Home » නිවේදිකාවක් වෙන්න හීන මැව්වට මට වුණේ නිළියක් වෙන්න

නිවේදිකාවක් වෙන්න හීන මැව්වට මට වුණේ නිළියක් වෙන්න

අචිනි අබේරත්න

by thanushika
April 13, 2024 12:30 am 0 comment

කුඩා කල පටන් විදෙස්ගතව හැදී වැඩුණු වගීෂා මේ දිනවල උපන් ගම වන දෙටුගමුවට පැමිණ සිටින්නීය. ඇය කොළඹ මහත්තයාගේ එකම දියණියයි. විදෙස් ආරට හැදී වැඩුණත් ගමේ ආරට හැඩගැසෙන්නට වෙර දරන ඇයට ගම්වැසියන්ගෙන් ලැබෙන්නේ ද අසීමිත ආදරයකි. ගමේ පාසලේ ගුරුවරයකු වන සිනෙත් කෙරෙහි ඈ සිත බැඳෙන්නේ නොසිතූ ලෙසිනි. ඔහු සිත ද ඈ කෙරෙහි ළෙන්ගතු වුව ද එය නොපෙන්වා සිටින්නට හේ උත්සාහ දරන්නේ බිඳුණු පෙම තවමත් ඔහු සිත පාරන නිසාය. දෙටුගමුවේ පමණක් නොව මේ දිනවල රටේම ආදරය දිනා සිටින වගීෂා අපට හමුවන්නේ හිරු නාළිකාවේ විකාශය වන හිච්චි ටෙලි නිර්මාණයේය. වගිෂාට පණ පොවන ඇය අචිනි අබේරත්නය.

වගීෂා කියන්නෙ මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය චරිතයක්. කොහොමද අචිනි ඔබට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් අය වගීෂා තමන්ගෙ පවුලෙම කෙනෙක් කරගෙන. ඒ අය ප්‍රතිචාර දක්වන්නෙත් වගීෂා මගේ සැබෑ ජීවිතේ චරිතය කියල හිතාගෙන. පිටරට හැදුණු ෆැෂනබල් කෙනෙක් වුණත් ගමට ආවට පස්සෙ වගීෂා ගමේ විදිහට අඳින පලඳින චාම් තරුණියක්. ඇය කොළඹ මහත්තයගෙ දුව. සිනෙත්ගෙ හිත වගීෂා කෙරෙහි ආකර්ෂණය වුණත් ඔහු ඒ බව පෙන්නන්නෙ නෑ. කොළඹ මහත්තය එහෙම නැත්නම් මගේ තාත්තාගෙ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ නීතිඥ කපිල ගාමිණී ජයසිංහ. ඔහුත් ටෙලි නිර්මාණයකින් හමුවෙන්නෙ සෑහෙන කාලෙකින්. මගේ චරිතය සාර්ථක කරගන්න ඔහුත් ලොකු රුකුලක් වුණා. ගොඩක් අය කියනවා ඇත්තටම තාත්තයි දුවයි වගේ කියලා. ඒ වගේම සිනෙත් ඔයාට හොඳට ගැළපෙනවා කියන අයත් ඉන්නවා. මෙතෙක් ලැබුණ හැම කමෙන්ට් එකක්ම ලැබුණෙ හොඳ විදිහට.

රටේම ආදරය දිනූ වගීෂා වෙන්න ලැබුණු අවස්ථාව ගැනත් කියමු?

2022 වසරේ ඇන්ජලා කුරුප්පු මිස්ගේ පිනිදිය ටෙලි චිත්‍රපටයෙන් තමයි මම රංගනයේ පළමු අත්දැකීම ලබාගන්නේ. ඒක ප්‍රධාන චරිතය. වෛද්‍ය චමල් සංජීවගේ තිර පිටපතක්. හිච්චි තිර පිටපත රචනා කළ ගයානි අශිංසලා පියදිගම අක්කා නිසා තමයි මට ඒ අවස්ථාව ලැබෙන්නේ. එයා මං ගොඩක් කල් ඉඳන් අඳුනනවා. ඉදිරියේදී විකාශය වීමට නියමිත තීරු තිර පිටපතත් එයාගෙ. දවසක් ගයානි අක්කා මට කිව්වා අලුත් ටෙලි නාට්‍යයකට ඔඩිෂන් එකක් තියෙනව ඇවිත් බලන්න කියලා. තීරු එකට සම්බන්ධ වුණේ ඒ විදිහට. තීරු කියන්නෙත් හිච්චි අධ්‍යක්ෂණය කළ තරංග දිසානායකගේ වැඩක්. තීරු ඉවර වෙනවත් එක්කම එයාල මාව හිච්චි ටෙලි නිර්මාණයට තෝරගෙන තිබුණා. හිච්චි ටෙලි නිර්මාණයේ වගීෂාට ආරාධනා ලැබෙන්නේ ඒ විදිහට.

නිවේදිකාවක් වෙන්න සිහින දැකපු අචිනිගේ දිශානතිය වෙනස් වුණේ කොහොමද?

