එතෙර මෙතෙර වෙළෙඳාමේ දියුණුවට එකම කවුළුවකින් පහසුකම් | සිළුමිණ

එතෙර මෙතෙර වෙළෙඳාමේ දියුණුවට එකම කවුළුවකින් පහසුකම්

 ශ්‍රී ලංකාව මේ වන විට අඩු ආදායම්ලාභී රටවල් ලේඛනයෙන් මිදී මැදි ආදායම් ලබන රටක් බවට පත්වී සිටියි. මෙහි ඊළඟ පියවර අප රට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්කරලීමයි. ඒ අනුව යමින් අප රටේ අපනයන ආදායම් ඉහළ නංවාගැනීම සඳහා නව ජවයකින් ක්‍රියාකළයුතුව ඇත. ජාත්‍යන්තර වෙළෙඳාම වැඩිදියුණු කරගත යුතුව ඇත.

ශ්‍රී ලංකා රජය මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳාම වැඩිදියුණු කිරීමට විවිධ උපායමාර්ගික සැළසුම් සකස් කොට ඇත. ඒවා ක්‍රියාවට නංවා තිබේ. එහිදී ලොව ඕනෑම ආයෝජකයෙකුට,ව්‍යාපාරිකයෙකුට මෙරටට පැමිණ පහසුවෙන් තම ආයෝජන සිදු කිරීමට පහසුකම් සැපැයීමට මුල්තැන ලබාදී තිබේ. ලෝක වෙළෙඳ සංවිධානය ලෝක බැංකුව, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය එක්ව මෙරට ජගත් වෙළෙඳපොල ජයගන්නා වැඩපිළිවෙළ පසුගියදා එළි දැක්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම් මත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී එය පැවැත්විණි.

උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන උසස් නිලධාරී ඇතුළු සම්භාවනීය අමුත්තෝ රාශියක් මේ අවස්ථාවට එක්ව සිටියහ. එලෙස ඇරඹි ව්‍යාපාර පහසුකිරීමේ වැඩපිලිවෙළේ තවත් එක් දිගුවක් ඉකුත් 19 වැනිදා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී ඇරඹිණි. මේ ලිපිය එම මහඟු අවස්ථාව පාදක කොට ලියැවෙන්නකි.

ජාත්‍යන්තර වෙළඳාම විනිවිදභාවය වැඩි දියුණු කිරීම SLTradeMadeEasy ජාතික ඒකජ කවුළුව සහ වෙළඳ තොරතුරු ද්වාරය ලෝක වෙළඳ සංවිධානයේ (WTO) වෙළඳ පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමට පිළිබඳ ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති අතර එමඟින් මෙරට වෙළඳ ප්‍රජාවට ද වාසි සැලසෙන පරිදි ජාත්‍යන්තර වෙළඳාම වැඩිදියුණු කිරීම සඳහා පරිසරයක් නිර්මාණය කිරීමට එකඟතාව පළ කොට තිබේ.

වෙළෙඳ පිරිවැයෙහි බලපෑම ඉහළ නංවනු වස් ගෝලීය ඇගයුම් දාමයන් (GVCs) බිහිවීමත් සමඟම වෙළඳ ව්‍යුහයන් නවීකරණය කිරීමට බල කෙරී ඇත. මේ අනුව, දේශසීමාවලදී වෙළඳ පහසුකම් සැපයීමේ වැදගත්කම ඉහළ නැග ඇති අතර එම තත්ත්වයන් තහවුරු කර ගැනීම සඳහා රටවල් 120කට වැඩි ගණනක් මේ වන විටත් මෙම ගිවිසුමට අත්සන් කර ඇත. ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුම (TFA) අත්සන් තබනු ලැබූ පළමු රටවල් අතරට එක් වෙමින්, ශ්‍රී ලංකා රජය, වෙළඳ හිඟය අවම කිරීම හා ගෝලීය ආර්ථික වර්ධනය සඳහා මැදිහත් වීම යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන සිය දැඩි කැපවීම පෙන්නුම් කර තිබේ.

ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුම යනු කුමක්ද? ලෝක වෙළඳ සංවිධානය පිහිටුවීමෙන් පසු ඔවුන් වෙතින් ඉදිරිපත් කෙරෙන පළමු ප්‍රධාන බහුපාර්ශ්වික ගිවිසුම, වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුම (TFA) ය. නිල තාන්ත්‍රික ක්‍රමවේද අවම කිරීම, පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම සහ නව තාක්ෂණය යොදා ගැනීම ඔස්සේ වෙළඳාමෙහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම එහි අරමුණයි. එමඟින් දේශසීමා ඔස්සේ සිදුකරන වෙළඳාම, වේගවත්ව, විශ්වාසදායකව හා ලාභදායකව ව්‍යාප්ත කිරීම ඉලක්ක කෙරේ. එමෙන්ම, ලෝක වෙළඳ සංවිධාන ඉතිහාසයේ පළමු වරට මෙම වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුමෙහි එකඟාතාවන් මඟින් එක් එක් රටෙහි අවශ්‍යතාවන් පූරණය සඳහා බැඳී ඇති අතර, එමගින් සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින හා ඌණ සංවර්ධිත රටවල් අතර සමාන ක්‍රියාත්මක ක්ෂේත්‍රයක් නිර්මාණය වී ඇත. ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුම් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ යුත්තේ ඇයි?

වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුමෙහි ඉදිරිපත් කර ඇති එකඟතා භාවිතයට කැඳවීමෙන් පමණක් ම, ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳ පහසුකම් සැපයීමේ වටපිටාව සුවිශේෂ ලෙස වැඩිදියුණු කළ හැකිය.

ශ්‍රී ලංකාවේ සමාගම්වල තරගකාරීත්වය රඳා පවතින්නේ නිසි වේලාවට සහ පිරිවැය ඵලදායකව විදේශ වෙළඳපොළට භාණ්ඩ ලබාදීමේ හැකියාව මතය. සරල හා විනිවිද පෙනෙන ක්‍රියාදාමයන් ඔස්සේ යටිතල පහසුකම් සැලසීම හා පිරිවැය අවම කළ සහ පීඩාවන් අවම වෙළඳ පටිපාටි නියාමනය කිරීම මෙහිදී වැදගත් ය.

සංකීර්ණ නියාමන පරිසරය සහ අන්තර ආයතනික සම්බන්ධීකරණයේ අඩුපාඩු නිසා වෙළඳ ගනුදෙනු පිරිවැය අධික ලෙස ඉහළ නැග තිබේ. ප්‍රතිපත්ති මත පදනම් වූ වෙළඳ බාධක හේතුවෙන් වැය වන කාලය භාණ්ඩ අපනයනය කිරීම හෝ ආනයනය කිරීම සඳහා ගතවන මුළු කාලයෙන් සියයට 70ක් පමණ බව ගණන් බලා තිබේ. ආනයන හෝ අපනයන ක්‍රියාපටිපාටිය සඳහා වැය වන කාලයෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් අදාළ ලේඛන පිළියෙල කිරීම පිණිස වැය වන අතර එය ප්‍රමුඛතම කාර්යය බවට පත්ව ඇත.

ජාතික වෙළඳ පහසුකම් සැලසීමේ කමිටුව

වෙළඳ ප්‍රවර්ධනයෙහි යම් සුවිශේෂ වර්ධනයක් ශ්‍රී ලංකාව වෙත ලැබෙනු ඇත්තේ විශේෂ ප්‍රතිසංස්කරණ නිර්දේශයන්ගෙන් ඔබ්බට ගිය, ප්‍රතිසංස්කරණවලට මඟ පෙන්වීම සඳහා හොඳින් අර්ථ දැක්වූ ආයතනික වැඩපිළිවෙළක් මගිනි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වය යටතේ ජාතික වෙළඳ පහසුකම් සැලසීමේ කමිටුව (NTFC) දැනටමත් ස්ථාපිත කර ඇති අතර, දේශ සීමා ආයතන දොළහක් මෙන්ම වාණිජ මණ්ඩල සහ ව්‍යාපාර ආයතන හතක් නියෝජනය කරන වාණිජ මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි සම සභාපතිවරයෙකි. ශ්‍රී ලංකා රේගුව තුළ ස්ථාපනය කෙරෙන ලේකම් කාර්යාලයක් මඟින් කමිටුව වෙත පරිපාලන සහාය සැපයීමට සූදානම් කෙරෙමින් පවතී. සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමෙන් පසු ජාතික වෙළඳ පහසුකම් සැලසීමේ කමිටුව විසින් ප්‍රධාන බාධාවන් සහ අකාර්යක්ෂමතාවයන් හඳුනාගනු ලැබෙනු ඇති අතර අනතුරුව වෙළඳ ගනුදෙනු පිරිවැය අඩු කිරීමට හේතු වන වෙළඳ පහසුකම් සැපයීමේ ප්‍රතිපත්ති හා ක්‍රියාවලිය නවීකරනය කෙරෙන සුවිශේෂ පියවරයන් ගනු ලැබෙනු ඇත. එමෙන්ම ජාතික වෙළඳ පහසුකම් සැලසීමේ කමිටුව, රාජ්‍ය හා පෞද්ගලික අංශයන් අතර සංවාදයක් ඇති කිරීමටත්, ඔස්සේ වෙළඳ පහසුකම් සැලසීමේ කටයුතු සඳහා අන්තර් ආයතනික සම්බන්ධීකරනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම පිණිසත් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ වෙළඳාම්වලට සහාය දක්වන WTO වෙළෙඳ පහසුකම් සැපයීමේ ගිවිසුමෙහි ප්‍රධාන විධිවිධාන මොනවාද?

