හදවත තරම් මිහිරි කවි | සිළුමිණ

හදවත තරම් මිහිරි කවි

බොහෝ කාලයක සිටම මගේ ආදරයට ලක් වුණු පුංචි කවියක් ඇත. ඒ කවිය ලියා තිබුණේ ‘තෙරුවන’ ගැන ය. මුළු රචනයටම තිබුණු ඒ එකම කවිය මෙසේය.

වැරහැලි දැරූ දරුවකු මගදී හමු වුණි
තෙරුවන දනිත්දැයි ඇසු විටදී වැනි වැනි
දුන් පිළිතුරෙන් මා මහ පාරෙ තනි වුණි
තාත්තගේ පය මහ පාර බඩගිනි

ජපන් හයිකු කවියක් වන් ඒ පුංචි කව, යගුලියක් තරම් බර ය; දිරවාගත නොහෙන ආහාරයක් තරම් පෝෂ්‍ය ගුණයෙන් ආඪ්‍යය. ඇසූවකු කියවූවකු කම්පනයෙන් තිගස්සවන, කිසිදු විවරණයක් අවශ්‍ය නොවන, ඒ මහරු කවිය ලියන ලද්දේ විලරත්න කුමාරගම විසිනි.

අර්ථයෙන් ආඪ්‍ය, එම පුංචි කවිය කුමාරගම විසින් ලියා ඇත්තේ 1945 දී ය. ඒ වනවිට, කුමාරගම කවි ලියන්නට වී අවුරුදු දහයක් යන්තම් ගෙවුණා පමණි. එතරම් කෙටි කාලයකදීම ඔහුගේ කවිය මේ තරම් පරිණත වූයේ කෙසේද යන්න, අදහන්නටත් අමාරු තරම් ය. මන්ද යත්, ඒ වනවිට, කවියාගේ වයස ද අවුරුදු විසිහයකට වඩා නොවැඩි වූ හෙයිනි.

ඒ තරම් තියුණු සමාජ විවරණයක් - මුළු මහත් අධිපති සමාජ ක්‍රමය වෙතම ඉදිරිපත් කරන ලද ඒ තරම් ප්‍රබල අධිචෝදනා පත්‍රයක් ගැන හිතාගන්නටවත් බැරි තරම් ය.

1919 ජනවාරි 18 වැනිදා පාතදුම්බර නාරංපනාවේ උපත ලද විමලරත්න කුමාරගම, යාන්තම් අවුරුදු හතළිස් හතරක් ගෙවෙන්නටත් පෙර, 1962 දෙසැම්බර් 30 වැනිදා මෙලොව හැර ගියේ ය.

ඔහුගේ ජීවිතය කෙටි වුව ද, ඔහු ලියූ කවි සංඛ්‍යාව අනල්ප විය. සංඛ්‍යාවෙන් අනල්ප තරමටම, ගුණලවයෙන් ද අනල්ප විය.‍

ඔහු දිගු කාව්‍ය කිහිපයක් ද කෙළේ ය. සංවේග වේදනා (1940), නිල් සීනය (1941), ඔරුව (1942) සහ හපුමලී (1946) යන කාව්‍ය කෘතීන් හතර කුමාරගමගේ දීර්ඝ රචනා අතරට ගැනෙයි. මෙම කෘතීන් හතරෙන් වඩාත් ප්‍රශස්ත වූයේ, 1946 දී පළ කළ හපුමලී කාව්‍යයයි.

මෙහිලා හපුමලී කාව්‍යයෙහි මුල් පද්‍ය කිහිපයක් උපුටා දක්වන්නට මට සිතෙයි.

