Home » මීළඟ පිම්ම ගැන මහින්දගේ ගෙදර රහස් කතාබහක්

මීළඟ පිම්ම ගැන මහින්දගේ ගෙදර රහස් කතාබහක්

by sachintha
April 20, 2024 12:45 am 0 comment

වඩාත්ම කතාබහට ලක් වූ පුද්ගලයින් දෙදෙනෙකුගේ මරණ පසුගිය සතියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ කරුණකි. අභාවප්‍රාප්ත සර්වෝදය නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන් සර්වෝදය ව්‍යාපාරය හරහා මෙරටට සිදුකළ සාමාජීය මෙහෙවර කිසිදු භේදයකින් තොරව සියලූම දේශපාලන නායකයින්ගේ ඇගයීමට ලක්වීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වූ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අභාවය ද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූයේ මහජනතාව වෙනුවෙන් තෙවරප්පෙරුම සිදු කරන ලද සුවිශේෂී කාර්ය භාරයයි.

මෛත්‍රීපාල – සිරිපාල පිල මුහුණට මුහුණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය අවුරුදු නිවාඩු සමයේත් අළුයට ගිනි පුපුරු මෙන් ඇදී ගිය අතර, එහි උච්චතම අවස්ථාව වූයේ ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ දිවංගත සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම් උත්සවයේදීය.

ගුණ සමරු උත්සව 2ක් පසුගිය 17 වැනිදා සංවිධාන කර තිබුණි.

එදින පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ පැවති ගුණ සමරු උත්සවය දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ගැටලුවට මැදිහත් වී සිටින සිරිසේන සහ සිරිපාල පාර්ශ්ව දෙකම මෙම උත්සවයට සම්බන්ධ වී සිටි නිසාය. මෙම උත්සවයේදී පාර්ශව දෙකම ප්‍රසිද්ධියේ චෝදනා කර ගැනීමද විශේෂත්වයකි.

සිරිසේන පාර්ශ්වය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, දුෂ්මන්ත මිත්‍රපාල තම කථාවන්වලදී සිරිපාල පාර්ශ්වය වෙත වහෙන් ඔරෝ භාෂාවෙන් චෝදනා කළහ.

සිරිපාල පාර්ශ්වය ද බලාගෙන සිටියේ නැත. මෙම සියලුම චෝදනාවලට මදි නොකියන්නට නිමල් සිරිපාල ද සිල්වා විසින්ම එම ස්ථානයේදීම ප්‍රතිඋත්තර බැඳීම ද වි‍ශේෂත්වයකි.

චන්ද්‍රිකා මහත් සතුටකින්

මේ අතර මැතිනියගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවති ප්‍රධාන ගුණ සැමරුම් උත්සවය එදින සවස සංවිධාන කර තිබුණේ BMICH හි ප්‍රධාන ශාලාවේදීය.

එය පැවැත්වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙනි. තමන් සිතුවාටත් වඩා විශාල පිරිසක් ගුණ සමරු උත්සවයට පැමිණීම හේතුවෙන් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය මහත් සතුටට පත් වී සිටියාය. හිටපු ජනාධිපතිනිය උත්සව සංවිධායකවරුන්ට දැනුම් දුන්නේ කෙසේ හෝ පිටත සිටින පාක්ෂිකයින්ටත් ගුණ සමරු උත්සවයට පැමිණීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

ගුණ සමරු උත්සවය අවසානයේ පැවති තේ පැන් සංග්‍රහයට ද චන්ද්‍රිකා, කරූ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. තේ පැන් සංග්‍රහය භුක්ති විඳින අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකාවෝ රැසක්ම චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අසලට පැමිණියහ.

“අනේ මැඩම්, මෛත්‍රීපාල මහත්තයා අපේ පක්ෂය විනාශ කරනවා. ඔබතුමිය අපේ පක්ෂය බේරලා දෙන්න. ආපහු මේ පක්ෂය භාරගන්න” යනුවෙන් ඔවුහු මැසිවිලි නඟන්නට වූහ.

