හම සුදු කරන ආලේපන රැසක පිළිකා කාරක | සිළුමිණ

හම සුදු කරන ආලේපන රැසක පිළිකා කාරක

සම සුදු කරන ආලේප නිපදවීම සඳහා රසදිය වැනි බැර ලෝහ පවා යොදන බවට සැකයක් පවතී. මේවා සිරුරට ඉතා හානිදායකය. සමෙහි පිළිකා මෙන්ම වෙනත් රෝග ඇති වීමට ද හේතු කාරක විය හැකිය.

පැහැපත් සමක් ලබාගන්නට අකැමැති වෙන්නෙ කවුද? අද කාලේ ගැහැනු ළමුන් වගේම පිරිමි ළමයිනුත් කැමැති ‘සුදු’ වෙන්න. සුදු හමට තිබෙන විශාල ඉල්ලුම නිසාම අද තරුණ තරුණියන්ගෙන් වැඩි දෙනෙක් සම පැහැපත් කරගන්න ලොකු උත්සාහයක් දරනවා. හම සුදු කරගන්න ආලේපන වර්ග Skin whitening cream වලට අද වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතිනවා. ඒත් නිසි වෛද්‍ය උපදෙස් හෝ අවබෝධයකින් තොරව මේ ආලේපන වර්ග තැවැරීමෙන් බොහෝ විට වෙන්නේ තිබුණු සමත් අවපැහැ ගැන්වීම හෝ කල්ගත වීමේදී නොසිතූ විරූ සමේ රෝගවලට ගොදුරු වීමයි. ඇත්තෙන්ම Skin whitening cream ගාලා හම සුදු වෙනවා ද? ඒවා ගැල්වීම සෞඛ්‍යයට හිතකර ද නැද්ද යන කරුණු දැනගන්නට අපි සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්ති පරණවිතාන මහත්මිය හමු වුණා.

වෛද්‍ය පරණවිතාන පවසන පරිදි සම පැහැපත් කර ගැනීමට හෝ සුදු කරගන්නට හෝ උත්සාහ කිරීම එතරම් සාර්ථක පිළියමක් නොවෙයි. තමා උපතින් ලබා උපන් සම රැකගෙන පිරිසුදුව පිළිවෙළකට සිටීමෙන් රූමත් බව නිරායාසයෙන්ම රැකෙන බවයි ඇය පවසන්නෙ.

සම සුදු කරගන්නට පෙර තමාගේ ශරීරය හා සම පිළිබඳ මූලික අවබෝධයක් ලබා තිබීම වැදගත්. මිනිස් සිරුරෙහි විශාලතම ඉන්ද්‍රිය ලෙස ‘හම’ හඳුන්වන්න පුළුවන්. ඒ සමෙන් මුළු ශරීරයම වැසී පවතින නිසයි. සම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සිරුරෙහි පිටතින් පිහිටන අපිචර්මය සහ යටි සම යනුවෙන්. උඩු සම නොහොත් අපිචර්මයෙහි සෛලවල පවතින මෙලනින් නම් දුඹුරු පැහැති වර්ණකය අනුව පුද්ගලයකුගේ සමෙහි වර්ණය තීරණය වෙනවා. අප රට වැනි ඝර්ම කලාපීය රටවල ජනතාවගේ සමෙහි මතුපිට මෙලනින් වර්ණකය පැතිරී ඇති ආකාරයට දුඹුරු පැහැය හෝ කළු පැහැය ගන්නවා. ආසියාතික රටවල ජනතාවගේ සමෙහි තිබෙන්නේ Eu Melanin වර්ණකයයි. සුදු හමක් සහිත ජනතාවගේ සමෙහි ඇත්තේ Phe Melanin වර්ණකයි.

මෙලනින් හැරුණු විට හමට පාට ගෙන දෙන තවත් කරුණු කිහිපයකි. සම මතුපිට ඇති සෛල තට්ටු ගණන හෙවත් ගණකම. සමෙහි ඇති රුධිර වාහිනී විහිදී ඇති ප්‍රමාණය අනුව සම රතු හෝ රෝස පැහැ ගැන්වේ.

ඇතැම් රෝග නිසා සමෙහි විවිධ රසායන ද්‍රව්‍ය තැන්පත් වීමෙන් සමෙහි පැහැය වෙනස් වේ.