යටිකුරු සුනිල් දුම් ගොබයක් වැනිය හිස
සැන්දෑ වලාවක ඉඳුනිල් මිණිය ඇස
පන්සල, වෙහෙර, ළිඳ ළඟ හා නදිය අස
ඇය දැකගන්ට ඇඬුවා ගම තරුණ ඇස

ඇගෙ පාවලට යට වී වනමල් නැළවේ
තුඟු ළැම පෙදෙස යන එන ගමනට සෙලවේ
දෙනුවෙන් කෙරෙන් අවිහිංසක බව පළ වේ
වදමල් දෙමට මල් ඇය දුටු විට මැලවේ

කවියා තම සංකල්පනාවන් ව්‍යංගයෙන් සාර්ථක ලෙස හඟවන හැටිත්, අනුචිත වර්ණනාවෙන් තම කාව්‍යය නොකෙලසන හැටිත්, මේ මුල් ම රචනයන්ගෙන් වුවත් විමලරත්න කුමාරගම මුල් කාලයේදීම ලියූ රචනාවල පවා කොළඹ යුගයේ ‘සුසුම් පද රීතිය’ ඉක්මවන කවි රීතියක් පළ කළ බවට, යට කී පද්‍ය තුන වුවත් හොඳ දෘෂ්ටියකින් බැලීමෙනි. කොළඹ යුගයේ කවීන් අතර, ඔහු විශේෂ කෙනකු වූයේ ඒ නිසා ය.

විමලරත්න කුමාරගම, සිංහල කාව්‍ය වංසය තුළ ස්වකීය මුද්‍රාව තැබුවේ, අපරිමාණ මානව දයාවෙන් පිරි වන්නියේ ගැමි ජනතාවගේ හදවත හරිහැටි දුටු කවියකු හැටියට ය. ගැමියන් කෙරෙහි වූ අපමණ දයාගුණය හේතු කොටගෙනම, ඔහුගේ කවිය නව දීප්තියකින් බබළන්ට විය. 1946 දී ලියන ලද ‘අවුරුදු නිවාඩුව’ නමැති දීර්ඝ කාව්‍ය රචනයෙහිලා, ඔහු බඩු පොදියක් උසුලාගෙන ගෙදර එන රෝගී සැමියා බිරිඳගේ නෙතට හසු කරන්නේ මෙපරිද්දෙනි.

පොදිය ද රැගෙන දුප්පත්කම තරම් බර
රළු සුළඟකට සෙලවෙන පර මලක් යුර
වැනි වැනි ගෙදර එන සිය හිමිතුමන් දුර
දැක බිරිඳගේ දෙනුවන විය දියෙන් බර

ඒ පොදිය, දුප්පත්කම තරම්ම බර ය. එම රචනයේ ම තවත් තැනකදී, කවියා දුප්පත්කම නිසා ජනිත අසරණකමට අරුත් කියන්නේ මේ වචනවලිනි.

“ගුණවත්කම තිබෙනුයේ අසරණම පැලේ”

අපට මුතු නමැති කුඩා දරුවා හමු වනුයේ ද, මෙම රචනයේ අග භාගයේදී ය. මුතු අහන්නේ උත්තර දෙන්ට බැරි ප්‍රශ්නයකි.

මේ ගඟ ගලන්නේ මොන කන්දක සිටද?
මේ දිය හිඳී යන්නේ මොන දවසටද?
එගොඩින් එහා ඇති මොන වාගේ රටද?
මෙගොඩම වගේ එගොඩත් හරියට යටද?

මුතුගේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්ට බැරි, ලෝක විෂයය අචින්ත්‍ය වන බැවිනි.

එදා වන්නියේදී විමලරත්න කුමාරගමට හසු වූ ගුණවත් අව්‍යාජ ගැමියන්, අද ජීවත්වන්නේ කවීන්ගේ ලෝකයේ ම පමණි. ගංතුනතුලානේ, අලියාවැටුණුවැවේ සුන්දරහාමි, එතරම් පොහොසත් නොවුවද, සුන්දර හදවතක් සතුව සිටි මිනිහෙකි. ‘කවුද ගෙදර’ යන හිසින් සුන්දරහාමි ගැන ලියන ලද එකී දීර්ඝ රචනය, වන්නියේ දුප්පත්කමත් කටුක බවත් එකට කලතා අඳින ලද සියුම් සිත්තමක් වැන්න. සුන්දරහාමිගේ දරුවන් කවියා විසින් අපට හඳුන්වා දෙන ආකාරය, මේ බැලුව මැනවි.