ඒ සියලුම මැසිවිලිවලට සිනහසෙමින් සවන් දුන් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය මෙසේ පැවසුවාය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙනවා බලාගෙන ඉන්න බැරි නිසා තමයි මේ පක්ෂය ආරක්ෂා කරගන්න මං ඉදිරිපත් වුණේ.

ඒත් මට දේශපාලනයට ඇවිල්ලා ආපහු පාර්ලිමේන්තුවට රිංගන්න වුවමනාවක් නැහැ. ඒක නිසා මට ඕන මේ දේශපාලන පක්ෂය පිරිසිදු කරලා ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියන්න. ඒ වැඩේ මං ආරම්භ කරලයි තියෙන්නේ. ”

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ වැඩසටහන්වලට දේශන දීමට ඇතැම් අවස්ථාවල පැමිණියේ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂයි.

ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය හමුවල ප්‍රධාන කථිකයා වූයේ තිලංග සුමතිපාලයි.

මෙම තේ පැන් සංග්‍රහයේදී ඔවුන්ට ද වහෙන් ඔරෝ භාෂාවෙන් ඇමතීමට චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනය අමතක නොකළාය.

“දැන් මාර වැඩේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දේශන පවත්වන්න එන්නේ නොම්මර එකේ යූ.ඇන්.පී. කාරයෝ.”යනුවෙන් සිනහ සෙමින් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

ශ්‍රී.ල.නි.ප ඇමැතිවරු මහින්දගේ ගෙදරට

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එදින රාත්‍රියේ රැස්වූයේ කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ නිල නිෙවසටයි. මෙම සාකච්ඡාව බොහෝ රහසිගතව සිදු කෙරිණි.

නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ආචාර්ය සුරේන් රාඝවන්, ජගත් පුෂ්පකුමාර, ෆයිසර් මුස්තාෆා. වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් මහින්ද අමරවීරගේ නි‍ෙවසට පැමිණ සිටියහ.

එදින සවස BHICH හි පැවති ප්‍රධාන උත්සවය ගැනත් පෙරවරුවේ පැවති උත්සවය ගැනත් මෙහිදී දීර්ඝ වශයෙන් කතාබස් කළහ.

“මෛත්‍රී මහත්තයලා සංවිධාන කරපු උත්සවයට වඩා හුඟක් සෙනඟ අපි සංවිධාන කරපු උත්සවයට ඇවිල්ලා හිටියා. ඒකෙන්ම පේනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ඉන්නේ කාත් එක්කද කියලා” යනුවෙන් අමාත්‍යවරයෙකු පැවසීය.

ඉබ්බා ගැලවීමට සූදානම්

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්, ඉදිරියේදී එක්කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

“ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානය වහල දාලා තියෙන්නේ. මේකේ ඉබ්බගේ යතුර තියෙන්නේ අපේ පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමාගේ භාරයේ. නීතිය අනුව පක්ෂ මූලස්ථානය අයිති අපිට. ඒක නිසා හොඳ වෙලාවක් බලලා යතුර දාලා ඉබ්බා ඇරලා අපේ පක්ෂ මූලස්ථානයට ඇතුළු වෙමු”යනුවෙන් එක් අමාත්‍යවරයෙකු යෝජනා කළේය.

“ඔව්.. ඔව්.. අපි හෙට අනිද්දට පක්ෂ මූලස්ථානයට යමු” යනුවෙන් තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු පැවසීය.

ජනපති රනිල්ගෙන් දරුවන්ට අවුරුදු තෑගි

සිංහල දෙමළ අවුරුදු උදාව වන විට ජනපති රනිල් හිටියේ නුවරඑළියේය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ බිරිය ද කැටුව අවුරුදු නිවාඩුවට නුවරඑළියේ යාම හෙතෙම කාලයක් තිස්සේ කරගෙන එන්නකි. නුවරඑළියේ ජනපති මන්දිරයේ නතරවූ ඔහු මුලින්ම සොයා බැලුවේ සිය උපදෙස් පරිදි ආරම්භ කළ ළමා නිවාස දරුවන්ට තෑගි දුන්නේ ද යන කාරණය ය.

