අමරදාස වීරසිංහයන්ගෙන් වියෝ වූ -සංස්කෘති- | සිළුමිණ

අමරදාස වීරසිංහයන්ගෙන් වියෝ වූ -සංස්කෘති-

 

සමාජ සංස්කෘතික ව්‍යුහය ගැඹුරින් අධ්‍යයනය කරමින් හරවත් චින්තනයක් ගොඩනැඟීමේ සත්කාර්යභාරයට උරදීම බුද්ධිමතුන් විසින් සිය වගකීමක් ලෙස සැලකිය යුතු කාරියකි. කිසිදු දේශපාලන බලවේගයකට පවා හිස නො නමා අදීන ව ඒ කාර්යය සඳහා සිය ජීවිතය කැප කළ විද්වතකු ‍තම සටන අතහැරියේ මීට තෙ මසකට පෙර සිය ජීවිතයෙන් සමුගැනීමට සිදු වූ බැවිනි. ඔහු අන් කවරකු වත් නොව ‘සංස්කෘති’ විචාර සංග්‍රහයෙහි නිර්මාතෘවරයා වූ මහාචාර්ය අමරදාස වීරසිංහ යි.

1926 අගෝස්තු 16 වන දින කැටවල උපන් අමරදාස වීරසිංහ බෙරලපනාතර රජයේ පාසල, ශාන්ත තෝමස් විදුහල, කිතුලේවෙල පිරිවෙන, කොළඹ ආනන්ද මහා විද්‍යාලය සහ කැලණිය විද්‍යාලංකාර පිරිවෙන යන විද්‍යාස්ථානයන්හි අධ්‍යාපනය ලැබ, ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සිංහල ගෞරව උපාධිය ලබාගති. ඉක්බිති ඇ.එ.ජ. ඉන්ඩියානා සහ පෙන්සිල්වේනියා යන විශ්වවිද්‍යාලයන්හි ජනශ්‍රැතිය හදාරා ඇම්.ඒ, පී.එච්.ඩී. උපාධි හිමිකරගති.

දෙය්යන්දර විදුහල, බදුල්ල ධර්මදූත විද්‍යාලය, මහරගම විද්‍යාකාර විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, කොළඹ නාලන්දා විද්‍යාලය යන විද්‍යාස්ථානයන්හි ගුරුවරයකු වශයෙන් සේවය කොට කැලණිය ගුරුකුල විද්‍යාලයෙහි විදුහල්පති ධුරය දැරුවේ ය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ (දැන් කැලණිය විශ්වවිද්‍යාලය) පර්යේෂණ සහකාර ලෙස ද, ඇමෙරිකාවේ ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ ජනශ්‍රැති පුස්තකාලයේ සහ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයීය වෑන් පෙල්ට් පුස්තකාලයේ ද පුස්තකාල සහායක ලෙස සේවය කළේ ය.

පෙන්සිල්වේනියාවේ කැබ්රිනි විශ්වවිද්‍යාලයෙහි සමාජීය විද්‍යා පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ද, රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු ලෙස ද, සිංහල අධ්‍යයනාංශ ප්‍රධාන ලෙස ද, කලා පීඨාධිපති ලෙස ද සේවය කොට, පෙන්සිල්වේනියාවේ වෑන්ටි පෙල්ට් පුස්තකාලයේ ජර්මන් භාෂා ලෙඛනාවලී පිළිබඳ විශේෂඥ ධුරය ඉසිලුවේය.

