හෙළ ගොවිතැනට වස-විස එපා | සිළුමිණ

හෙළ ගොවිතැනට වස-විස එපා

 වස විසෙන් තොරව හෙළ ගොවිතැනට අනුව පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළක ආරම්භය පසුගියදා පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයෙදී සිදු විය. ඒ අනුව වස විසෙන් තොරව හෙළ ගොවිතැනට අනුගතව ගොවිතැන් කිරීමට ගොවීන්ට අවශ්‍ය සියලුම උපදෙස් ලබා දෙමින් මෙරට සිටින විශිෂ්ටතම පරිසරවේදියකු වන තිලක් කන්දේගම මහතා එදින සාර-ගර්භ දේශනයක් පැවැත්වීය. එම දේශනය මෙසේ ය.

ඇත්තටම බොහෝ පිරිස් හෙළ ගොවිතැනට බයයි. මං කියන්නෙ අපි බිය විය යුතු නෑ. එන්න ඉදිරියට ඇවිල්ලා අපිත් සමඟ එකතු වෙන්න. මම කියන්නම් කරන්න ඕනෙ කුමක් ද කියා පවසමින් කන්දේගම මහතා දේශනය ඉදිරියට කරගෙන ගියේ මෙසේ ය.

මේ රටේ පුරන් වූ කුඹුරු හරියටම ලක්ෂ 2 ½ක් තියෙනවා. ලංකාවේ වැඩ කරන කුඹුරු තියෙන්නෙ අක්කර ලක්ෂ 20 යි. ඒකෙන් පිට තමයි මේ ලක්ස දෙකහමාර තියෙන්නෙ. ඒ ලක්ෂ විස්ස අවුරුද්දකට දෙපාරක් වැඩ කරනවා. නමුත් ලක්ෂ හතළිහක් එන්නෙ නෑ. යලේ බාගයයි වැඩ කරන්නෙ. ඒ නිසා අක්කර විසිනවය හමාරයි. ඒ විසිනවය හමාරට ඕනෑම රජයකට මේ ලක්ෂ දෙකහමාර එකතු කරන්න පුළුවන්. ඒක ඉතාම සුළු කාර්යයක්. මොකද මේ දෙකහමාරම තියෙන්නෙ නියඟය නැති ප්‍රදේශවල. යල-මහ දෙකම වැඩ කරන්න පුළුවන් තෙත් කලාපවලයි.

කිසිම කෙනකුට මේක මතක් වෙන්නෙ නෑ. මේ අවට හැම තැනම බලන විට ඔබලාට පෙනේවී සාරවත් කුඹුරක් තියෙනවා, ඒ වටේට පුරන් කුඹුරු. හැබැයි රටේ කිසිම නීතියක් නෑ මේ ටික අත්අඩංගුවට ගන්න. මං කියන්නෙ අත්අඩංගුවට ගත යුත්තෙ මිනිස්සු නෙවෙයි, මේ පුරන් කුඹුරු ටිකයි. රටේ නීතියක් තියෙනවා එවැනි කුඹුරු අත්අඩංගුවට ගන්න. වගා කරන්නෙ නැත්නම් බලෙන් පවරගන්න පුළුවන් නීතියක් තියෙනවා. එය ක්‍රියාත්මක නෑ. අපි කියන්නෙ එය වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඒකට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ප්‍රතිපාදන නෑ. එය පවරා ගන්න තියෙන්නෙ ගොවිජන සේවා බැංකුවටයි. බැංකුවට පිහිටුවා නැති තාක්කල් ඒ නීතිය අවලංගුයි.

හැබැයි මං කියන්නෙ ඒක නෙවෙයි. මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ කාර්යය අපි හරියට කරන්න ඕනැ. ඒ සඳහා අපිට ශක්තිය තියෙනවා. පුරන් කුඹුරු දැන් සිටම අස්වැද්දීමට රටේ ජනතාව එකතු විය යුතුයි. මේක ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. මම ඉන්නවා ගොවීන් සමඟ. අවශ්‍ය දැනුම සියල්ලම මම නොපිරිහෙළා ලබා දෙනවා.

