නඩුකාරයන්ගේ නඩුයි - බඩුයි | සිළුමිණ

නඩුකාරයන්ගේ නඩුයි - බඩුයි

අපගේ වීරයා වන චිචිකෝෆ්ට ඉල්ලම පෑදෙන්නේ කලින් සඳහන් කළ නීතිඥයා ළඟ ලිපිකරුවකු හැටියට වැඩ කරගෙන යන අතරවාරයේදී ය. කිසියම් ඉඩම් හිමියෙක් සිටුවරයකු මෙන් ජීවත් වීමට ගත් ව්‍යායාමයේදී, හොඳට ම නට්ටන් විය. ඔහුගේ මුදල් නාස්තිය නිසා ඉඩ-කඩම් ද විනාශ විය. දිනපතා ආහාර-පාන සඳහා වත් ඔහු අත සතයක් වත් ඉතිරි ව නොතිබිණි. තමන් සතු අන්තිම වත්ත රජයට උගස් තබන්ට ඔහු තීරණය කළේ බැරි ම තැනේදී ය. මෙකල අපේ රටේ විනිමය බිල්පත් ගැනීම වගේ ම එකල එරට රජයට ඉඩම් උගස් තැබීම මෝස්තරයක් විය. ඉඩම් හිමියාගේ ලියවිලි හදන්න සිදු වූයේ චිචිකෝෆ්ට ය.

ඉඩමට එහි වෙසෙන දාසයෝ ද අයත් ය. ඊළඟ ජනලේඛනය එන තුරු ම, මැරුණු දාසයන් සඳහා ද බදු ගෙවිය යුතු ය. අනෙක් අතට මේ දාසයන් ද රජයට උගස් කළ හැකි ය; උගස් කොට මුදල් ද ලැබිය හැකි ය. ඊළඟ ජනලේඛනය එන තෙක් ම, මළ දාසයා ද වෙළෙඳ භාණ්ඩයකි.

ගොගොල් පවසන ආකාරයට, ‘කිසි විටෙක මිනිස් මොළයෙහි පහළ නොවූ අදහසක්’ අපේ වීරයාගේ මොළයෙහි පහළ විය (දැන් ඉතින් අපේ වීරයාට - චිචිකෝෆ්ට - සවන් දුන මැනවි!)

“සියලු ධනසම්පත් විනාශ වී දිළින්දකු බවට පත් මම මෙපමණ කල් වාසනාව සොයා වෙහෙසුණෙමි. දැන් ඒ වාසනාව මගේ අත ළඟට ම පැමිණ තිබේ. අලුත් ජනලේඛනයක් ගැනීමට කලින් මිය ගිය දාසයන් දහසක් පමණ මිලයට ගෙන රජයට උකස් තබමි. අඩු ගණනේ එක දාසයකුට රූබල් දෙසීය බැගින් ගෙව්වොත්, ඉන් මට රූබල් ලක්ෂයක් පමණ ලබාගත හැකි ය. මළ මිනිසුන් ගැනීමට මීට වඩා හොඳ කාලයක් නැත. දෙයියන්ට පින් සිද්ධ වෙන්න මීට ටික කලකට කලින් පැතිර ගිය වසංගතයෙන් දාසයෝ බොහෝ දෙනෙක් මියගියහ. සූදුවෙන් සුරාවෙන් විනාශ වූ ඉඩම් හිමියෝ දැන් ණය වී සිටිති. ඔවුහු ඉඩ-කඩම් හැර දමා රජයේ රක්ෂා සොයා නගරයට යති. මිය ගිය දාසයන් වෙනුවෙන් බදු ගෙවීම ඔවුන් පිට පැට වී ඇති මහ බරකි. බදු බරින් නිදහස් වීම පිණිස ඔවුන් මිය ගිය දාසයන් දීමට කැමැති වනවා ඇත. ඇතැම් විට මිය ගිය දාසයන් සමඟ ඔවුන් මට මුදල් ද දෙන්න පිළිවනි. මේ ව්‍යාපාරයේ දුෂ්කර තැන් ද තිබේ. මා නැවත වරක් අමාරුවේ වැටෙන්න ද පුළුවනි. මා අඬ-දබරවලට අසු වන්න ද පිළිවනි. එහෙත් මිනිහෙකුට ‘මොළය’ කියා දෙයක් තිබෙන්නේ මෙවැනි අවස්ථාවලදී ප්‍රයෝජන ගැනීමට යි. බදු බරින් මිරිකී සිටින අයට ඒ බරින් නිදහස් වීමට මෙය කදිම අවස්ථාවකි. ඔවුන් කිසිවක් ගැන සැක නොසිතා මට මළ දාසයන් විකුණන්නට පිළිවන. මගේ මේ උපාය කිසිවකුට සිහිනෙන් වත් සිතාගත නොහැකි දෙයකි. ඒක තමයි මට තිබෙන ලොකු ම වාසිය. එහෙත් ඉඩම් නැතිව දාසයන් ගැනීමත්, විකිණීමත්, නීති විරෝධි ක්‍රියාවකි. කසාන් පළාතේ මුඩු ඉඩම් බොහෝ තිබේ. මට ඒ පළාතේ ඉඩම් තිබෙන බව ඔප්පු කිරීමට අවශ්‍ය ලියකියවිලි පිළියෙල කරගත හැකි ය.”