කොර පොතු තිබේ රළු ඇඟ හැම තැනම නැඟ
මාන්දම් ගඩුය වැලමිටි, දණිස් ළඟ‍
හිස කෙස් අවුල් වී පොල්මුඩු වැනිය දිග
වණ වී තිබේ උන් හැමගෙම දෙතොල අග

තුන් ලාහක කුඹුරු වැඩ කළ සුන්දරහාමිට ලැබුණු අස්වැන්න ගැන, ඔහුම තෙපලන වදන් කවියා අප ඉදිරියේ ප්‍රතිරාව කරයි.

දාඩිය මිරික මිරිකා, ගෙන උදලු කෙටී
තුන් මාසයක් වෙහෙසී, රෑ පැලක වැටී!
ගොවිතැන් කිරීමෙන් අප බත බුදින හැටී
තුන් ලාහකින් ලැබුණේ මේ පිදුරු මිටී!

සුන්දරහාමි සමඟ කවියා ඇති කරගන්නා ළෙන්ගතුකම ඉතා දැඩි ය. එතෙකුදු දුප්පත්කම නමැති නරාවලෙන් සුන්දරහාමි ගොඩගන්ට කවියාට බැරිය.

කාලයාගේ ඇවෑමෙන් සුන්දරහාමි සොයා එන කවියාට දැනගන්ට ලැබෙන්නේ ඔහු මිය ගිය පුවතය. හදවතින් ද සුන්දර වූ මේ මිනිහාගේ මරණය කවියා සිහි කරන්නේ, හැම යුගයේ ම හොඳ මිනිසුන්ගේ යහගුණය උදෙසා, නැඟුණු අනුස්මරණ ගීතයක් බඳු මෙම කවි දෙකිනි.

සුන්දරහාමි ඇති මුත් අද පොළොව යට
නොදනිමි කොතැනදැයි ඇත්තේ ඔහුගේ ඇට
ගල් කණු තොරන් නැති මුත් ඒ සොහොන පිට
ඔහු මිය ගියේ නැත අඳුනන පුරුදු මට!

රජයේ ලිපිකරුවකු වශයෙන් සේවය ආරම්භ කළ කුමාරගම, 1942 දී පමණ ප්‍රාදේශීය ආදායම් පාලක විභාගයෙන් සමත්ව, අනුරාධපුර කච්චේරියේ වැඩ භාරගත්තේ ය. අනතුරුව ඔහු පුත්තලම දෙමළ හත්පත්තුවේ ආණමඩුවේ ප්‍රාදේශීය ආදායම් නිලධාරියා හෙවත් ‘ඩීආ‍‍රෝ’ හැටියට කටයුතු කෙළේය. 1945 න් පසුව, ඔහු එකී තනතුරේ ම සේවය කර ඇත්තේ හඟුරන්කෙත, කලවාන, මහියංගණය, රත්නපුරය, කෑගල්ල යන ගැමි පළාත්වල ය.

1956 න් පසුව යළිත් ඔහු වන්නියට පැමිණෙයි. කුරුණෑගල වන්නි හත්පත්තුවේ දළදාගම ‘ඩීආ‍රෝ’ වශයෙන් කලක් සේවය කළ හෙතෙම, අනතුරුව නුවරඑළියේ, කොත්මලේ ප්‍රාදේශීය ආදායම් නිලධාරියා හැටියට මාරුවීමක් ලබා සංගිලිපාලමට යයි. තම මරණය දක්වාම අවුරුදු පහක් පමණ කාලයක් ඔහු සේවය කෙළේ සංගිලිපාලමේ ය.

