බෞද්ධ සම්ප්‍රදායත් පිරිහුණු කාල තිබුණා | සිළුමිණ

බෞද්ධ සම්ප්‍රදායත් පිරිහුණු කාල තිබුණා

 මහාචාර්ය ගණනාථ ඔබේසේකර ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ඔහු කලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හා අමෙරිකාවේ සන් ඩියගෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ද සේවය කර ඇත. මානව විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන බුද්ධිමතකු වන ඔහුගේ කර්තෘත්වයෙන් පළවූ කෘති දහයකට අධික වන අතර සුදු මිනිසා ලෝකය ශිෂ්ට කළේය යන මිථ්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතිය වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ඇත.

ඔහුගේ පර්යේෂණ සහ කෘති බොහොමයකට ලාංකික සමාජය පාදකව ඇති අතර, මේ වන විට ඔහු 1818 අරගලය පිළිබඳ හා තවත් කෘති දෙකක වැඩ නිම කරමින් සිටී. මේ ඒ පර්යේෂණ කාර්යය හා ශාස්ත්‍රීය පසුබිම පිළිබඳ ඔහු හා කළ සංලාපයකි.

• ඔබ උපත ලැබුවේ යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ දකුණට මායිම් වූ ගමක. අතීතයට හැරී බැලුවොත් ඔබගේ සිතිවිලි සකස් වෙන්න ඒ යුගය හා උපන් ප්‍රදේශය බලපෑවේ කොහොමද?

එවකට බ්‍රිතාන්‍ය යුගය. අපි ඒක විශේෂ දෙයක් විදිහට ගත්තෙ නැහැ. බ්‍රිතාන්‍ය ආණ්ඩුවක් පවතින බැව් කවුරුත් පිළිගත්තා. අනගාරික ධර්මපාල වගේ අය යම් විරෝධයක් දැක්වූවා. අපේ සීයාත් විරෝධයක් දැක්වූවා. හැබැයි, අපේ අම්මගෙ තාත්ත වගේම තාත්තගේ තාත්තත් ආරච්චි මහත්වරු.

• ඔබ අධ්‍යාපනය ලැබුවේ එෆ්. ආර්. ලීවීස් ගේ ශිෂ්‍යයෙක් වූ ලුඩොවයික් යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි විෂයෙන්. එවක විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශය කීර්තිධර දෙපාර්තමේන්තුවක් බව ඔබ පවසා තිබුණා. නමුත්, පසුව ඔබ එම අධ්‍යයනයන් ගෙන් ඉවත්ව මානව විද්‍යාව වෙත යොමු වුණේ ඇයි?

ලුඩොවයික් යටතේ ඉංග්‍රීසි විශේෂ උපාධියක් කළා. ඒ ඇසුර හුඟක් පොත් කියවන්න පෙලඹවූවා. ෆ්‍රේසර්ගේ ‘The Golden Bough’ පොත මට සෑහෙන්න බලපෑ කෘතියක්. එහි එන ජනප්‍රවාදවලට මගේ ඇල්මක් ඇති වුණා. හැම සෙනසුරාදා, ඉරිදා දිනකම වගේ කෝච්චියේ නැඟලා ඈත ගම්වලට යනවා. ඒ ගමේ හාමුදුරුවරු, ගම්මු එක්ක කතා බහ කරනවා. බොහෝ වෙලාවට මගේ කාලය ගෙවුණේ මේ විදිහට.

• මානව විද්‍යාවට යොමු වෙන්න බලපෑවේ ඒ අත්දැකීම්ද?

ඒ වන විට මෙහෙ විශ්වවිද්‍යාලවල මානව විද්‍යාව කියලා විෂයක් තිබුණෙ නෑ. ඒ ගැන ක්‍රමානුකූලව ඉගෙනගන්න ඕනෑ නම් අමෙරිකාවට හෝ වෙනත් විදේශ රටකට යා යුතු වුණා. 'මානව විද්‍යාව හදාරන්න කැමැතියි කියලා' මම ලුඩොවයික්ට කිව්වම එයා ඇහුවා 'එංගලන්තයට යන්න කැමති ද' කියලා. පර්යේෂණ පවත්වන අයට ඒ කාලේ එංගලන්තය තමයි නියම තැන. නමුත් මම ගියේ නැහැ. අපේ රට අයිති කර ගත්ත මිනිස්සුනේ. බොහොම ටික දෙනයි ඒ කාලේ අමෙරිකාවට ගියේ. ලුඩොවයික් එහෙම ඇහුවට මේ ගැන මගේ හැඟීම මොකක්ද කියලා එයා හොඳටම දැන ගෙන හිටියා.

