Home » විදෙස් සංචාරකයන්ට උඩු බුරපු කළුකඩකාරයන්ට වැඩ වැරදුණු හැටි

විදෙස් සංචාරකයන්ට උඩු බුරපු කළුකඩකාරයන්ට වැඩ වැරදුණු හැටි

by sachintha
April 20, 2024 12:47 am 0 comment

අළුත්කඩේ කොත්තු මුදලාලිට අයිස්ක්‍රීම් වෙළෙන්දාගෙන් කනේ පහරක්

කළුතරට අවමානය ගෙනා වඩේ මුදලාලි

 

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි ඈත අතීතයේ සිටම මේ ලංකාද්වීපය විරුදාවලි ලද්දේ ස්වභාව සෞන්දර්යයෙන් ආඩ්‍ය වූ නිසාමය. නිල්පාටින් බැබළෙන පැහැදිලි අහසත් මහ මුහුදත් මෙන්ම හරිත වර්ණයෙන් පිරි වනයත් අපේ රටටම ආවේණික වූ වසරේ සෑම දිනකම නොවෙනස් සෞම්‍ය කාලගුණයකින් පිරි අපේ රට ලොව සංචාරය කිරීමට සුදුසුම රටවල් අතර ප්‍රමුඛස්ථානය ගෙන තිබිණී. ඒ, පසුගිය වසර කිහිපයක් පුරා විවිධ සංචාරක වෙබ් අඩවි ඇතුළු ආයතන ගණනාවක් කළ සමීක්ෂණවලට අනුවය.

අපේ රටේ පැවැති වසර තිහකට ආසන්න කුරිරු යුද ගැටුම්වල අවසානයේ නිර්මිත සාමකාමී පරිසරය ප්‍රධාන කරුණක් කොටගෙන ශ්‍රී ලංකාව දෙසට විදේශිකයින්ගේ නෙත් සිත් නැවත විවර වන්නට වූහ. එහෙත්, මුළු මහත් ලොවක්ම නතුකරගත් කොරෝනා උවදුරත් සමඟ මෙරට සංචාරක ව්‍යාපාරයට කණකොකා හඬමින් තිබිණි. එය යළිත් ටිකෙන් ටික හිස ඔසවමින් පසුගිය වසරේ මුල් මාස තුනට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 102%කින් ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන මණ්ඩලයේ දත්ත සඳහන් කරන්නකි. විවිධ ගැටලු සහ ආර්ථික ප්‍රශ්න හමුවේ බිඳ වැටෙමින් තිබූ අපේ රටේ සංචාරක ව්‍යාපාරය යන්තම් යළිත් හිස ඔසවමින් සිටින පසුබිමක මෙරටට පැමිණෙන සංචාරකයන්ට අපේ රටේ සිටින අතළොස්සක් අනිසි ලෙසින් හැසිරී ක්‍රියා කරයි නම් එය කෙතරම් ඛේදජනකද? එවන් සිදුවීම් ඔස්සේ ජාත්‍යන්තරයට ගලා යන්නේ ශ්‍රි ලංකාව ගැන වැරදි ප්‍රතිරූපයක් නොවේද?