කුමාරගමගේ වෘත්තීය ජීවිතය වන්නියේත් උඩරටත් ගැමි ජනතාව සමඟ ගෙවුණු බව ඉතා ප්‍රකට කාරණයකි. ඒ හේතුකොටගෙන ඔහුට ලැබුණු අත්දැකීම් සම්භාරය අතිවිශාල ය. ඔහුගේ යුගයේ අනෙක් කවියකුට එම වාසනාව නොලැබුණි. කුමාරගමගේ කවිය ඉතා දුර්ලභ වූ මානුෂික අත්දැකීම් සම්භාරයකින් පෝෂණය වී ඇත්තේ එහෙයිනි. මේ අත්දැකීම් බාහුල්‍යය නිසා විමලරත්න කුමාරගමගේ කවියෙහි මානුෂික ගුණලවය වඩාත් ප්‍රබල ද, පෘථුල ද, ගැඹුරු ද වී ඇති බව පැහැදිලි කාරණයකි. 1947 තරම් ඈත කාලයේ කරන ලද රචනාවල පවා එකී ගුණය දක්නා ලදී. නිදසුන් වශයෙන්, සුප්‍රකට ‘ආරච්චිල’ (1947), ‘හේරත්හාමි’ (1948) වැනි කාව්‍ය රචනා ඉදිරිපත් කළ හැකි ය. ආරච්චිල වැනි අසරණයින් පෙළූ ගැමි අධිපතියෝ ඔහුගේ තියුණු විමංසනයට ලක්වූහ.

අලියා වැටුණු වැව ආරච්චි රාලට
මුවමස් ඌරුමස් හිඟ නොමැත කෑමට
මුළු ගංගොඩම හිටියත් ඔහුගෙ වාලට
ඔහු වැඩිපුරම බය ලොකු සයිබු නානට

‍මෙම රචනයෙහි ඇති උත්ප්‍රාසයම, වෙනත් ලෙසකින් ‘හේරත්හාමි’ නමැති රචනයේදී සැඟවී සිටියි. හේරත්හාමි වැනි අසරණයකුගේ ජීවිතය තුළ, තමා සොයන මිනිසත්කම කවියාට හමු වෙයි.

අලියා වැටුණු වැව සිටි හේරත් හාමි
මා වැනියකු වුවද මම වැදගත් වීමි
මිනී කපන මුත් ඒ හේරත් හාමි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑමි

පිහියා පහරකින් මැරුණු තම නැගණියගේ මිනිය කපන්නටත්, දෛවය විසින් පවරා දී තිබුණේ හේරත්හාමිට ය. මිනිසුන්ගේ ජීවිතය තමන්ට අභිමත සේ ගළපා ලන්නට, දෛවය හෙවත් කරුමය සතුව ඇති බල මහිමය අසීමිතය. එතෙකුදු වුවත්, හේරත්හාමිගේ හදවත තුළ වූ අහිංසක අව්‍යාජ සුන්දරත්වය කවියා විනිවිද දකියි.

නූපන් නිසා දනවත් මහරු පායක
පන්සල වෙතට යයි හැම විටම පෝයක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දායක
ඊටත් වඩා සලකයි අයියනායක

ඔහුගේ ඉතා සුප්‍රකට ‘අයියනායක’ නමැති රචනය වචනවලින් අඳින ලද ඉතා සියුම් සිත්තමක් වැන්න. වන්නියේ ස්වභාව සෞන්දර්යයේ අරුමයත් වන්නියේ ජනතාවගේ ජීවිතයේ අව්‍යාජත්වයත් මානව දයාවෙන් යුතුව විවරණය කිරීමේ හේතුවෙන් බිහි වන්නේ, අතිශයින් ම විචිත්‍ර වූ කාව්‍ය නිර්මාණයකි.

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

වන්නියේ සැඳෑ කල සඳරැස් ගලන රාත්‍රිය හා යාවන මොහොත කවියා පද චිත්‍රයකට නඟන්නේ, සීරුවෙන් තෝරාගත් භාවික වදන් මඟිනි. අයියනායක දෙවියන්ට බැතිමත් වන ගම්දනන් කෙරේ ඔහු තුළ ඇත්තේ, උතුරා යන මෙත් කරුණා සිතිවිලිවලියකි.