• ඉඩම් භුක්තිය ගැන කළ, ඔබේ මුල් ම පොතට ඊ.ආර්. ලීච්ගෙන් පෙලඹවීමක් ලැබුණු බව වරක් සඳහන් කර තිබුණා. මෙය සිදු වුණේ කොහොමද?

ලංකාවේ නැඟෙනහිර පළාතේ තිබෙන ගමක් වන 'පුල් එළිය' ගැන ලීච් පොතක් ලිව්වා. ඒ විදිහෙ කෘතියක් දකුණ ගැන ලියන්න ඕනෑ කියලා මම කල්පනා කළා. දකුණේ හිනිදුම්පත්තුවේ 'මැදගම' ගැන මම පොතක් ලිව්වේ ඒ නිසයි. ඒ පොතේ නම 'ලෑන්ඩ් ටෙනුවර් ඉන් විලේජ් සිලෝන්'. මට වුවමනා වු‍ණේ ලීච්ට විරුද්ධ දෙයක් කරන්න නෙමෙයි. මෙහෙමත් ක්‍රමයක් තියෙනවා කියලා පෙන්වා දෙන්නයි. සමහරක් වෙලාවට ලීච්ගෙ සංකල්ප වලට යම් විරෝධයක් තිබුණත් ඒ ගැන ඔහු සංතෝෂ වුණා.

• ඔබ මාර්ටින් වික්‍රමසිංහ ඇසුරු කළා. මාර්ටින් වික්‍රමසිංහගේ 'බෞද්ධ මානවවාදය' ඔබට බලපෑව ද?

විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ අමරදාස වීරසිංහ මගේ හොඳ ම යාළුවෙක්. අපි දෙන්න නිතර ම මාර්ටින් වික්‍රමසිංහගේ බිඳුණුවැව තිබුණු ගෙදර යනවා. දවස් තුන හතර නැවතිලා සාකච්ඡා කරනවා. ඒ වගේම අපි නුවර හිටපු කාලේ වික්‍රමසිංහ එහේ එනවා. රෑ වෙනකම් අපි සාකච්ඡා කරනවා. මම එක එක පළාත්වල පර්යේෂණ කරන කොට මා එක්ක ඔහුත් ඇවිදින්න ගියා. මගේ කල්පනාව 'මම බෞද්ධ මානවවාදියෙක්' බවයි. බෞද්ධ මානවවාදය කියන්නේ බෞද්ධ සංස්කෘතියෙන් අපි හදාගත්ත දෙයක්. නමුත් ඒ ගතිගුණය දැන් සමහරක් මිනිස්සු අතරේ නෑ. සහනශීලීත්වය නෑ. විශේෂයෙන් ම 'බොදු බල සේනා' වගේ සංවිධානවල කිසිම මානවවාදයක් දකින්න නෑ.

• 'පත්තිනි ඇදහිල්ල' කෘතියෙන් ද්‍රවිඩියානු ජන සංස්කෘතිය හා සිංහල බෞද්ධ සමාජය අතර සම්බන්ධය ප්‍රකට කෙරෙනවා. මේ කෘතිය ගැන පසුබිම පැහැදිලි කරන්න පුළුවන්ද?

පත්තිනි පොත ලියන්න කලින් හුඟක් දුරට මම පත්තිනි ඇදහිල්ල ගැන පර්යේෂණ කළා. පත්තිනි ඇදහිල්ල ගැන ලිව්වේ ඊට පස්සෙයි. හැටගණන්වල මාස හතරක් විතර ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ මම මේ ගැන සෙව්වා. ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්න ප්‍රදේශවලත් පත්තිනි ඇදහිල්ල දකින්න තියෙනවා. ඒ පළාතේ කියන්නේ 'පත්තිනි' නෙවෙයි 'කන්නකී අම්මාන්' කියලා. ඉන්දියාවෙ කියන්නෙත් 'කන්නකී අම්මාන්' කියලා. 'පතිතිනි' කියන වචනය තියෙනවා. නමුත් කියන්නේ කන්නකී අම්මාන් කියලා. මගේ ළඟ පරණ ට්‍රක් එකක් තිබුණා. විභාගෙ පාස් වුණාට පස්සෙ මම ඒකෙන් යාපනේ ඇරෙන්න හැම තැනම ඇවිද්දා. ගමන්වලට වුවමනා මුදල් හොයලා දුන්නෙ ලුඩොවයික්. නැගෙනහිර වෙරළට පමණක් නෙවෙයි පත්තිනි ඇදහිල්ල තිබුණු අනෙක් පළාත්වලටත් ගියා. රබළිය පරම්පරාවේ යහෝනිස් පත්තිනි මහත්තය ගෙන් මම හුඟක් කරුණු හොයා ගත්තා. එයා හරිම දක්ෂ කපු මහත්තයෙක්. හොඳ කටහඬක් තිබුණා. කවි කියනකොට අමුතු හඬක් තිබුණා. එයා එක්ක තමයි හුඟක් දුරට ඇවිදලා පර්යේෂණ කළේ.

