වැව් හිඳෙන්නේ ඇයි? | සිළුමිණ

වැව් හිඳෙන්නේ ඇයි?

 අතීත රජ සමයේ අපේ ගම්මාන අස්වැද්දුවේ දියුණු වූයේ ගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්පය පදනම් කරගෙනය.

අද ගමත් පන්සලත් දාගැබත් සුරැකිව තිබුණත් ගම්වල තිබු වැවට අත්වී ඇති ඉරණම ඉතා කනගාටුදායකය. වැවත් වැව වටා පිහිටි වැව සුරකිනු ලැබු පරිසර පද්ධතියත් විනාශ කිරීම නිසාත් බලධාරීන් නිලධාරීන් පමණක් නොව ගම්වාසීන් ද වැව නොසලකා හැරීම නිසාත් මේ වැව් පුංචි නියඟයටත් සිඳී යයි. එහි කාර්යක්ෂමතාව අද වන විට සියයට 40 - 60 දක්වා අඩු වී ඇත. ඒ නිසා ආර්ථික, භෞතිකමය, කෘෂි කාර්මික හා ආර්ථික ප්‍රශ්න රැසක් ද රටට ඇතිවී තිබේ.

වැව් පිළිබඳව හා වැව් පිළිබඳව හා එල්ලංගා පද්ධති පිළිබඳ දිගු කලක් පර්යේෂණ කළ මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාතික උපදේශක (කෘෂිකර්ම හා ජල කළමනාකරණ) ආචාර්ය පී. බී. ධර්මසේන මහතා පවසන පරිදි අපේ රටේ අතීතයේ තිබු වැව් 30000න් දැනට ඇත්තේ වැව් 14200ක් පමණි. ඉතිරි ඒවා ගොඩවී හා වල් බිහිවී තිබේ. දැනට ඇති වැව් 14200 වසර පුරා ජලය රඳවාගත නොහැකි අයුරින් අකාර්යක්ෂම තත්ත්වයට පත්වී තිබේ. වැව වටා තිබුණු වැව්වලට ආවේණික පරිසර පද්ධති විනාශ කිරීම ඒ වැව වටා අවට ඉඩම්වල ගෙවල් සෑදීම වගා කිරීම නිසා අද වැව්වලට හා අවට ජලාධාරවලට ජලය උරා ගැනීම ඉතා අල්පය. වැඩි වැසි ජලය ප්‍රවාහයක් මතුපිට පසට වැටි ඒ පස් සමඟම පාංශු ඛාදනය වී වැව්වලට ගලා එයි. එවිට භූගත උල්පත් ද ඔස්සේ ජලය වැව්වලට නොලැබෙන බව ද ආචාර්ය පී. බී. ධර්මසේන මහතා අවධාරණය කරයි.

අපේ රටේ තවමත් තරමක් සුරැකී ඇති වැව් 14200න් සියයට 95ක්ම ග්‍රාමීය වැව්ය. ඒවා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් පාලනය වන කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වැව් පද්ධතියකි. එල්ලංගා පද්ධතින් මේ වැව් ආශ්‍රිතව ඇත. කුරුණෑගල, අනුරාධපුරය ආශ්‍රිතව ඇති එල්ලංගා පද්ධති ද දැන් පරිසර විනාශය නිසා නැතිවී ගොස්ය.

මේ වැව් සමහරක් අලුතින් පිළිසකර කළත් ඒ කරන්නේ වැව් බැම්ම හැදීම පිටවාන හැදීම වැනි ඉංජිනේරුමය ප්‍රතිසංස්කරණ කටයුතු පමණි. වැවක ජලය වියළි කාලයටත් රඳා පැවැතීමට නම් ඉංජිනේරු ප්‍රතිසංස්කරණ මෙන්ම වැව් වටා පාරිසරික කෘෂිකාර්මික පද්ධති සංරක්ෂණය කිරීම ද අවශ්‍ය වන බව ධර්මසේන මහතා අවධාරණය කරයි.

අපේ රටේ ප්‍රථම වැව අභය වැව හෙවත් බසවක්කුලම වැවයි. ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ මේ වැව පණ්ඩුකාභය රජතුමා විසින් ඉදිකරන ලද බව අතීත තොරතුරු අනුව හෙළි කරයි. අක්කර 320ක් විශාල මිලියන කියුබික් අඩි 133ක් රඳවාගත හැකි ජල ධාරිතාවක් ගබඩා කළ හැකි මේ වැව දැනටත් සජීවි වැවක් ලෙස පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කර තිබේ.

