Home » සිරිසේන – සිරිපාල ගැටුමේ මුල මැද අග

සිරිසේන – සිරිපාල ගැටුමේ මුල මැද අග

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

ලුත් අවුරුද්ද වෙනුවෙන් දේශපාලන සිදුවීම්වලට යම් විරාමයක් ලැබුණද එක් දේශපාලන පක්ෂයකට නම් අවුරුදු සමයේවත් කිසිදු විරාමයක් ලැබී නොමැති බව පෙනේ.

සිරිසේන – සිරිපාල ගැටුමේ මුල

එසේ විරාමයක් ලැබී නැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනියත්, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් අතර කාලාන්තරයක් තිස්සේ පැවති සීතල යුද්ධය අළුයට ගිනි පුපුරු ලෙස එකවරම එළියට පැමිණීමත් සමඟම දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් විය.

මේ වන විට අර්බුදය වඩාත් උග්‍ර වී ඇත. චන්ද්‍රිකාගේ ආශිර්වාදයෙන් වැඩබලන සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා පත්කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පිහිටි ඩාලි පාරේ වලි පිට වලිය. එහි ලිපි ලේඛන තොගයක් අතුරුදන් වී ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් විසින් මරදාන පොලිසියට පැමිණිලි කර තිබේ.

ඩාලි පාරෙන් පදනම් ආයතනයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කළ අතර ඒ සඳහා ඔවුන්ට තෝරා ගැනීමට සිදු වී තිබුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ රැස්වීම පටන් ගැනීමට පෙර වෙනමම කාමරයකට කතාබහට එක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසකි.

විශේෂ කාමරයක සාකච්ඡා ඇරඹේ

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා, වීරකුමාර දිසානායක එම සාකච්ඡාවට එක්ව සිටියහ. එසේ බර සාකච්ඡාවකට ප්‍රවේශ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳීම සඳහාය.

අංගොඩ යවන්න ඕන කවුද?

මෙයාගේ ඇත්තටම මොළේ අප්සෙට් එකක් තියෙනවා.මෙයා අංගොඩ යන්න ඉන්නේ. අංගොඩ යන්න ඉන්න කෙනෙක් මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නේ කොහොමද? යනුවෙන් එක් නියෝජිතයෙකු සාකච්ඡාව ආරම්භ කළේය.

ලසන්තගෙන් චන්ද්‍රිකාට ඇමතුමක්

මේ වන විටත් ශ්‍රී ලංකා පදනම් ආයතනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන බල මණ්ඩල රැස්වීම සඳහා සූදානම් වී තිබූ අතර ඒ සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය පැමිණීමට නියමිතව තිබුණි.

“මැඩම්, තව පොඩ්ඩකින් එන්න. මං එන්න ඕන වෙලාවට කියන්නම්. ” යනුවෙන් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ ලසන්ත අලගියවන්නය.

චන්ද්‍රිකා එනතුරු මෛත්‍රීපාලට එරෙහිව තිබෙන චෝදනා ගැන යළි සාකච්ඡාව ආරම්භ විය. මෙහිදී එක් අමාත්‍යවරයෙකු අපූරු කතාවක් කීවේය.

බඩු මුට්ටු පොළවේ ගහන්නේ කවුද?

“ලොක්කා සමහර දවස්වල ගෙදර බඩු මුට්ටුත් පොළවේ ගහනවලු. මෛත්‍රී මහත්තයාගේ සිකියුරිටි එකේ එක්කෙනෙක් මගේ සිකියුරිටි එකේ එක්කෙනෙකුට කියලා තියෙනවා”යනුවෙන් එක් අමාත්‍යවරයෙකු පැවැසීය.

“අපි මේ ඉදිරිපත් කරන චෝදනා නිවැරදියි. ඇත්තටම මේ මනුස්සයා ලොකු පීඩනයකින් ඉන්න බවක් පේනවා. ” යනුවෙන් තවත් අමාත්‍යවරයෙකු පැවසීය.

