බෝග වගාවේ ආරක්ෂාවට සෙවණ දැල් හා වසුන් | සිළුමිණ

බෝග වගාවේ ආරක්ෂාවට සෙවණ දැල් හා වසුන්

කෘෂිකාර්මික කටයුතු වලදී ගුණාත්මක බීජ පැළ හා අතු පැළ හෝ බද්ධ පැළ නිපදවා ගැනීමට අවශ්‍ය තවාන් ගෘහයන් ආවරණය කිරීමට හා ගෘහයේ වූ ද්‍රව්‍යයන් සඳහා ආරක්ෂාව සපයා දීමට මෙන්ම ආරක්ෂිත වගා ගෘහ ඉදිකිරීමේදී කෘමි පළිබෝධ පාලනය සඳහා ද පොලිඑතිලීන් ඇසුරෙන් නිපදවන විවිධ වියමන් රටා ඇති දැල් වර්ග උපයෝගීකර ගැනීම රටේ දැන් දැන් ව්‍යාප්ත වෙමින් පවතී. මේ දැල් විශේෂ ඉතා උසස් තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරමින් භාවිතයෙන් පසුව දිරාපත්විය හැකි ස්වරූපයෙන් දැන් නිෂ්පාදනය කරනු ලැබේ. වියමන් රටාව අනුව දැලක ඒකක වපසරියක් තුළින් සුර්යාගේ පාරජම්බුල ආලෝක කදම්බ Ultra Violet Rays ගමන් කිරීමට දක්වන බාධාව 90% -95% ක් ගොඩනැ‍ඟෙන පරිදි සෙවණ Shade පතිතවන ප්‍රමාණය 25%, 35%, 40%, 50%, 60%, 70%, 80%, හා 90% ප්‍රතිශතයක් ලෙස මෙම දැල් නිෂ්පාදනය කරනු ලැබේ. වර්තමානයේ කෘෂිකාර්මික ගොවිපළ කටයුතු හිදී බෝග වගාව සඳහා ඉදිකරන අර්ධ ආරක්ෂිත ගෘහ හා උද්‍යානයන්හි විවිධ අවශ්‍යතා සඳහා ද සෙවණ දැල් උපයෝගීකර ගැනේ. සාමාන්‍යයෙන් කොළ, කළු හා රතු යන වර්ණයන්ගෙන් මීටර 1,2,3,4 සිට 6 ක පළලකින් යුක්තව මීටර 50 හෝ 100 ක දිගකින් සමන්විත රෝල් වශයෙන් වෙළෙඳපොළට එන මේ දැල් වසර දෙකක් හෝ තුනක් අඛණ්ඩව පරිහරණයට යොදාගත හැක. භාවිතයට යොදා ගන්නා ආකාරය අනුව ඒවායෙහි උපයෝගීතාවය විවිධාකාරවේ.

තවාන් ගෘහ සදහා වූ සෙවණ දැල් Nursery Shed Net

උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතාකර තවාන් ගෘහ සදහා වූ සෙවණ දැල් නිපදවනු ලැබේ. වායු සංසරණය හා සූර්යාලෝකය පාලනය කර ගැනීමට උපයෝගීකර ගැනේ. එමෙන්ම තවාන් දැමූ බීජ කුරුල්ලන්ගෙන් ආරක්ෂාකර ගැනීමටද භාවිතා කෙරේ. බරින් අඩු හෙවත් සැහැල්ලුවීම, පරිහරණයට පහසුවීම හා පාරජම්බුල කිරණ වළකාලීම හා අහිතකර කාලගුණික තත්වයන්ගෙන් මෙන්ම තවාන් ගෘහ තුළ වූ බදුන්ගත පැළ ආරක්ෂාකර ගැනීම සඳහා ආවරණ ලෙස භාවිතා කිරීමට ද මේ දැල් යෝග්‍යවේ.

ගොවිපළ ගෘහ සදහා වූ දැල් Farm Shed Net

හරිතාගාර සදහා උචිත පරිදි නිපදවන සෙවණ දැල් පාරජම්බුල කිරණ වලට අමතරව අධෝරක්ත Infrared කිරණ වලකාලන පරිදි ක්‍රියාකරනු ලැබේ.එසේම අධික වර්ෂාවෙන් හා සුළං ප්‍රවාහ මඟින් බෝග වලට සිදුවන අහිතකර බලපෑම් මේ දැල් විශේෂ භාවිතයෙන් වළක්වා හැකිවේ.

ගෙවතු සඳහා වූ දැල් Gardening Shade Nets

ගෙවතු වගාවේ දී බෝග ආරක්ෂාව සදහා සෙවණ දැල් උපයෝගීකර ගැනීමෙන් අධික වර්ෂාවෙන් හා සුළං මගින් සිදුවන පාංශු ඛාදනය වළකාගත හැකි අතර උෂ්ණත්වයද යම් ප්‍රමාණයකින් පාලනය කරගත හැකි හෙයින් දිවා කාලයේ බෝග මැලවීයාමෙන් ආරක්ෂාකර ගැනීමටද මේවා උපකාරීකරගත හැකිය.

