Home » කොළඹ – බදුල්ල දුම්රිය ගමනේ සියවස් සැමරුමේ ‘කැලිප්සෝ’ මංගල ගමනේ සොඳුරු මතක

කොළඹ – බදුල්ල දුම්රිය ගමනේ සියවස් සැමරුමේ ‘කැලිප්සෝ’ මංගල ගමනේ සොඳුරු මතක

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

සියවස් එකහමාරක අතීතයක් සහිත දුම්රිය ඉතිහාසයේ අසිරිමත්ම මෙහොත විඳිමින් හිඳිමි. කොළඹ සිට බදුල්ල තෙක් දුම්රියක් ධාවනය වී සියවසක් පිරෙන දිනයේ මියුරුතම චාරිකාවක සමීපතම අත්දැකීමක් ජීවිතයට එක් කරගැනීමේ අභිලාෂයෙනි.

කොළඹ සිට බදුල්ල දක්වා වූ උඩරට ගමන් මාර්ගය පූරණය වන්නේ වර්ෂ 1924 අප්‍රේල් 05 වැනිදාය. ඒ අනුපිළිවෙළින් දිගහැරෙන දශක පහක සංවර්ධන ප්‍රයාමයක අගඵලය ලෙසිනි. වර්ෂ 1864 අප්‍රේල් මස 25 වැනිදා ලංකාවේ මුල්ම දුම්රිය ධාවනය වන්නේ කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වාය. ඒ දුම්රිය ගමන 1867 වනවිට මහනුවර දක්වාත්, 1874 වනවිට නාවලපිටිය දක්වාත්, 1885 වනවිට නානුඔය දක්වාත්, 1894 වනවිට බණ්ඩාරවෙල දක්වාත් දීර්ඝ විය. එතැන් සිට බදුල්ල තෙක් දුම්රිය ගමන දීර්ඝ වන්නේ ඉන් දශක තුනකට පසුය. එනම්, වර්ෂ 1924 වර්ෂයේ අප්‍රේල් 05 වැනිදාය.    

ඒ උත්කර්ෂවත් දිනය ඉකුත් 05 වැනිදා සිකුරාදා උදෑසන කොටුව දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්, මහාමාර්ග අමාත්‍යාංශයේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ සංචාරක අමාත්‍යාංශයේ සම්භාවනීයයන් හා දෙස් විදෙස් සංචාරකයන් සමඟ අභිමානයෙන් යුතුව සැමරෙමින් තිබිණි. සර්ව ආගමික වත්පිළිවෙත්වලින් අනතුරුව සියවස් පූර්ණය සනිටුහන් කරමින් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන ‘දුන්හිඳ ඔඩිසි‘ නව සුඛෝපභෝගී දුම්රිය ජාතියට දායාද වන ප්‍රදානය එදින සිදු විය.

ඊට අමතරව දැව මුවා පෙනුමැති මැදිරියක්, විවෘත නැරඹුම් මැදිරියක්, භෝජනාගාරයක් සහිත මැදිරි හතරකින් යුතු ‘කැලිප්සෝ‘ ලෙස නම් කළ නව දුම්රියක් ද බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා ධාවනයට එක් විය. උඩරට දුම්රිය මගෙහි අති සුන්දරත්වය විඳිමින් කැලිප්සෝ සංගීතය හා පරිසරයේ මියුරුතම අත්දැකීම් සජිවීව ලබමින් විවෘත දුම්රිය මැදිරියක ගමන ආනන්දයකි. සියවස් අතීතය තුළ උඩරට මාර්ගයේ ගමන් කළ සුවහසක් දෙනා අතරින් මේ මුල්ම ඉමියුරු අත්දැකීම ලැබීමේ දුලබ වාසනාව ලැබුවෙමි.

ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මූලිකත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මංගල ගමන් ඇරඹූ ‘දුන්හිඳ ඔඩිසි‘ දුම්රියෙන් සියවස් චාරිකාවට එක්වූ පිරිස හා මාධ්‍ය සගයන් සමඟ එකිනෙකා කඳුරට අසිරිය විඳිමින් සිය අත්දැකීම් හුවමාරු කර ගනිමින් දෙමෝදර බලා ගමන් කරමින් සිටියෙමු. දෙමෝදර යනු ඉංජිනේරු විශ්මයක් බඳු නිමැවුමකි. ජටාවක් බඳින ලෙස සැකසුන ආකෘතියකට නිර්මාණය වූ දුම්රිය මඟෙහි උමං මග දුම්රිය ස්ථානයට යටින් ගමන් කර යළිත් මතුවන ආකාරය දෙමෝදර දුම්රිය ස්ථානයේ සිටින්නකුට නැරඹුම් වේදිකාවක සිට දැකිය හැකිය.

සවස පහ පමණ වන ‘දුන්හිඳ ඔඩිසි‘ අප දෙමෝදර දමා බදුල්ල බලා යෑමට සැරසෙමිනි. ඒ වන විටත් අප නුදුරින් ඇති ගල්තලාව මත හිඳගෙන ඒ විස්මිත ඉංජිනේරු අසිරිය හා මේ පරිසරය විඳිමින් සිටියෙමු. මා පාමුලින් ඒ වර්ණවත් ‘කැලිප්සෝ‘ දුම්රිය බදුල්ලේ සිට එනු පෙනේ. දුම්රිය දෙමෝදරට පැමිණෙන්නේ දුම්රියේ හඬ සමග මුසු වූ මියුරු කැලිප්සො සංගීතයෙන් ප්‍රමුදිත මිනිසුන් පිරිසක්ද සමඟිනි. මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් ද ඒ අතරය.

දෙමෝදරින් මමද ඒ අපූරු දුම්රියට ගොඩවීමි. ‘කැලිප්සෝ‘ දුම්රියේ ගමනාන්තය බදුල්ලය. හාත්පස මනරම්ය. දෙමෝදර සිට බදුල්ල බලා යන මඟෙහි හමු වන ‘කළු පාලමේ‘ දසුන් දැකුම්කලුය. උඩරට ගීතවත් පරිසර පද්ධතියේ චමත්කාරයේ කිමිදෙමින් විවෘත මැදිරියක ගිය මේ අසිරිමත් දුම්රිය ගමන ජීවිතයේ නොමියන මතකයකි.

කැලිප්සෝ දුම්රියේ ඒ මංගල ගමනට එක් වූ දුම්රිය එන්ජින් රියැදුරු ජී. එච්. බණ්ඩාරය. ඔහුගේ සහායකයා ඩබ්ලියු. ඒ. අයි. එස් වර්ණසූරිය ය. ප්‍රධාන දුම්රිය නියාමකවරයා ඩී. ඩි. පී රත්නායකය.

“ උඩරට දුම්රිය මාර්ගයේ මම අවුරුදු 20කට වඩා කාලයක් දුම්රිය ධාවනය කරලා තියෙනවා. මේ මාර්ගයේ තියෙන අවදානම් තැන් ගැන අපි හොඳින්ම දැනුම්වත්. ඒ ස්ථානවල වඩාත් සැලකිලිමත්ව වෙන අවස්ථාවන්ට වඩා පරෙස්සමෙන් අඩු වේගයකින් ධාවනය කිරීමේ වගකීම අපට තියෙනවා. ඒකට හේතුව මගීන් වැඩිම ප්‍රමාණයක් ගමන් ගන්නා, සම්පූර්ණයෙන්ම විවෘත මැදිරියක් සමඟයි අප ගමන් කරන්නේ. ආවරණ නැහැ. බැරි වෙලාවත් කොච්චියක් පීලි පැන්නොත් මගීන්ට සිද්ධ වෙන හානිය වැඩියි. ඒ වගකීම මේ දුම්රිය ධාවනය කරන අපට තිබෙනවා.” ප්‍රධාන දුම්රිය නියමු බණ්ඩාර අපට කියන්නේය.