සංස්කෘති විචාර සංග්‍රහය ඇතුළු පුවත්පත් සඟරා ආදියට ලිපි සම්පාදනයට අවශේෂ ව අමරදාස වීරසිංහයන් විසින් කෘති ගණනාවක් සම්පාදිත ය. මොකද අප්පේ මේකෙ තේරුම (කෙටිකතා), කාලය හා සමාජය (සමාජ විචාර), රජ්ජුරුවෝ නිරුවතින් (සාහිත්‍ය ජනශ්‍රැති විග්‍රහ), ජනශ්‍රැති කථා, සිංහල ජනශ්‍රැතිය හැදෑරීම, කැඩපතක් නැති ජාතිය, අරුම පුදුම රටක ඇලිස් (පරිවර්තන) ආදී කෘති ගණනාවක් සම්පාදනය කළ අමරදාස වීරසිංහ යථාර්ථවාදී නාට්‍යකරුවකු වූ නෝවීජියානු ජාතික හෙන්රික් ඉබ්සන්ගේ Dolls House ‘සෙල්ලම් ගෙය’ නමින් 1956 දී ගණනාථ ඔබේසේකරයන් සමඟ සිංහලට පරිවර්තනය කළේ ය. සිංහල නාටකයට ආකෘතියක් හඳුන්වාදෙමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමෙ සිංහල නාට්‍ය කලාවේ ආරම්භය සටහන් කළ වසරේදී ම, අමරදාස වීරසිංහයන් විසින් අපරදිග විශිෂ්තම යථාර්ථවාදී නාට්‍යකරුවා අප රට නාට්‍ය ලෝලීන්ට හඳුන්වා දීමෙන් දේශීය නාට්‍ය ඉතිහාසයේ දශක ගණනාවක් පෙරගමන් කොට සිටි බව පැහැදිලි වෙයි. සෙල්ලම් ගෙය කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ අපරදිග සම්භාව්‍ය නාට්‍ය සඳහා නිර්දේශිත ප්‍රථම නාට්‍ය පෙළ ග්‍රන්ථය විය. එහෙත් අමරදාස වීරසිංහයන් මට සිහිගන්වනුයේ ඉබ්සන්ගේ ම ජනහතුරා (People’s Enemy) නාටකයේ, පාලන බලය සහ ජන මාධ්‍ය විසින් ගොඩනඟන ලද ජනමතය මඟින් ජනතාව ව්‍යසනය කරා කැඳවාගෙන යෑමට ‍එරෙහිව, සිය කුටුම්බය ද ජීවිතය ද නොතකා හුදෙකලාව සටන් වැදුණු දොස්තර ස්ටොක්මාන්ගේ චරිතය යි.

‘සංස්කෘති’ සඟරාව ආරම්භ වූයේ 1953 වසරේ දී ය. ඒ වසරේදී ම තරංගනී, දින දින, පිය බස, ප්‍රාචීන භාෂෝදය, ලංකාමාතා සහ ලක්මිණි පහන ද බිහි වුණි. එකල තරුණ උපාධි අපේක්ෂකයකු වූ අමරදාස වීරසිංහ තම සහචරයන් වූ ගණනාථ ඔබේසේකර සහ එස්.ජී. සමරසිංහගේ ද සහභාගිත්වය සහිත ව සංස්කෘති සඟරාව බිහිකළේ පාඨක රුචිය සහ විචාරය ද වර්ධනය කිරීමේ අභිලාසයෙනි. භාෂාව, සාහිත්‍ය කලාව, නාට්‍ය කලාව, චිත්‍ර කලාව, සිනමාව, කලාශිල්ප, ඉතිහාසය, පුරාවිද්‍යාව, අධ්‍යාපනය, ආයුර්වේදය, දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යා ආදී විවිධ විෂය ක්ෂේත්‍ර ප්‍රශස්ත ලෙස විචාරයට ලක්කිරීම සංස්කෘති සඟරාවේ සුවිශිෂ්ට ලක්ෂණය විය. එයට මූලික හේතුව වූයේ අමරදාස වීරසිංහයන්ගේ පෞරුෂයෙහි අන්තර්ගතව පැවති ගුණාත්මක ලක්ෂණයකි. එනම්; පුද්ගලබද්ධ වීමෙන් බැහැර ව විෂය බද්ධව කටයුතු කිරීම යි. කවර විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධව වුව පුද්ගල බද්ධ ව සැලකීමෙන් පරිහානියට පෙරමඟ සැකසෙන බවත්, එය සමස්ත සමාජයේ ම දුර්භාග්‍යය කෙරේ බල පවත්වන බවත් වටහාගැනීමෙන් ගොඩනඟාගත් ජීවන ශෛලියක් එතුමන් සතු විය. එහෙයින් ආධුනික ලේඛකයනට මෙන් ම හෙළදිව මහ ගත්කරුවනට ද ඔහු බෙදුවේ එක ම හැන්දෙනි. ශිර්ෂ ප්‍රණාමයෙන් ඇගයිය යුතු මේ ගුණය එතුමන්ගේ ජීවිතය පුරා ම විද්‍යමාන විය. ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ හෙළා දැකීමෙන් තොර ව ලිපිවල අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා සංස්කරණය කරවීමේ ගුරු ගුණයෙන් යුතුව හෙතෙම සැදී පැහැදී සිටි නමුත්, වඩන ලද මමත්වය නිසා තමන් පරිපූර්ණ යැයි සිතූ ඇතැම් ලේඛකයෝ දුර්මුඛ වීමට එය හේතුවක් කොට ගත්හ. සෙසු පුවත්පත් සඟරාවලට ශාස්ත්‍රීය ලිපි සම්පාදනය කරන ඇතැම් ලේඛකයන් සංස්කෘති සඟරාවෙන් දුරස්ථ වීමට අමරදාස වීරසිංහයන්ගේ දැඩි පිළිවෙත ද හේතු වූ බව සිතිය හැකි ය.

