කොළඹ හරි පුංචියි මචං... | සිළුමිණ

කොළඹ හරි පුංචියි මචං...

ගුණසිරි කොළඹගේ නම් අපූර්ව සිතුවම් ශිල්පියා නිර්මාණය කරන ලද ජීවමාන සෙයකින් දිස්වෙන බුදු රුවක සිත්තමක් පොත් කාමරයේ එල්ලා තිබේ. මනස විඩාපත් වූ විටෙක හෝ වියවුලෙන්, සන්තාපයෙන් මනස රිදුම් දෙන විට හෝ පුටුවේ පිටුපසට හිස හේත්තු කර ගන්නා මම, ඒ සිත්තම දෙස බලා සිටින්නෙමි. සිත්තරාගේ තෙලිතුඩට හසු වූ බුදුන්ගේ මහා කරුණාව රේඛා අතරින් ගලා විත් මසිත නිවයි; සනහයි; වෙහෙස දුරු කරයි.

ඇසිපිය නොහෙළා ඒ අපූර්ව සිත්තම දෙස බලා සිටින විට ඒ සිත්තමේ රාමුව ක්‍රමයෙන් නොපෙනී යන්නට වෙයි. රාමුව නොපෙනී බුදු රුව විසල් ව බිත්තිය පුරා පැතිර යන සෙයක් පෙනෙන්නට පටන් ගනී. චිත්‍රයකට, සිතුවමකට රාමුවක් තිබිය හැකි ද? රාමුවක කොටු කර තැබුවත් එය තම ඉඩ අවකාශ සොයා රාමුව අතික්‍රමණය කරනවා නොවේ ද?

සේයාරුවක් වුව ද එසේ ම ය. සමහර සේයාරූ රාමුවෙන් පිටට පැන අප හා ගමන් කරනවා නොවේ ද? ප්‍රතිමාවක් වුව ද එසේ ම ය. එය ඒ පවතින ස්වරූපයෙන් රාමුගත නොවී ඉඩ අවකාශ හා විසිරෙනවා නොවේ ද?

අහස හා ජල තලය එක් ව මුණ ගැසෙන ක්ෂිතිජය ඔබට පෙනී ඇතිවාට සැක නැත. ඇසට පෙනෙන මානයේ අපරිමිත ව හා අනන්ත ව ව්‍යාප්ත වුණු ඒ අවකාශය මහත් විපුලත්වයක් නොවේ ද? ඒ විපුලත්වය විසින් මවන ලද විස්මය හා අලංකාරය පැවතියේ රාමුගත නොවුණු මහත් අවකාශයේ වීම එයට නොතිත් ගැඹුරක් එක් කළා නොවේ ද? සිතුවමකට, ප්‍රතිමාවකට, සේයාරුවකට, මුහුදට, පොළොවට මෙන්ම අහසට ද ඉඩ අවකාශ අත්‍යවශ්‍ය ය. ජීවත් ව, ජීවමානව තිබෙන දෙයට ද, මළ සිරුරකට මෙන් ම මළ සෑම දෙයකට ම ද, පියඹන කුරුල්ලන්ට මෙන්ම නිදහසේ වැඩෙන ගසට ද, නොතිත් උදාරත්වයෙන් යුතු කන්දට සේම ඒ කන්දේ ඇති වැලි කැටයට ද ඉඩ අවකාශ අවශ්‍යය ය.

ශබ්දයට ද ඉඩ අවකාශ අවශ්‍ය බව ඔබ දන්නවා ද? ඔබ නඟන ශබ්දය පරිසරය හා සංයෝගී වී අනන්ත අප්‍රමාණ සංකේත හා අර්ථ ගොඩනඟන්නට ඉඩ අවකාශ අවශ්‍යය ය. සංගීතය හෝ වචන පමණක් තමන්ට අවශ්‍ය ඉඩ සලසා ගන්නේ අනෙකාගේ බලපෑමෙන් තොරව ය. සිතිවිලි අතර ද ඉඩ අවකාශ තිබේ. සිතිවිලි දෙකක් අතර යම් ඉඩ අවකාශයක් නිර්මාණය වේ. ඉඩ අවකාශ නැති තැන ගැඹුර, විපුලත්වය ගොඩනැඟෙන්නේ ද නැත. එබැවින් ඔබේ සිත අභ්‍යන්තරයේ ඉඩ අවකාශ පැවතිය යුතුව ඇත. අනේකවිධ සිතිවිලි, ක්‍රියාකාරකම් කහළ ගොඩක් සේ ඔබේ සිත අද්දර ගොඩගැසී ඇත්නම් ඊට සුපහන් සිතිවිලි සඳහා ඉඩ අවකාශ ඉතිරි වන්නේ නැත.

