හොඳ නායකයෙක් අවශ්‍ය තැනදි බලය පාවිච්චි කරනවා | සිළුමිණ

හොඳ නායකයෙක් අවශ්‍ය තැනදි බලය පාවිච්චි කරනවා

 ව්‍යාපෘති නිලධාරියකු සේ DFCC බැංකුවට පා තබන ඔහු ඊට වසර 30කට පසු එහි මුල් පුටුවේ අසුන් ගනියි. එකී සංස්කෘතිය නිර්මාණය වන්නේ ඔහුගෙනි. එය දශක තුනක වෙහෙසකර ගමනක ප්‍රතිඵලයකි. ලක්ෂ්මන් සිල්වා කියැවීම වටින්නේ එහෙයිනි.

• DFCC බැංකුවේ CEO. කවුද මේ තනතුර ඇතුළෙ ඉන්නේ...

ඈත දුර ගමකින් ආපු බොහොම සරල මනුෂ්‍යයෙක්. රටේ පැරැණි ම මූල්‍ය සමාගමක නායකත්වය දැරුවට ඒ සරල ජීවිතේ වෙනසක් නැහැ.

• ඒත් ඔබට තවත් හැඳින්වීමක් තියෙනවා, ‘ලක්ෂ්මන් සිල්වා කියන්නේ, මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වගේ ලොකු අයියා...’

රට වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරපු මගේ මල්ලිලා දෙන්න ම මට ආඩම්බරයක්. නමුත් මල්ලිලාගෙ ආලෝකයෙන් බැබළෙන අයියෙක් නෙවෙයි මම. මං කැමැති, බැංකු ක්ෂේත්‍රයේ. මං හදාගත්තු නමට. ‘ලක්ෂ්මන් සිල්වගෙ මල්ලි තමයි, මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...’ මගේ ක්ෂේත්‍රයෙදි මං අහන්න කැමැති ඒ හැඳින්වීම.

• මේ ආයතනයට ඔබ කළ ලොකු ම වෙනස කුමක් ද...

අපේ දෙවැනි ශාඛාව වූ මාතර ශාඛාවේ ආරම්භක යුගයේ ක්‍රියාත්මක වූ සම්ප්‍රදායික බැංකු සේවා ක්‍රමය මං වෙනස් කළා. එදා හදපු ව්‍යාපාරික ජාලය අදටත් ‍බැංකුව සමඟ ගනුදෙනු කරනවා. අනික එදා ශාඛා පටන් ගන්නා විට කළමනාකරුවන් ලෙස පත් කළේ විශ්‍රාම ගිය රාජ්‍ය බැංකු නිලධාරීන්. නමුත් මං කැමැති වුණා කොළඹින් පිට ගිහින් ශාඛාවක් බාර ගන්න. ඒකෙන් කළමනාකාරිතවයට ලොකු ජවයක් ආවා. බැංකුව ඇතුළෙන් ම කළමනාකරුවන් පත් වෙන්න ගත්තා. නිලධාරින් තුළත් අලුත් බලාපොරොත්තු ඇතිවුණා. අභියෝග බාර ගන්න කැමැති දෙවැනි පෙළක් බිහිවුණා.

• කලක් ඔබ ‘වර්ධන’ බැංකුවටත් වැඩ කළා...

ඔව්. DFCC බැංකුව, ‘වර්ධන බැංකුව’ ආරම්භ කරන්න ගත් තීරණයත් සමඟ ඔවුන් මාව ‘ප්‍රධාන මෙහෙයුම් නිලධාරී’ හැටියට පත් කළා. මං වර්ධන බැංකුව පටන් අරන්, 2015 DFCC බැංකුව සමඟ අනුබද්ධ වන තුරුම, වසර 12 ක් ලංකාවේ හොඳම වාණිජ බැංකුවක් ලෙස මං වර්ධන බැංකුව පවත්වාගෙන ගියා.

• මොකක්ද ඔබේ Management Style එක...

මම පටන් ගත්තු දෙයක අවසානය දකින්න කැමැති කෙනෙක්. ඒ නිසා යම් රාජකාරියක් අනුන්ට පැවරුවත් මාත් ඒ වැඩේ තුළ ඉන්නවා. ඒ රාජකාරිය ඉවර වෙනකල් මගෙන් ඔවුන්ට ගැලවීමකුත් නැහැ.