14 දා පෙරවරුවේ මීපිලිමාන ක්‍රිඩාංගණයේ පැවති අලුත් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණි ඔහු මුලින්ම ගියේ දරුවන්ගේ බනිස් කෑමේ තරගය නැරඹීමටය. උත්සවයේ නිවේදන කටයුතු කරන ලද්දේ ප්‍රදේශයේම තරුණ තරුණියන් පිරිසකි. හදිසියේම සිය අවුරුදු උත්සවය නැරඹීමට පැමිණි ජනපති දුටු ඔවුන් ඔහු ළඟට ගියේ කතාවට එකතු කර ගැනීමේ අදහසිනි.

රනිල්ගේ ලස්සන වීමේ රහස

ජනපතිගෙන් ඇසූ පළමු ප්‍රශ්නය වූයේ මෙතරම් ලස්සන වූයේ කෙසේද යන්නය. ජනපති දුන් පිළිතුරත් සමඟ නිවේදිකාවට තවදුරටත් ප්‍රශ්න ඇසීමට අවස්ථාව හිමි නොවූයේ පිරිස විනාඩි කිහිපයක් පුරාම එක දිගට කොක් හඬලන්නට වූ නිසාවෙනි.

ජනපති රනිල් ත්‍යාග බෙදාදීමේ අවස්ථාවට එක්වූ අතර පාපැදි තරගයේ පළමු ස්ථානය හිමිකරගෙන හිටියේ අනුර දිසානායක කෙනෙකි.

අනුර දිසානායකටත් රනිල්ගෙන් තෑග්ගක්

“සර් පළමූ ත්‍යාගය හිමි වෙන්නේ අනුර දිසානායකට” හරීන් කියද්දී “අපි අලුත් අවුරුද්දේ අනුරටත් තෑග්ගක් දුන්නා” ජනපති රනිල් පිළිතුරු බැන්දේ පාපැදි ශූරයාද සිනහ ගස්සවමිනි.

ජනපති රනිල් තරග පැවැත්වෙන ස්ථාන වෙත යද්දී ඒවා නැරඹීමට පැමිණ සිටි පිරිස් ජනපති සමඟ කතා බස් කරමින් අවුරුදු සමරන්න ආර්ථික නිදහස ලබා දුන්නාට ස්තුති කළෝය. “අපිට අවුරුදු දෙකක් අලුත් අවුරුද්ද හරියට සමරන්න බැරිවුණා. හැබැයි ඔබතුමාට පිං සිද්ධ වෙන්න අපි මේ පාර හොඳට අවුරුද්ද සැමරුවා.” ජනතාව කීවේ සතුටිනි.

රනිල්ගෙන් විමල්ගේ ගෝලයාට වගකීමක්

ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක් ජනපතිට ගැටලු දෙකක් ඉදිරිපත් කළහ. උන්වහන්සේ ඒ අසල විද්‍යාලයේ විදුහල්පතිය. “ජනාධිපතිතුමනි ඔබතුමා විපක්ෂයේ ඉන්න කොටත් මේ ප්‍රදේශයට ආවා. අදත් ඇවිල්ලා ඉන්නවා. මේක අපිට සතුටක්. ඒ වගේම මේ පාසලට රැස්වීම් ශාලාවක් නෑ. තරුණයන්ට හරිහමන් ක්‍රීඩා පිටියක් නෑ. මේ ගැටලු දෙක විසඳලා දෙන්න.” උන්වහන්සේ ඉල්ලා සිටියහ.

පාසලේ රැස්වීම් ශාලාව තමන් මැදිහත්වී ඉදිකර දෙන බව පැවසූ ජනපති රනිල් ක්‍රීඩා පිටිය වැඩිදියුණු කිරීමේ වගකීම හරීන්ට බාර දුන්නේය. අසල සිටි නිමල් පියතිස්සට ජනපති කීවේ “මේ කටයුතු හරියට වෙනවාද කියලා ඔබතුමා සම්බන්ධීකරණය කරන්න. අඩුපාඩු තියනවා නම් කොළඹදී මාව දැනුම්වත් කරන්න.” කියාය.

