මට ඕනෙ මගේ ම අනන්‍යතාවක් ගොඩනඟා ගන්නයි | සිළුමිණ

මට ඕනෙ මගේ ම අනන්‍යතාවක් ගොඩනඟා ගන්නයි

 මෙරට යුගකාරක සංගීත පුරුෂයකු යැයි අනලස් ව හඳුන්වා දිය හැකි සංගීතඥයන් අතර සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ගැනෙන්නේ ප්‍රථම ස්ථානයක ය. ඔහු සුභාවිත ගීතයේ රුව-ගුණ පෙහොණි කිරීමේ නියැළුණා පමණක් නොව, ස්වකීය ශාස්ත්‍රීය ඥානය දැයට ප්‍රදානය කළේ ය. එමෙන්ම හේ ත්‍රිවිධ සප්තකයේ හමු වන ස්වර මධුරාකාරයෙන් සංකලනය කරමින්, ඒ ත්‍රිස්ථානහි අනාකූලව හැසිරෙමින් දනමන පෙබැයූවෙකි. එවැනි සංගීතඥයකු මේ සැරැසෙන්නේ සිය එක ම දායාදය වන දියණිය අනුරාධා නන්දසිරි ගායන ක්ෂේත්‍රයට දොරට වැඩමවීම ට ය. ඒ සොඳුරු මොහොත රැගත් සදානන්ද ඉසියුම් තතින් ගැයෙන ‘දූ අනුරාධා’ ප්‍රසංගය මේ මස 11 වැනිදා පස්වරු 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙයි. ඒ පිළිබඳ විශාරද අනුරාධා නන්දසිරි සමඟ කළ සංලාපයකි මේ.

• ඉදිරියේදී ඔබගේ ගායන දිවියේ සන්ධිස්ථානයක් සටහන් වන මොහොතකුයි උදා වන්නේ. මේතරම් දිගු කාලයක් ඔබ නිශ්ශබ්දව සිටියේ ඇයි?

මට ජනප්‍රිය වීමට උනන්දුවක් තිබුණේ නැහැ. ඒ කාලයේ මගේ සමකාලීනයන්ගේ නිර්මාණ ගුවන්විදුලියේ, රූපවාහිනියේ විකාශය වන විට මගේ සිතට දැනුණේ කිව නොහැකි සතුටක්. ඒ වගේ ම මගේ තාත්තාගේ කැමැත්ත වුණේ මා සංගීතය කියන ශාස්ත්‍රය නිවැරැදිව හැදෑරීමයි. මා ශාස්ත්‍රානුකූල ඥානය නිවැරැදිව ලබාගැනීමයි ඔහුගේ කැමැත්ත වුණේ. එහෙත් අම්මාගේ කැමැත්ත වුණේ මා ගීත ගයනවාටයි. ඇගේ කැමැත්ත අනුවයි මා සරල ගී ගැයුවේ. එමෙන්ම බොහෝදෙනා කරන ආරාධනා අනුවයි මා ගී ගැයුවේ. එහෙත් මෑත කාලයේදි සියල්ල වෙනස් වීමට පටන් ගත්තා. වෙනස් ම ප්‍රවණතාවක් සංගීත ක්ෂේත්‍රය ඇතුළේ නිර්මාණය වීම ආරම්භ වුණා. ඒ අතර රියැලිටි වැඩසටහන්වලින් පැමිණි ගායක-ගායිකාවන් මුල්තැන ගත්තා. ඒ අතර මගේ පරපුරේ සමහර අය සංගීතය උගෙන පැමිණියත් ඔවුන්ට හොඳ ගීතයක් ගයන්නට වත්, ඉදිරියට පැමිණීම සඳහා වත් ඉඩ-කඩක් වෙන් නොවුණු අයුරු මා දුටුවා. මේ පිළිබඳ බොහෝ විට මා සාකච්ඡා කළේ ක්ෂේත්‍රයට අයත් නොවන මගේ හිතමිතුරු පිරිසක් සමඟයි. එවිටයි ඔවුන් මට පැවසුවේ මේ තිබෙන තත්ත්වය වෙනස් කිරීමට මූලිකත්වය ගත යුතු බවයි. ඔවුන්ගේ ඒ අදහස අනුවයි ‘දූ අනුරාධා’ ප්‍රසංගය නිර්මාණය වන්නේ.

• එහෙත් ඒ ඔබගේ හිතමිතුරු පිරිසගේ අදහසට අනුව ඔබ මුලින් ම ආරම්භ කිරීමට සූදානම් වන්නේ ‘දූ අනුරාධා’ ප්‍රසංගය නොවෙයි...