• වෘත්තීය ජීවිතේ ඔබට ඔබ ගැන තිබෙන ආඩම්බරය කුමක්ද...

ඕනෑම අවස්ථාවක මං නොදන්නා දේ නො දන්නා බව කියන එක. ඒ ගැන හාර අවුස්සමින් ඉගෙන ගන්න එක. සංවර්ධන බැංකුවක නිලධාරියෙක් විදියට ඉඳලා වාණිජ බැංකු ක්ෂේත්‍රයට ගිහින් වාණිජ බැංකුවක් පටන් ගෙන එය හොඳ ම තැනකට ගේන්න මට පුළුවන් වුණේ, මං නොදන්නා දේ ඉගෙන ගත් නිසා.

• හිතනවද ඔබ හොඳ නායකයෙක් කියලා...

ඔව්. මමත් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන නායකයෙක්. යමක් කරද්දි බහුතරයකගේ සහයෝගය සහභාගීත්වය අත්‍යාවශ්‍යයි. හැබැයි ඉලක්කයක් හඹා යද්දි සුහදශීලී කණ්ඩායම් හැඟීම ම මදි. නායකයා තුළ යම් බලයක් තිබිය යුතුයි. අවශ්‍ය තැන ඔහු ඒ බලය පාවිච්චි කළ යුතුයි. නමුත් ඒකෙන් කියන්නෑ නායකයා දරදඬු පාලකයෙක් විය යුතුයි කියලා. තමන් අතින් අත්වැරැද්දක් සිදුවුණත් නායකයා එය පිළිගත යුතුයි. ඒ වරද නිවැරැදි කරගත් බවට සිය කණ්ඩායමට හැඟීමක් දිය යුතුයි. ජයග්‍රහණයේදි තනිව උදම් වෙන්න නායකයකුට කවදාවත් බැහැ. එහි ගෞරවය අයිති කණ්ඩායමට. සිය කණ්ඩායම රැක බලා ගන්නා බවට ඔහු විශ්වාසයෙන් යුතුව ඔප්පු කළ යුතුයි. මේ සියල්ල මගේ නායකත්වය තුළ තිබෙන දේ.

• කේළම් ඇහුවොත් සමහර විට ප්‍රධානියා නැති කරගන්නෙ තමන්ගෙ හොඳම සේවකයා... මේ කතාව ගැන ඔබ මොකද හිතන්නෙ...

ඒක ඇත්ත. මගේ ඇස්වලින් නොදුටු මගේ කන්වලින් නෑසුණු දෙයක් කවුරු මොන විදියට කිව්වත් මං පිළිගන්නෑ. ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කරලා මිස කේළම් අහලා, කේළම් මත පිහිටලා, කෙනෙකුගෙ රස්සාවකට අත තියන්නෑ. මං යමක් තීන්දු කරන්නෑ. හැබැයි, වැරැදි කරන පුද්ගලයින්ගේ තොරතුරු පිළිබඳ මං පූර්ණ විමර්ශනයක් කරනවා. ඒවා ඔප්පු වුණොත් දඬුවම උපරිමයි.

• එතකොට වැරැදි හදාගන්න අවස්ථාවක් දෙන්නෙ නැද්ද...

ඒක වරදේ ස්වභාවය අනුව. අපි ළඟ දෙදාහකට ආසන්න සේවක පිරිසක් වැඩ කරනවා. වැඩි දෙනෙක් පළවෙනි රස්සාව විදියට ආපු තරුණ අය. ඒ අයගෙ වැරැදි අඩුපාඩු හදාගන්න අවස්ථාව දෙනවා. වැදගත් ම දේ තමයි අවස්ථා කියන එක හැමදාම ලැබෙන්නෙ නැති බව ඔවුන් අවබෝධ කර ගැනීම.

• ඒ කියන්නේ ඔබ තමන්ගෙ සේවකයන් ගැන හිතනවා...