ජනපති ඇතුළු පිරිස අසල නි‍ෙවසක සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහයකට ද එක්වූ අතර එය අවසන් කර ජනපති රනිල් පිටත්ව ගියේ නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා ද සිය රථයට නංවා ගනිමිනි. ජනපති 16 දා උදෙන්ම “පිකෝ ට්‍රේල්” නම් කඳුකර ගමන් මාර්ගයේ ඇවිද යාමට තීරණය කිරීම නිසා ආරක්ෂක අංශ ඔහුගේ ගමනට අවශ්‍ය වාහනයක් සූදානම් කර තිබුණි.

ජනපති කම්පා වූ පුවත්

එදින සවස් යාමයේ ඔහුට දුක්බර පුවත් දෙකක් අසන්නට ලැබුණි. එහි පළමු ප්‍රවෘත්තිය ලෙස පාලිත තෙවරප්පෙරුමගේ මරණය ගැන ආරංචිය දුන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නය. ඒ.ටී ආරියරත්නගේ මරණය ද ඔහු ඒ අතරම දැනුම් දුන්නේය. ඔවුන්ගේ අවසන් කටයුතු කෙරෙන තැන් හා දේහයන් තැන්පත් කර ඇති තැන් ගැන තමාව දැනුම්වත් කරන්නැයි ජනපති ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට පැවරුවේය.

ඔහු එම තොරතුරු හැරෙන තැපෑලෙන් ජනපති කන තැබූ අතර ජනපති කීවේ මේ නිසා තමන් සිකුරාදා කොළඹ පැමිණෙන බවටය. දෙවන ඇමතුම ආවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර ගෙනි. එහිදි ජනපති ඔහුට උපදෙස් දුන්නේ තෙවරප්පෙරුම වෙනුවෙන් පක්ෂයෙන් කළ හැකි උපරිම දේ කරනා ලෙසටය.

එසේම එම මෙහොතේම පක්ෂයේ ප්‍රධානියෙකු රෝහලට යවන ලෙස ද ජනපති මහලේකම් රංගේට උපදෙස් දුන්නේය. පසුදා පෙරවරුවේ මහලේකම් රංගේ බණ්ඩාර හා පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් නාගොඩ රෝහල වෙත ගියේ තෙවරප්පෙරුමගේ බිරියට තමන් එන බව දැනුම් දීමෙන් පසුවය. ඔහු එහි ගොස් ස්වල්ප වේලාවකින් බිරිය සහ පුතා පැමිණි බැවින් මරණ පරීක්ෂණය පැවැත්විණි.

මරණ පරීක්ෂණයෙන් පසුව ඔවුන් අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් මල් ශාලාව වෙත යද්දී තෙවරප්පෙරුමගේ අවසන් කැමැත්ත පරිදි එම කටයුතු වෙනුවෙන් ඔහුගේ ව්‍යාපාරික මිතුරකු පැමිණ සිටියේය. ඔහුත් සමඟ එක්වී පක්ෂයෙන් ඉටුවිය යුතු සියලු දේ මහලේකම් විසින් ඉටු කරනු ලැබීය. පසුව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇමතූ රංගේ, පාලිත තෙවරප්පෙරුම වෙනුවෙන් පොලිස් පෙර ගමන් රථයක් හා යතුරුපැදි දෙකක ගෞරවය ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කර තිබුණි.

නුවරඑළියේදී ජනපතිට ප්‍රසාදය

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා, නගර සභා හිටපු මන්ත්‍රීවරු රැසක් මුණ ගැසුණේය. එහි බහුතරය විපක්ෂ මන්ත්‍රීවරුන් වූහ. නුවරඑළිය නගරයේ තැපැල් කාර්යාලය සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වූ අතර ජනපති ඔවුන්ගේ ප්‍රශ්නවලට දුන් පිළිතුරු අසා සිටි විපක්ෂ මන්ත්‍රීවරු කියන්නට වූයේ මේ තොරතුරු අපිට ආවේ නැහැනේ කියාය.