සංස්කෘති සඟරාව බිහිවීමට අවශ්‍ය පසුබිම සැකසුණේ අමරදාස වීරසිංහයන් විසින් ම කුලියට ගත්, චැපල් ලේන්හි 62/1 දරන ස්ථානයෙහි ඔහුගේ ම මූලිකත්වයෙන් එක්රැස් වූ විද්වතුන් අතර නිරන්තරව පැවති දීර්ඝ සංවාද මඟිනි. මාර්ටින් වික්‍රමසිංහ, ගණනාථ ඔබේසේකර, එස්.ජී. සමරසිංහ, ගුණදාස අමරසේකර ආදීහු මේ අතර වූහ. බමුණු වාදයට එරෙහි වීමට ඒ සංවාද ඇසුරෙන් යම් අනුබලයක් කොග්ගල ප්‍රාඥයාට ලැබුණු බව ද සිතිය හැකිය. 1907 - 1930 දක්වා එංගලන්තයේ දාර්ශනිකයන්, සාහිත්‍යධරයන් සහ සෙසු කලාකරුවන් ද එක්රැස් වූ බ්ලූම්ස්බරි කණ්ඩායම (Bloomsbury Group) පමණක් නොව පැරණි සම්භාව්‍ය ග්‍රීක දාර්ශනිකයන් ඇතන්ස් නගරයේ රැස්ව පැවැත්වූ සංවාද ද මේ සංවාද මණ්ඩපයට පූර්වාදර්ශයක් සැපයූ බව සැලකිය හැකිය. බ්ලූම්ස්බරි සංසදය 20 වන සියවස මුල් භාගයේ එංගලන්තයේ විශිෂ්ට කවීන්, ලේඛකයන්, පශ්චාත් ප්‍රකාශනවාදී සිත්තරුන්, ප්‍රාඥයන් සහ දාර්ශනිකයන් ආදීන් විසින් ගොඩනඟා ගන්නා ලද මිත්‍ර සන්ථවයකි. මෙම සංවාද පූර්වාදර්ශයක් සැපයූ බව සැලකිය හැක්කේ, අතිශය ප්‍රශස්ත මට්ටමකින් සංස්කෘති සඟරාව පවත්වාගෙන යෑමටත්, විවිධ තේමා යටතේ මාසික ව විද්වත් සංවාද පවත්වාගෙන යාමටත් අමරදාස වීරසිංහයන් දැරූ ප්‍රයත්නය නිසා ය. සඟරාවේ ශාස්ත්‍රීය බවට එක් හේතුවක් වූයේ ද්විභාෂික උගතුන්ගේ දායකත්වය යි. රසවාහිනී, නව යුගය, ශ්‍රී වැනි ජනප්‍රිය සඟරා පැවතිය ද එබඳු ජනප්‍රිය සඟරා පවා අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකිව අතරමග නතර විය. ඒ සඟරා පාඨකයන් අතින් ගිලිහී යද්දී ඒ සියල්ලට වඩා ශාස්ත්‍රීය මට්ටමින් සංස්කෘති සඟරාව මේ දක්වා පවත්වාගෙන ඒම අප රට සඟරා ඉතිහාසයේ අරුමැසි පුවතකි. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ආනන්ද කුලසූරිය, රැල්ෆ් පීරිස්, පියදාස නිශ්ශංක, කේ. සී. පෙරේරා, ආරිය රාජකරුණා, ගුණදාස අමරසේකර, අබිරම් ගම්හේවා, ජයන්ත අරවින්ද, රෙජී රණසිංහ ආදී විද්වතුන් රැසකට තම ශාස්ත්‍රීය දායකත්වය සැපයීමට අවකාශ සැලසුණේ සංස්කෘති සඟරාවෙනි. ජයසුමන දිසානායක, ආරියවංශ රණවීර, එම්. රම්බොඩගෙදර, චින්තක රණසිංහ, ධර්මසේන හෙට්ටිආරච්චි, සඳගෝමී කෝපරහේවා, ලියනගේ අමරකීර්ති ආදීහු ද සංස්කෘති සඟරාව සමඟ එක් වූහ. පියල් සෝමරත්න, රෙජී රණසිංහ, පියදාස මහින්දසිරි, පද්මහර්ෂ කුරණගේ වැනි ලේඛකයන් සහ විචාරකයන් බිහිවීමට අවශ්‍ය පරිසරය සැකසුණේ විචාර පද්ධතියක් ඇති කරමින් සිනමාව, චිත්‍ර කලාව ආදී කලා මාධ්‍ය විචාරයට ද මග පාදා දුන් බැවිනි. සංස්කෘති විචාර සංග්‍රහයෙන් ලද ශාස්ත්‍රීය ප්‍රබෝධයෙන් උද්දාමයට පත් පද්මහර්ෂ කුරණගේ සඟරාවේ කටයුතු සඳහා සිය ජීවිතය කැපකරනු වස් රැකියාව ද අත්හළේ ය.