ඒක මගේ වගකීම. නායකයා එසේ නොවුණොත් සමහරවිට හොඳින් වැඩ කරන සේවකයන්ට ලැබිය යුතු හුඟක් දේ අහිමිව යනවා. ඔවුන්ගේ වෘත්තීය ජීවිතේ අනාගතයක් හැදෙන්නේ නායකයා ගන්නා ඍජු හා සාධාරණ තීන්දු තීරණවලින්. ඒ නිසා අවශ්‍ය තැන නොපැකිළිව සභාපතිතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ මං සේවකයන් පිළිබඳ සාකච්ඡා කරනවා. ඔවුන් වෙනුවෙන් කළ යුතු හොඳම දේ කරනවා.

• ඔබ ඉන්නෙ බිස්නස් හදන්න ණය දෙන තැනක මුල් පුටුවෙ. මොනවද ඔබට තිබෙන බිස්නස්...

දස දහස් ගණන් ව්‍යාපාරිකයන්ට බිස්නස් හදන්න උදව් කළාට උපදෙස් දුන්නට මඟ පෙන්වුවට මං ව්‍යාපාර කරන්න ගියොත් සාර්ථක වෙයිද කියලා මට විශ්වාසයක් නැහැ. ඒ නිසා මට ම කියලා බිස්නස් එකක් නැහැ.

• ඔබ විවේචන ඉවසන Boss කෙනෙක්ද...

ආයතනික ප්‍රගමනයට පදනම් සහගත විවේචනය අත්‍යාවශ්‍ය දෙයක්. එය විවේචනයකටත් වඩා තමන්ට නොපෙනෙන නමුත් තව කෙනකුට පෙනෙන වරදක් පෙන්වා දීමක්. සැබෑ නායකයෙක් එයට උරණ විය යුතු නැහැ. පුද්ගලික අංශයේ ඕනෑ තරම් ඍජුව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථා තිබෙනවා. අංශ ප්‍රධානියා එය බාර ගන්නා විදයයි වැදගත්. මං විෂයෙහි නම් ඕනෑ ම අවස්ථාවක ඕනෑ ම මිටිමකදි අපේ සාමාජිකයන්ට පුළුවන් මගේ වරදක් පදනම් සහිතව මට පෙන්වා දෙන්න.

• ඇයි ඔබ අවුරුදු 31 ක්ම මේ ආයතනයට කොටු වුණේ...

ඒක කොටුවීමක් කියලා මට හිතෙන්නෑ. පිටරට යන්න අවස්ථා කිහිපයක් ම ලැබුණත් මං ඒවා අත්හැරියා. ඇත්තට ම මේ ආයතනය මාව හොඳින් බලා ගත්තා. පොඩි තනතුරක හිටි කාලේ පවා මං වැඩ කළේ සතුටින්. ඇල්මකින්. ව්‍යාපෘති නිලධාරියෙක් විදියට හිටි කාලෙ මේ පුටුවෙ හිටපු CEO මහත්තුරු හම්බ වෙන්න මං කොතෙකුත් මේ කාමරයට ඇවිත් ඇති. නමුත් මං හිතුවෙ නැහැ කවද හරි මං මේ පුටුවට එයි කියලා. මං අවංකව උපරිමයෙන් වැඩ කළා. පෙරළා ලැබුණු ප්‍රතිඵලය තමයි මේ.

• ඔබ තවත් ආයතන කිහිපයකට ම වැඩ කරනවා නේද...

ලංකා ෆයිනැන්ෂල් සර්විසස් බියුරෝ, ලංකා වෙන්ඩර්ස්, ලින්ඩෙල්... කියන අනුබද්ධිත ආයතන කිහිපයේ සභාපතිවරයා ලෙසත් තවත් ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලවලත් මං වැඩ කරනවා. වැඩ කරන එක මට සතුටක්. විනෝදයක්.

• හොඳ මිනිසුන් බිහිවෙන්නෙ විනයානුකූල පසුබිමකින්. මේ කතාව ඔබේ ජීවිතයෙන් පහදන්න...

ගුරුවරියක් වෙච්චි මගේ අම්මත් ඉහළ රජයේ නිලධාරියෙක් වෙච්ච තාත්තාත් එයාලගෙ දරුවො හතර දෙනා හැදුවෙ බොහොම විනයානුකූලව. අම්මා තාත්තගෙ නීති රීතිවලට අමතරව මට සිද්ධ වුණා ඉහළ තලයේ නීතිඥවරියක් වෙච්චි ලොකු අම්මගෙ ගුණගරුක නීතිවලටත් යටත් වෙන්න. මොකද මං වැඩිකලක් හැදුණෙ වැඩුණෙ ලොකු අම්මගෙ ගෙදර ඇයත් ආච්චි අම්මත් එක්ක නිසා.