පුංචි කාලේ අපි පොල්පිත්තක් අරගෙන ඒක හරකෙක් කරගෙන අපි ඒ හරකා බඳිනවා අරගෙන ගිහින්... හැමදාම හවසට ගෙනල්ලා බඳිනවා... ඇයි ඒ තාත්තා කරන දේ කරන නිසා. අන්න ඒ අනුගමනය තුළ තමයි අපි ගොවියෝ බවට පත් වුණේ. මං ඉගෙන ගෙන ඉවර වෙලා රස්සාවක් හොයාගෙන යනකොට එවකට මගේ ආසනයේ ඇමැතිවරයා වූ එන්. එම්. පෙරේරා මහතා මට දුන්නේ බැංකු රස්සාවක්... මං කිව්වා මට මේ රස්සාව එපා කියලා... ඇයි මේ රස්සාව හොඳ නැද්ද කියලා එන්. එම්. සහෝදරයා ඇහැව්වා... මං කිව්වා, ‘නෑ නෑ... සහෝදරයා මේක කෘෂිකාර්මික රටක්. මට කෘෂිකර්මයට සම්බන්ධ රස්සාවක් දෙන්න කියලා... එහෙමයි මම බලහත්කාරයෙන් කෘෂිකාර්මික රස්සාවට එන්නෙ. දුක් විඳලා වතු අධිකාරිවරයෙක් වෙනවා... හැබැයි අද මං කනගාටු වෙනවා මටත් නිදහසේ හැංගිලා අර බැංකුවේ ඉඳලා යන්න තිබුණා... ඒක දැක්කෙ මේ රස්සාවට ආවට පස්සෙයි. හැබැයි මට එක දෙයක් තේරෙනවා මං කරන දේ හරියි කියලා. ඇයි දන්නවද...

මේ වන විට මේ රටේ 14 දෙනෙක් වකුගඩු රෝගයට ගොදුරු වෙලා දවසකට මැරෙනවා අනිවාර්යයෙන්ම. 12 දෙනෙක් පිළිකා රෝගයෙන් මැරෙනවා. මේ 26 දෙනාම මැරෙන්ඩ ඕන නැති අවස්ථාවේ මැරෙන අය. මේ 26 දෙනාම මැරෙන්නෙ මේ රටේ තියෙන මේ අපරාධකාරී මාරක කෘෂිකර්මය නිසා. එය අද ඔප්පු වෙලා ඉවරයි. ආහාරවලට වහ එකතු කිරීම නිසා ලෙඩ්ඩු. මැරෙන ටිකට අමතරව සිටින අය මැරි මැරි ඉපදෙනවා. ඒ ලෙඩ්ඩු. ඔප්පු කරන්න පුළුවන් සාක්කියක්... අද හන්දියක් හන්දියක් ගානෙ ඩිස්පැන්සරි. තට්ටු පිට තට්ටු ආරෝග්‍ය ශාලා. සෙවණ සුව වුණාට එළියට එන්න හම්බ වෙන්නෙ නෑ අඩු තරමින් ලක්ෂයක්වත් ගෙවන්නෙ නැතිව. හැබැයි සුව සෙවණ. නියම සෙවණ නේද? මේ කෘෂිකාර්මික අපරාධය නිසා රටම අද මංකොල්ලකෑම්වලට ලක්වෙලා.

ආයුධ ජාවාරමට පසුව අධිරාජ්‍යවාදීන්ගේ තිබෙන ලොකුම ජාවාරම තමයි ඖෂධ ජාවාරම.

