ඕස්ට්‍රේලියානු ඉතිහාසය ජීවමාන කළ ග්‍රන්ථයක් | සිළුමිණ

ඕස්ට්‍රේලියානු ඉතිහාසය ජීවමාන කළ ග්‍රන්ථයක්

විමර්ශන

කර්තෘ - කැනීෂියස් පලිහවඩන

මිල - රු. 400

ප්‍රකාශනය - ගොඩගේ ප්‍රකාශනයකි.

වසර 250ක පමණ කාලයක් ඇතුළත ලෝකයේ සංවර්ධිත රටක් බවට පත්වී ඇති ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය අලළා කෘතහස්ත ලේඛකයකු හා දේශකයකු වන කැනීෂියස් පලිහවඩන මහතා විසින් ‘මා දුටු පර්ත් නගරය’ නමින් කෘතියක් එළි දක්වා ඇත. 1788 ජනවාරි 26 වන සෙනසුරාදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට පා තැබූ දක්ෂ නාවිකයකු වූ ආතර් පිලිප් විසින් එංගලන්ත ඉංග්‍රීසි රජයේ උපදෙස් පරිදි එහි තම ධජය ඔසවා ඕස්ට්‍රේලියාව ඉංග්‍රීසි ආධිපත්‍යයට ඈඳා ගනු ලැබීය. වසර 2500ක විභූතිමත් ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ මෙන් ඕස්ට්‍රේලියාව තුළ දැකිය නොහැකි ය. ඉංග්‍රීසීන් සමඟ එදා එහි පැමිණි පිරිස් අතර සිරකරුවන් දහස් ගණනක් පැමිණ ඇති බැවින් ඒ අතර ලාංකිකයන් ද සිටි බවට සාක්ෂි ඇති හෙයින් ඕස්ට්‍රේලියාවට ලාංකිකයන්ගේ ද සම්බන්ධතාවක් පවතින බවට මතයක් තිබේ.

භූමිය වර්ග කිලෝමීටර් මිලියන 8.5 ක් පමණ වන අතර එය ශ්‍රී ලංකාව මෙන් 120 ගුණයක් විශාල ය. ජනගහනය මිලියන 23 ක් පමණ වන අතර වර්ග කිලෝමීටරයක ජනගහනය 2.7 කි. එහි ජනගහනය ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන ය. ‘ලෝ ප්‍රකට කාන්තාර, තෘණභූමි හා මහා වනාන්තරවලින් සමන්විත ඕස්ට්‍රේලියා මහාද්වීපය කර්කශ රටකි. ඉංග්‍රීසි ආගමනයට පෙර වසර 50000 ක් පමණ පුරාවට එහි තම බලය පතුරුවා ගෙන සිටියේ සටන් කාමී ආදිවාසී ඇබොර්ජිනල්වරුන් විසිනි. ඔවුහු ඉංග්‍රීසීන්ගේ පැමිණීම නොඉවසූ හ. ගල්, මුගුරු, හෙල්ලය, භූමරංගය වැනි ආයුධ අතැතිව ඉංග්‍රීසීන්ට විරුද්ධව එළිමහනේ තම ශක්තිය මුදහා ලූ නමුත් ඉංග්‍රීසීන්ගේ නවීන යුද ආයුධ ඉදිරියේ ඔවූහු අසරණ වූහ.

සමහරු ඉංග්‍රීසීන් විසින් මරා දැමූහ. ඊට අමතරව ජලභීතිකාව, බෝ වන රෝග, ගොනෝරියා, උණසන්නිපාතය වැනි රෝගාබාධ වලින් ද ජල හිඟයෙන් ද පීඩා විඳිමින් අන්ත අසරණ තත්ත්වයට පත් වූහ. ඉංග්‍රීසීන් පැමිණෙන විට ලක්ෂ තුනක් පමණ ඇබොර්ජින්වරුන් ජීවත්වූ නමුත් 1900 පමණ වනවිට ඒ සංඛ්‍යාව 50000කට පමණ අඩු වී තිබුණි. පෙමුල් වේ වැනි සටන්කාමී නායකයන් ඉංග්‍රීසීන් මරා දැමූ අතර ඊට අමතරව විවිධ උපක්‍රම භාවිත කොට ඔවුන්ගේ වාසභූමි ඉංග්‍රීසීහු සතු කර ගත්හ. ඉංග්‍රීසීන් විසින් ආදිවාසීන් යටත් කර ගැනීමේ කතා පුවත ඉතා ශෝචනීයය. ඒ අතර ලංකාවේ පෘතුගීසීන්, ලන්දේසීන් මෙන් ම ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසීහු ද විවිධ ක්‍රිස්තියානි නිකායන්හි අනුග්‍රහයෙන් ඇබොර්ජිනල්වරුන් තම අණසකට යටත් කර ගත්හ.

