නොසිඳුණු කවි උල්පත තවමත් මල් | සිළුමිණ

නොසිඳුණු කවි උල්පත තවමත් මල්

කර්තෘ - ආරියවංශ රණවීර

ප්‍රකාශක:- අහස ප්‍රකාශකයෝ

නාට්‍ය පිටපත් කිහිපයක්, විචාර ග්‍රන්ථ දෙක තුනක් සහෘදය ජනතාව වෙත පිරිනැමුවත් ආරියවංශ රණවීර කවිය වෙනුවෙන් ම දිවි කැප කළ නිර්මාණකාරකයකු ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් නොමැත. ඔහුගේ නාමය තදින් බැඳී ඇත්තේ නූතන සිංහල පද්‍ය සාහිත්‍ය සමඟ ය. මිනිස් චින්තනය පුළුල් කිරීම කවියේ ප්‍රධාන කාර්යභාරය බව පවසන ආරියවංශ රණවීර රොබට් ෆ්‍රොස්ට් ගේ කියමනක පිහිටා කවිය පිරිපුන් විය යුතු බවත්, නම්‍යශීලී විය යුතු බවත්, දැඩි නීති රීතිවලින් බැඳ නොතැබිය යුතු බවත් සඳහන් කරයි. ‘තවමත් මල්’ තවමත් කවි ලියන රණවීරයන්ගේ පසළොස්වන කාව්‍ය සංග්‍රහය බව මගේ හැඟ‍ීමයි. ඔහු ග්‍රන්ථ නාමයට ගත් කවි පෙළේදී පවසන්නේ මෙබන්දකි.

“මල් ඇවිත් දැන් ආයෙමත්

අතු අගිස්සේ විතරයි මෙදා

ඉස්සර තරම් නම් නෑ තමයි

මල් උණත් දැන් ඔහොමමයි

අතු පුරා වනාලුව නැතත්

මල් පිපෙයි නම් ටික උනත්

බැහැ පිට පාරේ...”

රණවීරයන්ගේ කවි ශක්තිය සිඳී නැත. ඔහු අලුත් මං සොයයි. එහිදී ඇතැම් තැනෙක උපහාසය නවාතැන් ගනී. ‘පෙරහුරුව’ ඊට මහඟු නිදසුනකි. නිර්මාණය අරඹනුයේ එළාර සමඟ සටන පමා කරන බැවින් ගැමුණු කුමරු පිය රජු‍ වෙත ස්ත්‍රී ආභරණ යැව්වේ ය යනුවෙන් සඳහනක් කරමිනි.

“ගියාවේ ගියාවේ ඔහු

මාළිගා බිමේ හිර වී නොසිට

ඈත දනව්වකට ගොස්

හිරි යන තෙක් කුඹුරු කොටා

ගොඩකරේ පැළ ඉන්දවා.... යනුවෙන් පවසන කවියා සිය ගමන අවසානයේ නැවත මාළිගයට ළඟාවන ගැමුණු කුමරුගේ අඟනකට දීම උදෙසා ස්ත්‍රී ආභරණ පරිස්සම් කර තබන්න යැයි නිර්මාණය නිම කරයි. ස්ත්‍රී ආභරණ එවීම පොඩි එකකු ගේ වැඩක් බවත් ඔහු තවමත් පැඟිරකු බවත් පැවසීමටත් අමතක නොකරයි. සාදය, කුටුම්බ සුවය, අද එන්න ගෙවල් පැත්තේ වැනි තවත් නිර්මාණ ගණනාවක මෙකී ගුණය ගැබ් වී ඇති බව කිව යුතු ය.

පරිසරය හා බැඳුණු නිර්මාණකරණයට ද රණවීරයෝ බෙහෙවින් දස්කම් දක්වා ඇත්තාහ. උසස් පෙළ නව සිංහල විෂය නිර්දේශයට ඇතුළත් මොහු ගේ ‘තුරු සෙනඟ හා තණ පඳුර’ ඊට මහඟු නිදසුනකි. එවන් නිර්මාණ රාශියක් ‘තවමත් මල්’ කාව්‍ය සංග්‍රහයට ඇතුළත් වෙයි.

පලක් නැති තුරක්, මහ තුරක කල්පනාවක්, වැට මාරාව සහ මල්, ගස් කපන්නාගේ දුක ඒ ගණයට වැටෙන පද්‍ය රචනා කිහිපයකි. මහතුර නායකයෙකි. කුඩාවුන්ගෙන් ඇතැමකු මොහුගේ දරුවන් ය. විවිධ පරිසර විෂමතාවන්ට මහතුර මුහුණ දෙයි. තමන් යට සිටින සියල්ලන් ම මහතුර ඒවායින් ආරක්ෂා කරගනී. මතුපිටින් ගහ කොළ ගැන පැවසුණත්, අභ්‍යන්තරයෙන් මානව සමාජය නිරූපණය වෙයි. කවිය යනු එයයි.