පාසල් කාලෙම මම අතුල රන්සිරිලාල් සර් යටතේ නිවේදනය ගැන හැදෑරුවේ නිවේදිකාවක් වෙන්න හිතාගෙන. ඒත් මට නිවේදනයට ලැබුණෙ එක අවස්ථාවයි. ඒ 2017 වසරේ. අධ්‍යාපන කටයුතු නිසා මට එයින් ඈත් වෙන්න වුණා. උසස් පෙළත් කළාට පස්සෙ ආයෙමත් නිවේදනය ඉගෙන ගන්න පටන් ගත්තා. රංගනය ගැනත් හැදෑරුවා. ප්‍රසන්ට් කරන්න කොතරම් ආස වුණත් 2022 වසරේ විකාශය වුණු පිනිදිය ටෙලි ෆිල්ම් එකෙන් පස්සේ දිගටම මට ආරාධනා ලැබුණෙ රංගනයට පැත්තට. මේ වෙද්දි ටෙලි ෆිල්ම් 3කට රංගනයෙන් දායක වෙලා තියෙනවා. හිච්චි ටෙලි නිර්මාණයට අමතරව “සිදාදියේ සමනලියෝ, තීරු“ වැනි ටෙලි නිර්මාණවලටත් දායක වුණා. තීරු ඉදිරියේ දී එන්න තියෙන මේනක රාජපක්ෂගේ අධ්‍යක්ෂණයක්. මෑන් ඔෆ් ද මැච් කියලා තරංග දිසානායකගේ අලුත් ටෙලි නාට්‍යයක ෂූටිං පටන් ගන්නවා ළඟදීම. තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. නිවේදනය පැත්තෙනුත් ඉදිරියට යන්න කැමැතියි.

පාසල් කාලයේ අචිනි කියන්නෙ මොන වගේ චරිතයක් ද?

ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මං එක දේකට කොටුවෙලා හිටිය ළමයෙක් නෙවෙයි. හැම දේකටම ඉදිරිපත් වෙනවා. නර්තනයටත් දක්ෂයි. මම උසස් පෙළට කළෙත් නර්තනය. හැම අංශයකින්ම ජයග්‍රහණ ලබලා තියෙනවා. පාසල් කාලේ මං කෙටිකතාවක් ලිව්වා. ඒක මගේ පළමුවැනි කෙටිකතාව. 2014 වසරේ රාජ්‍ය සම්මානයත් හිමිවුණා. ඊට පස්සෙ අධ්‍යාපන කටයුතුවලට වැඩි බරක් දුන්න නිසා ඒ පැත්ත අතහැරුණා. පාසල් කිහිපයකටම ගිහින් තියෙනවා. පළමුවෙන්ම ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලයට. ඊට පස්සෙ 5 -11 දක්වා ගියේ බිබිලේ සිරිධම්මපාල මහා විද්‍යාලයට. අපේ තාත්තගෙ ගම බිබිලේ නිසා අධ්‍යාපන කටයුතු ඉවර වෙන කල් එහේ තමයි හිටියේ.

රංගනයට යොමු වුණාට අචිනිට ගෙදරින් තහංචියක් වැටුණෙ නැද්ද?

මගේ තාත්තයි, අයියයි වැඩිය කැමැති වුණේ නෑ. ඒත් අම්මට ඕන වුණේ මාව රූපවාහිනී තිරයෙන් දකින්න. අම්මා ගොඩක් ආස වුණා මම නිළියක් වෙනවට. අදටත් හැමවෙලේම මගෙ පස්සෙන්ම අම්මා ඉන්නවා. නිවේදිකාවක් වෙන්න කොතරම් හීන මැව්වත් මට ලැබුණෙම රංගනයට අවස්ථා. අන්තිමට ඒක ආදරෙන් බාරගත්තා.

වගීෂාගෙ වගේ අචිනිගෙ හිතත් ගමේ කොල්ලෙක්ට යාවි ද දන්නෑ?

ආදරය සුන්දර අත්දැකීමක් වෙන්නෙ හරි කෙනා හමුවුණොත්. එහෙම නැතුව තමන් ආදරේ කරන කෙනාගෙ හීනෙට යන්න සපෝට් නොකරන, කකුලෙන් අදින, යන්න හදන පාර වහන, අරක එපා මේක එපා කියල හැමදේටම නීති දාන තැනක මං හිතන්නෑ ආදරයක් තියෙනව කියලා. ආදරේදි අංක එක විශ්වාසය. මටත් ආදරය ගැන අත්දැකීම් තියෙනවා. මගේ පවුලෙ අය ඇරුණම තවත් විශේෂ කෙනෙක් ඉන්නවා මාව ඉදිරියට යවන්න වෙහෙසෙන, මාව ඔසවලා තියන්න ලොකු කැපකිරීමක් කරන. එයාවත් මේ වෙලාවෙ ආදරෙන් මතක් කරන්නම ඕන.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division