• රම්බාදෙණියේ සිට මහියංගණය දක්වා පැමිණීමේ "ආවශ්‍යයික වන්දනා ගමන" මඟින් විවිධ ප්‍රාදේශීය ඇදහිලි අදහන ජන කොටස් සිංහල බෞද්ධ සදාචාර ප්‍රජාවට එක්වීම පිළිබඳ අදහසක් ඔබ ඉදිරිපත් කළා. මෙය පැහැදිලි කළොත්?

ඈත ගම්වල මිනිස්සු වුණත්, වන්දනාවෙ යන කොට අනෙක් පළාත් වලටත් යැවෙනවා. ඉන්දියාවෙ සමහරක් පළාත්වල මිනිස්සු අනෙක් පළාත්වලට කලාතුරකින් යැවෙන්නෙ. ඒ කාලේ දැන් වගේ නෙවෙයි මිනිස්සු වන්දනා ගමන් ගියේ පයින්. හැතැප්ම තිස් පහක් පමණ, ගමේ අයත් එක්ක රඹුක්ඔලුවේ සිට මහියංගණයට මමත් පයින් ගියා. අපේ නඩේ ගෑනු පහක්-හයක් පමණ හිටියා. එක ගමක් පහුකරන් තව ගමකට යනකොට ඒ ගමේ මිනිස්සුත් වන්දනාවට එක්කහු වෙනවා. ඒ වගෙ මහියංගණයට යනකොට විශාල පිරිස එක්කහු වෙනවා. වෙන රටවල වගේ නෙවෙයි විවිධ පළාත් අතර සම්බන්ධතාව දිගට ම තිබුණ බව ඒකෙන් මට වැටහුණා. සිංහල බෞද්ධ සමාජය ගැන අවබෝධයක් ලැබුණා. මම එය හඳුන්වන්න ‘ආවශ්‍යක වන්දනා ගමන’ යන වචනය යෙදුවා.

• නූතන සිංහල බෞද්ධ ජාතිකවාදය පසුබිමේ මේ අත්දැකීම තැබුවොත්?

නූතන සිංහල බෞද්ධ ජාතිකවාදය ගැන මගේ කිසි සැලකිල්ලක් නෑ. පරණ ක්‍රමයට මම හුඟක් කැමැතියි. නූතන ජාතිකවාදයේ ප්‍රචණ්ඩත්වය වගේ දරුණු දේවල් හුඟක් තියෙනවා. නූතන ආර්ථිකයේ සියලු ගැටලුවල මුල් ඇත්තේ තණ්හාව තුළ යැයි ඔබ වරක් දේශනයක දී සඳහන් කළා.

• වත්මන් අර්බුදකාරී යුගයට බෞද්ධ ආදර්ශයක භව්‍යතාවක් ඔබ දකිනවාද?

තණ්හාව හැම තැනම තියෙනවා. මේ බව බුදුහාමුදුරුවෝ කිව්වා. මුළු ලෝකෙ ම කැරකෙන්නේ තණ්හාවෙන්. මගේ අදහසේ හැටියට බෞද්ධ සංස්කෘතියෙන් රටක් දියුණු කරන්න පුළුවන්. බෞද්ධ සංස්කෘතිය කියන්නේ හුඟක් පළල් අදහසක්. ලංකාවේ ඉතිහාසේ හැටියට අපි කාටත් බෞද්ධසංස්කෘතිය බලපෑවා. සමහරක් වෙලාවට බෞද්ධ සංස්කෘතිය දරුණු දෙයක් වුණා. විශේෂයෙන් පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලේ හුඟක් දරුණු දේවල් වුණා. සුගලාට හරියට අපහාස කළා. රුහුණ අල්ලා ගත්තා. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලේ බොහොම ප්‍රබල බෞද්ධ සංස්කෘතියක් බිහි වුණා. දරුණු දේවල් වුණේ නෑ. හතරවැනි පරාක්‍රමබාහු රජුගෙ කාලෙත් ඒ වගෙ වෙනස් බෞද්ධ සංස්කෘතියක් බිහි වුණා. ඒ කියන්නේ බෞද්ධ සංස්කෘතිය කියන දේ නිම කරන්න බෑ. එක එක කාල සීමාවෙදි එක එක දේවල් වෙනවා. මම හුඟක් ගෞරවයෙන් සලකන්නේ දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ.