“මෛත්‍රීපාල මහත්තයා තමන්ගේ මිනිස්සු ඉක්මනට අයින් කරනවා. ජනාධිපති වුණ වෙලාවේ ජනාධිපති ලේකම්වරුන් පස් දෙනෙක්ම පත්කළා. කොහොමද ඔහොම වැඩ කරන්නේ?” යනුවෙන් තවත් අමාත්‍යවරයෙකු ප්‍රශ්න කළේය.

“ඇයි, පෞද්ගලික ලේකම්වරුන් කීදෙනෙක් අයින් කළාද? සංස්ථා සභාපතිවරුන් කී දෙනෙක් අයින් කරලා දැම්මාද?”යනුවෙන් තවත් අමාත්‍යවරයෙකු විසින් එසේ ඉවත් කරන ලද කිහිප දෙනෙකුගේ නම් ද ඉදිරිපත් කළේය.

පාස්කුදා ප්‍රහාරයේ ප්‍රකාශය ගැනත් කතාබහක්

පාස්කු දා බෝම්බ ප්‍රහාරය ගැන මෛත්‍රීපාල සිරිසේන කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වුණු අතර, එම ප්‍රකාශය ද බොරුවක් බව මෙහිදී කතාබහ වුණි.

“ඇයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපිටම කිව්වානේ කවුරුවත් හම්බවුණේ නැහැ කියලා. දැන් එක පාරටම නින්දෙන් අවදි වෙලා වගේ පාස්කු ප්‍රහාරය ගැන අලුත් කතාවක් කියනවා.” යනුවෙන් එක් නියෝජිතයෙකු ප්‍රකාශ කරන විට තවත් නියෝජිතයෙකු සිනහවෙමින් ප්‍රකාශ කළේ “අපි මේ ඔළුවේ අමාරුවක් කියලා කියන එකේ කිසිම වරදක් නැහැ” කියාය.

මේ අතරතුර ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ලැබුණු ඇමතුම අනුව චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා පදනම් ආයතනය වෙත පැමිණි අතර ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය පිළිගැනීමට ගොස් සිටියහ.

මෛත්‍රී චන්ද්‍රිකා හමුවීමටත් ගිහින්

සාකච්ඡා කාමරයට පැමිණි චන්ද්‍රිකා සියලූම දෙනා විසින් පිළිගත් අතර චන්ද්‍රිකා අසුන් ගත්තේ මෛත්‍රී ගැන සිහිපත් කරමිනි.

“ඔය මෛත්‍රී කීපාරක් මගේ ගෙදරට ඇවිල්ලා, එන්න මැඩම් එන්න පක්ෂයට එන්න කියලා කිව්වාද? මං ඒ වෙලාවේ ආවනම් ඔයගොල්ලන්ට වුණු දේම තමයි ඔය මනුස්සයා මටත් කරන්නේ. මිනිහ ගැන මං හොඳටම දන්න නිසා මං ආවේ නැහැ. මෛත්‍රී ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ.” යනුවෙන් ප්‍රකාශ කරමින්ම චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය බර කතාවකට මුල පිරීම සඳහා හරිබරි ගැසී පුටුවේ අසුන් ගත්තාය.

“මෛත්‍රීට උදව් කරපු හැමෝම මිනිහා කපලා දැම්මා. අද ඊයේ නෙවෙයි. ඒ කාලේ ඉඳලම මිනිහගේ හැටි ඔහොමයි.

දැන් බලන්න 2015 දී ඡන්දෙට මෛත්‍රි වෙනුවෙන්ම එළියට බැහැල මහින්ද රාජපක්ෂලාත් තරහ කරගෙන වැඩ කරපු දුමින්ද දිසානායක කපලා දැම්මා. ෆයිසර් මුස්තාපා, එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෝලංගආරච්චි, මොරටුව හිටපු නියෝජ්‍ය නගරාධිපති සුජීව ඇතුළු නම් ලැයිස්තුවක් මගේ ළඟ පොතක ලියලම තියෙනවා” යනුවෙන් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

චන්ද්‍රිකාගේ ළඟ තියෙන CR පොත මොකක්ද?

“මැඩම් එහෙම කපපු නම් කොච්චර තියෙනවද?” යනුවෙන් එක් අමාත්‍යවරයෙකු විමසුවේ චන්ද්‍රිකාගෙනි.