ප්‍රථම වරට විශේෂ කලාප හඳුන්වාදීම සිදුවූයේ ද සංස්කෘති සඟරාව විසිනි. ඇන්ටන් චෙකොව්, මාර්ටින් වික්‍රමසිංහ, ධර්මසිරි රත්නසූරිය, ධර්මසිරි ඒකනායක ආදී විද්වත්හු එ මඟින් සම්භාවනාවට පාත්‍ර වූහ. විෂය ක්ෂේත්‍ර සැලකිල්ලට ගනිමින් ආයුර්වේද අංකය, විශ්වවිද්‍යාල අංකය, සම්බුද්ධ ජයන්ති අංකය ආදිය පළකරන ලදී. සෞන්දර්ය විෂයයන් සඳහා වෙන ම විශ්ව විද්‍යාලයක් බිහිවූයේ ද 1965 දී පළවූ විශ්වවිද්‍යාල අංකය මඟින් කරන ලද යෝජනාවක් පලදැරීමෙනි. මේ දක්වා සංස්කෘති විචාර සංග්‍ර‍හයෙහි සංස්කාරකවරුන් ලෙස සුසිල් සිරිවර්ධන, සිරි ගුනසිංහ, එස්. ජී. සමරසිංහ, පියදාස මහින්දසිරි, ජයන්ත අරවින්ද, ශ්‍රීනාත් ගණේවත්ත, සේන තෝරදෙණිය, ජිනදාස දනන්සූරිය, ජිනදාස ලියනරත්න, අශෝක ප්‍රේමරත්න සහ සඳගෝමී කෝපරහේවා ආදීන් දායකත්වය සපයා ඇත. සංස්කෘති සංගමයේ නව සභාපතිවරයා වූ සුසිරිපාල මාලිම්බඩ මහතාගේ අපේක්ෂාව වී පැවතියේ සංස්කෘති තරුණ ලේඛක සංගමයක් පිහිටුවා සංගමයේ නිර්මාණ සහ විචාර කටයතු ඉදිරියට ගෙනයෑමයි. නිර්මාණශීලී විචාරශීල තරුණ ලේඛක ලේඛිකාවනට මෙය සුභදායක පුවතක් වනු ඇතැයි සිතමි.