අද ලෝකයේ අධිරාජ්‍යවාදීන් අපේ වගේ රටවලට කරන්නෙ ලෙඩ්ඩු හදන එක. ඒකට කරන ලොකුම කාර්යය තමයි ආහාරවලට වස එකතු කිරීම. ඒ තුළ අපේ රටේ මිනිස්සුන්ගේ ආයුෂ දවසින් දවස අඩු වෙනවා. අපේ රටේ මිනිස්සු අවුරුදු සීයක් ජීවත් වෙන්න ඕනෙ... සීයලා ඉන්න ඕනෙ... එක සීයෙක් ඉන්නවද මේ ගමේ... මං හිතන්නෙ නෑ... හැබැයි මමනම් ඔය වහ කන්නෙ නෑ. ඒකයි මං තවමත් නිරෝගිව සිටින්නෙ... අද වර්තමානයේ කීයෙන් කී දෙනා ද ඉන්නෙ උදේට කෑවෙ මොනවද ඇහැව්වාම වස නැති හාල් බත් කෑවේ කියන...

මං කියන්නෙ මේ සභාවේ ඉන්න හැමෝම ලෙඩ්ඩු... මං මේ රටේ ඉතිහාසය හදාරනවා. මං ඒ ඉතිහාසය හදාරනකොට යනවා ඉතිහාසයෙන් එහා පැත්තට. ඉතිහාසයෙන් එහා පැත්තට කියන්නෙ යකුන්ගේ ඉතිහාසය. ඒ හින්දා මං මේ රට පාලනය කළ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ඉතිහාසය මං හදාරනවා. ඔවුන් විසින් යකඩ තනන්නන් යක්කුය, කඳු මුදුන්වල වළවල් හාරලා ඒවා ඇතුළේ මඩ මැටි ගාලා, උඩින් ජබර දාලා ගින්දර දාලා මෝසම් සුළඟට යක්කු විසින් යකඩ උණු කරලා තිබෙනවා. ඒ උදුන් තියෙනවා මගේ එක පාම් එකක. ඒ පාම් එක මම හදන්නෙ ඒ උඳුන් ටික ආරක්ෂා කරගන්න ඕනෙ නිසා. මට යක්කුන්ගේ ඉතිහාසය හදාරන විට යක්කුන්ගේ හෝඩිය හමු වෙනවා. දැන් මං ඒක හදාරනවා. යක්කුන්ගේ තියෙනවා අනාවැකි විසිඑකක්... ඒ විසි එකෙන් පළමුවැනි එක තමයි කවදාහරි දවසක තමුන්නාන්සේලාගේ ආයුෂ අඩු වෙනවා. දෙවැනි එක කවදාහරි දවසක දියඇලි පොළොව යටට යනවා. තුන්වැනි එක කවදාහරි දවසක ඔය ගොල්ලො ඔයගොල්ලන්ගේ වරිගය පාවා දෙනවා. ඉතුරු ටික මෙතැන කිව යුතු නෑ... ඒ හින්දා යක්කු පවා පාලනය වෙලා තියෙන්නෙ නීති පද්ධතියක් ඇතුළේ.

ඒ වගේම යක්කුන්ටත් නොකළ යුතු වැරැදි දහයක් තියෙනවා.

හරි ආහාරවලට වස දාන්නෙ අධිරාජ්‍යවාදීන් කියන එක මම එක එල්ලේම පිළිගන්න දෙයක්. මං මේ දේ ගැන හැම තැනදීම කියනවා. මෙන්න මේ වහ එකතු කරන්න මේ අය කෙළින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රයෝජනයට ගන්නවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ප්‍රයෝජනයට ගන්නවා. මේ රටේ සියලුම කෘෂිකර්ම විද්‍යාලවල ප්‍රයෝජනය ගන්නවා. උගන්වලා... උගන්වලා එවන්නෙ වහ දාන ක්‍රම ගැන. ඒකෙ ප්‍රතිඵල වුණේ ඒවාට යන වියදම වැඩියි. ඒ වියදමත් එක්කලා තෙත් කලාපයේ කුඹුරුවල ආදායම අඩුයි. ඒ ආදායම අඩු හින්දා තමයි මේ කුඹුරු වැපිරීම නැවතුණේ. ඒ විතරක් නෙවෙයි මේ කුඹුරුවල අයිතිකරුවන්ට රස්සාවක් දෙනවා. දෙවැනි තැන තමයි ගොවිතැන. ඒ නිසා ඒ අය පළමු වැඩේ කරලා ඉවර වුණාම තමයි දෙවැනි වැඩේ කරන්නෙ... මේ හේතු තේරුම්ගෙන මෙවැනි දේ නිරාකරණය කරගත්තොත් අපිට පුළුවන් ලේසියෙන්ම මේ පුරන් කුඹුරු අස්වද්දන්න.

