ගම්මිරිස් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය | සිළුමිණ

ගම්මිරිස් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය

අතු කැබැලි බඳුන් වල සිටුවීම

ගම්මිරිස් පාවැල් මඟින් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී ඊට සුදුසු අතු කැබැලි සකස්කර ගැනීම සහ නිර්දේශිත මිශ්‍රණය පිරවූ බඳුන් සකස්කර ගැනීම පිළිබඳව පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. බඳුන් වල අතු කැබැලි සිටුවීමට පෙර සෙ.මී. 0.5 – 1.0 පමණ විෂ්කම්භයක් සහිත ශක්තිමත් කෝටු කැබැල්ලකින් බඳුන් මිශ්‍රණයේ හරි මැද සෙ.මී. 6 -7 ක් පමණ ගැඹුරින් යුතු සිදුරක් බැගින් සාදාගන්න. ඉන්පසු සකස්කර ගත් අතු කැබැල්ල ගෙන එහි පහළින් ඇති ගැටය, මිශ්‍රණයේ සාදාගත් සිදුර තුළ සෙ.මී. 1-2 ක් පමණ පස් මට්ටමින් පහළ සිටින ලෙස සිටුවන්න. මෙහිදී පස සහ අතු කැබැල්ල අතර හිඩැස් නැතහොත් අවකාශ නොපිහිටන ලෙස පස හොඳින් තදකර සිටුවන්න.

ආර්ද්‍රතා කුටීරය සකස්කිරීම

අතු කැබැලි සිටවු බඳුන් සියල්ල පාරදෘශ්‍ය පොලිතීන් ආවරණයකින් වායුරෝධක වන ලෙස වැසීම නැතහොත් සීල් කිරීම මෙහිදී සිදුකරයි. මේ සඳහා පිළිවෙලකට අසුරාගත් (එක් පැත්තකට බඳුන් 10X10 බැගින් එන ලෙස සකස්කර ගත බඳුන් 100 ක් සහිත කොටස් එක් පේළියකට එන ලෙස තබා) බඳුන් වලට ඉහළින් රුපය 01 හි පෙනෙන ආකාරයට ආරුක්කු සකස්කර ගන්න. ඒවා අතු කැබැලි වලට වඩා සෙ.මී. 30 – 40 ක් පමණ ඉහළින් සිටින සේ උණ කෝටු, උණ පතුරු හෝ වෙනත් පහසුවෙන් නවා සවිකර ගත හැකි ද්‍රව්‍ය භාවිතයෙන් කළ හැකිය. පොලිතීන් ආවරණයෙන් වැසීමට පෙර අවශ්‍ය තරමට ජලය සැපයීමත් දිලීර රෝග පැතිර යාම වැළැක්වීම සඳහා කොපර් අඩංගු දිලීරනාශකයක් යෙදීමත් අත්‍යවශ්‍ය වේ. ඉන්පසුව ආරුක්කු මත පොලිතීන් ආවරණය තබා බඳුන් සියල්ල ආවරණය වන ලෙස වසා පොලිතීන් ආවරණයේ පහළ සීමාවන් තෙත පස් යොදා වයුරෝධක කරන්න.

ඉහත ආකාරයට ආර්ද්‍රතා කුටීර සකස්කර ගත් පසු ඒවා රුපය 02 හි ආකාරයට දැකගත හැකිය. මේ ආර්ද්‍රතා කුටීර දැල් ගෘහ (50% සෙවණ සහිත) තුළ සකස්කළ යුතු අතර කිසිදු විටක ඍජුවම සුර්යාලෝකය පතිත නොවන ලෙස පවත්වාගත යුතුය. මෙවැනි ආර්ද්‍රතා කුටීරයක් තුළ 85-90% ක පමණ ආර්ද්‍රතාවයක් පවතින අතර 20-30% පමණ ආලෝක ප්‍රතිශතයක් ඇත. එම තත්ත්වයන් තුළ අතු කැබැලි වලින් ජලය බාහිරයට වාෂ්පවීම සිදුනොවන අතර මුල් සහ අංකුර ඇතිවීම උත්තේජනය කරයි. මෙලෙස සකස්කළ ආර්ද්‍රතා කුටීර දින 28 – 30 ගතවන තුරු විවෘත නොකළ යුතුය. එම කාලය තුළ අතු කැබැලි හෝ ඒවායින් ඇතිවන අංකුරවල රෝගී තත්ත්වයක් ඇතිවන්නේ නම් හෝ අධික ලෙස වල් පැළෑටි ඇත්නම් එය බාහිරින් නිරීක්ෂණය කළ හැක. එවැනි තත්ත්වයක් ඇත්නම් පමණක් හැකි තරම් උදය කාලයේ විවෘත කර වල් පැළෑටි ගලවා ඉවත්කිරීම හෝ කොපර් අඩංගු (බෝඩෝ දිලීර නාශකය) දිලීර නාශකයක් යොදා නැවත වසා සීල් කළයුතුය.