දැනට මෙරට තිබෙන විශාලතම ජලාශය දිගාමඩුල්ලේ සේනානායක සමුද්‍රයයි. එහි වර්ග ප්‍රමාණය අක්කර අඩි 77000 කි. 1949 - 53 අතර වකවානුවෙහි අපේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මැතිතුමාගේ මෙහෙයවීමෙන් මෙම ජලාශය ඉදිකර තිබේ. ඊට පසු 1977 න් පසු ක්‍රියාත්මක මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ රන්දෙනිගල හා වික්ටෝරියා වැනි මහ ජලාශ ද ඉදි කෙරුණි. දැන් තවත් විශාල ජලාශයක් වන මොරගහකන්ද ජලාශයේ ද ජලය පිරවීම සිදුකරමින් පවතී. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාලය.

මේ පිළිබඳව අදහස් දැක්වූ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ මහතා පැවසුවේ තමන්ගේ දෙපාර්තමේන්තුව යටතේ රට පුරා වැව් 366ක් පවතින බවයි. 2016 වසරේ මැයිවලින් පසු තවමත් අපේ වැව්වලට ලොකු වැස්සක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ වැව්වල තිබෙන්නේ මැයි මාසේ තිබුණු ජල මට්ටමටත් වඩා අඩු මට්ටමක් බවද වීරසිංහ මහතා පවසයි.

අපේ වැව් සිඳී යෑමට ප්‍රධාන හේතුවක් තමයි වැව්වල ජල පෝෂක විනාශය. වැව් අවට ඇති ජල පෝෂක ප්‍රදේශවල වනාන්තර එළි කිරීම අද ලොකු ප්‍රශ්නයක් වෙලා. මේ නිසා වැස්සෙන් ලැබෙන ජලය ක්‍රමයෙන් පොළොවට උරා ගන්නේ නැහැ. අපේ රටේ සමහර වැව් අවට තිබෙන්නේ වනජීවි එකේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සතු කැලෑ ඉඩම් ඒවා සමහර ඒවා වගා කරලා. ඒ නිසා වැස්සෙන් ලැබෙන ජලය කෙළින්ම නිරාවරණය වූ පසට වැටි රොන්මඩත් සෝදාගෙන වැව්වලට එනවා. ඒ නිසා වැව්වල රොන්මඩ වැඩි වෙනවා පමණක් නොව උල්පත් පෝෂණයද සිදු වෙන්නේ නැහැ.

අපේ රටේ වැව්වල තිබෙන රොන්මඩ ඉවත් කිරීමට පෞද්ගලික අංශයටත් උදවු කළ හැකියි. ඒ අයටත් ලාභ දෙන නව වැඩපිළිවෙළක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යෝජනා කරනවා. ඒ අනුව අපි අපේ වැව්වල ජලාශවල තිබෙන රොන්මඩ හා වැඩි පස් ඉවත් කිරීම භූ විද්‍යානුකූලව සිදු කරනවා. අපි පෞද්ගලික අයගේ ට්‍රැක්ටර්වලට ඒ පස් අපිම පටවලා දෙනවා. ගොඩනැඟිලිවල අත්තිවාරම් ඇතුළත පිරවීමටත් අලුත් මාර්ග සංවර්ධන වැඩ කටයුතුවලට මේ පස් යොදාගන්න පුළුවන් යැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ පිළිබඳව අපට අදහස් දැක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ කෘෂි විද්‍යාඥ ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන මහතා පැවසුවේ මෙරට දැනට විශාල වැව් 73ක්ද කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වැව් 14500ක් ක්‍රියාකාරී මට්ටමේ ඇති බවයි. මීට අමතරව බිබිල වෙල්ලස්ස ප්‍රදේශයේ යටත් විජිත සමයේ විනාශ කළ වැව්වල නෂ්ටාවශේෂ ඇති බව ද තිබෙන වැව් 14500 න් සියයට 90 ක්ම විනාශ වෙමින් පවතින බව ද පුණ්‍යවර්ධන මහතා පෙන්වා දෙයි.

අද මේ වැව්වල ජලය පුංචි නියඟයක් පෑව්වත් අඩුවෙන්නේ ප්‍රධාන ලෙසත් වැව ඉහත්තාවේ තිබුණු ජලාධාර හා ජල පෝෂක ප්‍රදේශ විනාශ වීම් නිසයි.