කෘමි ප්‍රතිරෝධී දැල් Insect proof Net

සෙවණ දැල් වර්ග වලට අතිරේකව බෝග වගාවේ ආරක්ෂාව සදහා කෘමි ප්‍රතිරෝධී දැල් විශේෂ ද උපයෝගීකරගත හැක. ඉහළ ආතන්‍යතාවයක් සහිත පාරජම්බුල කිරණ වළකාලන පරිදි අධික උණුසුම් හා සීතල කාලගුණ තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් කෘමි ප්‍රතිරෝධී දැල් 30g/sm-150g/sm ප්‍රමාණයෙන් සම්පූර්ණයෙන්ම HDPE ඇසුරෙන් නිපදවනු ලැබේ. විනිවිද පෙනෙන සුදු පැහැ මෙන්ම නිල්, දම් හෝ කහ වර්ණ වලින් යුතුව පළල මීටර 1,2 හා 3 ප්‍රමාණයෙන් සහ දිග මීටර 50 හා 100 ප්‍රමාණයෙන් මෙම දැල් නිෂ්පාදනය කරනු ලැබේ. එසේම වර්ග මිලිමීටර 25 ක වපසරිය තුල පිහිටන සිදුරු සංඛ්‍යාව 12x12,14x14,16x16,18x18,22x22 හා 30x30 වන පරිදි දැල් ව්‍යුහයන් තෝරාගත හැකිය. බිම්මල් වගා ගෘහයන්හි සහ ආරක්ෂිත වගා ගෘහයන්හි පැති බිත්ති ආවරණය සදහා මෙම දැල් භාවිතයෙන් ගෘහය තුල වූ බෝග කෘමි සතුන්ගෙන් හා වෛරස ආසාදන වලින් ආරක්ෂාකරගත හැකිවේ. එසේම හරිතාගාර සදහා භාවිතාකිරීමෙන් ඒවා තුල උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය ද පාලනය කර ගැනීමට ද උපකාරීකරගත හැක. මේ දැල් විශේෂයන් වසර 3 සිට 4 ක් දක්වා වූ සාමාන්‍ය ආයුකාලයක් පරිහරණය කළ හැකිය.

වසුන් පටල (ආවරණ) Mulch film

ඝනකම මෛක්‍රෝන 25 හෝ 30 සිට 150 දක්වා වූ ප්‍රමාණ වලින් එක් පැත්තක් කළු පැහැයෙන්ද ඊට විරුද්ධ පැත්ත රිදී පැහැයෙන්ද යුක්තව LDPE හෝ HDPE ඇසුරෙන් මෙම වසුන් පටල නිපදවේ. මීටර 1 හා 1.2 පළලකින් යුතුව මීටර 100 හා 400 දිගු ප්‍රමාණයේ රෝල් වශයෙන් ලබාගත හැක. ක්ෂේත්‍රයේ සකසාගත් පාත්ති මත මෙකී පොලිතීන් වසුන් අතුරා අවශ්‍ය ස්ථාන විවරකර බෝගයන්හි පැල හෝ බීජ සිටුවා ගත හැක. මෙකී වසුන් හේතුවෙන් පසේ උෂ්ණත්වය ඉහළ යයි. එහෙත් පසෙන් ජලය බාහිර පරිසරයට වාෂ්පීකරණය වීම වලකාගත හැක. එසේම පසේ ලවණතාවය පාලනය කරගැනීමටද ඉවහල්වන අතර වල් පැළෑටි පැළවීම පාලනය කරගැනීමටද මේවා උපකාරීවේ. ස්ටෝබරි හා කොමඩු වැනි පළතුරු පසේ ගැටීම ද වළකාගත හැක. වගා කන්න දෙකකින් පසුව පසට දිරාපත්වීමේ Biodegradable ස්වරූපයක් දැකිය හැකිය.

විසරිත පොලිතීන Diffused Polythene

වැසි ආවරණ ගෘහ, හරිතාගාර, පොලිතීන් උමං ගෘහ හා ශාක ප්‍රචාරක ව්‍යුහ සඳහා ආවරණය කිරීමට විසරිත පොලිතීන උපකාරීකරගනු ලැබේ. සුර්යාගේ පාරජම්බුල ආලෝක කදම්බ Ultra Violet Rays ගමන් කිරීමට බාධාවන පරිදි විනිවිද පෙනෙන සුළු සුදු හා කහ පැහැයෙන් යුතුව පළල මීටර 6,8,10 හා 12 ප්‍රමාණයෙන් සහ දිග මීටර 50 හා 100 ප්‍රමාණයෙන් මෙම පොලිතීන නිෂ්පාදනය කෙරේ. සෙවිලි කිරීමෙන් පසු වසර දෙකේ සිට තුනක් දක්වා වූ කාලයක් පරිහරණය කළහැකිය.

පාලිත මහින්ද මුණසිංහ

දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය
හෝමාගම

Comments

dear, mag adahas karang inne gea uda tattuwe 1800 warga adiyata shade net gahala waga karanna....lankawe kohenda shade net ganna puluwang.....mag denata inne Saudiwala, gama Dickwella.Matara

පිටු