විවිධ අභියෝග මත ජීවත්වූ ඇබොර්ජිනල්වරු ඔවුනට ආවේණික වූ සංගීතය, රංගනය, චිත්‍ර ආදී සංස්කෘතික ලක්ෂණ සුරකිමින් නගරබද මෙන් ම ගම්බද වද අදත් ජීවත්වෙති. කරුණු එසේ වුවත් කටුක ජීවිතයට ගොදුරු වෙමින් දිරිමත්ව අද අභිමානවත්ව ජීවත් වන ආදිවාසී පිරිසක් ද එරට තුළ දැක ගත හැකි ය. ඒ පිළිබඳ විස්තරාත්මක කරුණු රාශියක් මේ කෘතියේ අන්තර්ගතව ඇත. අද ඕස්ට්‍රේලියානුවන් තම ජාතික දිනය ලෙස ජනවාරි 26 වන දින මහත් උත්කර්ෂවත්ව කැන්බරා නගරයේ සමරනු ලබන අතර ඒ දිනය ආදිවාසීන් හඳුන්වනු ලබන්නේ ‘ආක්‍රමණිකයාගේ දිනය’ නැතහොත් ‘තම වර්ගයාගේ නොනැසී පවතින දිනය’ ලෙසයි.

මේ ඉතිහාස ග්‍රන්ථය බටහිර ඕස්ට්‍රේලියාවේ අගනගරය වන පර්ත් නගරය කේන්ද්‍ර කරගෙන ලියා ඇති අතර සෝන් නදිය අසබඩ පිහිටා ඇති ඒ නගරය ලෝකයේ මනා සැලසුම් සහිතව ගොඩනැඟුණු දර්ශනීය නගරයක් ලෙස සැලකේ. බටහිර ඕස්ට්‍රේලියාව එම මහාද්වීපයේ විශාලම ප්‍රාන්තය ලෙස ගැනෙන අතර එය ශ්‍රී ලංකාව මෙන් 40 ගුණයක් පමණ විශාල ය. පර්ත් නගරය අවට තදාසන්න ප්‍රදේශ පුරා සංචාරය කරමින් ප්‍රත්‍යක්ෂයෙන් ‍කරුණු ගොනු කරමින් ඒ අවට නගරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් මේ ග්‍රන්ථය මඟින් ලබාගත හැකි ය. පර්ත් නගරවරුන් අතිරමණීය ලෙසින් කර්තෘ පෙළ ගස්වා ඇත. දකුණු මුහුදේ කෙළවර පිහිටි ඉන්දියන් සාගරයත් දකුණු සාගරයත් එකිනෙකට සම්බන්ධ කෙරෙන කේප්ලීවිං ප්‍රදීපාගාරය හා ඒ අවට මාගරට් රිවර් ප්‍රදේශය අතිශයින් සුන්දර දසුන් මවයි. ස්වභාවධර්මය විසින් අසිරිමත් දසුනක් ලෙස නිර්මාණය කර ඇති අලංකාර ගුහාවන් පිළිබඳ දර්ශනය ශ්‍රී ලංකාවේ දැක ගත නොහැකි දසුනකි. මීට අමතරව ලෝකයේ කලාතුරකින් දැකගත හැකි ‘පිනකල්ස්’ නමින් හඳුන්වන කාන්තාර විශේෂය තවත් ආකර්ෂණීය ස්ථානයකි.