ඒක නිසා දෙවැනි වැඩේ ලෙස කෘෂිකර්මේ කරන මහත්තුරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා, ‘දෙවියන්ගේ නාමෙන් ඔය ඉඩම් ටික බාර දෙන්න කරන්න පුළුවන් අයට.’ ඒවා ඒ දෙන අයට ඒවා අයිති කරගන්න බෑ. අපි ඒ වගකීම ගන්නවා. පුරන් කුඹුරු අස්වැද්දීමට ගන්න තියෙන එක පියවරක් තමයි ඔය කාරණාව. ඒ ගොවියෝ මෙවැනි තැන්වලට එන්නෙ නැත්තෙ මේ හේතු නිසා. අපි ඒ ගොවියන්ගේ ගෙවල්වලට ගිහින් මේ කාරණා පැහැදිලි කරලා දෙමු. දීලා ඉඩම් කෑල්ල ඉල්ලගෙන ගොවිතැන් කරන්න කැමැති කෙනෙකුට දෙමු. විශ්වාස කරන්න බැරිනම් මං හරි ඉල්ලලා දෙන්නම්. මොකද මං ජීවිතේට මේ රටේ බිම් අඟලක් ලියාගෙන නෑ. ඉදිරියටත් ලියාගන්නෙ නෑ. ඒ ඇයි මං මැරෙන බව දන්න නිසා. මොකද මට ගෙනියන්න බෑනේ. මට තියෙන්නෙ මේ මහ පොළොවේ වවන කාරණාව විතරයි.

ඊළඟට ඔය ගොල්ලන්ට තියෙන ප්‍රශ්නය තමයි මේ වස-විස නැතුව මේ කෘෂිකර්මය කරන්න පුළුවන්ද කියන ගැටලුව. ඒක අපේ රටේ අතිබහුතරයක් ගොවි මහත්තුරුන්ගේ ඔළුවට දාලා තියෙන්නෙ. ඒක දාලා තියෙන්නෙ අද-ඊයෙ ඉඳලා නොවේ, පාසල් යන කාලෙ සිටම. ඒ හින්දා මේ ගොවියෝ ඉන්නෙ සෑම මොහොතකම සැකෙන්-බයෙන්. මං ආරාධනා කරනවා, මගේ ගොවිපොළවල් තියෙනවා එන්න... ඇවිදින් බලන්න... කොහොමද වස-විස නැතිව වගා කරන්නෙ කියලා. ඒක නිසා මම කියන්නෙ ‘එව බලව කියලා නෙවේ, වරෙව් බලව කියලා. ඒක නිසා මට ප්‍රබලවම ඒත්තු ගන්වන්න තියෙන්නෙ මේ සැකෙන් මේ ප්‍රශ්නය දිහා බලන්න එපා...