“CR පොතක විතර නම් මගේ ළඟ තියෙනවා” යනුවෙන් චන්ද්‍රිකා මඳක් සිනාහසෙමින් පැවසුවාය.

“මට ඡන්දෙ ඉල්ලන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒත් මගේ අම්මයි, තාත්තයි හදපු මේ පක්ෂය විනාශ වෙලා යන්න දීලා මට බලාගෙන ඉන්න බැහැ. අනිත් එක ඔයගොල්ලන්ටත් ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගන්න. ඒක නිසා තමයි මං මේකට මැදිහත් වුණේ.”

“මැඩම්ගේ ආශිර්වාදය මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගන්න ඕන. අපිට පුළුවන් පක්ෂය ශක්තිමත්ව නිවැරදිව ඉදිරියට ගෙනියන්න” යනුවෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළහ.

නිමල්ගේ නම අමරවීර යෝජනා කරයි.. දුමින්ද ස්ථීර කරයි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ නම මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් විශේෂ දේශපාලන බල මණ්ඩල රැස්වීමට යෝජනා කළ අතර එය ස්ථීර කරන ලද්දේ දුමින්ද දිසානායක විසිනි.

මන්ත්‍රීවරුන් 40ක් ගන්න සැලසුම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්කර ගැනීමට කටයුතු කරන බවත්, මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් මෙම විශේෂ දේශපාලන බල මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා විය.

මැතිනියගේ උපන්දිනය දා මොකද වෙන්නේ?

මීට අමතරව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍ය දිවංගත සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දින සැමරුම මේ මස 17 වැනිදා BMICH හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ද මෙම දේශපාලන මණ්ඩල රැස්වීමේදී කතිකා කරගෙන තිබේ.

මෛත්‍රී, රනිල් හමුවෙලා

“අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා කියලා අපිට චෝදනා කරපු මෛත්‍රී මහත්තයා මීට දින කිහිපයකට කලින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හමුවෙලා එයාට අවශ්‍ය වැඩ ටික කරගෙන තියෙනවා” යනුවෙන් එක් අමාත්‍යවරයෙකු මෙහිදී ප්‍රකාශ කර තිබේ.

“ඇයි එයාගේ ටෙලිකොම් මල්ලිත් ගිහිල්ලා ජනාධිපතිතුමා හමුවෙලා කියලා ආරංචියි” යනුවෙන් තවත් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර ඇත.

“ඇයි, ජනාධිපතිතුමා විතරක් නෙවෙයි, මෛත්‍රී මහත්තයා හොර රහසේ ධම්මික පෙරේරාත් හම්බවෙලා තියෙනවා. ” යනුවෙන් තවත් අමාත්‍යවරයෙකු පවසා තිබේ.

“ධම්මික පෙරේරා මහත්තයා හොර රහසේ හම්බ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොර රහසේම විකුණන්නද දන්නේ නැහැ” යනුවෙන් තවත් අමාත්‍යවරයෙකු කළ ප්‍රකාශයට සියල්ලන්ටම සිනහ පහළ විය.

මෛත්‍රී රට ගියේ ඇයි?

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද එකින් එක වැඩි වෙද්දී විදේශගත වීමද බොහෝ දෙනෙකුගේ කථාබහට ලක්විය.

9 වැනිදා අලුයම මෛත්‍රී සිය පවුලේ සාමාජිකයින් සමඟ තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ. එම නව දෙනාට ආරක්ෂක නිලධාරියෙකු ද ඇතුළත් බව වාර්තා වේ. පවුලේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ මෛත්‍රීගේ කේන්ද්‍රය මේ දිනවල හොඳ නැති නිසා විදේශගත වී ඇති බවයි. තායිලන්තයේ සිට ද සිය දේශපාලන ක්‍රියාකාරකම් මෙහෙයවීමට ද මෛත්‍රී සූදානමින් සිටින බව ද වාර්තා වේ. තවත් ආරංචි මාර්ගයකින් වාර්තා වෙන්නේ අවුරුදු නිවාඩුව අවසන් වූ වහාම මෛත්‍රී මෙරටට පැමිණෙනු ඇති බවයි.