කැලිප්සෝ දුම්රිය

ජාතියේ මනරම් උරුමයක් වූ උඩරට දුම්රිය මඟෙහි වර්ණිත චමත්කාරය රැඳුණු බදුල්ල සිට බණ්ඩාරවෙල, නැවත බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය කෙරෙන විවෘත මැදිරියකින් යුතු ‘කැලිප්සෝ’ ලෙස නම් කළ මෙම විශේෂ දුම්රියේ මැදිරි හතරකි. ඊට එක් කළ නැරඹුම් මැදිරිය මනරම් දැව කැටයමින් යුතු දැව මුවා පෙනුමකින් නිර්මිතය. දුම්රියේ ඕනෑම මගියකුට ප්‍රවේශ විය හැකි විවෘත මැදිරිය ද අර්ධ දැවකම් සහිත අතිශය සිත්ගන්නාසුලු නිමැවුමකි. උඩරට දුම්රිය ගමන අර්ථවත් කළ ඒ පරිසර චාරිකාව එක් මොහොතක දී ලබා දෙන වින්දනය ජීවිතයේ පැයකට අලගු තබමි. එය මේ මඟෙහි සංචාරය කරන සෑම සංචාරකයකුම විඳිය යුතු අත්දැකීමක් නොවේදැයි සිතේ.

කැලිප්සෝ දුම්රියේ එක් ගමන් වාරයක් ආරම්භ වන්නේ පෙරවරු 8.20ට බදුල්ලෙනි. 9.10 ට එය දෙමෝදරය. 9.28ට ඇල්ල දුම්රිය ස්ථානයේය. 9.58 වන විට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට පැමිණේ. අනතුරුව විනාඩි 30ක විවේකයකි. යළි බණ්ඩාරවෙලින් ගමන් අරඹන දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයට එන්නේ පෙරවරු 11.14ට ය. දෙමෝදරට 11.39ට ය. ආරුක්කු පාලම ළඟ විනාඩි 10ක නැවතුමකි. යළි දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50ට පිටත් වේ. ඇල්ලට 1.30ට ළඟා වන දුම්රිය බණ්ඩාරවෙලට එන්නේ පස්වරු 2ට ය. යළිත් විනාඩි 30ක නැවතුමකින් පසු පස්වරු 2.35ට බණ්ඩාරවෙලින් පිටවන දුම්රිය පස්වරු 3.08ට ඇල්ලටත්, 3.35ට දෙමෝදරටත්, පස්වරු 4.12ට බදුල්ලටත් පැමිණ සිය දෛනික චාරිකාව නිමා කරන්නේය.

නැර­ඹුම් මැදි­රිය පිටතින් පෙනෙන අයුරු

නැර­ඹුම් මැදි­රිය පිටතින් පෙනෙන අයුරු

දුම්රියේ සියලුම ආසන පළමු පන්තියේය. ආසන 79 කි. ඒ 79 දෙනාටම විවෘත මැදිරියේ එක්වර වුවත් යා හැකිය. ටිකට් පතක මිල රුපියල් 1,000කි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම මෙම දුම්රියම විවෘත ටෙන්ඩර් කැඳවීමක් හරහා පෞද්ගලික අංශයට බදු දීමය. දුම්රියේ අවන්හලකින් ද සමන්විත වන අතර, අවන්හලට අවශ්‍ය බියර් බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛනත් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ටෙන්ඩරය ලබා ගන්නා පාර්ශ්වය වෙත ලබා දීමට සැළසුම වෙයි. අවශ්‍ය සේවා සපයමින් දුම්රිය දෙපාර්තමේන්තුවට බදු කුලී ගෙවා මෙම දුම්රිය ධාවනය කිරීමෙ වගකීම ටෙන්ඩරය ලබා ගන්නා ආයතනයට පැවරෙනු ඇත. ගිවිසුමේ එක් අංගයක් ලෙස කැලිප්සෝ සංගීතය පවත්වා ගැනීම අනිවාර්යය. මෙය ඵලදායී වාණිජ සැලැස්මක් බව පෙනේ.

“ විදේශිකයන් පළමු පන්තියේ ටිකට් බුක් කරගෙන ආවට ඔවුන් වඩාත් කැමැති දොරක් අසල රැඳෙමින් විවෘත පරිසරයේ ආස්වාදය විඳින්න. ඒ අත්දැකීම ලෝකයේ බටහිර රවටලදි නම් කවදාවත් ලබන්න බැහැ. ඒ අත්දැකීමට කැමති පිරිස කැලිප්සෝ කෝච්චියට ආකර්ෂණය වීමේ වැඩිම නැඹුරුවක් තියන බව මට අත්දැකීමෙන් කියන්න පුළුවන්. “ දුම්රිය නිලධාරියකු අපට පැවසුවේ කැලිප්සෝ දුම්රියේ සංචාරක ආකර්ෂණ විභවය ගැන තවත් මානයක් දක්වමිනි.