දැන් මං මෙතැන ඉන්න ගොවි මහත්තුරුන්ගෙන් අහනවා ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නය මේක කරන්න බෑ කීමට හේතු... මොනවද හේතු... මම එකක් කියන්නම්, තමුන්නාන්සේලා කට ඇරියොත් කියන්නෙ ජලය. හැබැයි මේක වියළි කලාපය නෙවේනේ. ගමේ ප්‍රශ්නයක් ඒක වතුර තිබ්බොත් අපි ගොවිතැන් කරනවා. දෙක අපට තියෙන ප්‍රශ්නය වන සතුන්. තුන කෘමීන්... හතර වල්... පහ බීජ... හය පොහොර... හත මුදල්... මේ පුරන් කුඹුරු අස්වද්දන්න ගියාම ගොවියෝ අහන නියත ප්‍රශ්නයක් තමයි මෙච්චර ප්‍රශ්න තියෙද්දි අපි කොහොමද ඕව කරන්නෙ කියලා. මේක හොඳට මතක තියා ගන්න මගේ ගොවිපොළවල් එකකවත් මේ ප්‍රශ්න නෑ. මේවා තහනම් වචන. වතුර දැමීම සම්පූර්ණයෙන්ම තහනම්... තේරුම් ගන්න බැරිනම් ලංකාවේ කාලගුණය ඔවුන්ට කෘෂිකර්මය කරන්න පුළුවන්කමක් නෑ. ඇයි අපේ රටේ මුතුන් මිත්තෝ කළේ ඉස්සෙල්ලම කාලගුණය අධ්‍යයනය කිරීම. උඩ බලාගෙන ඉන්නවා වැහි වලාකුළු එනවද... වැස්ස වලාහක දෙයියා එනවද... වැහි ගෝකල මුත්තා එනවද... වැහිලිහිණියෝ කරණම් ගහනවද... ඒක බලාගෙන ඉඳලා හඳ පායන්නෙ වමෙන්ද... හඳ පායන්නෙ දකුණෙන්ද... මේ සියල්ල බලලා නිශ්චිත වශයෙන් වැස්ස තේරුම්ගෙන උඩ බලාගෙන ඉඳපු මිනිස්සු බිම බලනවා කොටන්න...

ඊළඟට කෘමීන්... මගේ ගස්වල ගෙඩි කෘමින්ට කන්න තහනම්. වල් මට ප්‍රශ්නයක් නෙවෙයි. වල් නාශක ගහන්නෙ නෑ මම. වල් කියන්නෙ ලොකු ආශිර්වාදයක්. වල් කියන්නෙ මට පොහොර. ඒ හින්දා වල් නැතුව කෘෂිකර්මය කරන හැටි උගන්වන්න පුළුවන්. ඒත් වල් අවශ්‍යයි. ඊළඟට බීජ. බීජ සල්ලිවලට ගන්න බෑ. බීජ අපි ගාව තියෙන්න ඕනැ. 2003 බීජ පනතේ 22 වැනි වගන්තිය. බීජ ළඟ තබා ගැනීමේ සහ හුවමාරු කරගැනීමේ අයිතිය ගොවියා සතුයි. මේකයි වෙනස් කරන්න හැදුවේ. මගේම යාළුවා... මහින්ද යාපා අබේවර්ධන ඇමැතිතුමා... මං කිව්වා ඇමැතිතුමාට ගේන්න එපා ඔය පනත පාර්ලිමේන්තුවට. අපි දිවි හිමියෙන් ඕක අවලංගු කරන්න කැප වෙනවා කියා. ගෙනාවා, නමුත් පාර්ලිමේන්තුවට ගන්ඩවත් දුන්නෙ නෑ අපි අනෙත් කට්ටිය දැනුවත් කරලා තිබුණා.