තෙල් පෝලිම් වෙනුවට රෙදි පෝලිම්

අලුත් අවුරුද්ද සමරන්න ආර්ථික නිදහස එක් කර දුන් ජනපති රනිල් ඉකුත් සති අන්තයේ සිටියේ කොළඹින් පිටතය. අවුරුද්දට ඇඳුම් ගන්න ජනතාව පොදී කෑම නිසා නගර බෝහෝමයක් මී මැසි පොදි සේ දිස්වන්නට වූහ.

විජයදාසගේ රැස්වීමට ගිය රනිල්ට මෛත්‍රි හමුවේ

අවුරුදු දෙකකට කලින් තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල සිටි ජනයා මෙවර ඇදුම් පෝලිම්වලට ආවේ ජනපති රනිල් වික්‍රමසිංහ ගත් දූරදර්ශි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනි. අලුත් සහල් මංගල්‍යයට අනුරාධපුරයට යාමට ප්‍රථම ජනපති සිකුරාදා සවස හිල්ටන් හෝටලය වෙත ගියේ විජයදාස රාජපක්ෂගේ නීතිඥ දිවියට වසර 40ක් සපිරීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වීමටය.

ජනපති එහි යන විට උත්සව ශාලාවට ප්‍රවිෂ්ට වන තැන තිබූ සෝපාවක අසුන් ගෙන සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. උත්සව ශාලාවට එන ජනපති එතන නතරවී හිටපු ජනාධිපතිවරයා පෙන්වා “දැන් මෙතුමා අලුතින් මොනවද කියන්නේ කියලා මිනිස්සු බලාගෙන ඉන්නේ. රටම අමාරුවේ වැටෙන කතානේ කියන්නේ.” යි කීවේ සැවොම කොක් හඩලද්දීය.

සම්ප්‍රදාය කැඩීමට අකමැති බව ජනපති රනිල් කියයි

ඒ අසලට සිටි චරිත හේරත් මන්ත්‍රීවරයාගේ ද පිටට තට්ටුවක් දමමින් ජනපති උත්සව ශාලාව තුළට ගියේ විජයදාස ඇමැතිවරයා ඇතුළු පිරිස සමඟය. පසුදා පෙරවරුවේ ජනපති ජයශ්‍රී මහ බෝසමිඳුන් අභියසට ගියේ අලුත් සහල් මංගල්‍යයට එක්වීමටය. අලුත් සහල් මංගල්‍යයට සහභාගී වන රටේ නායකයා හෝ වෙනත් අමුත්තකු උත්සව සභාව අමතන්නේ නැත. එය කාලාන්තරයක් තිස්සේ පැවැති සම්ප්‍රදායකි.

එය 2015 – 2019 කාලයේදි වෙනස් වූ බැවින් ඇමැති මහින්ද අමරවීර ජනපති රනිල්ට ආරාධනා කළේ සභාව ඇමතීමටය. එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ ජනපති රනිල් ඇමැති අමරවීරට කීවේ සම්ප්‍රදාය කඩන්න මම සුදානම් නෑ කියාය.

ගුරු පත්වීම් ගැන උතුරු මැදින් ඉල්ලීමක්

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ඒ අසලට පැමිණ ජනපති රනිල්ට ආචාර කොට බස්නාහිරට වගේම උතුරු මැදටත් ගුරු පත්වීම් දෙන්නැයි ඉල්ලීමක් කළේය. “මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා එක්කයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමිය එක්කයි කතා කරන්න. මමත් එයාලට කියන්නම්.” ජනපති කීවේ ඔහු සමඟ වෙනත් කතාවකට එක් වෙමිනි.

ජනපති රනිල්ගෙන් මනූෂට අපූරු යෝජනාවක්

එය අවසන් කළ ජනපති රනිල් කූබිච්චන්කුලම වැව් තාවුල්ලේ සංවිධානය කර තිබූ තරුණ හමුවට සහභාගී වූවේය. ඇමැති මනූෂ රැස්වීම මෙහෙයවීමේ කටයුතු කරගෙන ගියේ ඔහු ද හිටපු නිවේදකයෙකු වීම නිසාවෙනි. එහි සිටි දුමින්ද දිසානයකව ද ඊට සම්බන්ධ කර ගනිමින් ඔහු සභාව මෙහෙය වූවේය.