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකළෙමි එය ගැරහීම

මෙම නිබන්ධයෙහි මූලික අරමුණ වූයේ කුමාරගමගේ කාව්‍ය නිර්මාණ පිළිබඳව පූර්ණ විචාරයක් කිරීම නොව, විචාරකයින්ගේ අවධානයෙන් ගිලිහුණු ඔහුගේ පසුකාලීන වූ රචනා කිහිපයක් පිළිබඳව පාඨකයාගේ අවධානය යොමු කිරීම ය. ‍එම රචනා අතර බුදුරුව (1960), සුවඳ (1958), ලස්සන (1962) සහ ලිපිය (1961) යන රචනා හතර, වර්තමාන පද්‍ය සාහිත්‍යයට එකතු වී ඇති දුර්ලභ නිර්මාණ වශයෙන් හඳුන්වන්නට මම කැමැත්තෙමි.

මනුෂ්‍යත්වය කෙරෙහි කවියාගේ ඇති භක්තිය ද, මිනිසුන් කෙරෙහි වන දයාව හා අනුකම්පාව ද මේ පද්‍ය‍යන්ගෙන් හෙළි කෙරෙයි. බුදුරුව, මහවන මැද හමුවන කළු ගලෙන් නෙලන ලද සමාධි බුදු පිළිමයක් ගැන කරන ලද කාව්‍ය නිර්මාණයකි. බුදුන්ගේ අපරිමාණ ගුණ සමුදාය හා උන්වහන්සේ‍ කෙරෙහි වන ශාන්ත ගුණය කවියා චිත්‍රණය කරන්නේ තීව්‍ර විලාසයෙනි. මෙම දීර්ඝ රචනයේ තැන් කීපයකින් උදුරාගත් කාව්‍යාර්ධ කීපයක් කෙරෙහි පාඨකයාගේ අවධානය යොමු කිරීම සුදුසු ය.

මිනිස් හඬ වා රැළකවත් නැත
සුනිල් වන පෙත නුවන සනහන
මහත් ආදරයකින් රක්නා
සෙල්මුවා බුදු රුවකි සැතපෙන

අඩක් කාලයෙ පසට යට වුණ
‍ඇහැටු පැල පෙඳ පාසි උසුලන
සියක් වස් කොපමණ ද නොදනිමි
මලක් පහනක් දිටියෙ පුදසුන...

සුවඳ නම් වන රචනය කවියා‍ෙග් තවත් සාර්ථක රචනයක් වන ‘වලස් දඩයම’ සිහි කරවයි. මව නැති වූ මුව පැටවකු ගැන ලියවුණු රචනයක් වන මෙහි, සුවඳ හැටියට කවියා දකින්නේ මුව පැටවාගෙන් වහනය වූ කිරි සුවඳයි.

මගෙ හද රිදවන මෙසුවඳ කොහිදැයි

සොයනෙමි මා හද නිවන නියා...අනන්තයට යන ගුරු පාරක් ඇත

ඒ දිග යමි ‘මේ ‍සුවඳ’ සොයා
මුව පැටවාණනි
මා ඔබේ කිරි මව
වූවත් කෝ උඹේ අම්මා

‘හද රිදවන සුවඳ’ වැනි යෙදීම්, කවියකුගේ නිර්මාණ චින්තනයේම අංගයකි. නව අනුභූතීන්හි වචන යෙදීමෙන් බසට අරුත් දෙන්නේ කවීන් ය.

තම හදවතට ආසන්නව සිටි මිත්‍රයකුට ලියන ලද ලිපියක ව්‍යාජයෙන් පළ වන ‘ලස්සන’ නම් රචනය, කුමාරගමගේ කවිත්වයේ හැම උසස් ලක්ෂණයක්ම කැටි කොටගත් නිර්මාණයක් වශයෙන් හැඳින්වීම නිවැ‍රදි ය.‍

“ලස්සන මම අද රෑටත් කනවා”
“මගෙ වත නොවේ මගෙ හදවතය ලස්සන”
“ලස්සන මැද ඇයි කඳුළුයි - රිදුමයි?”