‘කැලිප්සෝ දුම්රිය‘ රටේ දේශීය සම්පත් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් කළමනාකරණය කළ හැකි බව කියන මඟ ලකුණකි. දශක කිහිපයක් පැරණි ධාවනයෙන් ඉවත් කළ දුම්රිය මැදිරිවලින් කැලිප්සෝ දුම්රියේ කලා කෘති බඳු දැව මුවා පෙනුමක් සහිත දුම්රිය මැදිරි නිර්මාණය වී තිබිණි. ඒ අපේ ශ්‍රමිකයන්ගේ ශ්‍රමයෙනි. පරිණත වෘත්තිකයන්ගේ ශිල්ප ඥානයෙනි. ඔවුන්ගේම තාක්ෂණික සැලසුම්වලිනි.

ඵලදායී රටක හෙට දවස ගොඩගත හැකි මාර්ගය ආලෝකවත් කරන ඉදිරිගාමී ලාංකිකයන් අතර සිටින කැලිප්සෝ සංචාරක දුම්රිය මැදිරිවල ප්‍රමුඛතම නිර්මාණකරුවා දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සහ සංවර්ධන අංශයේ අධිකාරි ඉංජිනේරුවරයා වන ගාල්ලගේ අජිත් ක්‍රිෂාන්ත ය. පුරා වසර 27ක සේවා අත්දැකීම් සහිත ඉංජිනේරු අජිත් ක්‍රිෂාන්ත අපට කී කතාව සිහි වේ.

“කැලිප්සෝ එළිමහන් දුම්රිය මැදිරි සංකල්පය බිහි වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී සහ වාණිජ අධිකාරිවරයාගේ ඉල්ලීමක් මතයි. ඒ, මීට අවුරුදු දෙකකට විතර පෙරයි. ඒ වනවිට මම මැදිරි අංශයේ නව නිර්මාණ ව්‍යාපෘති හා සංවර්ධන කටයුතුවල නියැළී සිටියා. අදාළ සංකල්පය ගැන ලිඛිතව දැනුම් දුන් පසු මම ඒ අනුව ක්‍රියාත්මක වුණා.

එළි­ම­හන් මැදි­රිය

එළි­ම­හන් මැදි­රිය

මුලින්ම හැදුවේ කැලිප්සෝ දුම්රියේ දැව මුවා පෙනුම සහිත නැරඹුම් මැදිරියයි. එය ධාවනයෙන් ඉවත් කළ ඉන්දීය දුම්රිය මැදිරියක්. අවුරුදු තිහකට වඩා පරණයි. මේ මැදිරිය යකඩ රාමුවක් සහිත මැදිරියක්. මේ මැදිරිය මුලින්ම වානේ තහඩුවලින් ශක්තිමත් කළා. මැදිරියක සැකිල්ලට දරාගන්න පුළුවන් ධාරිතාව ගණනය කර යකඩ සහ වානේ මැදිරියට දැව ආස්තරණයක් එක්කර මුළුමනින්ම දැව නිර්මිතයක් ලෙස පෙනෙන ලෙසයි මෙය නිර්මාණය කළේ.

මේ වැඩේ සිද්ධ වෙන්නේ කොවිඩ් කාලෙදි. ප්‍රමුඛ රාජකාරි වන නඩත්තු සඳහා මුල්තැන දෙමින් ද්විතියික වැඩක් විදිහට මේ පෙට්ටිය හදන්න අවුරුදු දෙකක් විතර ගතවුණා. විවෘත දුම්රිය මැදිරිය හැදුවෙත් ධාවනයෙන් ඉවත්කර තිබූ රුමේනියන් දුම්රිය මැදිරියකින්. මේ මැදිරියේ සීරියල් අංකය 8357. දැන් අපේ යන්නේ දාහසය දහස් ගණන්වල අංක. එයින්ම ඔබට පැහැදිලි වෙනවා ඇති, මේ මැදිරි මොනතරම් පැරණි ද කියලා.“