මනුෂ සභාව මෙහෙයවද්දී ජනපති රනිල් මනූෂට අපූරු යෝජනාවක් ගෙනාවේය. ඒ පැමිණ සිටින තරුණ, තරුණියන් අතරින් කිහිපදෙනෙකුට සභාව මෙහෙයවීමට අවස්ථාව දෙමුද කියාය. ඊට එක පයින් මනූෂ කැමති වෙද්දී ජනපති මයික්‍රෆෝනය රැගෙන සභාවෙන් විමසා සිටියේ නිවේදන කටයුතු කළ හැකි තරුණ, තරුණියන් සිටීනම් ඊට අවස්ථාව තිබෙන බව කියමිණි.

සවස තරුණ හමුව පැවැතියේ ද මහනුවර ජනාධිපති මන්දිරයේමය. ඊට අනුරාධ ජයරත්න, ලොහාන් රත්වත්තේ ද එක්ව සිටියෝය. ජනපති රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වූවේ මහනුවර නීතිඥවරුන් සමඟය. සඳුදා පෙරවරුවේ ජනපති රනිල් කොළඹ පැමිණ කෙලින්ම ගියේ කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම විවෘත කිරීමටය.

මැයි රැලිය ගැන ජනපතිගේ අවධානය

පක්ෂය ඒ සම්බන්ධයෙන් පවතින සූදානම ගැන වාර්තාවක් මහලේකම් වෙනුවෙන් ඉදිරිපත් කළේ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්ය. එහි සංවිධානයේ වැඩි බරක් පැවරුනේ කොළඹ දිස්ත්‍රික්කය වෙතය. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික­්ක වෙතද වගකීම් රැසක් පැවරුණු අතර සෙසු පළාත්වලද සංවිධාන ජාලය ශක්තිමත් කරන ලෙස උපදෙස් දුන්නේ ජනපති රනිල්ය.

සාර්ථක මැයි දිනයක් පැවැත්විය යුතු බවටත් ඉන් පසුව ක්‍රමිකව මැතිවරණ කටයුතු ආරම්භ කළ යුතු බවටත් ජනපති රනිල් පිරිසට උපදෙස් දුන්නේය. අවුරුදු නිවාඩුවෙන් පසු තමන්ට බාරදී ඇති දිස්ත්‍රික්ක වෙත ගොස් සංවිධාන කටයුතු ශක්තිමත් කළ යුතු බවද ඔහු කීවේය.

ජනපති රට ගොඩදාපු හැටි වජිර පෙන්වා දෙයි

“වැට් වැඩි කරන්න ජනාධිපතිතුමා කටයුතු කරන කොට අපිත් බය වුණා. ඡන්දය කරන්නේ කොහොමද කියලා. නමුත් විදුලි බිල වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලත් අඩුවීම නිසා අපිට දැන් බයක් නෑ. නිසි සැලසුමකට ගිය නිසා ජනතාවටත් රටටත් දෙපැත්තටම සෙතක් වුණා.” ඇමති මනූෂ ද කතාවට එකතු වූවේ එලෙසිනි.

“සියලු දෙනාම ඇඟ බේරා ගැනීමට කර අරිද්දි ජනාධිපතිතුමා මේ රට භාර ගත්ත නිසා අද මෙතනට රට ඇවිල්ලා තියෙනවා නැතිනම් අද ලංකාවක් නෑ. හාමතේ මැරෙන්න ගිය මිනිස්සුන්ව බේරා ගෙන නිදහසේ අවුරුද්දත් සමරන්න පුළුවන් වාතාවරණයක් හැදුවට මුළු රටම ජනාධිපතිතුමාට ණය ගැතියි.” මන්ත්‍රි වජිර කීවේ සැවොම හිස සලද්දීය.

