දැන උපකරණ භාවිතය අවදානම අඩු කරයි | සිළුමිණ

දැන උපකරණ භාවිතය අවදානම අඩු කරයි

ආහාර නිෂ්පාදනය පහසු කිරීමට නම් කෘෂිකර්මාන්තය වේගවත් විය යුතුය. ගෙවතු වගාවේ දී පස සකසා ගැනීමට, බීජ, අල, දඬු හෝ පැළ සිටුවා ගැනිම ඉතා අමාරු අපහසු කාර්යයක් බව වගාවට අවතීර්ණ වූ ඕනෑම කෙනෙකුට අවබෝධ වන කරුණකි. මේ කාර්ය පහසුවෙන්කර ගැනීමට යෝග්‍ය අත් උපකරණ ඒ සදහා උපයෝගීකර ගතහැකිය. කෘෂිකාර්මික කටයුතු සදහා නිපුණත්වයක් ලැබූ ක්ෂේත්‍රයේ සෑම කෙනෙකුම මෙවැනි අත් උපකරණ භාවිතා කළ හැකිය. මේ මිලදී ගන්නා උපකරණ පිළිබඳ අවබෝධයක් ඕනෑම ගොවියෙකුටම තිබියයුතුය.

ඉස්කෝප්පය

කෙටිමිටක් සහිත කුඩා තලයකින් හෝ දිගු මිටක් සහිත විශාල තලයක් යුක්තවන ආකාරයෙන් ඉස්කෝප්ප දෙවර්ගයක් දැකිය හැකි. පස හාරා ගැනීමට , පස් ඉවත්කර ගැනීමට, යම් ස්ථානයකට හෝ බදුනකට පස් පිරවීමට මෙම උපකරණ භාවිතා කළහැක. කුඩා ප‍්‍රමාණයේ ස්කෝප්ප බිම හිඳගෙන කරනු ලබන කාර්යයන් සඳහා ද විශාල ප්‍රමාණයේ ස්කෝප්ප හිටගෙන හෝ තරමක් කොන්ද ඉදිරියට නවාගෙන කරනු ලබන කාර්යයන් සදහා උපයෝගීකර ගතහැකිය.

සවල

පස් හෝ වැලි ඉවත්කර ගැනීමට, යම් ස්ථානයකට හෝ බදුනකට පස් හෝ කොම්පෝස්ට් ආදිය පිරවීමට ෙම් උපකරණ භාවිතා කළහැකිය. දිගු මිටක් සහිත විශාල සෘජුකෝණාශ්‍රකාර තලයකින් යුක්තවේ. හිටගෙන තරමක් කොන්ද ඉදිරියට නවාගෙන කරනු ලබන කාර්යයන් සදහා උපයෝගීකර ගතහැකිය.

අත් රේක්කය

සකස්කරන ලද පාත්ති මතුපිට පස් කැට, ගල් කැබලි හා රොඬු සහ මුල් කැබලි ඉවත්කර පස සියුම්ව සකසා ගැනීම සඳහා මේ උපකරණය උපයෝගීකර ගැනේ. කෙටි ශක්තිමත් සැහැල්ලූ දැව හෝ ගැල්වනයිස් ලෝහනල ඇසුරෙන් මෙහි මිට සකසා ඇත. කූරු සහිත හිස කොටස ඉතා පටු හෝ ඉතා විශාල නොවිය යුතුවේ. එසේම කූරු සෘජුව හෝ ස්වල්ප වශයෙන් අවතල හැඩයකින් යුක්ත වියයුතුයි

වටාපත් රේක්කය

බිම හිඳගෙන හෝ කොන්ද තරමක් නමාගෙන ගෙවතු වගාවේදී ඝනව වැඩුණ පඳුරු යට හෝ අඩු පරතර සහිතව සිට වූ මල්පැළ හෝ ගෙවත්තක වූ භෝග වියන්යට කොළරොඩු ඉවත් කිරීමට හා පිරිසුදුකර ගැනිමට උපයෝගීකර ගත හැකි සරල උපකරණයකි. කෙළවර අංශක 80-90 නවන ලද අඟල් 5 ක් පමණ දිගු මෘදු වානේ පටි හෝ ඝන පොලිමර් පටි රැසක් පරතර සහිතව සමාන්තරව පිහිටුවා ඒවායෙහි සෘජු කෙළවර එකට එකතුකර අල්ලූවකින් මිටකට සවිකර නිපදවා ඇත.