“මේ ඇත්ත කතාව නොදන්න නිසා තමයි ජනතාව මේකට විරුද්ධ වුණේ. ඔබතුමාගේ පණිවුඩය අපි ජනතාව අතරට අරන් යනවා. ඇත්තටම දැන් අපිට තේරෙනවා රට දියුණු කරන්න නම් ඔබතුමා තව අවුරුදු 10ක් වත් මේ රට පාලනය කරන්න ඕනෑ කියලා.” මන්ත්‍රීවරු කීවේ උද්‍යෝගයෙනි.

ජනපති රනිල් මේ අතර මැති ඇමැතිවරුන් හා සූම් සාකච්ඡාවලට ද එක්වූවේය. එවැනි සාකච්ඡාවක් බ්‍රහස්පතින්දාද පැවැත්විණි.

“සර්ගේ ආර්ථික වැඩපිළිවෙළ නිසා ජනතාව හොඳට අවුරුදු සැමරුවා. හැමෝගෙම අතේ සල්ලි තිබුණා. ගමන් බිමන් ගියා. අවුරුදු 3කට පස්සේ තමයි මෙහෙම තත්ත්වයක් දැක්කේ.” ඇමැති ප්‍රසන්න කීවේ සතුටිනි.

විජයදාස ශ්‍රී ලංකා එකට යයිද?

“අධිකරණ ඇමැතිතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්න හදනවා වගේ. හැබැයි එතුමා ඡන්දය ඉල්ලපු පොදුජන පෙරමුණෙන් අවසර අරගෙන ද දන්නේ නෑ මෙහෙමකරන්නේ. පොහොට්ටුවේ මහ ලේකම්තුමාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ කවුරුත් සිනා නංවමිනි.

ඉරාන ජනාධිපති උමා ඔය විවෘත කිරීමේ අවස්ථාවට මෙරටට පැමිණීම ගැන කතාව ඇදී ආවේ මේ අතරතුරය. එහිදී මන්ත්‍රීවරු මතු කළ ප්‍රශ්නයක් වූයේ ඉරාන ජනාධිපතිතුමාගේ පැමිණිම ගැන ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක් විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන බවය.

“අපි දන්න විදිහට නම් කවුරුවත් විරෝධය පළ කරලා නෑ. ඉන්දියාවත්, චීනයවත් විරෝධය පළ කරලා නෑ. ඒ වගේම අමෙරිකාව හෝ ඉන්දියාව එතුමාව ගෙන්වන්න එපා කියලාත් නෑ.” ඇමැති ප්‍රසන්න කීවේ ප්‍රශ්නාර්ථයක් ද තියාගෙනය.

ඉරාන ජනාධිපති ශ්‍රී ලංකාවට

“ඉරාන ජනාධිපතිතුමා එන්නේ ඒ අයගේ සහයෙන් ඉදි කෙරුණු උමා ඔය ජල විදුලි යෝජනා ක්‍රමය විවෘත කරන්න. ඒක විවෘත කරන්න තිබුණේ 2015දී. නමුත් විරෝධතා මත ව්‍යාපෘතිය කල් ගිය නිසා මේ වෙලාවේ විවෘත කරන්න ඇවිල්ලා තියෙනවා. අපි හොඳ විදේශ ප්‍රතිපත්තියක ඉන්නවා. ඒක කාටවත් පක්ෂග්‍රාහි නැති හැමෝම සමඟ සමානව ගනුදෙණු කරන වැඩපිළිවෙළක්. අපි ඊශ්‍රායලය එක්කත් වැඩ කරනවා. ගාසා තීරයේ ළමුන්ටත් උදවු කරනවා. .” ජනපති කීවේ නළල රැලි ගන්වමිනි.

ලෝක වාර්තා කිහිපයක් පිහිටුවූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇමතූ ජනපති රනිල් එම ජයග්‍රහණ ගැන ඇය ඇතුළු කණ්ඩායමටම සුබ පැතුම් එක් කළේය.