“ඩොලරය ශක්තිමත් වෙන්නේ ණය ගෙවන්නේ නැති නිසා කියලා. දැන් විපක්ෂයේ සමහරු කියනවා. එයාලට මතක නෑ ගිය ආණ්ඩුව බංගලිදේශයෙන් ගත්ත ණයත් ජනාධිපතිතුමා සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර කළා කියලා.” රුවන් විජයවර්ධන ද හඬ අවදි කළේය.

“ඔව් අපි ණය ගෙවනවා. හැබැයි අපිට ණය ගෙවන්න සහන කාලයන් පවා දෙන්න රටවල් එකඟ වුණා. ජාත්‍යන්තර බැදුම්කර හැර අනෙක් සෑම ණයකම වාරික අපි පුරුදු පරිදි ගෙවාගෙන යනවා. ණය ගෙවන්න අපිට 2042 වෙනකම් කාලය ලැබෙනවා වගේම ණයෙන් කොටසක් අඩුත් වෙනවා. ඒක රටට වාසියක්. මේ හැම එකටම ස්තූති කරන්න ඕනේ හැමදෙයක්ම රට වෙනුවෙන් ඉවසපු ජනතාවටයි.” ජනපති රනිල් කීවේ හැගුම්බරවය.

රෙජී රණතුංගට යාපනයේදී සහතිකයක්

ඇමැති ප්‍රසන්න රණතුංග ඉකුත් සතියේදී යාපනයේ උත්සව කිහිපයකට සහභාගී විය. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා,රාජ්‍ය අමාත්‍ය කාදර් මස්ථාන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ල්ස්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද ඇතුළු පිරිසක් සහභාගී වූහ.

“මම ඉස්සෙල්ලම වැඩ කළේ ඔබතුමාගේ තාත්තා එක්ක” ආණ්ඩුකාරවරිය කීය.

“ඒ කවද්ද” පුදුමයට පත් ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ඇසීය.

“ඔබතුමාගේ තාත්තා කාලයක් පුනරුත්ථාපන ඇමැතිවෙලා හිටියා. ඒ කාලෙ මම වව්නියාව ප්‍රාදේශීය ලේකම්. තාත්තා පුනරුත්ථාපන වැඩටික පුදුම කැපවීකින් කළා. ඔබතුමාත් දැන් වැඩකරන්නෙ එහෙම තමයි” ආණ්ඩුකාරවරිය ප්‍රසිද්ධියේම කීවාය.

ඇමැති දේවානන්ද­ාගෙන් තෝසේ සංග්‍රහයක්

“ගෙදරදි කොච්චර තෝසේ කෑවත්, යාපනේ ඇවිල්ල තෝසේ නොකා යන්න අමාරුයි ඇමැතිතුමා” ඇමැති ප්‍රසන්න, ඇමැති ඩග්ලස්ට කීය.

“හරි.. මම ගානේ අද දවල්ට තෝසේ කමු”කී ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා “අම්මච්චි” හෝටලයෙන් ඇමැති ප්‍රසන්න ඇතුළු පිරිසට දිවා ආහාරයට තෝසේ රැගෙන දුන්නේය.

මහින්දගෙන් අවසර ගත් ප්‍රසන්න රනිල්ගේ උත්සවයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තකහනියේම පසුගිය සඳුදා රැස්විය.

“සර්… මට ජනාධිපතිතුමාගේ උත්සවයක් තියෙනවා. මම ඒකට ඉන්නම ඕන” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කී ඇමැති ප්‍රසන්න වැඩිවේලාවක් නොසිට දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පිටවිය.

“මාර වැඩේ ඇමැතිතුමා මගෙන් මීඩියා අහනව ඔබතුමා වේලාසන ගියේ මණ්ඩලේ කචල් නිසාද කියලා”ටිකවේලාවකට පසුව පොහොට්ටු ලේකම් සාගර දුරකතන ඇමතුමක් දෙමින් ඇමැති ප්‍රසන්නගෙන් විමසීය.

“නෑ… එහෙම දෙයක් නෑ .මම මහින්ද මහත්තයට කියල ආවේ.” ඇමැති ප්‍රසන්න කීය.