• ඔබ පවුලේ කීවැනියද...

වැඩිමලා. මට පස්සෙ අජන්ත මල්ලි. රට වෙනවෙන් ලොකු සේවයක් කරපු එයාර් වයිස් මාෂල් අජන්ත සිල්වා, කිව්වම එයාව රටම දන්නවා. තුන්වැනියා ශවේන්ද්‍ර. තවමත් ශ්‍රී ලංකා යුද හමුදාවට සහ රටට සේවය කරන මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා. අපේ පවුලේ එකම ගැහැනු ළමයා, අපේ නංගි. නිරංජනි සිල්වා. බැංකු කළමනාකාරිවරියක්.

• ඔබේ ජීවිතයට බලපෑමක් කළ සමීපතමයින් කවුද...

මගේ තාත්තා. කෙනෙක් තමන්ගෙ රස්සාවට දැක්විය යුතු ඇල්ම සහ ගෞරවාදරය මං මුලින් ම දැක්කෙ තාත්තගෙන්. ඒ කාලෙ මුළු රටට ම තිබුණෙ CTB බස් විතරයි. පාන්දර තුනට, පළවෙනි බස් එක ඩිපෝවෙන් පිට වෙන්න කලින් තාත්තා ඩිපෝවේ. ඊළඟට අන්තිම බස් එකත් ඩිපෝවට ආපට පස්සෙ තමයි තාත්තා රෑ ගෙදර ආවේ. තාත්තා, රස්සාවෙන් විශ්‍රාම ගියේ ලංගම සභාපති හැටියට වුණත් අවසානය දක්වා ම ඒ කැපවීම, ඒ හැටියටම තිබුණා. තාත්තගෙ ජීවිතය පුරාම තිබුණු ඒ ගුණය, මගේ ජීවිතයට කළ බලපෑම අසීමිතයි.

• එච්චර ද...

නැහැ. තාත්තා රස්සාවට වැඩි කාලයක් යොදවන කොට, දෙන්නටම හරියන්න අපිට වැඩිපුර ආදරේ පෙන්නුවෙ අම්මා. අම්මගෙ ආදරේ. ජීවි‍තේට ගෙනාවේ හයියක්. මනුෂ්‍යත්වය සහ දයාව කරුණාව මං හොඳ හැටි අත්වින්දෙ ලොකු අම්මගෙ ජීවිතයෙන්. මොකද මං හිටියෙ ඇයත් එක්ක නිසා. ඊළගට මගේ මාමලා සංගීතය විඳපු සහ කණ්ඩායම් සංගීතයෙ හිටපු රසවතුන්. කලාකාමින්. අඩු වැඩි වශයෙන් මේ හැමෝගෙම යහපත් බලපෑම් මා තුළත් තිබෙනවා.

• කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

පුංචි ම කාලෙ බණ්ඩාරවෙල ‘ලිට්ල් ෆ්ලවර්’ කොන්වන්ට් එකේ. ඊළඟට මාතලේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ. අන්තිමට මාත‍ලේ ශාන්ත තෝමස් විදුහලේ. මගේ උසස් අධ්‍යාපනය ඇරැඹෙන්නේ කැලණිය විශ්ව විද්‍යාලයෙන්. ඊළඟට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය අරන්, වරලත් ගණකාධිකරණ ආයතනයේ ගණකාධිකාරිවරයෙක් විදියට වෘත්තීය ජීවිතයට අදාළ සුදුසුකම් හදාගන්නවා.

• ළමයෙක් හැටියට තිබුණු හීන සහ අරමුණු මොනවද...

ඉස්කෝලෙ ලොකු අයියලා විශ්ව විද්‍යාලෙට තේරෙනවා. හැමෝම ඒ ගැන කතා කරනවා. අගය කරනවා. උසස් පෙළ පන්තියෙදි තමයි ‘කොහොම හරි කැම්පස් යන්න ඕනේ...’ කියන සිතිවිල්ලෙන් වැඩ කළේ. කොහොම හරි ඒ අවුරුද්දෙ මුළු ඉස්කෝලෙන්ම මාත් එක්ක විශ්වවිද්‍යාලෙට තේරුණෙ හතර පස් දෙනයි.