දින 28 -30 ක් පමණ ගතවූ පසු අර්ද්‍රතා කුටීරය විවෘත කළ හැකිය. එවිට ප්‍රරෝහ අංකුර වර්ධනය ආරම්භ වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

(රුපය - 03)

වල් පැළෑටි ගලවා මියගිය අතු කැබැලි සහිත බඳුන් ඉවත්කර නැවත පිළිවෙලකට සකස්කර පොලිතීන් ආවරණයෙන් වැසිය යුතුය. එහෙත් නැවත වායුරෝධක කිරීමට අවශ්‍ය නොවේ. ඉන්පසු සති 2 ක පමණ කාලයක් තුළදී ක්‍රම ක්‍රමයෙන් පොලිතීන් ආවරණය ඉවත්කළ හැකිය. මෙයින් පසු තවත් මාස 3 - 4 ක් පමණ කාලයක් තවානේ නඩත්තු කිරීමෙන් පසු සිටුවීමට සුදුසු ගම්මිරිස් පැලයක් සාදාගත හැකිවෙයි. මේ කාලය තුළ දී අවශ්‍ය පරිදි ජල සම්පාදනය සහ වල් පැළෑටි මර්දනය මෙන්ම රෝග හා පළිබෝධ පාලනය නිසිලෙස සිදු කරමින් රෝපණ ද්‍රව්‍ය නිසිලෙස නඩත්තු කළ යුතුය. සිටුවීම සඳහා නිකුත් කරනු ලබන රෝපණ ද්‍රව්‍යවල පහත සඳහන් ලක්ෂණ තිබිය යුතුවේ.

1. හොඳින් දිග හැරුණු පත්‍ර 5 – 6 ක් පමණ තිබීම

2. හොඳින් වැඩුණු මුල පද්ධතියක් තිබීම

3. රෝග හා පළිබෝධ වලින් තොරවීම

4. හොඳින් වැඩුණු මනා පෙනුමක් තිබීම

මෙම රෝපණ ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ සිටුවීමට පෙර බාහිර ක්ෂේත්‍ර පරිසරයට ඔරොත්තු දිය හැකි තත්ත්වයට සකස්කල යුතුවේ. මේ සඳහා පැළ දැඩිකිරීම සිදුකරයි.

පැළ දැඩිකිරීම

රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන තවාන තුළ පවතින පරිසරය බාහිර ක්ෂේත්‍ර පරිසරයට වඩා හාත්පසින්ම වෙනස්ය. තවාන තුල සාපේක්ෂව අඩු සුර්යාලෝකය, වැඩි ආර්ද්‍රතාව, අඩු උෂ්ණත්වය සහ සුළඟ නොමැතිවීම යන ලක්ෂණ රෝපණ ද්‍රව්‍ය වලට ඉතා පහසුදායක පරිසරයක් ලබාදෙයි. බාහිර ක්ෂේත්‍රයේ පවතින්නේ මීට සම්පුර්ණයෙන්ම ප්‍රති විරුද්ධ ලක්ෂණ සහිත පරිසරයකි. මේ නිසා ක්ෂේත්‍රයේදී සිටවු පසු රෝපණ ද්‍රව්‍ය වල ස්ථාපන ප්‍රතිශතය ඉතා අඩුවන අතර ඒවා පහසුවෙන් මැලවීමට හා මියයාමට හැකියාවක් ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා රෝපණ ද්‍රව්‍ය නිකුත් කිරීමට පෙර අවසන් සති 3- 4 ක කාලය තුළ ක්‍රමයෙන් ඒවා හිරු එළියට නිරාවරණය කර බාහිර පාරිසරික තත්ත්වයට හුරුපුරුදු කළ යුතුවේ. මේ ක්‍රියාවලිය පැළ දැඩිකිරීම ලෙස හඳුන්වන අතර ඒ මඟින් ක්ෂේත්‍රයේ ස්ථාපන ප්‍රතිශතය වැඩිකර ගත හැකිවේ.

ආචාර්ය එච්.එම්.පී. ආනන්ද සුබසිංහ
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පර්යේෂණ)
මධ්‍යම පර්යේෂණ ආයතනය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. 

Comments