සම අවපැහැ ගැනීමට හෝ කළු පැහැ ගැනීමට බලපාන ප්‍රධාන සාධකය හිරු එළියයි. හිරු එළිය වැටුණු වහාම සම මතුපිට ඇති මෙලනින් ඔක්සිකරණය වේ. එවිට එක වරම සම පිච්චුණාක් වැනි අයුරින් කළු පැහැ ගැන්වේ. එමෙන්ම කලක් තිස්සේ හිරු එළියට නිරාවරණය වූ විට මෙලනින් නිපදවීම වැඩි වේ. එහෙයින් අප සිරුරෙහි ඇඳුමෙන් වැසුණු කොටස් සුදු පැහැ ගන්නා අතර ඇරුණු තැන් කළු පැහැ ගැන්වේ.

ඇතැමුන්ගේ කම්මුල් දිගින් දිගටම හිරු එළියට නිරාවරණය වූ විට ඒ මත සමනළ පියාපත් දෙකක් බඳු පැල්ලමක් ඇති වේ. මේ තත්ත්වය Malasma යනුවෙන් හැඳින්වේ. මේ තත්ත්වය වැඩිපුර දැකිය හැක්කේ මැදි වියෙහි කතුන් අතරය.

ඇතැම් විට මුහුණ මත පැතිරුණු කුඩා දුඹුරු පැහැ තිත් (Freckles) දැකිය හැකිය. කම්මුල් හා නාසය මත මෙලෙස තිත් වැටෙන්නේ ද හිරු රැස් වැදීම නිසාය. මේ තත්ත්වයන් හිරු එළියට නිරාවරණය නොවී සිටීමෙන් පහසුවෙන්ම මැකී යනු ඇත.

මුහුණ මත වැටෙන තද පැහැති ලප ‘Zentigenes’ යනුවෙන් හැඳින්වේ. මේවා කලක් යන තුරු මැකී යන්නේ නැත. හිරු එළියට නිරාවරණය වීම නිසා හට ගනී.

සාමාන්‍යයෙන් දුඹුරු පැහැති සමක් සහිත පුද්ගලයන්ගේ සෛලවල න්‍යෂ්ටිය කුඩයක් ඉහලූ ආකාරයට ආවරණය වී තිබේ. එහෙයින් එවැනි සමක් ඇති අයට හිරු එළියෙහි ඇති අහිතකර කිරණවලින් සිදු වන හානිය අඩුය. එහෙයින් දුඹුරු සමක් සහිත පුද්ගලයන්ගේ සම රැළි වැටී මහලු පෙනුමක් ගෙන දීමට ඇති ඉඩකඩ අඩුය. එමෙන්ම සමෙහි පිළිකා ඇතිවීමට ඇති අවදානම ද අඩුය.

පැහැපත් සමක් සහිත පුද්ගලයන්ගේ සම ඉක්මනින් රැළි ගැසී මහලු පෙනුමක් ගෙන දෙයි. සමෙහි පිළිකා ඇතිවීමේ අවදානම ද වැඩිය. හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ වැදීම සුදු සමක් සහිත පුද්ගලයන්ට හානිකර වේ.

සම සුදු කරගැනීම ගැන වත්මන් තරුණ තරුණියෝ බෙහෙවින් උනන්දුවක් දක්වති. සම සුදු කිරීම සඳහා කරනු ලබන්නේ සමෙහි ඇති මෙලනින් වර්ණකය අඩු කිරීමය. සම සුදු කිරීම සඳහා වෙළෙඳපොළෙහි ඇති ආලේපන මඟින් සමෙහි ඇති මෙලනින් ප්‍රමාණය අඩු කිරීම මෙන්ම වැඩි කිරීම ද කළ හැකිය. සමෙහි අවපැහැ ගැනීමක් හෝ කළු වීමක් වූ විට වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසුය. හිතුමතයට සම සුදු කිරීමේ ආලේපන ගැල්වීම සුදුසු නැත. සමෙහි ඇති වන වෙනසකට වෛද්‍යවරුන් බෙහෙත් නියම කරනුයේ ඒවායෙහි අඩංගු රසායනික සංඝටක හා ප්‍රතික්‍රියා පිළිබඳ දැනගෙනය. නිදසුනක් ලෙස Hydroquinone යන සංඝටකය මඟින් හම සුදු පැහැ ගන්වයි. එහෙත් වෛද්‍යවරයකු එය නියම කරන්නේ අදාළ පුද්ගලයාගේ සමට ගැළපේදැයි බලා මාස තුනක කාලයක් සඳහා පමණි. එය මාස තුනකට වඩා ගැල්වීම සමට අහිතකරය.

බොහෝ විට හම සුදු පැහැ ගන්වා ගන්නට ඖෂධ ඉල්ලමින් රෝගීන් පැමිණිය ද රෝග තත්ත්වයක් නොවන විට එවැනි ඖෂධ ලබා දෙන්නේ නැත.