මේ සාමූහික ප්‍රයත්නයට සේවක කණ්ඩායම සියයක් පමණ පිරිසක් විවිධ ඒකක ලෙස සම්බන්ධ වී තිබිණි. රෝද නිර්මාණය වන්නේ එක් තැනකය. ප්‍රධාන සැකිල්ල නිර්මාණය වන්නේ කර්මාන්ත ශාලා අංක 22නි. දැවමය නිර්මාණ සඳහා දායකත්වය ලබා දෙන්නේ අංක 23 ලී වැඩ අංශය ය. විදුලි සැපයුම අංක 30 කර්මාන්ත ශාලාවෙනි. ඇතුළත නිමැවුම් සහ පින්තාරු සඳහා වෙනම ශ්‍රමික පිරිසක් දායක වෙති. අවසානයේ කැලිප්සෝ දුම්රිය මැදිරි නිර්මාණය සැලසුමක් යටතේ සිදු වන සාමුහික ඵලයකි.

මේ දුම්රිය මැදිරි ගමන් කරන්නේ උඩරට දුම්රිය මාර්ගයේය. එය විශේෂිත මාර්ගයකි. අතිශය වගකීම් සහිත කටයුත්තකි. ඒ වගකීම මේ නිර්මාණය තුළ සහතික කළ ආකාරය ගැන අධිකාරි ඉංජිනේරු ක්‍රිෂාන්ත අපට පහදා දුන්නේය.

“උඩරට මාර්ගයේදී සලකා බලන්න ඕන විශේෂ කාරණා දෙකක් තියනවා. එකක් තමයි වංගු නිසා දිග පෙට්ටිවලට ධාවනය කරන්න අපහසු වීම. අනෙක කඳු පල්ලම් සහිත මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරන තිරිංග පද්ධතිය.

කැලිප්සෝ’ සංචා­රක දුම්රියේ මංගල ගම­නට එක්වූ ජන­මාධ්‍ය, ප්‍රවා­හන හා මහා­මාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, ප්‍රාථ­මික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දස­නා­යක, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ 
කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය ඇතුළු පිරිස

කැලිප්සෝ’ සංචා­රක දුම්රියේ මංගල ගම­නට එක්වූ ජන­මාධ්‍ය, ප්‍රවා­හන හා මහා­මාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, ප්‍රාථ­මික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දස­නා­යක, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය ඇතුළු පිරිස

කැලිප්සෝ දුම්රියට අප තෝරගත්තේ මැදින් ගමන් කළ හැකි අඩි 45 මැදිරි. ඒ මැදිරිවල තිරිංග පද්ධතිය විශේෂයෙන් සකස් කළා. උඩරට මාර්ගයට තිරිංග මැදිරියක් හදද්දි රීතියක් තිබෙනවා. යම් වෙලාවක ධාවනය වන දුම්රිය අක්‍රිය වුණොත් මැදිරිවල ක්‍රියාත්මක වන තිරිංගවලින් දුම්රිය නවත්වා ගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. හදන මැදිරියේ තිරිංග පද්ධතිය වෙනම නවීකරණය කරන්න ඕන ඒ විදිහට. මේ මැදිරි නිර්මාණය කළේ ඒ විදිහටයි. ඒ වගේම සවි ශක්තිය සහ ආරක්ෂාව සම්බන්ධව විශේෂයෙන්ම සහතික වෙනවා. දැවමුවා පෙනුම සහිත මැදිරිය සාමාන්‍ය තහඩු මැදිරියකටත් වඩා ශක්තිමත්. ලී ආස්තරණය තියෙන්නේ දැඩි වානේ තහඩුවක් මත නිසා සවි ශක්තිය අතින් කිසිම ගැටලුවක් පැන නඟින්නෙ නැහැ…” ඔහු රටට සහතික වුණේය.