සමකාලීන ශාස්ත්‍රීය සඟරා අතර සුවිශේෂ ස්ථානය හිමිකොටගත් සංස්කෘති විචාර සංග්‍රහයෙහි ජීවය වූයේ කාලය - ශ්‍රමය සහ ධනය ද කැප කරමින්, සිය අභාවය තෙක් ම අඛණ්ඩ ව එය පවත්වාගෙන යෑමට අතිමහත් ප්‍රයත්නයක් දැරූයේ අමරදාස වීරසිංහයන් බව එතුමන් කෙරෙහි ගෞරව භක්තියෙන් යුතු ව සඳහන් කළ යුත්තකි. ඒ අඛණ්ඩතාව බිඳ වැටුණේ එතුමන් විදේශගත ව සිටි කාල සීමාව තුළ පමණි. එසේ වුවද සංස්කෘති සාමාජික සාමාජිකාවන් එතුමන් වෙනුවෙන් උපහාර කලාපයක් පළකිරීමට දැරූ ප්‍රයත්නය පවා එතුමන්ගේ නිහතමානී ගුණය විසින් යටපත් කරනු ලැබිණ. තමන් විසින් ම සංවිධානය කොට තමන්ට ම උපහාර උත්සව පවත්වන්නන්ගෙන් දුර්භූෂිත සමාජයක, අද්විතීය සමාජ මෙහෙවරක් ඉටුකොට වුව ස්වාත්ම තෘප්තියෙන් පමණක් සෑහීමට පත් මේ උදාර මිනිසා අප තුළ දනවන්නේ ප්‍රසාද සංවේගයකි.

අමරදාස වීරසිංහයන් සතු වූයේ බටහිරට හෝ පේරාදෙණි ගුරු කුලයට හෝ ගැති නො වූ මනසින් යුතුව නිර්භය ව අදීන ලෙස ම ලේඛන කාර්යයෙහි නියැළිය හැකි ජීවන පසුබිමකි. ගුණාත්මක වශයෙන් උසස් ප්‍රමිතියකින් යුතුව ලේඛන සම්පාදනයට සෙසු ලේඛකයන් පෙලඹවීම ද එතුමන් ඇසුරු කළවුන් විසින් පසක් කරගන්නා ලද ගුණයකි. ‘කැඩපතක් නැති ජාතිය’ නම් කෘතියෙහි එතුමා මෙසේ සඳහන් කරයි.

‘තමන්ගේ මවු බසට ගරු නො කරන සමාජය කිසිසේත් අනුන්ගේ බසට ගරු කරන්නේ නැහැ. අප රට සාමාන්‍ය සිංහලයා ඉංගිරිසිය ගාගෙන ඇත්තේ, විශේෂයෙන් ම අප රට ප්‍රභූ පන්තිය අනුකරණය කරන්නට යෑමෙනි. ‘ප්‍රභූවරයකු’ වීම සඳහා බඩගාන මධ්‍යම පන්තිකයා හෝ ගැමියා‍ හෝ අපේ පාලන, පරිපාලන ටයිකෝට්කාරයන් අනුකරණය කරයි.

