හරි වහර | සිළුමිණ

හරි වහර

මෙ වර ද ‘හරි වහරෙහි’ ලා විමැසුමට ලක් වන්නේ සිංහලයෙහි යෙදෙන සංස්කෘත තත්සම කිහිපයෙකි. ඉන් ඇතැම් වදනක් වහරෙහි බෙහෙවින් යෙදුණ ද ඇතැමෙක් යෙදෙනුයේ කලාතුරකින් විය හැකි ය.

1. චලිත - ‘චල්’ ධාතුවෙන් (ක්‍රියා මූලයෙන්) උපන් අතීත කෘදන්තයි. මෙහි (අල්පප්‍රාණ) ‘ච’ (දන්තජ) ‘ලි’ සමඟ (අල්පප්‍රාණ) ‘ත’ යෙදේ. සිංහලයේ දී නාමයක් ලෙසින් ද වර නැ‍ඟේ. මෙහි අරුත නම් ‘චලනය වූ’ හෙවත් ‘සෙලැවුණු’ යනු යි.

2. චාතුර්ය - මේ, සංස්කෘතයෙහි ‘චතුර’ ශබ්දයට ‘ය’ ප්‍රත්‍යයය එක් වීමෙන් නිපන් තද්ධිතයෙකි. මෙහි වෙසෙසින් සැලැකිය යුත්ත නම් කෙටි පාපිල්ල සහිත වැ (තු) යෙදීම යි. බොහෝ දෙනකු චාතූර්ය යනුවෙන් දිගු පාපිල්ල ත අකුරට යොදා ලියන නමුදු ඒ ඉඳුරා ම වැරැදි ය. ‘ය’ ප්‍රත්‍යයය එක් වුව ද ‘තු’ යනු වෙනසකට පත් නො වේ. එ හෙයින් ‘චාතුර්ය’ යනු ම නිවැරැදි යෙදුම යි. ඒක වචනයෙහි වර නැ‍ඟෙන කල තව ද ‘ය’ යන්නක් එක් වීමෙන් ‘චාතුර්යය’ යනු යෙදේ. චතුර භාවය යනු මෙහි අරුත යි. රේඵය, යංශය සමඟ යෙදෙන කල්හි චාතුර්‍ය(ය), චාතුර්‍ය්‍ය(ය) යන රූප ද යෙදේ.

3. චාපල්‍ය - චාතුර්ය යන්න මෙන් ම තද්ධිතයෙකි. සංස්කෘතයෙහි ‘චපල’ යන වදනට ‘ය’ ප්‍රත්‍යය එක් වීමෙන් නිපැදේ. මෙහි (අල්පප්‍රාණ) ‘ප’ යන (දන්තජ) ‘ල’ හා යෙදෙන අයුරු වෙසෙසින් සැලැකිල්ලට ලක් කළ මනා ය. ඒක වචනයෙහි යෙදෙන කල (අගට තව ‘ය’ යන්නක් එක්වැ) චාපල්‍යය යනු යෙදේ. චපල භාවය, අස්ථිර භාවය යනු වචනාර්ථය ය ි.

4. චිකිත්සා - මෙ වදනෙහි මුල් අකුරු තුන ම අල්පප්‍රාණ ශබ්ද වන අතර ‘ස’ දන්තජ ව යෙදෙන බව විශේෂයෙන් සැලැකිය යුතු කරුණෙඛි. මෙහි වදන් අරුත නම්, වෛද්‍ය ප්‍රතිකාරය යනු යි. චිකිත්සක, චිකිත්සන, චිකිත්සාගාර ආදිය මේ හා සබැඳි වැ යෙදෙන අනෙක් වදන් ය.

5. චිත්‍රකථා - මේ වනාහි සංස්කෘත තත්සම දෙකක් එක් කොට තනා ගැනුණු වචනයෙකි; සමාසයෙකි. ඇතැමුන් මෙහි ‘කතා’ යනු යොදා ‘චිත්‍ර කතා’ යි ලියනු බොහෝ විට දක්නා ලැබේ. එහි වරද වනුයේ ‘කතා’ යන්නෙහි (අල්ප) ‘ත’ යෙදීම යි. ‘චිත්‍ර’ යනු සංස්කෘත වචනයක් බැවින් මෙහි යෙදිය යුතු (මහාප්‍රාණ) ‘ථ’ සහිත ‘තථා’ යනු යි. ‘චිත්‍ර කථා’ යනු ම නිවැරැදි වනුයේ එ‍ හෙයිනි. යම් කිසි කථාවක් චිත්‍ර (බොහෝ විට දෙබස් ද) සහිත වැ දක්වන කලාංගයක් මෙයින් අදහස් කැරේ.

6. චින්තාමණි - මෙහි විශේෂ අවධානය යොමු කළ යුත්තේ අවසනට යෙදෙන (මූර්ධජ) ‘ණි’ කෙරෙහි ය. මෙහි ‘මණි’ ය නු යෙදෙනුයේ මැණික් අරුතින් බැවින් (දන්තජ) ‘නි’ යෙදීම වැරැදි ය. චින්තාමණි යන්නෙන් ගැනෙනුයේ දෙව් ලොව ඇතැ යි සැලැකෙන සිතූ පැතූ දේ දෙන මැණික යි; චින්තාමාණික්‍ය යි. මේ හා අනුරූප වැ සිංහලයෙහි ‘සිතුමිණි’ යන වදන් යෙදේ.

7. චිරන්තන - මෙහි ‘ර’ අක්ෂරයට පසු වැ (දන්තජ) ‘න්’ ද, (අල්පප්‍රාණ) ‘ත’ හා (දන්තජ) ‘න’ ද යෙදීම කෙරෙහි සැලැකිලිමත් විය යුතු යි. විශේෂයෙන් (මහාප්‍රාණ) ‘ථ’ නොයෙදෙන බව සැලැකිය යුතු වෙයි. මෙහි ‘තන’ යනු පුරාතන, අද්‍යතන, මධ්‍යතන ආදියෙහි යෙදෙන ‘තන’ ප්‍රත්‍යයය ම ය. ‘චිරං’ යන්නෙහි අනුස්වාරය (බින්දුව) වෙනුවට ‘න්’ ආදේශ වනුයේ ‘ත’ යන්නෙහි බලපෑමෙනි. බොහෝ කල් අයත්, බොහෝ කල් සිට පැවැතෙන යනු මෙහි අරුත යි.

 

Comments