අතීතයේ වැව අසල තිබූ පරිසර පද්ධතිය අද සම්පූර්ණයෙන් වාගේ විනාශ කරලා ජනතාව පදිංචි වෙලා වගා කරනවා. වැවේ ජල පෝෂක ප්‍රදේශවල පස නිරාවරණය වෙලා වැස්සෙන් ලැබෙන ජලය පොළොවට උරාගන්න විධියක් නැහැ. ඒවා පසත් එක්කම සෝදා පාළුවට ලක්වෙලා. ඒ පසුත් වැවටම යනවා. ඒ නිසා වැවත් ගොඩ වෙනවා. ඒ අනුව වැවේ ජලය රඳවා ගැනීමත් අඩුවෙලා. වැවෙන් කුඹුරු අස්වද්දන්න ජලය ලැබෙන්නේ නැහැ. අර පරිසර පද්ධති නැති නිසා නියඟ කාලයට භූගත උල්පත් මඟින් වැවට ජලය එකතු වෙන්නේත් නැහැ. මේ නිසා පොඩ්ඩක් පැවුව ගමන් වැව සිඳිලා යනවා.

මේ වැව් ටික ඉක්මනට සිඳීම වැළැක්වීමට කළ යුත්තේ ඒ අවට පදිංචි ජනතාවට පස සුරැකීම පිළිබඳව අවබෝධයක් ලබාදීමයි. ඒ සමඟම වැව වටා හැකි සෑම ස්ථානයක් සැවැන්දරා, වැසි මාර වැනි පාංශු සංරක්ෂණ ශාක සිටුවීමත් මඟින් පස සෝදා පාළුව වැළැක්වීමට කටයුතු කළ හැකියි. පස් වැටි ඉදිකිරීමත් බෑවුම වැඩි තැන්වල හා වැව් බැම්මේ පාංශු සංරක්ෂක තණකොළ වැවීමත් වැව්වල ජලය රඳා පැවැතීම සුරැකීමට පුළුවන්. වැව වටා ගස් සිටුවීම මඟින් වැවට එන සුළං වේගය අවම වී පායන කාලයට වැවේ ජලය වාෂ්පකරණය වීම අඩු වේවි. ඒ අනුව වැවේ ජලය සංරක්ෂණය වේවි.

අද මේ නියඟ ආ විට පමණක් බොන්න ජලය බවුසර් මඟින් වැව්වලට ජලය පුරවලා පැලැස්තර පිළියම් දාලා වැඩක් නැහැ. කළ යුත්තේ මේ වැව්වල ජලය අඩුවීමට දීර්ඝ කාලීන විසඳුමක් ක්‍රියාවට නැංවීමයි. ඒ සඳහා වැව වටා අතීතයේ තිබුණු පාරිසරික පද්ධතියේ වැඩිදියුණු කළ යුතුයි. කෘෂි වගා පද්ධතියේ ගුණාත්මක අගය වැඩි කළ යුතුයි. ඒ සමඟම වැව අභ්‍යන්තරයේ තිබෙන රොන්මඩ ඉවත් කිරිමට ද නිසි පරිදි කෘෂි තාක්ෂණික හා පරිසර හිතකාමී වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බව ද පුණ්‍යවර්ධන මහතා පවසයි.

අද අපේ රටේ දැනට තිබෙන පුංචි මධ්‍යම පරිමාණයේ වැව් 14200 වැඩි ප්‍රමාණයක් ද අද විනාශ වෙමින් පවතින බවත් ඒ සමහර වැව් මීහරක් ළඟින වළවල් බවට පත්වී ඇති බවත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාතික උපදේශක ආචාර්ය පී. බී. ධර්මසේන මහතා පවසයි.

වැවක් පෝෂණය වීමට වැස්ස අවශ්‍යයි. නමුත් මේ වැස්ස වැව අවට ජල පෝෂක ප්‍රදේශයට ලැබුණු විට ඒවා නිසි පරිදි පොළොවට උරා ගත්තොත් පමණයි වැව දිගුකාලීන ලෙස භූගත උල්පත් මඟින් පෝෂණය වෙන්නෙ. නමුත් අද ඉතිරි වී ඇති ග්‍රාමීය වැව් සියයට 90කම වටේම වගා කරලා. ඉස්සර මේ වැව් සුරැකීමට තිබුණු පරිසර පද්ධති ගස්ගොම්මන, කට්ටකඩුව, ඉස්වැටිය, තිස්බඹේ, පෙරණය, ලන්ද වැනි පාරිසරික පද්ධතිවලින් කිසිවක් අද දකින්න ඉතා අපහසුයි. ඒ නිසා වැස්ස ගස්වල කොළවලට වැටි ක්‍රම ක්‍රමයෙන් ගස් දිගේ ඇවිත් පොළොවට උරාගෙන නියඟ කාලවලදී වැවේ උල්පත් පෝෂණය කිරීම සිදුවෙන්නේ නැහැ. වැව අසල ගස් නැති මුඩු බිමට ජල බින්දු වැටුණු විට තිබෙන පස් එක්කම වැවට එකතු වෙනවා. ඒ නිසා වැවට රොන්මඩත් එකතු වෙනවා.