කැලිප්සෝ දුම්රිය සිය පරීක්ෂණ චාරිකාවේ යෙදුණේ ඉකුත් 02 වැනිදා ය. ඉංජිනේරුවරයා අපට කියන්නේ පරීක්ෂණ චාරිකාවක් අවශ්‍ය නොවූ තරමටම ඔහුට මෙම මැදිරි නිමැවුම සම්බන්ධව විශ්වාසයක් තිබූ බවය. “ඒත් මම පරික්ෂණ චාරිකාවට ගියා. ගියේ මඟට විතරයි. අලුත් ඉංජිනේරුවො යැව්වා බදුල්ලට යනකම්. මොනවා වුණත් නිර්මාණය කරලා සෑහෙන කාලයක් පැත්තකට කරලා තිබුණු මැදිරි රේල්පාරෙ යනවා දැක්කම හරිම සතුටක් දැනෙනවා” ඔහු කියන්නේය.

මේ නිර්මාණාත්මක මැදිරි සහිත ‘කැලිප්සෝ‘ දුම්රිය යථාර්ථයක් වන්නේ ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන නිසාය. උඩරට දුම්රිය මාර්ගය පූර්ණ වීමේ සියවස සමරා සංචාරක කර්මාන්තය ප්‍රමුඛ කරගනිමින් බිහිවන ‘කැලිප්සෝ‘ දුම්රිය සක්‍රිය කරවීමේ දැක්මක් මෙන්ම සංකල්පීය අර්ථයක් ඇමැතිවරයාට තිබිණි. එම සංකල්පීය දැක්ම පිළිබඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ අර්ථකථනය මෙසේය.

නැරඹුම් මැදි­රිය

නැරඹුම් මැදි­රිය

“කොටුව – බදුල්ල දුම්රිය ධාවනයට එක් කර සියවසක් සපිරෙන අවස්ථාවේ අපට පුළුවන්කම ලැබුණා සාම්ප්‍රදායික වහල සහිත දුම්රිය වෙනුවට වහලක් නැති නැරඹුම් මැදිරියකින් යුතු දේශීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කළ සංචාරක දුම්රියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය කරවන්නට. දැන් අපට උඩරට මාර්ගයේ ප්‍රධාන සංචාරක දුම්රිය වර්ග තුනයි. ‘ඇල්ල ඔඩිසි‘. ‘දුන්හිඳ ඔඩිසි‘ හා ‘කැලිප්සෝ‘ සංචාරක දුම්රිය. මෙය මහත් ජයග්‍රහණයක්. මේ අවස්ථාව සාර්ථක කරගැනීමට සීමිත සම්පත් භාවිත කරමින් වෙහෙසී කටයුතු කළ දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු පිරිසට ස්තුතිවන්ත වෙනවා.“

දෙමෝදර සිට බදුල්ල තෙක් ‘කැලිප්සෝ දුම්රියේ‘ ගමන හමාර කරමින් පස්වරු 7 ට පමණ දුම්රිය බදුල්ලට ළඟාවන විට බදුල්ල දුම්රිය ස්ථානය ද මංගල්‍යයක සිරිගෙන තිබිණ. ඒ සියවස් සැමරුම් සිහිකරමින් ‘දුන්හිඳ ඔඩිසි‘ සහ‘කැලිප්සෝ‘ මංගල ගමන පිළිගැනීමටය. බදුල්ල දුම්රිය ස්ථානය ආලෝකවත් කළ විදුලි පහන් ආලෝකයෙන් අප පැමිණි ‘කැලිප්සෝ‘ දුම්රිය ද වඩාත් ගැඹුරු වර්ණයකින් පෙනේ.

රටේ සැබෑ වෘත්තිකයන් පිරිසක් සමඟ යා හැකි දුර කොපමණද යන්නට වූ මෑතකාලීන සජීවී සාධකය මෙම දුම්රිය බව සිතමි.තවත් මෙවැනි ඵලදායී ජාතික ව්‍යාපෘති රැසක් සඳහා සැලසුම් තිබේ. කැලිප්සෝ දුම්රිය තරමටම ඒ ව්‍යාපෘති ද නැවුම් අපේක්ෂා උපදවන්නේය. ඒ යහපත් අනාගත බලාපොරොත්තු සමඟින් බදුල්ල දුම්රිය ස්ථානයේ උත්සව අසිරිය විඳගතිමි.

ඡායාරූප – සුදත් නිශාන්ත, දුෂ්මන්ත මායාදුන්න, ජගත් කළුහපාන

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division