ඊළඟට පොහොර... අපට අවශ්‍ය පොහොරක් නෑ. සිංහරාජ වනාන්තරෙත් හැදෙන්න පුළුවන්නම් පොහොර නැතුව... සිංහරාජ වනාන්තරේ පාමුල තියෙන පතනට ගිනි තිය‍න්නෙ නැතුව නිදහසේ හැදෙන්න ඉඩ දුන්නොත් මුළු ලංකාවම වනාන්තරයක් ‍වීමට බැරිකමක් නෑ. මුළු කොළඹම අතහැරලා අවුරුදු දහයකට කොළඹ මිනිස්සු කොහාට හරි ගියොත් ආපහු එන්න හම්බ වෙන්නෙ නෑ කාටවත්. කොළඹ ගන වනාන්තරයක් වෙනවා නිසැකයි. කොස් ඇටයක් වැටිලා රූස්ස ගහක් වෙන රටක... අපි මේ තක්කාලි ගහක් කෙළින් කරගන්න බැරුව දඟලනවා. රෙදි වැලක් පාත්වෙනවට මඤ්ඤොක්කා කොටුවක් ගැහුවම පැළවෙලා අල බහින රටක... අපට මේ මඤ්ඤොක්කා හදාගන්න බැරුව දඟලනවා. ඒ හින්දා පොහොර අපට අවශ්‍ය නෑ.

මුදල් අවශ්‍ය නෑ.... ශ්‍රමය දෙන්නෙ. ශ්‍රම හුවමාරුවක් මේ රටේ තිබ්බා. අල්ලපු රටේ කුඹුරට ගිහිල්ලා උදවු කරන ක්‍රම ‍මේ රටේ තිබ්බා. අද ඒවා නැතිවුණ නිසා තමයි මුදල් ඉල්ලන්නෙ. ඒ හින්දා තමයි මම කිව්වෙ... මැෂින් එකක් දෙනවා... ඒක හුවමාරුවට යවන්න. එච්චරයි. ඒ මැෂින් එක වැඩ කරන මනුස්සයාට පඩියක් දෙන්න සියලු දෙනා එකතු වෙලා. එතකොට ප්‍රශ්නය ඉවරයි. ඒක දැන් කරගන්න බැරිකමක් නෑ.

ඔයගොල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නවලින් තුනයි තියෙන්නෙ... එක වන සතුන්. අනෙක පොහොර... අනෙක කෘමීන්... බීජ ප්‍රශ්නයක් නෙවෙයි... හැබැයි නැවත පැළවෙන බීජ තමුන්නාන්සෙලා හදාගත යුතුයි. ආවොත් මගේ ගොවිපොළට මං ගාව තියෙනවා බඩඉරිඟු වර්ග හතරක්. ජීවිතේට තමුන්නාන්සෙලා දැකලා නෑ. එකක් රතු කහට. ඒකෙ කරල තනිකරම රතු පාටයි. කහට තනිකරම කහ පාටයි. නිවිති තනිකරම නිල් පාටයි. එක ඇටයක් පැළ කළාම ගස් තුනක්වත් එනවා. විශ්වාස කරන්න එක ගහක කරල් තුනක්වත් එනවා, එතකොට එක ඇටයකින් ගස් තුනක් ආවම කරල් නවයක්... හිතාගන්න පුළුවන්නෙ අස්වැන්නෙ තරම. බඩඉරිඟු. කෝ තමුන්නාන්සෙලාට එවැනි බීජ. ඒවා තමයි දේශීය බීජ. ඒවට පොහොර අවශ්‍ය නෑ... නිදහසේ හැදෙන ශාක... ඒ බීජ දෙන්න මං ලෑස්තියි... වැඩ කරනවනම්... හැබැයි එක පොරොන්දුවක් උඩ... විනාශ කරන්න බෑ... ආයිත් සැරයක් ඉල්ලන්නත් බෑ. ඒක රැකගැනීම තමුන්ගේ රාජකාරියක්.

මෙන්න මේ ප්‍රශ්න තුන තමුන්නාන්සේලාට ප්‍රශ්න තුනක් නොවේනම් අපිත් එක්ක වැඩ කරන්න ලෑස්තිනම් කිසිම ප්‍රශ්නයක් නෑ මම ලෑස්තියි... රට වෙනුවෙන් වැඩ කරන්න” යැයි තිලක් කන්දේගම මහතා අවසාන වශයෙන් පැවැසීය.

අමිල මලවිසූරිය
සේයාරූ - සුදම් ගුණසිංහ 

Comments