කොළඹ අලුත්කඩේ ‘ස්ට්‍රීට් ෆුඩ්’ රාත්‍රී වීදි ආහාර වෙළෙඳ සැලක වෙළෙන්දකු ඉකුත් 12 වැනිදා රාත්‍රියේ විදේශීකයකුට සැලකූ අසීලාචාර හැසිරීම ගැන මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබේ. තිස් තුන් හැවිරිදි වියේ පසුවන ‘එපසන් ලිවියූස්’ නමැති අමෙරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි තරුණ සංචාරකයා අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි රාත්‍රි අවන්හල් කිහිපයකට ගොස් අපේ රටේ ආහාර මිලට ගෙන ඒවායේ අන්තර්ගත කුළුබඩු රස විඳිමින් එම දර්ශන සිය බ්ලොග් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුසු කරමින් සිට තිබිණි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වූ ඔහු, “ස්ට්‍රීට් ෆුඩ්වලට මම ගොඩාක් කැමතියි. මට කෙනෙක් කිව්වා මේ ස්ථානය ගැන. ශ්‍රී ලාංකිකයින් ඉතාමත් සංග්‍රහශීලි, මිත්‍රශීලි යහපත් මිනිසුන්. ශ්‍රී ලංකාව හරි ලස්සන රටක්. මේ කෑම හරිම රසවත්. මේ කෑමවල තියෙන කුළුබඩු හරිම රසවත්.” යනුවෙන් සිය බ්ලොග් අඩවියෙන් සඳහන් කර තිබිණි. එම තරුණ සමාජ ක්‍රියාකාරිකයා අලුත්කඩේ ප්‍රදේශයේ ආපන ශාලා වෙත එසේ ගොස් සිටියදී විවිධ ආපන ශාලාවෙත ගොස් ආහාර ලබාගෙන ඒවා රසවිඳිමින් අවට සිටින සියල්ලන්ටම ‘හලෝ‘ යැයි ආචාර සමාචාර කරමින් සියල්ලන් සමඟ කතා බස් කරමින් සිය වීඩියෝව හැඩකර තිබිණී. ආගන්තුක සත්කාර අතින් පොහොසත් රටක් වූ ශ්‍රී ලංකාව ගැන ගුණ වයමින් සිටි මෙම තරුණයාට එම ස්ථානයේ සිටි එක්තරා වෙළෙන්දකු හදිස්සියේම කතා කළේය.

‘මොනවද ඔබට ඕන? අපි ළඟ බැම්බෝ රයිස් තියෙනවා”

“මම දැන් රයිස් කෑවා. මට රයිස් අවශ්‍ය නැහැ. මේ මොනවාද?” තරුණයා වීදුරු සෝකේසයේ තබා තිබූ ආහාර පාන පෙන්වමින් වෙළෙන්දාගෙන් ඇසුවේය. ’මේ කොත්තු. අපි කොත්තුවක් කමුද?”

“කොත්තු……………..මේක කීයද?”

“මේක රුපියල් 1900යි” වෙළෙන්දාගේ පිළිතුරින් වික්ෂිප්ත වුණු තරුණයා එය මිල අධික බවට සඳහන් කළේය.

“උඩ දෙයියෝ ඉන්නවා බලාගෙන. මං වංචා කරන්නේ නැහැ. මේ කඩේ බොස් මම. ගන්නේ නැත්නම් යන්න. යන්න මෙතනින් යන්න”.

මේ අවස්ථාවේදී සංචාරක තරුණයා වෙළෙන්දාගෙන් විමසා සිටින්නේ “මම මුකුත් කළේ නැහැ. ඇයි ඔයා මට මෙතැනින් යන්න කියන්නේ. මම මොකක්ද කළේ?” යනුවෙනි.

එහෙත් වෙළෙන්දාගේ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරය වූයේ “පලයං යන්න….., මම කිව්වේ යන්න කියලා. මට උඹේ සල්ලි ඕන නැහැ. යන්න….. යන්න ……” යනුවෙනි.

‘හරි එහෙනම් මම යන්නම්.”

පසුව එම තරුණයා සිනාසෙමින් එම ස්ථානයෙන් පිටව ගොස් ඊට ආසන්නයේම පිහිටි අයිස්ක්‍රීම් වෙළෙඳ සැලකට යනු එම වීඩියෝවේ දක්නට ඇත. එහි සිටි වෙළෙන්දා ඉතාමත් ආකර්ෂණීය ලෙස අයිස් කෝන් කිහිපයක් ගෙන ඒවාට අයිස්ක්‍රීම් පුරවා නර්තනයක් ද සිදුකරමින් සංචාරකයා සතුටටත් ආනන්දයටත් පත් කර එම වෙළෙදාම සිදුකරයි. ඉතාමත් ප්‍රීතියෙන් “මේක කීයද?” යැයි සංචාරකයා ඔහුගෙන් අසයි. “රුපියල් පන්සීයයි”. වහා ක්‍රියාත්මක වූ එම තරුණයා තම පසුම්බිය හැර රුපියල් දහසේ නෝට්ටුවක් වෙළෙන්දාට දිගු කරයි. පසුව වෙළෙන්දා ඉතිරි රුපියල් පන්සියයක මුදල නැවත තරුණයා වෙත දිගු කරයි. “එපා. ඒක ඔයා තියාගන්න”. යනුවෙන් සඳහන් කළ එම සංචාරකයා එම අයිස්ක්‍රීමය රස බලමින් සිය වීඩියෝව ඉදිරියට කරගෙන යනු පෙණිනි.