සම සුදු කරන ආලේප අයත් වන්නේ ඖෂධ ගණයට නොව රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගණයටය. එහෙයින් ඒවායෙහි අඩංගු සංඝටක පිළිබඳ බොහෝ විට ලේබලවල සටහන් වන්නේ නැත. කිසියම් ආලේපනයක අඩංගු සංඝටක මොනවාදැයි නොදැන ආලේප කිරීම ඉතා හානිදායක විය හැකිය. තත්ත්වයෙන් උසස් සන්නාම සහිත නිෂ්පාදනවල අනිවාර්යයෙන්ම ඒවායෙහි අඩංගු සංඝටක සඳහන් වී තිබිය යුතුය. වෛද්‍ය උපදෙස්වලින් තොරව හුදු ප්‍රචාරණයට රැවටී ආලේප ගැල්වීමෙන් කල් ගත වන විට සමෙහි තිබුණු පැහැපත් බව ද අහිමි වී යා හැකිය.

සම සුදු කරන ආලේප නිපදවීම සඳහා රසදිය වැනි බැර ලෝහ පවා යොදන බවට සැකයක් පවතී. මේවා සිරුරට ඉතා හානිදායකය. සමෙහි පිළිකා මෙන්ම වෙනත් බරපතළ රෝග තත්ත්ව ඇති වීමට හේතු කාරක විය හැකිය.

ශාකසාර ඖෂධීය ආලේප වශයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කෙරුණ ද ඒවායෙහි අඩංගු ද්‍රව්‍ය නාම මිස රසායනික සංඝටක පිළිබඳ තොරතුරු ලේබලවල සඳහන් නොකෙරේ. එහෙයින් ඒවායෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව ද සහතික කළ නොහැකිය.

වර්තමානයේ බොහෝ දෙනෙක් විදේශීය රටවලින් ආනයනය කරනු ලබන ආලේප වර්ග ගැල්වීමට නැඹුරුවක් දක්වති. චීනය, පාකිස්තානය, කොරියාව සහ තායිලන්තය වැනි රටවලින් ආනයනය කරනු ලබන මේ ආලේපන ඇසුරුම්වල සඳහන් ලේබල හෝ දත්ත ඒ ඒ භාෂාවලින් සඳහන් වන හෙයින් කිසිවකුට කියවීමට නොහැකිය. මෙවැනි ආලේප ගැල්වීම ද හානිදායකය.

ඇතැම් ආලේපවල Hydroquinone ඇති බවක් සඳහන් නොකළ විට පාරිභෝගිකයෝ ඒවා දිගු කලක් භාවිත කරති. එය ද නොකළ යුත්තේ හම සුදු කරන සංඝටක රැසක්ම පිළිකාකාරක වන හෙයිනි.

රුව වැඩි කර ගැනීමේ අදහසින් පැමිණෙන බොහෝ දෙනකු ඉල්ලන්නේ සම සුදු කර ගැනීම සඳහා එන්නත් ලබා දෙන ලෙසය. එහෙත් එවැනි එන්නත් මඟින් බරපතළ අතුරු ආබාධ ඇති වන හෙයින් මෙරට වෛද්‍යවරුන් ඒවා අනුමත නොකරන බව ද වෛද්‍ය පරණවිතාන පවසයි.

රූ සපුව රැක ගැනීම සඳහා අනුගමනය කළ යුතු හොඳම පිළියම කෘත්‍රිම ආලේපන ගැල්වීමෙන් හැකි තාක් වැළැකී සිටීම යැයි ද වෛද්‍යවරිය පවසයි. අව්වට නිරාවරණය වීමෙන් හැකි තරම් වැළැකී සිටීම ද සුදුසුය. දූවිලි කුණු වැකුණු සැම විටම හොඳින් මුහුණ හා ශරීරය සෝදා පවිත්‍රතාව රැක ගැනීමෙන් සමෙහි පැහැපත් බව රැකගත හැකිය. අලුත් එළවළු, පලා වර්ග, පලතුරු හා පෝෂ්‍යදායි ආහාර සමඟ ප්‍රමාණවත් තරම් වතුර බීමෙන් ද සමෙහි සුන්දරත්වය රැකේ. සමෙහි ස්වභාවය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එහෙයින් තමන්ගේ සමට යෙදිය යුතු පිළියමක් අනෙකාගේ සමට ගැළපෙන්නේ නැත. තමාගේ සමෙහි ස්වභාවය හැඳින සිටීමත් අමතර ලප කැළැල් හෝ අවපැහැ ගැන්වීමක් ඇතිවූ කල සම පිළිබඳ වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබා ගැනීමත් වඩා සුදුසු බව ද වෛද්‍ය පරණවිතාන පවසයි.

ඡායාරූපය - ගයාන් පුෂ්පික

Comments