මේ බොරු හරවලින් මනෝශෝධනය වී ඇති සිංහල කථා කරන කොටසට ඔබ අයත් නම්, දෙමළ කථා කරන සුළුතර ජන කොට්ඨාසයට ඔබෙන් සාධාරණයක් ඉටුවේය යි සිතිය හැකි ද? එ බැවින් දෙමළ කථා කරන්නෙකුට තමන්ගේ පැමිණිල්ලක්, තමන්ගේ මරණ සහතිකය දෙමළෙන් ලබාගත හැකි ද? රටට ‘ප්‍රභාකරන්ලා’ බිහි කරන්නෝ සර්. ඓවර් ජෙනිංස් ගේ ගෝළයෝ ය.’

(කැඩපතක් නැති ජාතිය, 99 පිටුව) ‍

ප්‍රජාතන්ත්‍රවාදය පැමිණීමත් සමඟ කූට දේශපාලකයන් බලයට පැමිණීමට එය වහල් කරගැනීම, රට ජාතිය ආගම යනු ව්‍යාජ දේශපාලකයන් ගේ පුහු වාග් මාලාවක් බවට පෙරළීම, හික්කඩුවේ සුමංගල, පණ්ඩිත බටුවන්තුඩාවේ, මීගෙට්ටුවත්තේ ගුණානන්ද, ඕල්කට්, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, පොන්නම්බලම් රාමනාදන්, ආනන්ද කුමාරස්වාමි, සර්. ජේම්ස් පීරිස්, පොන්නම්බලම් අරුණාචලම් ආදී ජාතික අරගලයේ ආදි කර්තෘවරුන් තුළ පිහිටි මානසික නිවහල් බව පසු කාලීනව ජාතික අරගලය මෙහෙයවූවන් තුළ නොවීම නිසා මානසික ගැති කමත්, පාලන නිදහස උදෙසා වූ අරගලයක් බවට පමණක් පත්වීම නිසා ජාතික අරගලය අඩපණ වී ගිය ආකාරය සංස්කෘති සඟරාව මඟින් පෙන්වා දුනි.

(සංස්කෘති 19 කලාපය, 2006 ජුනි.) මගේ අවසාන අපේක්ෂාව (අවසන් හුස්ම) යන මැයින් අමරදාස වීරසිංහයන් විසින් ලියා තබන ලද ලියවිල්ල, එතුමන්ගේ අභාවයෙන් සත් වන දින බම්බලපිටිය වජිරාරාමයේදී පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද හිමියන් විසින් පැවැත්වුණු ධර්ම දේශනයේ දී ප්‍රකාශයට පත් කරන ලදී.

‘දැන් මම නොයෙක් අපේක්ෂාවන්, හැලහැප්පුම්, වරෙක අභියෝග මුදුන් පමුණුවා ගනිමින් ද, වරෙක පසුබට වෙමින් ද සැතැප්ම ගණනාවක් ගෙවා, එක්තරා අන්දමක අවසාන සැතැප්ම පේන තෙක් මානයට පැමිණ සිටිමි. මේ කෙළවර වන සැතැප්ම කොතැන ද යනු මට නිශ්චය වශයෙන් තීරණය කළ නො හැකි ය. ඒ ගමනේ කෙළවර කෙසේ වූවත්, මගේ අන්තිම සැතපුම, මෙ බඳු අවස්ථාවල දී සමාජයේ පවතින මැදි කුල සර්කස් එකක් කරගැනීම වළක්වාලීම මගේ අවසාන අපේක්ෂාව යි... පළමුව මගේ අවසානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම චාන් එකක් විය යුතු ය. මගේ දේහය තැන්පත් කිරීම සඳහා ඉතා ම අඩු මිලකට ගත හැකි මිනී පෙට්ටියක් ලබාගන්න. මට හුරු පුරුදු ඇඳුම රෙද්දයි බැනියමයි වන අතර, නීතියෙන් තහනමක් නොමැති නම්, මගේ අත් පා කිසියම් අත් මේස් පා මේස් වැනි වැසුම්වලින් නිදහස් කොට තබන්න.