එම වීඩියෝව අදාළ තරුණයා විසින් මේ වන විට මුළු ලෝකයකටම මුදා හරිනු ලැබ තිබූ අතර, එය සමාජ මාධ්‍ය තුළ ඉතා වේගයෙන් සංසරණය වන්නට විය. එය නැරුඹූ විශාල පිරිසක් එම ක්‍රියාව හෙළා දකිමින් සිය අදහස් සමාජ මාධ්‍යයට එක් කර තිබිණි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිස් සංචාරක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට අලුත්කඩේ කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් කුමාර වෙත දැනුම් දී තිබිණි.

ඒ අනුව අදාළ වීඩියෝව නැරඹීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අලුත්කඩේ ‘ලව් කුකීන්’ ආපන ශාලාවේ හිමිකරු වන අමීර් හම්සා අමිර් ප්‍රිර්දවුසස් (51) යන තැනැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කළේය.

ඒ වනවිටත් මෙම තැනැත්තා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා කොල්ලුපිටිය සංචාරක කොට්ඨාසය වෙත ගොස් සිටියේය. එහිදී කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් එම තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබිණී.

මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළින් ප්‍රචාරය වීම හේතුවෙන් ලංකාවේ වෙළෙදුන් පිළිබඳව සංචාරකයින් ඇති කරගන්නා ප්‍රතිරූපය අයහපත් එකක් බවත්, ඒ හේතුවෙන්ම විදේශ ජාතිකයින් මෙරට සංචාරය සඳහා පැමිණීම අඩුවිය හැකි අතර එය සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම එහි රැකියාවේ නියුතු විශාල පිරිසකට අහිතකර වන බවත් කෙසෙල්වත්ත පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මෙම සැකකරු සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දක්වා ඇති අදහස්වලට අනුව ඔහු කෙරෙහි ද්වේශයෙන් පසුවන බවට හැගී යන බවත්, එමඟින් මහජන කැලඹීමක් ඇතිවිය හැකි බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙහිදී සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ සම්පත් පෙරේරා සඳහන් කර සිටියේ තම සේවාදායකයා වරදක් නොකළ බවත් මෙම විදේශීය ජාතිකයා බීමතින් වෙළෙඳ සැලෙන් වෙළෙද සැලට ගොස් පෙර සූදානමකින් යුක්තව මෙම වීඩියෝව පටිගත කර මුදා හැර ඇති බවය. ජපන් ජාතිකයින් මෙන්ම චීන ජාතිකයින් විශාල පිරිසක් තම සේවාදායකයාගේ වෙළෙඳ සැලට පැමිණී බවත් ඔවුන්ට ඉතාමත් ආචාරශීලිව ඔහු හැසිරී ඇති බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

“මේ සම්බන්ධයෙන් අදාළ විදේශිකයා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම වෙනත් කිසිම අයකු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැහැ. ඔහු සිය අන්තර්ජාල ගිණුමේ සඳහන් කරලා තියෙනවා මෙවැනි දෙයක් බලා පොරොත්තු වුණේ නැහැ ඒ නිසා මේ සැකකරුට ඉක්මනින් නිදහස ලැබේවි කියලා.