ගෙවතු රේක්ක

ගෙවතු ක්‍රියාකාරකම් සදහා භාවිතයට ගනු ලබන රේක්ක කූරු 12 ක් හෝ 14කින් යුතුව තනි වාත්තු ඒකකයක් ලෙසින් නිපදවනු ලැබේ. යකඩ පට්ටම් මත ඇණ පෑස්සීමෙන් නිපදවන රේක්ක කල්පැවැත්මෙන් අඩුවේ.සැහැල්ලූ දැව හෝ ගැල්වනයිස් ලෝහ නල ඇසුරෙන් දිග මීටර1.5 ප්‍රමාණයකට මිට සකසා ඇත.

උදැල්ල

වානේඇසුරෙන් වාත්තුකර නිපදවන තල සමඟින් කෙටි මිටක් සවිකරන උදලු, වගා කිරීමට යෝජිත බිමක වල් මර්දනය සඳහා පස පිඩළි වශයෙන් පෙරළාගැනීම උදෙසා හෝ භෝග පේළි අතර වල් මර්දනයට මෙන්ම කානු කැපීම වැඩට උපයෝගීකර ගත හැකිය. කැපුම් පළල අඟල් 4 ප්‍රමාණයේ වූ උදළුතල ජලනල එලන කානු හා කුඩා ඇලි සැකසීමට ද, අඟල් 6 ප්‍රමාණයේ වූ උදලු තල සාමාන්‍ය ප්‍රමාණයේ කානු හා ඇලි සකසා ගැනීමටද, අඟල් 8 හෝ 9 ප්‍රමාණයේ උදලු තල ඉක්මනින් පස පෙරළා ගැනීමට හා පුළුල් කානු සහ පාත්ති සකසා ගැනීමටද භාවිතා කෙරේ.ත්‍රිකෝණාකාර හැඩයේ උදලු තලතද පස් ස්ථර බිඳ ගැනීමට, ගල් වැටි අතර හා ගල් වැටි මත වල් මර්දනයට ද පටු ඇලි සකසා ගැනීමට සහ අල වර්ග හාරා උගුලා ගැනීමටද උපයෝගීකර ගතහැකිය.

සැහැල්ලු උදැල්ල

මෘදු වානේ ඇසුරෙන් තැනූ ප‍්‍රමාණයෙන් කුඩා තලයකට සැහැල්ලූ ශක්තිමත් දැව හෝ ගැල්වනයිස් ලෝහ නල ආධාරයෙන් දිගු මිටක් සකසා සවිකරගන්නා උදලු මොස්තරයකි. ඉදිරියට තල්ලූ කරන හා ආපස්සට අදින සැහැල්ලූ උදලු වශයෙන් මේවා දෙවර්ගයකි. මේ මොස්තරයන් උපයෝගීකර ගත හැක්කේ සකස් කළ වගා බිමක භෝග සංස්ථාපනයෙන් පසුව වල් මර්දනය සදහා හෝ භෝග පේළි අතර වල් මර්දනයට වන අතර වල් පැළෑටි ඉවත් කිරීමට ක්ෂේත්‍රයේ පස බුරුල් කර ගැනීමට, පසට පොහොර මිශ‍්‍රකර ගැනීමට මේ උපකරණ උපයෝගීකරගත හැකිය.