එවිට වැව භූගත ජලයෙන් පෝෂණය වෙන්නෙ නැහැ. උල්පත්වලට ජලය ලැබෙන්නෙත් නැහැ. ආචාර්ය ධර්මසේන අවධාරණය කරයි.

අතීතයේ වැව් ආශ්‍රිතව තිබු පාරිසරික පද්ධතිය මඟින් වැවේ භූගත ජලය හා භූගත ජල උල්පත් පෝෂණය විය. එමෙන්ම වැවේ ජලය වාෂ්පිකරණය අඩුවීමට වැවේ තිබුණු ‘ගස්ගොම්මන’ නම් වැව වටා තිබු ගස් ආවරණය ඉවහල් විය. ඊට අමතරව පෙරහන, කට්ටකඩුව, තිස්බඹේ, මඩකලුව, කිතුල් ඇළ, ගොඩවල වැනි අතීතයේ වැව් වටා තිබූ පාරිසරික කෘෂි කලාප මඟින් සිදුවූ ප්‍රධානම කටයුත්ත වූයේ වියළි කාලයක් පැමිණිය ද වැවට භූගත උල්පත් ජලය ලැබීම නිසා වැවේ ජලය වැඩිපුර පැවැතීමයි. අතීතයේ තිබු ඒ පරිසර පද්ධතිය නිසා මාස 7 - 8 ක් වුවද වැස්ස නොතිබුණ ද වැව්වල ජලය පවතින බව ද ධර්මසේන මහතා අවධාරණය කරයි. ඔහු පවසන පරිදි අතීත ග්‍රාමීය වැවේ ප්‍රධාන පාරිසරික කලාප මෙසේ දැක්විය හැකිය.

මේ පරිසර පද්ධති පිළිබඳව අපි දැනගෙන සිටීම ඉතා වැදගත්ය. “ගස් ගොම්මන” යනු වැව් තාවල්ලට ඉහළින් ඇති ඉඩම් තීරුවකි. වැවේ ජලය සුරකින ස්වාභාවික ගස්කොළන් වැඩී ඇති අතර වැව පිටාර ගලන අවස්ථාවන්හිදී පමණක් මෙම ප්‍රදේශයට ජලය ලැබේ. කුඹුක්, නාබඩ, මයිල, දඹ ආදි විශාල ගස්වලින් ද කයිල, එලිපත්ත, කටුකේලිය, කලවැල්, බොකල වැල් ආදි වැල් වර්ගයන් ද මෙම ප්‍රදේශයේ හමු වේ. වැවේ වාෂ්පීකරණය අඩු කරවන සුළං බාධකයන් ලෙසත් ජලයේ උෂ්ණත්වය පහළ දැමීම සඳහාත් ගස් ගොම්මන ක්‍රියා කරයි. වැව වටේට, වැව් බැම්මට ඉතා ආසන්නයේ වැඩී ඇති විශාල ගස් මුල්වලින් සමන්විත මේ ස්ථානය මිනිසුන් සහ වන සතුන් ජීවත්වන භූමි ප්‍රදේශයන් අතර මායිම් සීමාව මෙය ද ක්‍රියා කරයි.

වැවේ පෙරහන යනු ගස් ගොම්මනට පහළින් වැවී ඇති තණ පිට්ටනියක් වේ. මෙමඟින් ග‍ඟේ ඉහළ කොටසේ ඇති හේන් ඉඩම්වලින් ගලා එන රොන්මඩ පෙරීමකට ලක් කරයි. ඉස්වැටිය හෝ පොටවැටිය අතීත වැව දෙපැත්තේ තිබිණි. එය වැව් බැම්මේ දෙපැත්තේම සාදන පස් වැටියකි. ඉහළ කොටසේ බෑවුම් ඉඩම්වලින් ඛාදනය වී එන පස් වැවට ඇතුළුවීම වැළකෙන ලෙස ඉදිකර ඇත.