අප මුලින් දැනගත් ආකාරයට, චිචිකෝෆ් මළදාස ගනුදෙනුවකට පටලැවෙන්නේ ඒ පෙලඹවීමෙන් පසුව ය. කෙසේ වෙතත් ඔහු ඒ නගරයෙන් පලා යන්නේ අතිශයින් ගර්හිත ආකාරයටය. ඒ පිළිබඳ දුර දිගට විස්තර කතා කරන්ට මෙහි ඇති ඉඩ-කඩ ප්‍රමාණවත් නො වේ.

අවසන් නොකළ ස්වකීය විශාල නවකතාවේ අග භාගයේදී කතුවර නිකොලායි ගොගොල් මෙවන් පාපොච්චාරණයක් ද කරයි:

“මා විසින් නිරූපණය කරන ලද වීරයා ගැන පාඨකයා සෑහීමට පත් නොවන්නේ නම්, මම ඒ ගැන සිතේ අසතුටක් ඇති කර නොගන්නෙමි. එනමුත් පාඨකයා මගේ වීරයාට කැමැති වන්නේ නම් එය මගේ සිත්තැවුලට හේතු වන බව කියනු කැමැත්තෙමි. ගත්කතුවරයා තමා විසින් නිර්මාණය කරන ලද වීරයාගේ ඇතුළු හදවතට වැදී එහි සැඟවී තිබෙන, කිසි ම මිනිසකු විසින් තවත් මිනිසකුට හෙළි නොකරන අදහස්-උදහස් හෙළි නොකොට, මනිලොව් ආදි ඉඩම් හිමි රදළයන්ට හා නගරවාසීන්ට පමණක් පෙනුණු ආකාරයට වීරයාගේ බාහිර ලස්සන පමණක් හෙළි කළේ නම්, පාඨකයා මගේ වීරයා උසස් චරිතයක් ලෙස සොම්නසින් පිළිගන්නට පිළිවන. කෙසේ වෙතත් ඔහුගේ මුහුණ හා බාහිර ලස්සන ගැන සැලකිල්ලක් නොදක්වන පාඨකයා කතාව කියවා අවසන් වූ පසු මගේ වීරයා අමතක කොට දමා, මුළු රුසියාවට ම ඇති එක ම සැනසුම වූ කුට්ටම ගෙන සූදු කෙළියට යනවා ඇත.”

