ප්‍රංශ ඩෙංගු එන්නත අපට ගැළපේ දැයි පරීක්ෂණ | සිළුමිණ

ප්‍රංශ ඩෙංගු එන්නත අපට ගැළපේ දැයි පරීක්ෂණ

ඉදිරි වසර දෙක තුන ඇතුළත ශ්‍රී ලංකාවට ප්‍රංශයේ නිපදවන ලද ඩෙංගු රෝගයට එරෙහි නව එන්නතක් හඳුන්වා දිය හැකි වන බව වැඩබලන සොෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. මෙයට අමතරව අලුත්ම එන්නතක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ සිදු කෙරෙමින් පවතින බවද ඒ මහතා කීය. විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් යටතේ එම පරීක්ෂණ සිදු කෙරෙන අතර මෙරට රෝගීන්ට එම ප්‍රංශ එන්නත ඔරොත්තු දෙන්නේද නැතිනම් රෝග තත්ත්වය තවත් උත්සන්න වේද යන්න පිළිබඳව විශේෂයෙන් පරීක්ෂණ කෙරෙන බව කී අධ්‍යක්ෂජනරාල්වරයා එම එන්නත මෙරට ඖෂධ ලැයිස්තුවේ ලියාපදිංචි කරනුයේ එම පරීක්ෂණ වාර්තාවලින් අනතුරුව බවද කීය.

2017 වසරේ ඩෙංගු රෝගය අධි වසංගත තත්තවයක් දක්වා වර්ධනය වූ අතර එය පසුගිය වසරවලට වඩා රෝගීන් සංංඛ්‍යාවක් වාර්තා කර තිබේ. ජනාධිපතිතුමා විසින් ඩෙංගු මර්දන විශේෂ කාර්ය බලකායට උපදෙස් දී ඇත්තේ ඉදිරි මාස 3 තුළ රෝගය මුළුමනින්ම මර්දනය කිරීමට පියවර ගන්නා ලෙසය.

පෝලියෝ එන්නත වැනි එන්නත් මෙන් නව ඩෙංගු එන්නත මගින් 100%ක් ඩෙංගු රෝගයට එරෙහි ප්‍රතිශක්තිය සපයන්නේ නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියා කලාපීය රටවල උපදේශක හා සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගිය දා පැවසීය. ඒ අනුව ප්‍රංශ ඩෙංගු එන්නත නැවත නැවතත් ප්‍රතිශක්තිය සඳහා ලබාගැනීමට සිදුවනු ඇතැයිද ඒ මහතා කීය.

එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව මේ මස අග වන විට එළිදක්වනු ඇතැයිද ඒ මහතා කීය. එන්නත පිළිබඳ මූලික ශක්‍යතා අධ්‍යයන මේවන විටත් මෙක්සිකෝව, බ්‍රසීලය, පිලිපීනය, කොලොම්බියාව වැනි රටවල් කීපයක සිදු කෙරෙමින් පවතී. ඩෙංගු සඳහා විශේෂ එන්නත් කිහිපයක් පිලිපීනයේ ඇත.

Denvaxia නමින් හඳුන්වනු ලබන මෙම එන්නත ශ්‍රී ලංකාවේ ජනතාවට මෙන්ම අමාත්‍යංශ වැය ශීර්ෂයටද ඔරොත්තු දෙනු ඇත්දැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදය රැළපනාව මහතා විසින් අධ්‍යයනය කරනු ලබන බවද මහීපාල මහතා කීය. වයස අවු.9 සිට 45 දක්වා වූ ඩෙංගු රෝගීන්ට වෛරස ප්‍රභේද 1,2,3 සහ 4 යන මට්ටම් වල රෝගීන්ට විවිධ මට්ටම් වලින් මෙමගින් ප්‍රතිශක්තිය ලැබෙන අතර අදියර 3කින් එන්නත ලබාදිය යුතුය. පළමු එන්නත් මාත්‍රාව ලබාදී 6 මාසයකට පසුව දෙවැනි එන්නත් මාත්‍රාව ද එයින් වසරකට පසුව 3වැනි එන්නත් මාත්‍රාව ද ලබා ගත යුතු බවද වෛද්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

සාගරිකා

Comments