ගොඩවල කියන්නේ වියළි කාලයට ලැබෙන කුඩා වැසිවලින් ගලා එන රොන්මඩ සහිත ජලය රැස් කිරීම සඳහා මිනිසුන් විසින් සාදන වළකි. මෙමඟින් වන සතුන් සඳහා අවශ්‍ය ජලය සැපයේ.

වැව් තාවුල යනු වැව් පතුලේ ඉහළ කොටසේ තිබෙන බොහෝ විට තැනිතලා ප්‍රදේශයකි. මෙහි නොගැඹුරු ලෙස ජලය රැඳී පවතින ස්ථාන හමු වේ.

වැව් පිටිය වැවේ ගැඹුරුම ස්ථානය වන මෙහි වැව් ජලයෙන් වැඩි කොටසක් ගබඩා වන අතර වසරකට මාස 8කට වඩා වැඩි කාලයක් ජලයෙන් යට වී ඇත.

වසරේ වියළි මාසවල දී ජලය හමු වන මඩකලුව වැව් බැම්මට ආසන්නයෙන් පිහිටා ඇත. පිටාර මට්මට පහළින් ඇති නිසා මෙහි ඇති ජලය සොරොව්වෙන් පිට කළ නොහැක. ඒ නිසා වැව සි‍ඳෙන්නේ නැත.

තිස් බඹේ යනු ජනාවාසය (ගංගොඩ) වටා හමු වන කිසිවෙකුට හෝ අයිති නැති සාරවත් ඉඩම් තීරුවකි. විසිරී පවතින රටාවකට මී අඹ, පොල් වැනි ශාක විශේෂයෙන් වගා කර ඇත. වැවේ ජලය පෝෂණය කිරීම ද මෙමඟින් සිදු වේ.

කිවුල් ඇළ යනු වැව අසල ඇති පැරැණි ස්වාභාවික දිය පහරකි. මෙය පොදු ජලවහනය සඳහා භාවිත කරයි. දූෂිත ජලයේ තිබෙන ලවණ සහ යකඩ ඉවත් කිරීම සහ කුඹුරු යායේ ජලවහන තත්ත්වය වැඩි දියුණු කිරීමේ හැකියාව මෙහි ඇති වඩාත් වැදගත් ලක්ෂණය වේ.

කට්ටකඩුව - වැව් බැම්මට පහළින් වෙන්කර තිබෙන ඉඩමකි. ජල සිදුරු, තෙත් බිම් සහ වියළි උස් බිම් වශයෙන් තිබීමෙන් විවිධත්වයෙන් යුත් තුරුලතා වර්ධනය වේ. මෙම ඉඩම් කලාපය මඟින් කුඹුරු ඉඩම්වලට ලවණ සහ යකඩ අයන ඇතුළුවීම වැළැකේ. මෙම ජල සිදුරු “යතුරු වළ” වශයෙන් හඳුන්වන අතර භූගත ජල මට්ටම ඉහළට එසවීම මඟින් වැව් බැම්මෙන් සිදු විය හැකි කාන්දු වීම් අවම කරගත හැක.

අද අපේ රටේ තිබෙන වැව්වලින් එකම වැවකවත් ඉහත කෘෂි පාරිසරික පද්ධති සියල්ල නැහැ. වැව් සියයට 05 - 10 ක එක පරිසර පද්ධතියක් විතර ඉතුරු වෙලා තිබෙනවා. ඒ අනුව අපේ වැව්වල සියයට 95ක්ම අද ජලය දිගු කල් තියාගන්න බැරි වැව් බිමට පත්වෙලා. මේ නිසා සමාජයීය, ආර්ථිකමය හා භෞතිකමය විපත් රැසක් අපට ඇතිවෙමින් පවතින බව ද ධර්මසේන මහතා අවධාරණය කරයි. ඒ අනුව වැව යනු ජලය ලබාගන්න දෙයක් පමණක් නොව ගමේ සමාජයීය හා කෘෂි විද්‍යාත්මක දියුණුවේ පැතිකඩක් බව ද ධර්මසේන මහතා පවසයි.