ඇත්තට ම මගේ සිතේ ඇති වුණු මුල් ම අදහස නම් මා ඇතුළු ව තවත් තිදෙනකු සමඟ වෙනස් ම විදියේ ආකෘතියකින් යුත් වැඩසටහනක් ආරම්භ කිරීම යි. ඒ කටයුත්ත ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සංවිධානය වූවා පමණක් නො වෙයි, ඒ සඳහා අනුග්‍රාහකයකු පවා අප සමඟ අත්වැල් බැඳගත්තා. කොහොම නමුත් මතු වුණු යම් යම් දුෂ්කරතා නිසා ඒ කටයුත්ත අතරමඟ නැවැත්වීමට අපට සිදු වුණා. එහෙත් ඒ කටයුත්ත කිරීමේදී මට සහයෝගය දුන් කිහිපදෙනා ම යළිත් යෝජනා කළේ ඒ අලුත් වැඩසටහන කිරීමට මූලික වුණේ මා නිසාත්, ඊට වෙනස් වූ මා මූලික කරගත් වෙනත් ප්‍රසංගයක් කරමු යන්නයි. ඒ අනුවයි ‘දූ අනුරාධා’ ප්‍රසංගය කිරීමේ අදහස ආරම්භ වන්නේ. එහෙත් පළමුවෙන් ම ආරම්භ කළ ඒ වෙනස් ම අදහසකින් යුත් කාර්යය තවත් වසරකින් හෝ ආරම්භ කරන බවත් මෙහිදී මා පවසනවා.

• ඔබගේ නිර්මාණ ඇතුළත් ඒකපුද්ගල ගී ප්‍රසංගයක් කලඑළි දැක්වීමට යෝජනා වුණත් ඔබ තනිව ම එවැනි ප්‍රසංගයක් පැවැත්වීමට ප්‍රකාශ කරන්නේ අකැමැත්තක්. ඒ ඇයි?

එවැනි අයුරින් තනිව ම ප්‍රසංගයක් පැවැත්වීමට තරම් කෙනකු නොවන බවයි මට වැටහී ගියේ. ඒ අදහස මගේ හිතමිතුරන්ට පැවසුවාට පසු ඔවුන් පැවසුවේ ඔයාගේ ජීවිතයේ නිතර ම දිරි දුන්නේ ඔයාගේ අම්මා, තාත්තා. අනෙක් කාරණය නම් ඔයා ඉපදුණු ගමන් ම ඔයාට වෙළෙඳ නාමයක් ලැබුණු කෙනෙක්. එහෙම නම් ඒ වෙළෙඳ නාමය අපි එළියට ගනිමු කියන යෝජනාවයි ඔවුන් මට රැගෙනාවේ. ඒ අනුවයි අම්මා, තාත්තාගේ සෙවණැල්ලේ ඉඳිමින්, ඔවුන්ගේ ආලෝකය ලබමින් ‘දූ අනුරාධා’ ප්‍රසංගය කිරීමට මා අදහස් කළේ. මේ අනුව ‘දූ අනුරාධා’ කියන්නේ ත්‍රිපුද්ගල ප්‍රසංගයක්.

• අනෙක් ගායක-ගායිකාවන්ගේ දූ-පුතුන් සිය මවුපියන්ගේ ගීත ප්‍රසංගවලදී ගයද්දී ඔබ ඒ අදහස ප්‍රතික්ෂේප කළ දියණියක්. එහෙම කිරීමට විශේෂ හේතුවක් තිබුණාද?

මෙතරම් කාලයක් ගායිකාවක විදියට මගේ රසිකයන් අතර මා ජනප්‍රිය නොවීමට මට බලපෑ ප්‍රධාන කාරණය වන්නේත් එයයි. මගේ තරුණ අවධියේදී මට අම්මාගේ ගීත ගැයීමටත්, ඔවුන් දෙදෙනාගේ ම ගීත ගයා කැසට් කිරීමටත් ආරාධනා ලැබුණා. එහෙත් මා ඒ ලැබුණු ආරාධනා සියල්ල ප්‍රතික්ෂේප කළා. සමහර විශේෂ අවස්ථාවල අම්මා, තාත්තාගේ ගීත මා ගැයුවත් මට වුවමනා වුණේ ගායිකාව කියන විශේෂ නාමයෙන් මාව හඳුන්වනවා නම් මගේ ම අනන්‍යතාවක් ඇතුළේ ගොඩනැඟීමටයි. ඒ සඳහා පසුගිය කාලයේ මා සූදානම් වුණා; මගේ ම කියන ගීත නිර්මාණ රැසක් ම මා ගැයුවා. මේ වන විට සංගත තැටියකටත් ඉදිරිපත් කළ නොහැකි ගීත ප්‍රමාණයක් මා ළඟ එක්රැස් වී තිබීම සතුටට කරුණක්.