•ඔබේ ගම බණ්ඩාරවෙලද...

ඉපදුණේ නුවරඑළියේ. බොහෝ කාලයක් හැදුණෙ වැඩුණේ බණ්ඩාරවෙල කුහුඹියන්ගොඩ කියන ලස්සන ගමේ. කඳු වළලුවලින් වටවුණු ඒ සීත පළාතේ දිය ඇලි ගංගා පිරුණු පරිසරය අදටත් මට ලස්සන මතකයක්.

•මොකක්ද ඔබේ පළමු රස්සාව...

‍දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවෙක්. පඩිය රුපියල් 1500 යි. 1983 මං මගේ මේ පළමු රස්සාව අරඹන්නේ විශ්ව විද්‍යාල ජීවිතය අවසන් කරනවත් එක්කමයි. හැබැයි මං ඒ ජීවිතේ රැ‍ඳෙන්නේ අවුරුදු හතරයි.

• එතකොට ඊළඟ නවාතැන...

DFCC බැංකුව. 1987 මං බැංකුවට එද්දි තිබුණෙ ප්‍රධාන කාර්යාලය පමණයි. එකම ශාඛාවක්වත් නැහැ. හිටියෙ දෙසීයක විතර සේවක පිරිසක්. දුන්නෙ සංවර්ධන ණය විතරයි. අපි ලංකාව පුරා ක්‍රියාත්මක දැවැන්ත ව්‍යාපෘති හොය හොයා ගියා. ගිහින් ණය දුන්නා. ඊළඟට අපිට පුළුවන් වුණා පළමු වතාවට DFCC බැංකුවෙන් ‘ලීසි’ පහසුකම් හඳුනවා දෙන්න. අවුරුදු තුනක් යනකොට ලංකාවේ මූල්‍ය ආයතනවල ලීසිං වලින් ඉහළ ම ‘මාකට් ෂෙයාර්’ එක හිමි කරගත්තෙ අපි.

• ජීවිතය වෙනස් කළ Turning point එක මතකද...

මට එහෙම අවස්ථා කිහිපයක් තිබෙනවා. එක, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බැඳීම. පෞද්ගලික ආයතනයක සාමාන්‍ය රස්සාවක් කරමින් හිටි මට රාජ්‍ය සේවයේ පූර්ණ අත්දැකීම ලැබෙන්නේ එතැනින්. DFCC බැංකුවට බැඳීම මගේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය. දැවැන්ත අභියෝග ජයගන්න ගමන අරඹන්නේ එතැනින්.

• ජීවිතයේ වැරදුණු පැරදුණු තැන් මොනවද...

මගේ ජීවිතේ කිසිම දෙයක් ලේසියෙන් ලැබුණෙ නැහැ. මහන්සිවෙලා කැපවෙලා වැඩ කිරීමෙන් පමණක් ම ළඟා කර ගත් දේ පමණයි මා ළඟ තිබෙන‍්නේ. පහු කරපු අතීතයේ එහෙම කරපු කැපවීම්වලට සමහර වෙලාවක ලැබිය යුතු දේ නොලැබී ගියා. ප්‍රමෝෂන් අහිමි වුණා. ඒත් ඒ දේවල් නිසා මං පහු බැස්සෙ නැහැ. අත්හැරියෙත් නැහැ. ආපහු නැගිට්ටා. ඒත් මට ආපහු ලබා ගන්න බැරි වුණු එකම දෙයක් තියෙනවා. ඒ තමයි අම්මා. මීට මාස තුනකට උඩදි අම්මා අපිව දාලා ගියේ හදිසියේ. මොන දේ ආපහු ලැබුණත් මට සටන් කරලා නැවත මගේ අම්මව ගෙන්න බැහැ. ඒක මට ලොකු පැරදීමක්.

• දැන් ඔබේ වයස කීයද...