ඔබේ සිතේ ඇති ඉඩ අවකාශ ඉතා අල්ප ය. එය අප එදිනෙදා භාවිත වචන වලින්, මතකයෙන් හා මොහොතින් මොහොත රැස් කරගන්නා අනේක විධ ගැටලු හා දුක් දෝමනස්සයන්ගෙන් පිරී පවතී. එසේත් නැතිනම් විවිධ මනස්ගාත සිතිවිලි රැසක් ඔබේ අවබෝධය නමැති පහන් සිළ නිවා දමයි. ජීවත් වීමටත් අනෙකා කෙරෙහි මෛත්‍රී සහගත ආදරයකින් පුද දීමටත් ඔබට ඉඩ අවකාශ අවශ්‍යය ය.

ඔබ කෙතරම් ඔබේ ඉඩ අවකාශ පටු කරගෙන තිබේ ද? මිහිකත කැබැලි කොට ඒවා වටා පවුරු බැඳ ඔබ සීමිත ඉඩකඩකට කොටුවී සිටියි. අනන්ත අප්‍රමාණ අහස්තලය මඟහැර බිත්ති, වහල බැඳ ඔබ ඒ අපරිමිත වූ ඉඩ අවකාශය පටු කරගෙන තිබේ. ඔබේ සිතටත් ඔබ ඒ පටු සීමාව ඇතුළත් කරගෙන හමාර ය.

විවිධ මත හා විවිධ අදහස් වලින් ඔබ, ඔබේ මනසේ පවුරු පදනම් බැඳ ගන්නේ ය. පවතින සමාජ රටාව අනුව ගෙදරට පවුරු බැඳීම කළ යුතු ව ඇතත් ඔබට, ඔබේ මනසට, සිතට පවුරු පදනම් ඉවත ලා නිදහස් චින්තනයෙන් යුතු ව වැඩෙන්නට ඉඩ අවකාශ විවර කරන්නට හැකියාව ඇත. එහෙත් බොහෝ විට අපි පටු, වේදනාකාරී සිතිවිලිවලින් බිත්තියක් බැඳ ඉඩ අවකාශ නැති සිරගෙයක සිත සිරකොට, අනන්ත අප්‍රමාණ වේදනා විඳිමින් සිටින්නෙමු. ඒ සිරකරන ලද සිතිවිලි විසින් තදින් ඔබ ව අල්ලාගෙන සිටින විට ඔබේ නිදහසේ ඉඩ අවකාශ ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගොස් ඔබ, ඔබේ ම සිරකරුවකු වනු ඇත. එබැවින් සිත අනන්ත අප්‍රමාණ වූ විශ්වය මතට නිදහස් කළ යුතුව ඇත. සිත නිදහස් කළ ඇසිල්ලේ අප්‍රමාණ සැනසිල්ලක් ඔබට දැනෙන්නට පටන් ගනු ඇත. එවිට මේ ලොව පවතින සෑම දෙයක ම සුන්දරත්වය ඊට ආවේණික ස්වරූපයෙන් ඔබට දැක ගන්නට හැකිවනු ඇත.

අපේ සිත සහ හදවත නිමක් කොනක් නැති වැඩ කටයුතුවලින් හෙම්බත් වී තිබේ. අප සියල්ලන්ට ම සන්සුන් වීමට මඳ ඉඩ අවකාශයක් අවශ්‍යය ය. අපේ සිතුම් හැඩගස්වන්නේ ඇතැම් මතවලින් හෝ පෙර හැඩ ගැසුම් මඟින් ද? එය ම නොවේ ද අපේ මනසට ඉඩ අවකාශ අහිමි වන්නට හේතුව, මඳක් සිතන්න. නිදහසේ සිතන්නට තරම් නිදහස් බවක් ඔබේ සිතට තිබේ ද?

නිදහස් සිතිවිලිවලින් මිනිසාට නිදහසේ අරුමය පෙන්වූ අපූර්ව වැකියක් මසිතට නැඟේ. සිතට ඉඩ අවකාශ විවර කරදීමෙන් සිතෙහි පවතින ජන්මීය නිදහස් බවෙන් තම නිර්මාණවල අසීමිතය සෙවූ ඔහු සුගතපාල ද සිල්වා ය. ඔහුගේ නිදහස් චින්තනය විසින් සිතේ සොයා ගත් ඉඩහසර ඔහු සර්වකාලීන නිර්මාණකරුවකු කළ බැව් ‘බිත්ති හතර‘ හි මේ වචන දෙක සනාථ කරන්නේ නොවේද?

“කොළඹ හරි පුංචියි මචං...”

විසල් ලෝකයක්, සිතූ පැතූ සම්පත් දෙන නගරයක් ගමෙන් පිටවන සුසුමක වන ප්‍රාර්ථනයක් වන ‘කොළඹ’ නම් පුරය සුගතපාල ද සිල්වාට පෙනෙන්නේ පුංචියට ය. සොබාදහමේ අනන්ත අපරිමිත ඉඩ අවකාශය හා මේ ලොව පවතින නේක විධ විපුලතාවන්හි ඉඩ අත්විඳි පුද්ගලයකුට කොළඹ හරි පුංචියට පෙනීම අරුමයක් නොවන බැව් ඔබ ද දන්නවාට සැකයක් නැත.

Comments