•'දඹදෙණි කතිකාවත' ඇති කරන්න දෙවැනි පරාක්‍රමබාහු රජු මුල් වුණා නේද?

ඒ සම්ප්‍රදාය දිගට ම ආවා. දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට පෙරත් කතිකා තිබුණා. පළවෙනි පරාක්‍රමබාහු රජුගේ කාලෙත් තිබුණා. ඒකෙන් අදහස් කරන්නේ සමහරක් කාලවල බෞද්ධ සම්ප්‍රදාය ඉතාම දරුණු විදිහට පිරිහුණු බවයි.

• නූතන යුගයට අපිට කතිකාවත් ගේන්න බැරිද?

ගෙන්න පුළුවන්. නමුත් කවුද පිළිගන්නේ? දැන් ඉන්න දේශපාලනඥයෝ ඕවා ගණන් ගන්නේ නැහැ. නමුත් සමාජයක් හැටියට 'අපිට මොකද වුණේ' කියන ගැටලුව සාකච්ඡාවට ගත යුතුයි.

• ශාසනය තුළ කුල භේදය ඇතිවුණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ බවට පොදු විශ්වාසයක් තිබෙනවා. මේ සඳහා පාදක කර ගන්නෙ 'මන්දාරම්පුර පුවත' කෘතියේ සඳහන් සිද්ධියක්?

ඒක පිළිගන්න බෑ. 'මන්දාරම්පුර පුවත' ලියැවුණේ පහු කාලෙ. ඒක ශාස්ත්‍රීය කෘතියක් විදිහට සලකන්න බැහැ. මම සලකන්නෙත් නැහැ. මේ පොතේ එක එක කාලේ ලියැවුණු කොටස් තියෙනවා. සමහරක් ඒවා ලියුවේ හුඟක් පහුවෙලා. සංඝයා වහන්සේ හොඳ කුලයකින් එන්න ඕනෑ කියන අදහස පළවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවන්ගේ කාලෙත් තිබුණා. ඒ ගැන වැඩි විස්තරයක් නැහැ. නමුත් හැම දෙනාම සංඝ ශාසනේට බාර ගත්තෙ නැහැ. ඒකත් ප්‍රශ්නයක්. මගේ හිතේ, පහතරට නිකාය කිහිපයක් ඇති වුණේ ඒ නිසයි. සමහර නිකායන් මිනිස්සු පිළිගත්තේ නැහැ. අනික පහතරට මිනිස්සු හුඟක් දෙනෙක් මෑත කාලේ ඉන්දියාවෙන් ලංකාවට ආව අයනෙ. මේ අදහස් දිගටම තිබුණා. එක අතකින් අපි සේරම බෞද්ධයෝ කියලා කියත හැකි. අනික් අතින් බලනකොට මුල් කාලෙ ඉඳලම හුඟක් වෙනස්කම් තිබුණා. බටහිර සමාජ පවා පුරාවෘත්තකරණයේ අනතුරෙන් නිදහස් නැති බව සාහ්ලින්ස් පිළිබඳ විවාදයේදි අපි දුටුවා.

• ඔබගේ නවතම කෘතියට අනුව "දුෂ්ට දෙමළ රජෙක්" ගැන කතන්දරය තවත් යටත්විජිත පුරාවෘත්තයක් ද?

ඔවුන් මේක පෙන්වා දෙන්න හදන්නේ විද්‍යාත්මක දෙයක් හැටියට. මේක මවාගත්ත පුරාවෘත්තයක් බව මම පෙන්වා දුන්නා. මේ ගැන මගේ විවේචනය දැන් කවුරුත් පිළිගන්නවා. නමුත් ඒ වෙලාවේ හුඟක් මිනිස්සු එරෙහි වුණා. යුරෝපයේ පමණක් නොවෙයි, ඕස්ට්‍රේලියාව වගේ හැම තැනම මට බැණුම් අහන්න සිද්ද වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැනත් මම ලිව්වෙ ඒ නිසයි. ලංකා රාජ්‍ය අල්ලා ගන්න, බ්‍රිතාන්‍ය මිනිස්සුන්ට රාජසිංහ 'නරක රජ කෙනෙක්' හැටියට පෙන්වන්න ඕනෑ වුණා. විශේෂයෙන් වෙලෙස්ලි වගේ ඈයෝ ඉන්දියාවේ හිටිය රජවරුන්ට මේ වගේම නින්දා කෙරුවා. එක රජ කෙනෙක් බුරුමෙට කරත්තෙන් දක්කාගෙන ගියා. මගේ හිතේ, ඒ අතින් බලනකොට රාජසිංහ රජ්ජුරුවන්ට එච්චර දරුණු විදිහට අපහාස කළේ නැහැ. කොහොමහරි රාජසිංහ රජ්ජුරුවෝ නෙරපලා දොට්ට දාන්න වුවමනා වුණා. නැතිව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට රජ කරන්න වෙන විදියක් තිබුණේ නැ. ඒකනේ මගේ පොතට "ඩූම්ඩ් කිංග්" (වැනසීමට නියම වු රජු) කියන නම දුන්නේ.