ද්විත්ව හිසැති උද්‍යාන උදැල්ල

එක් පසෙක කුඩා උදලු තලයක් ලෙසින්ද ප්‍රතිවිරුද්ධ පස කූරු දෙකක්, තුනක් හෝ හතරකින් යුතු මුල්ලූවක් ආකාරයට නිමවා ඇති ආයුධයකි. කුඩා පෙදෙසක හෝ පඳුරුයට ඉක්මනින් පස පෙරළා ගැනීමට හා බුරුල්කර ගැනිමට භාවිතා කළහැකිය.

බදාම හැන්ද

පාත්තියක පැළයක් රෝපණය කර ගැනීමට හෝ තවානකින් පැළයක් උගුල්ලා ගැනීමට උපකාරීකර ගැනේ. හැඬලය කෙටි වන අතර තලය හැඬලය අසලටම සමීපවන පරිදි පෑස්සුම්කර ඇත.

කප්පාදු කතුර

මල්, විසිතුරු පත‍්‍රික ශාක හෝ පළතුරු පැළ හා ශාකයන්හි අනවශ්‍ය රිකිලි කපා දැමීමට හෝ බද්ධකිරීමට අවශ්‍ය රිකිලි ශාකයකින් වෙන්කර ගැනීමට භාවිතා කෙරේ. හොඳින් අල්වා ග‍්‍රහණයකර ගැනීම සඳහා හැඬල් දෙක ප්ලාස්ටික් හෝ රබර් වැසුම් තුල ගිල්වා ඇත.

වැටි කපන කතුර

උසස් ශ්‍රේණියේ වානේ වලින් නිපදවා කැපුම් තල දාර පන්නරය තබා ඒවායෙහි කර උල ෆයිබර් හෝ මෘදු ප්ලාස්ටික්හෝ දැව කොටස් තුළට ගිල්වා හැඬල නිෂ්පාදනය කර ඇත. පඳුරු හෝ ශාක වැටි අවශ්‍ය ආකාරයට කපා ගැනීමට භාවිතා කෙරේ. එමෙන්ම තෘණ පිට්ටනි වල පටු මංතීරු හා උද්‍යාන මංමාවත් මායිම් මෙන්ම මල්පාත්ති වටාවූ මායිම්හි වැවූ ශාක වැටි අලංකාරයට කැපීමට භාවිතා කළහැකි ආයුධයකි.

වැටි කපන කප්පාදු කතුර

විදුලි මෝටරයකින් හෝ සැහැල්ලූ කුඩා එංජිමකින් යුතු දෑතින් ඔසවාගෙන ක්‍රියාකරවිය හැකි උපකරණයකි. මල් වැරීමෙන් පසු එම පඳුරු හෝ ශාක වැටි පිළිවෙළකට කප්පාදුකර ගැනීමට භාවිතා කෙරේ. පරිහරණය නොකරන අවස්ථාවන්හිදී කැපුම්තල පේළිඅඟුළු දැමිය හැකි උපකරණ වඩාත් ආරක්‍ෂාකාරීවේ.

වතුර මල් බාල්දිය

තවාන් පාත්ති තෙත් කිරීමට, බීජ සිටුවන ලද පාත්ති සඳහා ජලය සැපයීමට සහ ශාක වලට ජලය සැපයීම සඳහා උපයෝගීකර ගැනේ. කෙමියට සවිකරන මලේ සිදුරක ප්‍රමාණය අනුව වෑස්සෙන ජල අංශූ වල පරිමාව තීරණය කෙරේ. ධාරිතාවය ලීටර 05 සිට 10 දක්වා වූ ප්‍රමාණයෙන් ගැල්වනයිස් හෝ පොලිමර් ඇසුරෙන් මල් බාල්දි නිපදවනු ලැබේ.