• එදිනට ‘දූ අනුරාධා’ ප්‍රසංගයේදී ඒ ගීත ඔබගේ රසිකයන්ට රසවිඳීමට අවස්ථාව හිමි වේවි ද?

මේ ප්‍රසංගයේදී ඒ විදියට නිර්මාණය වුණු මගේ ගීත කිහිපයක් ම ගැයීමට නියමිතයි. ඒ අතර රූපරචනා කලාව පැමිණි කාලයේ නිර්මාණය වූ ගීත අතරට ගැණුණු මගේ එක් ගීතයකුත් ගැයෙනවා. ‘සුබ සිහිනය දකින්න...’ නම් වූ ඒ ගීතය ලිව්වේ ප්‍රණීත් අභයසුන්දර මාමා; සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස් මාමා. අද ඔහු ජීවතුන් අතර නැහැ. ඒ වගේ ම මේ ගීතය මා ගයනවා ඔහු අසා තිබෙන්නේ පටිගත කරන අවස්ථාවේ පමණයි. මා ප්‍රසිද්ධ වේදිකාවේදී ඒ ගීතය ගයනවා ඔහු කිසිදිනක අසා නැහැ. ඒ කාරණයත් සිහිපත් කරමින් ප්‍රසංගය දිනයට මා ගයන ගීත අතරට ඒ ගීතයත් ඇතුළත්. ඊට අමතරව මේ ප්‍රසංගයේ තිබෙන විශේෂත්වය වන්නේ මා අම්මාගේ ගීත නොවෙයි, තාත්තාගේ ගීත කිහිපයක් ම ගැයීමට නියමිත වීමයි. ඒ අදහස මට දුන්නේ උදේනි අල්විස් අයියායි. දවසක් ඔහු මට පැවසුවේ “තාත්තාලාගේ ගීත පුතාලා ගයනවා, අම්මලාගේ ගීත දූවරු ගයනවා. ඒත් තාත්තාලාගේ ගීත දූවරු ගයනවා මෙතෙක් අප සවන් දී නැහැ. එවැනි කාර්යයක් ක්‍රියාත්මක කරන්න” යන්නයි. ඒ නිසා එදිනට ප්‍රසංගයේදී මා මගේ ගීතවලට අමතරව තාත්තාගේ ගීත කිහිපයක් ගයන්නට තෝරාගත්තා.

• ඔබගේ පියා වන මහාචාර්ය සනත් නන්දසිරි විවිධ වර්ගයට ගැනිය හැකි ගීත රැසක් ගයා තිබෙනවා. ඒ අතුරින් එදිනට ගැයීමට ඔබ තෝරාගත් ගීත මොනවාද?

එහිදී මා ගැයීමට ගීත තෝරාගැනීමේදී වඩාත් පරිස්සම් වූයේ තාත්තා පෙම්වතකු විදියට පෙම්වතියකට ම කියන ප්‍රේම ගීත හෝ විරහ ගීත ගයන්නට තෝරා නොගැනීමයි. ඇය හෝ ළඳ ගැන කියැවුණු ගීතත් ගයන්නට මා තෝරා ගත්තේ නැහැ. ඒ සියලු අදහස්වලින් ඈත් වුණු පොදුවේ ස්ත්‍රියකටත් ගයන්නට හැකි, එවැනි අදහසක් තිබෙන තාත්තාගේ ගීතයි මා තෝරා ගත්තේ. එලෙස මා තෝරාගත් ඒ ගීත බොහෝ තිබෙන්නේ ඔහුගේ ‘ස්වර්ණ කුණ්ඩලී’ ප්‍රසංගයේයි. ඒ ගීත මා ඉපදෙන්නට පෙර ගැයූ ගීත හා මාව උකුළේ තියාගෙන සිටින කාලයේ ඔහු ගැයූ ගීතයි. මේ නිසා මෙහිදී එදිනට ගයන ගීත මේ මේ යැයි මා නොපවසන්නේ එදින ප්‍රසංගයේදී මගේ රසිකයන් පුදුම කිරීම සඳහායි. ඒ වගේ ම මා මගේ ගීත හා තාත්තාගේ ගීතත්, තාත්තා තාත්තාගේ ගීතත්, අම්මා අම්මාගේ ගීතත් ගැයීම මඟිනුයි ප්‍රසංගය සිදු වන්නේ.