57 යි. මං පාන්දර හතරහමාරට නැගිටින කෙනෙක්. එතැන ඉඳලා පැය එකහමාරක් ව්‍යායාම්. විශ්වවිද්‍යාල ජීවිතයේදි ක්‍රිකට් සහ හොකී ඇති තරම් සෙල්ලම් කළා. ක්‍රීඩා සංගම්වල නායත්වය දැරුවා. ඒ ක්‍රීඩා කිරීමේ ආසාව ‘උණ’ තවම ඇ‍ඟේ තියෙන නිසා පැය එකහමාරක් ව්‍යායාම් කරන එක මට ජීවිත පුරුද්දක්.

• මොනවද ඔබ ළඟ තිබෙන වෘත්තියට අදාළ හොඳ පුරුදු ...

අපේ ඔෆිස් පටන් ගන්නේ 8.30 ට. ඒ වුණාට මං එදා ඉඳලා 7.30 වෙද්දි කාර්යාලයේ. අදටත් මුලින් ම වැඩට එන සේවකයන් කිහිපදෙනාගෙන් කෙනෙක් මම. ඒ වගේ ම බොහෝවිට අන්තිමට යන කෙනත් මම. මේ ආයතනයේ ප්‍රධානියා විදියට, ඕනැ වෙලාවක එන්න ඕනැ වෙලාවක යන්න මට වරප්‍රසාද තිබුණත් මං එහෙම කරන්නෑ.

• ජීවිතය විඳින්න පුරුදු වෙලා තියෙන්නෙ කොහොමද....

මං රූපවාහිනි ප්‍රවෘත්ති වරද්දන්නෑ. ක්‍රිකට් තරග අත්හරින්නෑ. පැයක් වුණත් එක දිගට සංගීතය රස විඳින්න පුළුවන්. කොච්චර ආසා වුණත් චිත්‍රපටි බලන්න තමයි අමාරු. මොකද පැය බාගෙකට වඩා එක තැන වාඩිවෙලා ඉන්න බැරි පුරුද්ද නිසා. චිත්‍රපටිය කොච්චර හොඳ වුණත් නැගිටලා යන්න හිතෙනවා.

• එහෙනම් ඔබ මේ සීත කාමරේට ම වෙලා ඉන්න CEO කෙනෙක් වෙන්න බැහැ...

ඔව්. මං හිටි ගමන් ආයතනය ඇතුළෙ හැම අංශයකම ඇවිදිනවා. එහෙම වෙලාවට මගේ ඇස් දෙකෙන් ම මං බොහෝ දේ දකිනවා. වෙලාවක් හදාගෙන හරි ඉඳහිට ආයතනය ඇතුළෙ ඇවිදින එක ආයතන ප්‍රධානියෙක් කළ යුතු ම දෙයක්.

• මොකක්ද ඔබේ ලග්නේ...

ධනු. ඊළඟට ඔබ අහන්නේ ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරනවද කියලා නම් ඒකට උත්තරේ ඔව්. යම් පමණකට. හැබැයි ඒ මත්තෙ හඹා යන්නෑ.

• ඔබ දරුවන්ට සමීප තාත්තෙක්ද...

උසස් අධ්‍යාපනය හදාරන මගේ පුතාලා දෙන්නට අනුව නම් මං නීතිකාරයෙක්. ඒ වුණාට මං ඒ දෙන්නට යාළුවෙක් වෙන්න උත්සාහ කරනවා. මොකද ගෙවුණු කාලය පුරා දරුවන්ගේ සහ ගෙදර ගැන වැඩිපුර වෙහෙසුණේ මගේ බිරිය, පද්මිකා... ඇය ශ්‍රී ලංකා ටෙලිකොම් හි සාමාන්‍යාධිකාරිණියක්.

• මොකක්ද ඔබ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම දේ...

මොන බාධක ආවත් පටන් ගත් දේ අවසන් කරන්න. කොයි තරම් ඉහළට ගියත් මහපොළොවෙ පය ගහලා ජීවත් වෙන්න ඔබට පුළුවන් වෙන්න ඕන. ඒ වගේ ම, තමන් ගැනම විතරක් නොහිතා ආයතනයටත් රටටත් යමක් කළොත් විතරයි රස්සාවෙන් විශ්‍රාම යනදාට ඔබේ හිතට තෘප්තියක් දැනෙන්නේ.

ඡායාරූප - සුලෝචන ගමගේ
ඉනෝකා පෙරේරා බණ්ඩාර

Comments