අලි – පොහොට්ටු සන්ධානයක්

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන සන්ධානයක් බිහිකිරීමට සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවයි.

එදා තෙල් බවුසර් එනකොට අත්පුඩි ගහපු හැටි වජිර සිහිපත් කරයි

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ ක්‍රීඩා උත්සවයකට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහභාගි වුණා. මීට අවුරුදු 2කට පමණ කලින් ඔබට ක්‍රීඩා කරන්න පුළුවන් වාතාවරණයක් රට තුළ තිබුණේ නැහැ. ඔබ හිටියේ පෙට්‍රල් පෝලිමක, එහෙමත් නැතිනම් ගෑස් පෝලිමක. එදා ඔබ අත්පුඩි ගැහුවේ පෙට්‍රල් බවුසරයක් එනවා දැක්කම. නමුත් අද ඔබ අත්පුඩි ගහන්නේ සතුටු වෙන්නේ මේ විදිහේ ක්‍රීඩා තරඟයක් නරඹනවිට.

කොහොමහරි කමක් නෑ එදා තිබුණු තත්ත්වය ඉතාමත් කෙටි කාලයක් තුළ වෙනස් කරන්නට හැකියාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකත්වය මේ රට භාරගත් නිසයි. එතුමා මේ රට භාරගෙන තිබුණු තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කළා“ යනුවෙන් වජිර අබේවර්ධන එහිදී ප්‍රකාශ කළේය.

මාලිමාවට නලීන් බණ්ඩාරගෙන් තවත් අභියෝගයක්

සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයකට එන ලෙස ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කළ අභියෝගය විශාල කතාබහකට ලක්වී තිබෙනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මන්ත්‍රීවරුන්ගේ හමුවක් අවසානයේදී ජේ. සී අලවතුවල මන්ත්‍රිවරයා කීවේ නලින් කරපු අභියෝගය ජාතික ජන බලවේගය බරපතළ අර්බුදකාරී තත්ත්වයකට ගෙන එන්නට හේතුවක් වුණ බවයි.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේ – “දැන් මේගොල්ලන්ට විවාදයේ මුල මැද අග අමතක වෙලා. විවාදය ගැන ඔවුන් කරන ප්‍රකාශ හරියට කෝඳුරු හත් පට්ටයකුත් තවත් තෙල් බිංදුවක් ඕන කියන ජන වහර වගෙයි.”

සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් ඇහුවේ ‘‘මොකද මන්ත්‍රීතුමා එහෙම කියන්නේ”

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේ – “අපි විවාද කරමු කිව්වේ කබීර්, ඉරාන්, හර්ෂ සමඟ සුනිල් හඳුන්නෙත්තිට, අනිල් ජයසිංහට සහ සීතා බණ්ඩාරට. ඊට පස්සේ හඳුන්නෙත්ති කියනවා නැ නැ අපි විවාදය සජිත් සහ අනුර අතර කරමු කියලා. දැන් හරිනි කියනවා විවාදයට රනිලුත් එන්න ඕන කියලා. ඒ කියන්නේ මේක කෙරන විවාදයක් නෙවෙයි. ඔවුන්ට නිසි වැඩ පිළිවෙළක් නැහැ කියලා ජනතාවට පෙන්වන්න අපි මේක හොඳ අවස්ථාවක් කර ගනිමු” යනුවෙන් ද නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අජිත් රාජපක්ෂට නම්බු නාමයක්

“අපේ නියෝජ්‍ය කථානායකතුමාට අලුත් නම්බු නාමයක් දෙන්න ඕන. කාගේත් දුක්ගන්නාරාල කියලා. අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රිතුමා වෙනුවෙන් අරමුදලක් හැදීමටත් මුල්වුණේ නියෝජ්‍ය කථානායකතුමා. එතකොට මේ නන්දසේන මන්ත්‍රීතුමාගේ අසනීප තත්ත්වය වෙනුවෙන් මුදල් එකතු කරන්න මැදිහත් වුණෙත් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකතුමා” යනුවෙන් එක් පාර්ලිිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළ අතර අනෙක් සියලුම මන්ත්‍රීවරුන් ඒ කතාව ඒකමතිකව අනුමත කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division