“ලොව

ගුගුරුවා

අහස‍

සොලවා‍

හාත්පස

පැතිර

වැටෙන විට

බලගතු වර්ෂාව.... මෙලෙස වචනයෙන් වචනයට පාද බෙදීම බොහෝ විට රණවීරයන්ට ම ආවේණික වූවකි.අතීතයත්, වර්තමානයත් සැසඳීමට රණවීරයන් තුළ වූ ළැදියාව පෙනෙන කදිම නිර්මාණයක් ලෙස ‘නොතාරිස් කන්තෝරුව’ හැඳින්විය හැකි ය.

“ට‍සෝ කෝට් එක ඇඳ

කර පියවූ කමිසය මැදි කර

පිරිසිදු සුදු සරම දවටා

කොණ්ඩ ගැටය බැඳ

ඔලිවෙට්ටි ටයිප් රයිටරයේ‍

ටක්... ටක්... ටක්.... ටක්..‍. ටකස්.... මෙහි පැනෙන වචනයක් වචනයක් පාසා එදා සහ අද වෙනස පිළිබඳ ඉන්ද්‍රියරූප මවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

‘ඉහළ පහළ’ හා ‘බොතේජු’ මෙතෙක් රණවීරයන් අතින් නොලියවුණු නිර්මාණ යුග්මයක් ලෙස හැඳින්වීමේ වරදක් ද නොපෙනේ. පුද්ගල චරිතද්වයක බොහෝ ක්‍රියාකාරකම් මේ රචනාද්වයෙන් ම සිත් බඳිනා ලෙස නිරූපිතය‍. මේ රචනාද්වයෙන් ම නිවසට පැමිණ මෙහෙ කරන්නවුන් ගැනම කියවෙයි. පළමු රචනයෙන් අපට යුවතියක මුණ ගැසෙන අතර දෙවැන්නෙන් පුරුෂයෙකු හමුවෙයි.

“කාමරේ ඉඳන්

හිත හිතා

ඈ නිසා

ලියැවුණු

කවියක්

දෙන්නද

හොරෙන්

ඈට

පුදුම වේවි ඈ

නෑවිත්ම ඉඳීවිද‍

වටේටම

ගරා යක්කු‍

(ඉහළ පහළ)

වැඩ හමාර කර‍

අප ගණන්කරදෙන ගතමනාව‍

මොලවාගෙන අත්ලට

බලා කෙළින්

බුදුසරණයි

මුහුණලා

ඔහු යනවා

රුවල බිඳුණු

නැවක් වගේ

දෙපැත්තට

විසි වෙවී

(බොතේජු)

රණවීරයන් වඩාත් ප්‍රචලිත වූයේ ඉතා සංක්ෂිප්ත කාව්‍ය නිර්මාණ හේතු කොටගෙන ය. මෙහි එන ‘අම්මා’ රචනය ඉතා සංක්ෂිප්ත වූවකි. ඉන් දයාබරිත ලෙස පුරුෂෝත්තම වාදය ගැන ඉඟි කරයි.

“අම්මා දකින්න ආසයි හීනෙන්වත්

තාත්තාමයි එන්නේ මහ උදාරමින්

මුල්ලේ ද ඔබ ලිප ගිනි මැද ඔහේදිත්

හීනයක් අත්පත් කරගෙන ද තාත්තා”

සැබෑ ලොව මෙන් ම සිහින ලොවක් පුරුෂ ආක්‍රමණයට නතු වී තිබේ ද?

රණවීරයන්ගේ ‘මීමා’ පද්‍ය රචනය අපට සිරි ගුණසිංහයන්ගේ ‘මීහරකා’ නිර්මාණය සිහිපත් කරන අතර, ‘අවුකන බුදු හිමි’ පද්‍ය රචනය මහගමසේකරගේ ‘අවුකන පිළිමය’ අප මතකයට කැඳවයි. මේ නිර්මාණද්වයෙන් දෙවැනි රචනය ප්‍රශස්ත බව නොකියා බැරිය. බුදු හිමිගේ මහා ගුණ කඳ සිහිපත් කරන අයුරින් ඉතා ඉහළ කව් බසක් මෙහිදී කවියා උපයුක්ත කරගෙන තිබේ.

“ඔබ ඉමහත් පා යුග අස

බැඳි දෑත් පොකුරින්

ඉස්සී බලද්දී

පෙනේ මට

වජ්‍රායුධයක් සේ.... අවසාන වශයෙන් කිවයුත්තේ ‘තවමත් මල්’ ආරියවංශ රණවීරයන්ගේ කවිත්වය තවමත් නොසිඳී පවතින බව තහවුරු කරන රමණීය නිර්මාණ සංග්‍රහයක් බවයි.

සුනිල් ගුණවර්ධන

Comments