• ‘දූ අනුරාධා’ ගීතය යැයි පවසන විට අපගේ සිතට පිවිසෙන්නේ සුපුරුදු ලෙස අප ශ්‍රවණය කර ඇති ගීතයයි. එහෙත් මේ වන විට ඒ ගීතය බොහෝ සුන්දර ලෙසින් ඔබ ගයන්නේ වෙනස් ම අදහසක් අර්ථ ගැන්වෙන අයුරිනුයි. ඒ අර්ථ ගැන්වීම සිදු වුණේ කෙලෙස ද?

‘දූ අනුරාධා’ ගීතය ගැයෙන්නේ මා ඉපදී මාස දහයකට පසුවයි. බුද්ධදාස ගලප්පත්ති මාමා ලියූ ඒ ගීතය ඒ දවස්වල තාත්තා ගැයුවේ තාත්තාගේ ‘ස්වර්ණ කුණ්ඩලී’ ඒක පුද්ගල ප්‍රසංගයටයි. මේ ගීතය ගැන පවසන විට මගේ මතකයට පිවිසෙන්නේ එකල සිදු වුණු විශේෂ සිදුවීමකුයි. ඒ තාත්තා මේ ගීතය ගයන විට මට කතා කරනවා යැයි පවසමින් මා වේදිකාවට දුවන්න සූදානම් වූ බව කියැවෙන සිදුවීමයි. මේ සිදුවීම මගේ මතකයේ නොමැති වුවත් අදටත් මගේ පුංචි අම්මලාගේ මුවෙන් පැවසෙන විට මට දැනෙන්නේ සතුටක්. සතුටක් වගේ ම අර සිදුවීමත් ‘දූ අනුරාධා’ ගීතය ඇසෙන සෑම වාරයක ම මෙන් මගේ මතකයට පිවිසෙනවා. ඒ වගේ ම ඒ ගීතයට පිළිතුරු ගීතයක් රැගත් ප්‍රති-අරුත් ගැන්වෙන මා ගයන නැවුම් ‘දූ අනුරාධා’ ගීතය නිර්මාණය වන්නේ වසර හතළිස් හතරකට පමණ පසුවයි. ඒ අලුත් ගීතය පදරචනය කළේ මගේ ළබැඳි සොහොයුරකු වන විදුර ඩයස් අභයගුණවර්ධනයි. එහි සංගීතය නිර්මාණය කළේ ප්‍රවීණ සංගීතඥයකු වන නදීක ගුරුගේයි. මේ ප්‍රසංගයේදී මා ගයන විශේෂ ම ගීතය එයයි. මෙහි ඇතුළත් අදහසට පාදක වන්නේ කලින් ගීතයට පාදක වූ පුංචි දඟකාර දූ ගැන නොවෙයි. ඒ දූ දැනුම් තේරුම් වයසට පිය නැඟුවාට පසුව ඈට සිය පියාගේ සෙනෙහස දැනෙන අයුරුයි. මේ ගීතයේ තනුව නිර්මාණය වුණේ තාත්තා ගැයූ ‘දූ අනුරාධා’ ගීතය අනුසාරයෙන්. ඒ ඇසුරෙන් සැකසුණු නැවුම් ගීතයයි මා ‘දූ අනුරාධා’ නමින් ගයන්නේ. ඒ සඳහා සහය ගායනයෙන් අම්මාත්, තාත්තාත් සහය වනවා. මගේ රසිකයන්ට මා අරාධනා කරන්නේ ඒ මගේ නැවුම් ගැයුමේ අත්දැකීමක් විඳීමටත්, සොඳුරු ප්‍රසංගයක අසිරිය විඳීමටත්, නෙළුම් පොකුණ රඟහලට පැමිණෙන්න යනුවෙන්.

 

• ‘දූ අනුරාධා’ ප්‍රසංගයේදී සංගීතය මෙහෙයවන්නේ තරුණ වාද්‍ය වෘන්දයක් වන ‘නාද’ සංගීත කණ්ඩායමයි. එවැනි සංගීත කණ්ඩායමක් මේ ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීමට තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබුණා ද?