• එතකොට ඇහැලේපොළගේ භූමිකාව කුමක්ද ?

මගෙ හිතේ කවුරුත් දන්නවා ඇහැලේපොළ වර්ණනාව, වඩිග හටන, කිරල සන්දේශය වගේ පොත්වලින් ඇහැලේපොළ රජ වෙන්න බලාපොරොත්තු වුණ බව පෙන්වලා දෙනවා. මේ මිනිහා මෝඩ මනුෂ්‍යයෙක්. නැත්නම් බ්‍රිතාන්‍ය රාජ්‍යයක් යටතේ එයාට රජවෙන්න දෙයි කියලා කවදාවත් හිතන්න පුළුවන්ද. රජ්ජුරුවන්ගේ ඔටුන්න ඇහැලේපොළ පැලඳගෙන හිටියා කියලා මම එක තැනක පෙන්වා දුන්නා. කොයිතරම් මෝඩකමක් ද? බ්‍රිතාන්‍ය මිනිස්සු ඉන්න තෙක් තමාට කවදාවත් රජවෙන්න බෑ කියලා ඔහුවැටහුණේ නෑ.

• දෙමළ රජෙක් පිළිබඳ අදහස යටත්විජිත ප්‍රබන්ධයක් ද?

කලිනුත් මේ ප්‍රශ්නේ තිබුණා. එච්චර ම දරුණු විදිහට තිබුණෙ නැහැ. ඔය වගේම කීර්ති ශ්‍රී රාජසිංහ දෙමළ කියලා ඕලන්ද මිනිස්සු කිව්වා. ඕලන්දකාරයෝ අපහාස කළා. එයා දෙමළ වුණත් කිසි වැරැද්දක් නෑ. නමුත් එයා දෙමළ නොවෙයි. විශේෂයෙන් පහතරට මිනිස්සු මේ අදහස් පිළිගත්ත බව පෙනෙනවා. රජු මැරීමේ උත්සාහහයකුත් තිබුණා. මරන්න හැදුවෙ වෙන කවුරුවත් නෙවෙයි සංඝරාජ හාමුදුරුවෝනේ. රජ්ජුරුවන්ට තරහකාරයෝ හිටියේ නැහැ කියලා ඉතිං අපිට පිළිගන්න පුළුවන්ද. හාමුදුරුවන්ට සංඝරාජ පදවිය පිරිනැමුවෙත් මේ රජතුමාමයි. කීර්ති ශ්‍රී ඉතාමත් හොඳ බෞද්ධ රජ කෙනෙක්. එයා උපන්නේ දකුණු ඉන්දියාවෙ. ඊට පස්සේ ලංකාවට ආවේ අවුරුදු 15-16 දී විතර. එත් එයා රජකළේ බෞද්ධ රජ කෙනෙක් විදියට.

• ඉදිරියේදි පළවීමට නියමිත ඔබගේ අලුත් කෘති ගැන යමක් කීවොත්?

'ද බුද්ධ ඉන් ශ්‍රී ලංකා' කියලා කෘතියක් මුද්‍රණයේ තියෙනවා. ඊට අමතරව 1818 කැරැල්ල ගැන හා 'කිරි අම්මලා' ගැන පොත් දෙකක් ලියාගෙන යනවා. මම කොහොමත් එකවිට පර්යේෂණ කිහිපයක වැඩ කරනවා. ඒකේ වාසියකුත් තියෙනවා. එකකින් අනෙක පෝෂණය වෙනවා. අමෙරිකාවේ ඉන්න කොට මගේ පොත් කිහිපයක් ආසන්න කාලවල පළවීම ගැන ඔවුන් පුදුම වුණා. ඒ අය පුරුදුව හිටියේ එක පර්යේෂණයක් අවසන් කර තවත් එකක් කිරීමනේ. එකවිට පොත් කිහිපයක වැඩ කිරීම ඔවුන්ට හුරු නෑ.

සේයාරූ- චතුර මධුසංඛ

Comments