මුල්ලුව

ගෙවත්තේ හෝ ක්ෂේත්‍ර පස පෙරළාගත් පසූව පාත්ති සැකසීමට පෙර පස කුඩු කිරීමට, පස අවුස්සා ගල් කැබලිති ඉවත් කිරීමට හා පස බුරුල්කර ගැනීමට මෙන්ම කොම්පොස්ට් ගොඩවල් පෙරළා ගැනීමට උපකාරීකරගත හැකිය. කූරු හෙවත් තුඩු තුනක් සහිතව වාත්තුකර වානේ වලින් නිපදවනු ලැබේ. සෙන්ටිමීටර 125-150 ක ප‍්‍රමාණයේ දිගින් යුතුමිටකින් සමන්විතවේ.

මිට දිග මුල්ලූ

එකිනෙක අතර පටුහා සමාන වූ පරතරයක් පිහිටන පරිදි දත්කූරු හෙවත් තුඩු තුනක් හෝ හතරකින් යුතුව වානේ වලින් තලය වාත්තුකර දැවමය මිටක් හෝ වානේ මිටක් සවිකරගත හැකි ලෙසින් නිෂ්පාදනය කෙරේ. පස බුරුල් කර ගැනීමට පහසුවෙන් පස තුලට කිදා බැස්ස විය හැකිය. තෘණ හා පිදුරු ගොඩවල් අවුස්සා ගැනීමට, කොළ රොඬු හා පොහොර ගොඩවල් ලිහිල්කර ගැනීමට හා කවලම් ගැනීමට උපයෝගීකරගත හැකිය.

අත් මුල්ලූව

විශේෂයෙන්ම ගෙවතු වගාවේදී බහුලව උපයෝගීකර ගැනේ. කෙටි කූරු හෙවත් තුඩු තුනකින් යුතුව නිපදවන තලය කෙටිමිටකට සවිකර ඇත. මෙම උපකරණයසැකසූ පාත්තියක හෝ බෝග සංස්ථාපනය කරන ලද පාත්තියක පස බුරුල් කර ගැනීමට, පසට පොහොර මිශ‍්‍රකර ගැනීමට හා වල් පැළෑටි උගුල්ලා ගැනීමට ද උපයෝගීකරගත හැකිය

ගෙවතු කතුර

අධිකාබන් වානේවලින් කැපුම්තල නිපදවා ඇතිඅතර ඇලුමිනියම් මිශ්‍රිත වානේ හැඬළකොටස ප්ලාස්ටික් හෝ ටෙෆ්ලෝන් මඟින් ආවරණයකර ඇත

දිගුමිට කප්පාදු කතුර

උසට හෝ විශාලව වැඩුණු රෝස පඳුරු, පළතුරු පඳුරු හා මල් ගොමු වල අතුපතර කපා කප්පාදු කිරීමට භාවිතා කල හැක. කුඩා කැපුම් තල යුගලය සඳහා දිගු මිටක් සවිකර තනන ලද උපකරණයකි. සාමාන්‍ය කප්පාදු කතුරකින් කපාගත නොහැකි ඉහළින් පිහිටි ශාක කොටස් පහසුවෙන් කපා ගැනීමට මෙය උපයෝගීකරගත හැකිය. ආයාසය අඩුකර ගැනීම සදහා කැපුම්තල දෙක ගියර දැති මඟින් ක්‍රියාත්මක වන ලෙස නිපදවූ දිගු මිට කප්පාදු කතුරු වෙළදපොළේ දැකිය හැකිය.

කප්පාදු කියත

ශාකයක අනවශ්‍ය අතු කපා දැමීමට හා පඳුරු අවශ්‍ය පරිදි කපා පාලනය කිරීම සඳහා උපයෝගීකර ගතහැකි උපකරණයකි. කියතක ආකාරයට කැපුම් තලය නිපදවා ඇති හෙයින් කප්පාදු කතුරු හෝ පිහි වලින් කපාගත නොහැකි ශාක කොටස් හි එම කඳේ ෙසෙලවලට හෝ පොත්තට හානි නොවන පරිදි කපා වෙන්කර ගැනීමට හැකිවේ. එසේම දිරාපත්වූ ශාක කොටස් මෙන්ම දිලීර හෝ වෛරස් ආසාදන සහිත කොටස් කපා ඉවත්කරගැනීමට වුවද භාවිතා කළ හැකිය. මේ මඟින් ඉටුකරගනු ලබන කාර්යයන් සඳහා දුනු කියතද උපයෝගීකරගැනීමට හැකිවේ. කැපුම් තල කොටස හකුලා මිට තුලට යොමු කිරීමට හැකි මෝස්තර මෙන්ම හැකිළිය නොහැකි මෝස්තරයේ කප්පාදු කියත් ද නිෂ්පාදනය කෙරේ.