රන් වර්ණයෙන් හෙබි උසට ගොඩනැඟුණු හුනුගල් විශේෂය මුහුද යට නිර්මාණය වී වසර 50000 ක පමණ කාලයක් තුළ ජලය හා හුළං හේතුවෙන් මතුපිටට පැමිණ ඇතැයි විස්වාස කෙරේ. ශ්‍රී ලංකාවේ නුවරඑළිය වැනි සෞම්‍ය කාලගුණයක් සහිත රමණීය දර්ශනවලින් සමන්විත ප්‍රදේශ ලෙස ඩෙන්මාර්ක් හා ඇල්බනිය වැනි නගර හැඳින්විය හැකි ය. කෙසේ වෙතත් ස්වාභාවධර්මයේ සෞන්දර්යාත්මක කරුණු විමසීමේදී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට කිසිසේත් සමාන කළ නොහැකි ය. මීට අමතරව කැන්ගරුවන්ගේ දේශයේ ස්වභාවික සම්පත් එනම් ඛනිජ සම්පත, පශු සම්පත, කෘෂිකර්මය මෙන් ම ලොව පරසිදු රන් ආකර පිළිබඳව කතුවරයා විසින් කරුණු ඉදිරිපත් කර ඇත. ඕස්ට්‍රේලියාවේ ධන උල්පත ලෙස සැලකෙන බටහිර ඕස්ට්‍රේලියාවේ රන් ආකර පිළිබඳව විස්තර කරන කතුවරයා ලොව බරැතිම රන් කුට්ටිය හා විශාලතම රන් කාසිය පිළිබඳව ද සඳහන් කර ඇත.

ඕස්ට්‍රේලියාවේ සමාජ ජීවිතය පිළිබඳ විස්තර සඳහන් කරන කතුවරයා ජනතාවගේ නීතිගරුක භාවයත් උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදයත් එංගලන්ත රැජින කෙරෙහි ඇති ගෞරවයත් විස්තර කරයි‍. ජනතාවගේ දෛනික ජීවිතයේ ආහාර, නිවාස, මාර්ග පද්ධති, ප්‍රවාහනය ආදී කරුණු පිළිබඳව අගය කර ඇති අතර ලාංකික අප හට ආදර්ශයට ගත හැකි කරුණු කාරණා ගණනාවක් පිළිබඳව සටහන් කරයි. එරටේ ආගම පිළිබඳව විශේෂ අවධානයක් කර ඇති අතර එහි බොහෝ දෙනා කිසිදු ආගමක් නොඅදහන පිරිසක් ලෙසට ද දක්වා ඇත.‍ එරටේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳව ද විස්තර කර ඇති අතර එරටේ දරුවන් අප රටේ දරුවන්ට වඩා කාර්යක්ෂම දරු පිරිසක් ලෙස ද සඳහන් කර ඇත.‍ අද වනවිට එම රට ඉංග්‍රීසීන්ගේ රටකට වඩා බහුජාතික බහු සංස්කෘතික රටක් ලෙස ද සඳහන් කර ඇත. අද විදේශිකයින් රට තුළට ඇතුළු වීමේදී දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද පෙනේ.

එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව රසවත් තොරතුරු සමූහයක් සඳහන් කරන කතුවරයා සමහරු සුඛිත මුදිත සරුසාර දිවියකට උරුම කම් පෑවත් තවත් සමහරු නන්නත්තාර ජීවිත ගත කරන බව ද සඳහන් කර ඇත‍‍. එරටේ ජනතාවගේ විනෝදාංශ පිළිබඳව විස්තර කිරීමේදී විවිධ සතුන් ඇති කිරීමට ජනතාවගේ ඇති කැමැත්ත පිළිබඳව සඳහන් කරමින් එම රටේ බල්ලෙකු බළලෙකු හාවකු හෝ මීයකු වි ඉපදීමද සැපතක් බව දක්වයි. සෞභාග්‍යවත් ජීවිතයක් ගත කරන විශාල ජ්‍යෙෂ්ඨ පිරිසක් වෙසෙන රටක් බවත් ඔවුහු ජීවිතය ආරම්භ කරන්නේ වසර 60 පමණ ගතවීමේදී බව ද පෙනේ. එසේ ම තනිකමෙන් කාංසියෙන් හුදෙකලාව ජීවත්වන විශාල පිරිසක් සිටින බව ද සඳහන් කරයි. එහි කුමන සැප සම්පත් පැවතියත් ශ්‍රී ලංකාව වැනි රටක සමාජයේ ඇති ආධ්‍යාත්මික හා සංස්කෘතික වටිනාකම් පිළිබඳව ලිවීමට උත්සාහ ගෙන ඇත. ලංකාවේ පාසල්වල හෝ උසස් අධ්‍යාපනයේදී ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය පිළිබඳව ඉගැන්වීම් නොකෙරෙන අතර ඒ අවශ්‍ය කාලෝචිත පියවරක් විය යුතු බව ද කතුවරයා සඳහන් කරයි.

Comments