ඇමැති ප්‍රසන්නගෙන් නාමල්ට සුබ පැතුම්

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙදෙනා වැඩි ඇයි හොඳයියක් නැති බවට දේශපාලන ලෝකයේ කතාබහක් පැතිර යයි. නමුත් ඔවුන් දෙදෙනා අතර එලෙස විරසකයක් නැත. ඒ බව දන්නෝ දනිති. මේ දෙදෙනා ඉකුත් සතියේ දිනයකදී මුණ ගැසුණේ අම්පාරේදීය. ඒ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහගේ ගෙදරදීය.

“කොහොමද ප්‍රසන්න අයියේ. සුබ අලුත් අවුරුද්දක් වේවා” නාමල් ඇමැති ප්‍රසන්නට සුබ පැතුවේ මුහුණ සිඹිමිනි.

“ඔයාටත් එසේම වේවා.” ඇමැති ප්‍රසන්නද නාමල්ට සුහදව පැවසීය.

“දෙන්න තරහයි කියල සෝෂල් මීඩියාවල යනවා. මෙතන දෙන්න සුබපතා ගන්නවා” වීරසිංහ මන්ත්‍රීවරයාද කතාවට හවුල්විය.

ප්‍රසන්න මහින්ද බැලීමට තංගල්ලට යයි

ඇමැති ප්‍රසන්න රණතුංගගේ සිතෙහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් සම්බන්ධයෙන් ඇත්තේ පිය සෙනෙහස හා සමාන ළෙන්ගතුකමකි. ඇමැති ප්‍රසන්න සෑම වසරකම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැහැදැක සුවදුක් විමසා ආශීර්වාද ලබා ගැනීම සිරිතක් ලෙස සිදු කරන්නකි.

ඒ සිරිතට අනුව ඇමැති ප්‍රසන්න මෙවරද හිටපු ජනාධිපතිවරයා බැහැදැකීමට තංගල්ල කාල්ටන් නි‍ෙවසට ගියේ සිය බිරියද සමඟය. ඒ මොහොතේ හිටපු ජනාධිපතිවරයාද සිය නි‍ෙවසේ සිටියේ විවේකී සුවයෙනි.

“ආ.. ඔයා හැම අවුරුද්දෙම මාව බලන්න එනවා.” කියමින් හිටපු ජනාධිපතිවරයා සුහදව ඇමැති ප්‍රසන්නව පිළිගත්තේය.

“සර්.. මට මගේ තාත්ත වගේ. හැමදාම මට සර්ගේ ආශීර්වාදය ලැබෙන බව මම දන්නවා.” ඒ ඇමැති ප්‍රසන්නය.

අනතුරුව දෙදෙනා ආගිය තොරතුරු කතාබහ කළේය.

වජිර, තෙවරප්පෙරුමගේ නි‍ෙවසට

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයන් පසුගිය බදාදා සවස අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ නි‍ෙවසට පැමිණියේ අභාවප්‍රාප්ත අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු පිළිබඳ සොයා බැලීමටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් පරිදි ඒ වැඩකටයුතු කරන ආකාරය පිළිබඳ තෙවරප්පෙරුමගේ බිරියත් පුත්‍රයත් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

තෙවරප්පෙරුම තමා මියගිය දිනක ඔහුව භූමදානය කිරීම සඳහා ඔහු විසින්ම සාදා තිබූ සොහොන පිළිබඳවද ඔහුගේ බිරිය සිහිපත් කළ අතර එම සොහොනෙහි පින්තූරයක්ද වජිරට පෙන්වූයේ මහත් සංවේගයෙනි.