ගල් කටුව

නව දැළි යායක කපා හෙළුෑ ගස් වල මුල් කපා දැමීමට හා එම මුල් ගැලවීමට සහ ක්‍ෂේත‍්‍රයේ වූ බාධාකාරී ගල්ගෙඩි වටා පස ඉවත්කර එය බුරුල්කර උගුලා ගැනීමට මෙම ආවුදය උපයෝගී කරගැනේ. ඕවලාකාර පාය මැදිකර එක් පසක් පටු තලයක් ලෙසින්ද විරුද්ධ පැත්ත උලක් ලෙසින්ද වාත්තුකර තනන මෙම ආවුදයේ තල කොටසේ දිග අඟල් 16 ,17 හා 19 දක්වා වූ නිෂ්පාදන ප‍්‍රමාණ තුනකින් දැකිය හැකිය.

පොරව

අසමමිතික වූ කුඩා ආවුදයකි. තලයේ බර අනුව වර්ගකරන මේවායෙහි අත් පොරව හා විශාල පොරව වශයෙන් දෙවර්ගයක් භාවිතයේ පවතී. එක් කැපුම් දාරයකින් යුතු පොරවක මිට සවිකරන සිදුර (පාය වෘත්තාකාර නම් මිට සවිකර ගැනීම පහසුවේ. සමහර නිෂ්පාදනයන්හි මිට සවිකිරීමට ඇත්තේ දිගටි ඕවලාකාර සිදුරකි.

වීල් බැරෝව

රබර් රෝදයක් සහිතව දැව රාමුවවක් මත රැඳවූ පොලිමර් හෝ ගැල්වනයින්ස් කරන ලද සැහැල්ලු වානේ නල ඇසරෙන් සකසාගත් රාමුවක් මත ලෝහ තහඩු වලින් නිමකර ලද බක්කියක් සවිකර නිපදවනු ලැබේ. ඔසවාගෙන යෑමට අපහසු ගොවිපොළ හෝ ගෙවතු වගා ආධාරක ද්‍රව්‍ය ඔබමොබ රැගෙන යෑමට උපයෝගීකර ගැනේ.

පා-ආවරණ

ඉදිරිපස ඇතුලතින් මෘදු වානේ පටි කැබැල්ලක් අක්පාව වශයෙන් ද පොලියෙස්ටරීන් ආස්තරණයක් ද සහිතව පී.වී‘ සී. මඟින් හෝ රබර් මිශ්‍රිතව ගම්බූට් නිපදවා ඇත‘ අතර තෙල්,ඇසිඞ් හා වෙනත් රසායනික ද්‍රව්‍ය වලට ප්‍රතිරෝධී වන ආකාරයට 6,7, 8, 9 හා 12 ප‍්‍රමාණයෙන් නිපදවේ. ගෙවතු වගාවේ නිරතවන අවස්ථාවන්හිදී ගල්මුල් ආදියෙන් වන පීඩාවන් , අතපසුවීමකින් සිදුවිය හැකි කැපීම් සීරීම් හා සර්ප දෂ්ඨ කිරීම් වලින් ආරක්‍ෂාවීමට මහෝපකාරීවේ.