කතාවේ දෙවැනි භාගයට එළඹෙන විට, චිචිකෝෆ් තවත් දුර බැහැර ප්‍රදේශයකට යන අයුරු පාඨකයාට දැක-බලාගත හැකි ය. ඒ ගමනේදී ද ඔහුගේ බලාපොරොත්තුව මළ දාසයන් ලබාගෙන ධනවත් වීම ය; සමාජයේ ඉහළ තලයකට නැඟීම ය. අන්තිමේදී ඔහුගේ අවධානය යොමු වන්නේ, දාසයන්ටත් වඩා ඉඩමක් මිලයට ගැනීමට ය. එකි අරමුණ ද ඉෂ්ට වෙයි. ඉඩම් ගන්නේ ද ඔහු දන්නා සටකපට සූත්තර සියල්ලේ පිහිටෙනි.

මේ අතරවාරයේ තමාගේ මිත්‍රයකු බවට පත් වන ලෙනිට්සින් නමැත්‍තකු මාර්ගයෙන් ඔහුගේ ධනවත් නැන්දණිය වන ඇලෙක්සැන්ඩ්‍රා ඉව‍නොවිනා යන කාන්තාව දැන-හැඳිනගන්නට චිචිකෝෆ්ට අවස්ථාව සැලසෙයි. අන්තිමේදී චිචිකෝෆ් ඇගේ නිවෙස පාලනය කරන්නේ තමාගේ නිවෙස පාලනය කරන්නාක් මෙනි. කෙසේ වතුදු ඇය මිය යන්නේ සැක කටයුතු ආකාරයට ය. මේ අතර නගරයට පැමිණි අමුත්තකු පොලිස් ඉන්ස්පැක්ටර් සමඟ කතා කරන අවස්ථාවේ කියා සිටින්නේ, “මළ මිනිසුන් මිලයට ගනිමින් රට පුරා යන චිචිකෝෆ් නමැති මිනිහෙක්” ඒ පළාතටත් පැමිණ සිටින බවකි.

ධනවත් කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් කුමන්ත්‍රණ චෝදනාවක් චිචිකෝෆ් දෙසට ද යොමු වුණ ද, ආණ්ඩුකාරයා සාක්ෂි ප්‍රමාණවත් නො වේ යැ යි එය බැහැර කළේ ය. කෙසේ වතුදු, මිය ගිය ධනවත් කාන්තාව සතුව තුබුණු රන්-රිදී, මුතු-මැණික් භාණ්ඩවලින් කොටසක් චිචකෝ‍ෆ්ගේ පෙට්ටියෙහි වූ වග ද හෙළි විය. එහෙත් චිචිකෝෆ් නගරය හැර යන්නට, ඒ කිසිවක් හේතුවක් කරගත්තේ නැත.

තවත් කාරණයක් අනාවරණය වෙයි. කලින් සඳහන් කරන ලද ලෙනිට්සින‍්ගේ නැන්දණිය ලියා තැබූ අන්තිම කැමැති පත්‍රය වෙනුවට අලුත් අන්තිම කැමැත්තක් ලියා හොර අත්සන් තබා සිය මිත්‍රයාට ඇගේ බූදලය එහෙම පිටින් ම අත්පත් කර දුන්නේ චිචිකෝෆ් ය. මේ කටයුතු සිදු වන්නේ ලෙනිට්සින්ගේ අනුදැනීමකින් තොරව ය.

දැන් මුල් අන්තිම කැමැති පත්‍රය සොයාගෙන ඇත. ඒ අනුව බූදලයෙන් බාගයක් පල්ලියට ය. අනෙක් බාගය ඇගේ ආරක්ෂාවට සිටි දෙදෙනකුට ය. ලෙනිට්සින්ට තඹයක් වත් නැත.

අලුතින් හදන ලද ව්‍යාජ අන්තිම කැමැති පත්‍රයට සාක්ෂි වශයෙන් අත්සන් තබන්න, චිචිකෝෆ් විසින් යොදාගෙන ඇත්තේ, එනුවර නඩුකාරයෝ දෙදෙනෙකි.

අද අපේ රටේ වගේ ම ය. එදා සාර්ගේ රුසියාවේ ද නඩුයි-බඩුයි දෙක ම නඩුකාර හාමුදුරුවන්ලාගේ ය!

Comments