රනිල් රුපියල ශක්තිමත් කළ හැටි වජිර පෙන්වයි

මේ අතර වජිර අබේවර්ධන මහතා සහභාගි වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුවට මෑතක දී පළ කළ වාර්තාවක දැක්වෙන වසර දෙකක හැසිරවීමකින් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.9% දක්වා ප්‍රතිශතයකින් හා 2025 දී 2.5% ප්‍රතිශතයක් වශයෙනුත් වර්ධනය වීමට මේ යන ගමන් මඟේදී කරගත හැකි බවයි. ලෝකයේ පිළිගත් වෙළෙඳපොළ පිළිබඳ දත්තයන් කරුණු ඉදිරිපත් කරන Bloomberg සමාගම ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ රුපියල කැපී පෙනෙන වර්ධන වේගයක් ඇතිකරගෙන තිබෙන බවත් 7%ක ප්‍රතිශතයකට පැමිණ මූල්‍ය වෙළඳපොළෙහි ඉහළින් ක්‍රියාකරන බවත්ය .

මේ අතර මෙම මාධ්‍ය හමුවට පෙරාතුව සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තුද පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

නාමල්ගේ උපන්දිනය අම්පාරේදී සමරයි

පසුගිය අරගලයෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහගේ නි‍ෙවස ගිනිබත් කර තිබූ අතර නි‍ෙවස නැවත පිළිසකර කර විවෘත කිරීමට පියවර ගත්තේය. මෙම නි‍ෙවස විවෘත කිරීමට ආරාධනා කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂටය. “ දැන් මේ රට බංකොලොත් කළේ ඔබතුමන්ලා කිවුවට ඇත්තටම රට බංකොලොත් වුණේ පසුගිය යහපාලනය කාලෙ ගත්ත ණයවලින්. දැන් ඒ ණය ප්‍රතිව්‍යුහගත කරන්නත් එකඟ වෙලා නෑ නේද? එතකොට සිරිසේන ජනාධිපති අගමැති රනිල් ඇයි ඔබතුමන්ලට කටක් ඇරලා මේවා කියන්න බැරි. “ ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු ජොනීගේ හා නාමල්ගේ මුහුණටම ඇසීය. “නෑ දැන් අපි රට හදාගෙන යනවනෙ. අපි පිහිටුවපු ආණ්ඩුව වට්ටන්න බෑ. වෙලාවක් එයි “නාමල් පැවසීය.

විපක්ෂ නායක අවුරුද්දට හම්බන්තොට

විපක්ෂ නායකතුමා පසුගිය සතියේ රැඳී සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේය. ඔහු සිංහල හා හින්දු අලුත් අවුරුදු සති අන්තය සමරනු ලැබුවේ ද පන්නෙගමුව රාජකීය විද්‍යාලයේ සිසු දරු දැරියන් සමඟය. විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වළ සුහුරු පන්ති කාමර ලබා දීමේ 155 වැනි අදියර යටතේ තිස්සමහාරාම වීරවිල පන්නෙගමුව රාජකීය විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ද එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පරිත්‍යාග කළේය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේ රට මෙවැනි අගාධයකට වැටෙන්න පෙර සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ මිනිසුන්ගේ අතේ මුදල් ගැවසුණු බවත් රටේ ජනතාව මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරනු ලැබුවේ බංකොලොත් රටක සිට බවත්, අවුරුදු කෑම මේසයේ මිල පවා ඉතා ඉහළ ගොස් ඇති තත්ත්වයක් මත සැබැ ලෙස අවුරුදු සැමරිය නොහැකි බැවින් මීළඟ සිංහල අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍ය උදා කරවන සුහුරු රටක් ලෙස සැමරිය යුතු බවත් ය.

අජිත් රාජපක්ෂ ගමේ අවුරුදු සමඟ

අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා අවුරුදු සතියම ගත කළේ අම්බලන්තොට, පල්ලෙරොට ප්‍රදේශයේය.

හැමදාමත් ගමත් සමඟ සිටින අජිත් රාජපක්ෂ මෙවර අවුරුදු දිනවල ප්‍රදේශයේ අවුරුදු උත්සව රැසකටම සුපුරුදු පරිදි සහභාගි විය.

තම දූ දරුවන් සමඟ ගම්වාසීන් ද විශාල පිරිස් මෙම අවුරුදු උත්සවයට සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division