දෙවනුව, මගේ අවසානය ගැන කිසි ම මුද්‍රිත විද්යුත් මාධ්‍යයක් මඟින් ප්‍රචාරය‍ නො කරන්න. මා අවුරුදු ගණනාවක් වැඩ කළ සංස්කෘති ප්‍රකාශන සංගමයේ සාමාජික සාමාජිකාවන්ට දැනුම් දුන්නාට මගේ විරෝදයක් නැහැ. මගේ පාඨකයන්ට පසුව සඟරාවේ සුපුරුදු පරිදි සංස්කෘති අනුස්මෘති මඟින් දැනගන්ට සැලැස්සුවා ම ප්‍රමාණවත්. යම් කිසිවකුට උවමනා නම් මගේ හොඳ හෝ නරක ගැන ලිව්වාට කමක් නැහැ.

තෙවනුව, අවමඟුල ද ඉතාමත් චාන් ආගමික වතාවත් වලට සීමා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ හෝ ගිහියන් විසින් මගේ කිසි ම ගුණ කථනයක් නො කිරීමට වග බලාගන්න.

අවසාන වශයෙන්, අද සමාජයේ සිරිතක් කොටගෙන ඇති, තම නාමය ගසාගෙන මල්වඩම්, බැනර්ස් ආදිය ප්‍රදර්ශනය කිරීමට මේ අවසන් කටයුතුවල ඉඩක් නොමැති ය. යම් කිසිවකුට උවමනා නම්, ඕනෑ තරම් කඳුළු හෙළීමට ඉඩකඩ ඇත...

මේ අසහාය විද්වතාගේ මෘත දේහය ඔහුගේ ඉල්ලීම පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ඡේද අධ්‍යයනාංශය වෙත පරිත්‍යාග කරන ලදී.

අමරදාස වීරසිංහයන්ගේ නික්මයාම එක්තරා යුගයක අවසානය පිළිබඳ සංකේතයක් බඳු ය. එහෙත් මියයාමට සතියකට පෙර ඔහු අපහසුවෙන් වුව ප්‍රකාශ කළේ සංස්කෘති සඟරාව කුමන හෝ ක්‍රමයකින් පවත්වාගෙන යන ලෙස යි.

වෙනස් නො වන කිසිවක් නො පවතියි. එහෙත් වෙනස් වීම වෙනුවට වෙනස් කිරීමේ සවිඥානක ක්‍රියාවලිය සඳහා ජන මනස හැඩ ගැන්වීම විද්වතුන් සතු කාරියකි. සංස්කෘතිය යනු විකෘතිය නොවන බව ජනතාවට වටහාගත හැකි වන්නේ එ විට ය. මේ විද්වතුන් බහුල සමාජයකි. එතෙකුදු වුවත්, අවංක භාවය සහ කැපවීමත් අදීන බවත් සහිතව ජාතික සංස්කෘතික අරගලය ඉදිරියට ගෙන යමින්, පැහැදිලි අනාගත දර්ශනයක් ගොඩනැඟීමේ පරමාධ්‍යාශයෙන් කේන්ද්‍රගත වන විද්වතුන් වුවහොත් පමණක් ‘සංස්කෘති’ අඛණ්ඩව පවත්වාගෙන යා හැකි වනු ඇත. සංස්කෘති විචාර සංග්‍රහය පොදු පාඨකයන්ගේ පරිශීලනයට පත්කිරීමේ ව්‍යවහාරික ගැටලුව විසඳාගත හැකි මගක් වී නම්, අද අපේ සමාජය මෙ තරම් අවිචාරවත් නො වනු ඇත. පුෂ්ප මකරන්දය සොයා යන බිඟු කැල සෙයින් පිවිතුරු මනුෂ්‍යත්වයේ ජීවන සුවඳ හඹා යන අව්‍යාජ ලේඛකයන් රොද බැඳගතහොත්, අවිචාරවත් සමාජය මානව දයාවෙන් පිරිපුන් සැබෑ මිනිසුන්ගෙන් පොහොසත් කළ හැකි වනු ඇත. අමරදාස වීරසිංහයන් අතින් ගිලිහුණු අග්නි දණ්ඩ නො නිවී තවදුරටත් දැල්වෙනු ඇත.

ප්‍රේමරත්න සමරනායක

Comments