“ලස්සන ළඟ කවියෙකි ගොළු වන්නේ
ලස්සන ළඟදියි කඳුළුත් එන්නේ
ලස්සන ගැන මොන මිනිහද දන්නේ
ලස්සන තද රිදුමෙනි බිහි වන්නේ”

මා මෙම රචනය ආරම්භ කළේ, විමලරත්න කුමාරගමගේ ඉතා ප්‍රබල පුංචි කවියකිනි. ඒ කවිය කියවා මා ලැබූ කම්පනයට සමාන කම්පනයක් පසු කාලයකදී මවිසින් ලබන ලද්දේ, ඔහුගේ ලිපිය නමැති රචනය කියවීමෙන් අනතුරුව ය. අපූරු ස්වාධීන රීතියකින් නිමවා තිබුණු එකී රචනය, වර්තමාන සිංහල කවිය තුළ සුවිශේෂ නිර්මාණයක් හැටියට හැඳින්වුව ද වැරදි නැත.

අනුවේදනාත්මක වූ පෞද්ගලික අත්දැකීමක් පාදක කොටගත් එම රචනය, කවියා අප වෙත ඉදිරිපත් කරන්නේ ශෝකී රාවයකින් සියුම් වෙණ තතක් හඬවන පරිද්දෙනි. මෙහිලා, ලිපිය නමැති එකී මුළු රචනයම උපුටා දැක්වීම අවශ්‍යය නමුත් පුවත්පතේ ඉඩ සීමාසහිත බැවින් ඉන් කොටසක් පමණක් උපුටා දක්වමි.

මෙම නිර්මාණය තුළ වැදහෙව තිබෙන දුර්ලභ කරුණ රසය විඳගනු රිසිය.

ඔහුගේ සාහිත විවේචන මත
ඇසූ විට මුල්ලකට වැදුණෙමි
‍එදත් පෙරදීත් මාත් ඒ මත
පහළ කළ බව හොඳට අඳුනමි

කුඩා දරුන‍ගෙ හුරතලෙන් මම
ඔහුගෙ පවුලට සදා බැඳුණෙමි
විවේකය ලද සෑම විට මෙන්
ඔහුගෙ ගෙදරට නිතර ඇදුණෙමි

ඔහුගෙ නම නොකියමි
දුවගෙ නම නම් මායා
ඔහු මගේ මිතුරෙකි ...
එ් කවෙහි අවසන මේ ය...

පියාගේ අත තබා තිබුණේ
කුඩා කොළයකි හොඳම කවියකි
මායමය එය ලියා තිබුණේ
එකව කියවූ පසුව බොරුවෙකි

කීවොත් මගෙ හද පමණි රිදුණේ
එයින් පසුවයි මගේ දිවියෙන්
හදෙන් දහසක් කැබලි බිඳුණේ

(1961)

දැන් ඉතින්, කුමාරගමගේ මෙම රචනයට මවිසින් අටුවාවකුත් ලියන්නට අවශ්‍යද?

මේ කවිය ගැන මෙන් ම කුමාරගමගේ සෙසු බොහෝ කවි ගැන ද කළ යුතු විවරණයක් ඇත‍. ඒ විවරණය, කවියාගේ මරණයෙන් පසුව ‘විමලරත්න කුමාරගම’ නමින් අපූරු කාව්‍යයක් කළ පී.බී. අල්විස් පෙ‍රේරාගේ බසින් ඉදිරිපත් කිරීම සුදුසු යැයි මම සිතමි.

“හිසෙහි පැතිරෙන සිහිල සඳරැස
ඔබට කෙහෙ පිරිමදින පිහිරිය
වෙහෙර පුදසුන තුබූ මල් මිට
කෙරෙන් දුටුවේ ගලන රිහිරිය

ඇතැම් තැනකදී යෙදුම් මහිමය
ගොළුය දෙසවන දෙනෙත බිහිරිය
ඔබේ කවිවල අරුත ගැඹුරුය
එහෙත් හදවත තරම් මිහිරිය”

Comments