වැව්වල ජලය අඩුවීමට ප්‍රධාන හේතුව වැව් වටා ජලාධාර ජල පෝෂක ප්‍රදේශ විනාශ කිරීම හා අවිධිමත් ඉඩම් පරිහරණය බව ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ ඩී. වී. මුණවීර මහතා පවසයි. ඒ මහතා පවසන්නේ උමාඔය ඔස්සේ රන්ටැඹේ ජලාශයට වසරකට පස් හා රොන්මඩ ටොන් 150000ක් ගලා ආ බව තම පර්යේෂණ මඟින් අනාවරණය වූ බවයි. ඊට අමතරව මහවැලි සානුවේ අවිධිමත් එළවළු වගාව නිසා පොල්ගොල්ල ජලාශයට වසරකට පස් හා රොන්මඩ ටොන් 132000ක් ගලා එන බව මුණවීර මහතා තම අධ්‍යයන ඇසුරෙන් පෙන්වා දෙයි.

මේ අයුරින් මෙරට විශාල ජලාශ වැව් සියල්ලටම රොන්මඩ ගලා එන බවත් ඒ නිසා වැව්වල ජලය රඳවාගත හැකි වපසරිය අඩුවී ඉක්මනින්ම ජලය හිඟ වන බවත් මුණවීර මහතා අවධාරණය කරයි.

අද වැව් අවට ජලාශ අවට ජලාධාර ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට කිසිම පරිසර හිතකාමී සංරක්ෂණ ක්‍රමයක් නැහැ. ඉස්සර අපි ක්‍රියාවට නැංවූ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් ගල්වැටි, ශාක වැටි මඟින් එය ඉටුකළා. එවිට බදුල්ල නුවරඑළිය මහනුවර ප්‍රදේශවල ජලාශවලට එන රොන්මඩ අඩු වුණා. ජල උල්පත් ප්‍රමාණය ද එහි අන්තර්ගත ජලය ප්‍රමාණය වැඩි වුණා. නමුත් එවැනි ජලාධාර සුරකින පස සුරකින ව්‍යාපෘතියක් අද අපට නැහැ. මෙවැනි කාලවලදී රජය කළ යුත්තේ මේ ගැටලුවට පැලැස්තර නොදමා අද රටේ නියග කාලයටත් ජලය හිඟ නොවන අයුරින් අපේ වැව් ටික පෝෂණය කිරීමට පාරිසරික හා කෘෂි විද්‍යාත්මක ක්‍රම හා විධි ක්‍රියාත්මක කිරීමයි. මේ සඳහා රජයට උපදෙස් දීමට විද්‍යාඥයන් පර්යේෂකයන් ශ්‍රී ලංකාව ඇතුළත ඕනැතරම් ඇති බව ද ඩී. පී. මුණවීර මහතා කියයි.

මේ පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනිල් වීරසිංහ මහතා පැවසුවේ, මෙරට ඇති සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වැව් සියල්ලම ගොවි සංවිධානවල ඉල්ලීම් අනුව ප්‍රතිසංස්කරණය කරන බවයි.

ගොවි සංවිධාන මඟින් තම බල ප්‍රදේශවල ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ඉල්ලු විට දෙපාර්තමේන්තුව කාර්මික නිලධාරීන්ගේ ඇස්තමේන්තුව මත මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව ද සුනිල් වීරසිංහ මහතා පවසයි. රොන්මඩ ඉවත් කිරීම දිගටම සිදුකරන බව ද පවසන සුනිල් වීරසිංහ මහතා යම් වැවක් හරියට සුරැකීමට ඒ වැව අයිති ගොවි සංවිධානය ද උදවු කළ යුතු බව පවසයි.

මේ අනුව සමස්තයක් ලෙස ගත් විට අපේ වැව් ටික පොඩි නියඟයටත් සිඳී යන්නේ වැව ආශ්‍රිතව අතීතයේ තිබුණ පරිසර පද්ධති ගහකොළ ජලාධාර ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ විනාශ කර ජනපද පිහිටුවීම හා වගා කිරීමයි. ඒ සමඟම වැව පිළිබඳව රජයේ බලධාරීන් නිලධාරීන් පමණක් නොව ගමේ අයත් සැලකිල්ලක් නොදැක්වීම තිබෙන වැව්වල කාර්යක්ෂමතාව අඩුවීමට හේතු වී තිබේ.

එසේනම් අප කළ යුත්තේ ඒ අඩුපාඩු සපුරා ගැනීමට ඊට අදාළ සියලු ආයතන හා සංවිධාන එක්වී යම් ඒකාබද්ධ කාර්යක්ෂම වැඩ පිළිවෙළක් සකස් කිරීමයි. එයට හොඳම කාලය මේ කාලය බව අපේ හැඟීමයි.

සේයාරුව - හි‍ඳෝගම සමූහ චිත්‍රා කළුආරච්චි

Comments