අත් ආවරණ

රබර් හෝ රබර් මිශ‍්‍රීත රෙදි හෝ ලේටෙක්ස් ඇසුරෙන් අත් වැසුම් නිපදවේ. ගෙවතු වගාවේ නිරතවන අවස්ථාවන්හිදී ආවුද හොඳින් ග‍්‍රහණයකර අල්වා ගැනීමට මෙන්ම රසායනික ද්‍රව්‍ය මඟින් වන පීඩාවන් හා අතපසුවීමකින් සිදුවිය හැකි සීරීම් වලින් ආරක්‍ෂාවීමට අත් වැසුම් ක්ෂේත්‍ර කටයුතුහිදී භාවිතා කළයුතුවේ.

පිහි

පදම්කළ අධිකාබන් දුනු වානේ වලින් කැපුම් තලය නිපදවා පන්නරය තබා ඇත. එහි කරඋල දැවමය හෝ ෆයිබර් මිටක් තුලට යොමුකර සවිකරනු ලැබේ. ශාක කොටස් හා දැව කඳන් කපා ගැනීමට හෝ සැහැ දැමීමට උපකාරී කරගත හැකිය.

සියලුම ආකාරයේ ආයුධ හා උපකරණ පරිහරණයේදී උද්ගතවන බරපතලම ගැටලුව වන්නේ ඒවායෙහි මිට වල් පුපුරා කැඞීයාම, අල්ලූ කැඩීයාම, පාය කොටස් ගැලවීයාම හා තල හෝ දත් ආකාරයේ කූරු කැඩීයාමය. පූර්ව දිනයේදී වැඩකටයුතු අවසන් වූ පසුව පරිහරණය කරන ලද ආවුද හා උපකරණ පරීක්‍ෂාවට ලක්කර සුදුසු පරිදි අවශ්‍ය අලුත්වැඩියාවන් ඉටුකරගත යුතුවේ. එමෙන්ම කැපීමට හා කැඩීමට ආධාරවන කැපුම් තල මුවහත අඩුවීයාමද සිදුවේ. මෙවැනි අවස්ථාවන්හිදී පැතලි , අර්ධ කවාකාර හෝ තුන් හුලස් පීරි ආධාරයෙන් එම තල මුවහත්කර ගතහැකිය. එසේම අල්වාගතහැකි කොටස්හි ඇති රළු ස්වරූපය හේතු කොටගෙන ඒවා පරිහරණය කරන පුද්ගලයින්හට අනතුරු උදාවීමට හැකියාව ඇත.

සාමාන්‍යයෙන් අත් උපකරණ හැර අනෙකුත් සැහැල්ලූ ආයුද හා උපකරණ සඳහා අවශ්‍ය මිටවල් හා සහායක ආරක්‍ෂක ආවරණ කොටස් වෙනමම සපයා ගැනීමට සිදුවනු ඇත.කෙසේ වුවද පරිහරණයෙන් පසුව පිසදැමීමෙන් හෝ ජලයෙන් සෝදා වියළා ආරක්‍ෂිත ස්ථානයක මේ උපකරණ හා ආයුධ ගබඩාකර තැබිය යුතු අතර වානේ කොටස්හි ස්නේහන ලේ පටලයක් ආලේපනය කිරීමෙන් මලකඩ කෑම වළකාගතහැකි අතර නැවත පරිහරණයටද පහසුවේ.විවෘත වෙ‍ෙළඳපොල තුළ ඕනෑම ආකාරයක අත් ආයුධ හෝ උපකරණයක් මිලදී ගැනීමට අද හැකියාව ඇත. නිෂ්පාදකයා අනුව සහ නිපැයුම් ද්‍රව්‍ය මත ඒවායෙහි මිල ගනන් වෙනස්වේ. මිලදී ගැනීමේදී එකී ආයුධ හා උපකරණ සඳහා ලබා දෙන වගකීම හෝ කල්පැවැත්ම පිළිබදවත් ඔබගේ අවශ්‍යතාවය පිළිබදවත් විමසා බැලිය යුතුය.

එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ
ගොවිපල් යාන්ත්‍රික උපදේශක
හෝමාගම

Comments