මම සම්ප්‍රදායට පමණක් සීමා වුණු කෙනෙක් නො වෙයි. ඒ කාලයේ පටන් මට මේ මේ සංගීතය පමණක් උගත යුතු යැයි, මේ මේ ගීත පමණක් ඇසිය යුතු යැයි තාත්තා තහංචි දැම්මේ නැහැ. මා සෑම භාෂාවක ම ගීත ඇසුවා; රස වින්ඳා. සංගීතය වුණත් ඒ විදියමයි. ඒ අනුව නාද කියන්නේ තරුණ පරම්පරාව සම්බන්ධ වුණු සංගීත කණ්ඩායමක්. අලුත් පරපුරක සංගීත කණ්ඩායමකින් බලාපොරොත්තු නොවුණු විදියේ වෙනස්කම් රැසක් අප ඔවුන්ගේ දුටුවා. එහි නායක නදීක කරුණානායක ඇතුළු පිරිස ඒ භාණ්ඩ සංයමයෙන් යුතුව හසුරවන විදිය අපේ සිත් ගත්තා. ඒ නිසයි අපි ඔවුන්ට මේ ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීමට භාර දුන්නේ. ඔහුගේ පිරිසට අමතරව මේ ප්‍රසංගයේදි ඔහු අපේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම කිහිපදෙනකු වයලීනයට, සිතාරයට, තබ්ලාවට, කීබෝඩ්-එකට සහභාගි කරගැනීමට කැමැති වුණා. ඒ පැරැණි රසයෙන් යුතුව රසිකයන්ට ගීත ශ්‍රවණය කිරීමේ පහසුව සැලසීම සඳහායි. තබ්ලා වාදනයෙන් සහාය වන්නේ තාත්තාගේම ගෝළයෙක්.

• විශාරද අනුරාධා නන්දසිරි ගායිකාවක ලෙස දොරට වඩින මොහොතේ ඈ ගුරුවරියක්; සංගීත ඥානයෙන් හෙබි සංගීතඥවරියක්. ඒ පැමිණි ගමන ඔබ දකින්නේ කුමන අයුරින් ද?

තාත්තාගේ අදහස වුණේ මා සංගීත ඥානය ලබාගත යුතු බවයි. ඒ සඳහා මට විශේෂ වූ පන්ති පැවැත්වූයේ නැහැ. ඔහු ඒ වන විටත් ආරම්භ කර තිබූ සංගීත පන්තියේ ඔහුගේ අනෙක් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් සමඟයි මටත් ඉගැන්වීම් කටයුතු කළේ. ඔවුන් සමඟ මා සංගීතය ඉගෙනගත්තා; පුහුණු වීම් කටයුතු කළා; වාදනය හැදෑරුවා; සංගීත විභාගවලට ලිව්වා. අවසානයේ ඔවුන් සමඟ මා සංගීතය උගෙන විශාරදවරියක බවට පත් වෙනවා. ඒ වගේ එකල මා අධ්‍යාපනය ලැබූ මියුසියස් විද්‍යාලයේ ම දරුවන්ට සංගීතය ඥානය බෙදාදෙන ගුරුවරියක බවට පත් වෙනවා. කාලයක් සැමියාත් සමඟ විදෙස්ගත වීමත් සමඟ නැවත මවුරටට එන මා කුඩා ළමයින්ට සංගීත පන්ති පැවැත්වීම ආරම්භ කරනවා. ඊට පසුව අද දක්වා ම තාත්තාගේ සංගීත පන්තිය වූ ‘ගාන්ධර්ව’ සංගීත ආශ්‍රමයේ දරුවන්ට සංගීත ඥානය බෙදාදෙන ගුරුතුමියක බවට පත් වෙනවා. විශේෂයෙන් ම කිව යුතු කාරණයක් වන්නේ ‘දූ අනුරාධා’ ප්‍රසංගයේදී අත්වැල් ගායනයෙන් සහභාගි වන්නේ අපේ සංගීත ආශ්‍රමයේ ළමයින් වන බවයි. අවසාන වශයෙන් මේ ප්‍රසංගයේ කටයුතුවලට මට බෙහෙවින් සහාය දක්වන මගේ පුංචි අම්මලා ඇතුළුව අනෙක් සියලු දෙනාටත්, මගේ හොඳම යහළුවා ‘ගයනා’ හා අනෙක් යහළුවන් සියලු දෙනාටත්, සුනිල් මාමා, ප්‍රණීත් මාමා ඇතුළු සියලු දෙනාටත්, පැමිණෙන නොයෙක් කරදර විඳිමින් ඒවා ඉවසීමෙන් දරාගන්නා මගේ සැමියාටත්, මා වෙනුවෙන් කැප වෙන මගේ අම්මා හා තාත්තාටත්, ‘සිහළෙ ටයිම් ඇන්ඩ් ස්පේස්’ ආයතනයටත් ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.

 

ෙස්යාරුව - නිශ්ශංක විෙජ්රත්න

Comments