණ්ඩනය නියම වූ අපරාධකරුවන් බන්ධනාගාරය තුළ හිඳිමින් කරන මේ මත්ද්‍රව්‍ය ජාවාරම කෙරෙන්නේ නවීණ තාක්ෂණය හරහාය. අන්තර්ජාල වීඩියෝ දුරකථන භාවිත කරමින් සිදු කරන මේ මත්කුඩු ජාවාරමට මාකඳුරේ මධුෂ්ද හවුල් වී ඇතැයි පැවසේ . මධුෂ් ඉන්නේ විදේශගතවය. බන්ධනාගාරය තුළ කොතරම් ආරක්ෂාවක් සහ සෝදිස් කිරීම් සිදු වූවත් වෙලේ සුදාලාට, සුසේයිලාට තිබෙන මුදල් බලයට සියල්ල යට වී ඇතැයි බන්ධනාගාර නිලධාරියෙක් අපට කීවේය.

Comments