මා මේ අවස්ථාවේදී අදාළ අන්තර්ජාල පණිවිඩයේ පිටපතක් මේ ගරු අධිකරණයට ඉදිරිපත් කරනවා. මගේ සේවාදායකයා මේ සිද්ධියෙන් ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් කරන්න හිතුවේ නැහැ. එහෙම වුණා නම් වුණේ මේ සිද්ධිය සිංහලයට පවා හඬකවලා අන්තර්ජාලයට යොමු කළ පිරිස තමයි එහෙම දෙයක් කළේ. මේ හේතුවෙන් ඔහුට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.”

පැමිණිල්ලේත් විත්ති පාර්ශ්වයේත් කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අවසානයේ සැකකරුට රුපියල් පනස් දහසක ශරීර ඇපයක් නියම කරමින් සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කාලයේදී කෙසෙල්වත්ත පොලිසියේ පෙනී සිටින ලෙසට ඇප කොන්දේසි පමුණුවමින් සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

මේ ආකාරයේම සිද්ධියක් ඉකුත් පෙබරවාරි 09 වැනිදා කළුතර ප්‍රදේශයෙන්ද වාර්තා විණි. මේ විදේශීකයා බෙල්ජියම් ජාතික ටීම් ටෙන්ට් ය. කළුතර ප්‍රදේශයේ පාරේ ගමන් කරමින් සිය යූ ටියුබ් චැනලයට දර්ශන රූගත කරමින් සිටි මෙම සංචාරකයා, අසල තිබූ හෝටලයක ගොඩවී උළුදු වඩේ එකක් සහ ප්ලේන්ටියක් ලබා ගන්නේය.

“අපිට තියෙනවා වඩේ සහ සම්බල් වර්ග දෙකක්. ඒක හරිම රසයි.” කියමින් ඔහු එම ආහාරය රස විඳීමින්ම තමන් බෞද්ධයකු බව කියමින් එම සත්කාරය කළ අදාළ වෙළෙඳසැල් හිමියාගෙන් ඇසුවේ මෙහි ‘මිල කීයදැයි’ යන්නය.

“රුපියල් දාහයි”

“ගාන වැඩි නැද්ද? මට ඇත්තම ගාන කියන්න”

“ රුපියල් 800යි” පසුව එම මුදල ගෙවා වෙළෙඳ සැලෙන් එළියට එන විදේශිකයා අසල පාරේ ගමන් කරමින් සිටි කාන්තාවකගෙන් උළුදු වඩයක් කීයක් වනවා දැයි විමසා සිටියේය. එහිදී ඇය සඳහන් කරනේ රුපියල් 150ක් පමණ වන බවයි.

මෙහිදී වෙළෙඳසැල් හිමියා දෙසට හැරී ඔහු විමසා සිටින්නේ, “දැන් ආපහු මගේ ඉතිරි මුදල දෙනවාද? නැත්නම් කමක් නැ ඔයා තියාගන්න.

මම හිතුවේ ඔයා අවංක පුද්ගලයෙක් කියලා. නමුත් ඔයා අවංක නැහැ. ප්‍රශ්නය මුදල නෙමෙයි. මුදල සඳහා යම් මූලධර්මයක් තිබිය යුතුයි.” ටෙන්ට් මේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

මේ විඩියෝව පිළිබඳව මොරගොල්ල සංචාරක පොලිසියට ලද ඊමේල් පැමිණීල්ලකට අනුව වහා ක්‍රියාත්මක වන පොලිසිය එම වෙළෙන්දාද අත්අඩංගුවට ගන්නේ පෙර කූට වෙළෙන්දා අත්අඩංගුවට ගත් අන්දමටය. එම සැකකරු ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ සිදුවීම් දෙකක් වුවත් එය එකිනෙකට සමානව සිදුවූවකි. ඉතාමත් සුළු ලාභයක් වෙනුවෙන් තම දේශයේ කීර්තිනාමය වනසා දමන මෙවැනි කූඨ වෙළෙදුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. එය තවත් මෙවැනිම වංචනිකයකුට වන පූර්වාදර්ශයක් වනු ඇත.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division