මෑත අතීතයේදී ශ්‍රී ලංකා දේශසීමා හරහා වෙළඳාමට පහසුකම් සැලසීමේ දී විශාල ප්‍රගතියක් ලබා ඇතත්, ලේඛනගත කිරීම, ස්වයංක්‍රීයකරණය හා දේශසීමා ක්‍රියා පටිපාටි ආදියෙහිදී ඵලදායී භාවිතයන් හමුවේ තවමත් පසුගාමී තත්ත්වයක වේ. වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුම යටතේ ඉදිරිපත් කරන ලද ජාතික ඒකජ කවුළුව (NSW) සහ වෙළඳ තොරතුරු ද්වාරය (TIP) මඟින් මෙම බොහෝ බාධාවන්ට විසඳුම් සෙවිය හැකිය. මෙම ප්‍රධාන මෙවලම් හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාව හමුවේ WTO වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුම යටතේ ඇති අවධානය දිය යුතු කරුණු කිහිපයක් ප්‍රමුඛතාකරණය කර ඇති අතර, එමගින් වෙළඳ පහසුකම් සැපයීමේ සුවිශේෂ දියුණුවක් ඇති වනු ඇත.

ජාතික ඒකජ කවුළුව (NSW)

ජාතික ඒකජ කවුළුවක් යනු ආනයන හා අපනයන යන සියලු කටයුතුවලදී අත්‍යාවශය නියාමන අවශ්‍යතා සපුරාලීම පිණිස වන ප්‍රමිතිකරණ තොරතුරු සහ ලිපි ලේඛන තනි පිවිසුම් ස්ථානයක් වෙත ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ හා ප්‍රවාහන කටයුතුවල යෙදෙන සියලුම පාර්ශ්වයන්ට ඉඩ සලසන ස්ථානයකි. දේශසීමා හරහා යන භාණ්ඩ නිසි ලෙස කළමනාකරණය කිරීම වෙළඳ පහසුකම් සැපයීමේදී තීරණාත්මක වන්නේ වැළැක්විය හැකි ප්‍රමාදයන් ඉවත් කිරීම සහ දේශසීමාවේ නිදහස් කරගැනීම්වලට ගතවන කාලය අනුමාන කිරීම ආදිය ඒ ඔස්සේ සිදු වන බැවිනි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ එක් එක් රාජ්‍ය ආයතන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොමැති වීම ඇතුඵ කළමනාකරණයේ කාර්යක්ෂමතාවය කෙරෙහි බලපාන සැලකිය යුතු අඩුපාඩු දක්නට ලැබේ.

ඒකජ කවුළුව මඟින් සියලු රාජ්‍ය ආයතන වෙත වනසියලු වෙළඳාම් සම්බන්ධ ප්‍රලේඛන ඉදිරිපත් කිරීම සහ පහසු අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා වෙළඳ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික වේදිකාවක් සැපයීම මඟින් දේශසීමාවේ දී නිදහස් කර ගැනීමේ ක්‍රියාපටිපාටිය පහසු කෙරෙනු ඇත. වර්තමානයේ විවිධ ආයතන ආශ්‍රිත ක්‍රියාවලින් බොහෝමයක් සඳහා අවශ්‍ය ලියවිලි සැලකිය යුතු ලෙස අතින් ලියනු ලැබෙන සහ කඩදාසි මත පදනම්ව පවතී. පද්ධති ස්වයංක්‍රීයකරණය සහ ආනයන හා අපනයන ක්‍රියාවලියේදී තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම මඟින් ලේඛන කටයුතු අඩු කිරීම හරහා වෙළඳ ගනුදෙනු පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කළ හැක.

වෙළෙඳ තොරතුරු ද්වාරය

ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් සියලු නීති සහ රෙගුලාසි පිළිබඳව වෙළඳ තොරතුරු ද්වාරයක් යනු එක් මූලාශ්‍රයක සියල්ල පැවතීමකි. රජයේ ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාව අවම කිරීම සහ විනිවිදභාවය වැඩි කිරීම ප්‍රමුඛ ඉලක්කයන් විය යුතු බව ශ්‍රී ලංකා වෙළඳ ප්‍රජාව විසින් විවිධ හමුවීම් ගණනාවක් තුළදී අවධාරණය කරනු ලැබ ඇත. විවිධ අභියෝගයන් යටතේ ක්‍රියාත්මක වන විවිධාකාර දේශ සීමා පාලන ආයතන ගණනාවක් සමඟ සංකීර්ණ නියාමන රාමුවක් හරහා මෙම තත්ත්වයන් උග්‍රවී ඇත. මෙම සන්දර්භය තුළ තොරතුරු තනි මූලාශ්‍රයක් පැවතීම පැහැදිලි වන අතර වෙළඳුන්ට විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමට ඉඩ සැලසෙනු ඇත.

ජයසිරි මුණසිංහ 

 

Comments