Home » එයා නිතරම කියන්නේ ඔයා නම් සීරියස් තාත්ති කෙනෙක් වෙන්න එපා කියල

එයා නිතරම කියන්නේ ඔයා නම් සීරියස් තාත්ති කෙනෙක් වෙන්න එපා කියල

by thanushika
April 13, 2024 12:30 am 0 comment

දශක දෙකකට පෙර පුංචි තිරයට ළමා නාට්‍යක් ලෙසින් එකතු වූ පුංචි වීරයෝ නාට්‍ය එදා වගේම අදටත් බොහෝ දෙනෙකුට මතක යි. එහි එක පුංචි වීරයෙක් තමයි ලක්ෂාන් වත්තුහේවා කියන්නේ. ලක්ෂාන් දැන් ඉඳහිට ටෙලිනාට්‍ය නිර්මාණවලින් දුටුවත් ඔහු දක්ෂ පිටපත් රචකයෙක්. මේ දිනවල විකාශය වෙන ‘සිත නිදි නෑ‘ නාට්‍යයේ පිටපතත් ඔහුගේ අතින් ලියැවුණු එකක්. ලියන්නත් රඟපාන්නත් දක්ෂ ලක්ෂාන් ඔහුගේ තොරතුරු කතා කරන්න අපත් සමඟ එක් වුණා.

ලක්ෂාන් වත්තුහේවා කියන නමට වඩා තවම ප්‍රතිචාර ලබන්නේ පුංචි වීරයෝ නාට්‍යයෙ තීක්ෂණගේ චරිතයට කිව්වොත්..?

ඒක හරි. පුංචී වීරයෝ නාට්‍ය එක්ක තියෙන මතකය වැඩියි. රූපයේ ලොකු වෙනසක් නැති නිසා කවුරුත් වගේ මාව අඳුරගන්නවා. ඒ වගේම පහුගිය කාලේ කරපු නාට්‍යවලටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා , රාජිනි නාට්‍යයේ ඩොක්ටර් ශාරද, සීසර් එකේ මාධ්‍ය ලොක්කා ඒ චරිතවලටත් ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම කිව්වොත් මම ගොඩක් වෙලාවට තිරයෙන් පිටි පස්සේ ඉන්න කෙනෙක්.

ඔබ ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක පිටපත් රචකයා..?

පිටපත් රචකයෙක් හැටියට මාව ලොකුවට හයිලයිට් වෙලා නැහැ කියලා හිතෙනවා. නමුත් ෆීල්ඩ් එකේ අය මාව හොඳින් දන්නවා. රාජීණී නාට්‍යයේ යූටියුබ් කමෙන්ට් ස් බැලුවම මට ඒක තේරෙනවා. සමහර අය කමෙන්ට් කරලා අහ්… මේ ඩොක්ටර් ශාරදනේ කතාව ලියන්නෙ කියලා. ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දි හරි සතුටක් දැනෙනවා. නළුවෙක් හා පිටපත් රචකයෙක් කියන දෙක ගත්තොත් ප්‍රතිශතයක් හැටියට වැඩිපුර ප්‍රතිචාර එන්නේ මම ඇතුළේ ඉන්න රංගන ශිල්පියාට.

දැන් ගුරු භූමිකාව අත හැරලද..?

තවම මම ඉගැන්වීම් කටයුතු කරනවා. දැන් කොතලාවල විශ්වවිද්‍යාලයෙ කථිකාචාර්යවරයකු විදිහට කටයුතු කරනවා. ඒ වගේම සිංහල ගුරුවරයෙක් හැටියට පුද්ගලික පන්ති කරනවා. මගෙන් ඉගෙන ගන්න සැලකිය යුතු සංඛ්‍යාවක් පන්තියට එනවා

ඔබේ ආදරණීය බිරිඳ නිහඬ චරිතයක්, ඇය කොහොමද ඔබේ කලා ජීවිතේට සහය දෙන්නෙ..?

ඒක ඇත්ත මගෙ බිරිය ලක්ෂී හරිම නිහඬ කෙනෙක් . ඇයව මුලින්ම දකින්නෙ උසස් පෙළ පන්තිවලට සම්බන්ධ වෙද්දී. ඒ වෙද්දී එයා මගේ රසිකාවියක් ලු. පුංචි කාලේ ඉදලා ක්ලාස් එකේදි දැක්කම එයාට ඕන වෙලා තියෙනවා හිතවත්කමක් ගොඩනඟා ගන්න. ඊට පස්සේ අපි යාළුවෝ. එතැනින් එහාට විශ්වවිද්‍යාලයෙදි වෙල්කම් එකෙදි නැවත මුණ ගැහුණා. එකට නටන්න ගිහිං තමයි යාළුකම දුර දිග ගියේ. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ අපි විවාහ වෙනවා. අපිට දුවක් ඉන්නවා, එයා සසෙන්‍යා ලක්ෂේන්ද්‍රි වත්තුහේවා. දැන් එයාගේ වයස අවුරුදු අටයි. මේ පුංචි පවුල හොඳින් බලා ගන්න බිරිඳ තමයි වෙහෙස ගන්නේ. ඒ නිසා ඉබේටම ලියන්න රඟපාන්න මට අවකාශය හැදිලා තියෙනවා

කටකාර පුංචි දෝණී තාත්තාගේ නළු ජීවිතේ ගැන සතුටින් ද..?

එයා හරියට admire කරනවා මගේ කලා කටයුතු ගැන. පුංචි දුවත් එක්ක මම හරි සමීපයි. දුවව ඉස්කෝලේ ඇරලවන්නේ මම. වැඩිම වෙලාවක් එයා එක්ක ගත කරනවා. එයා නිතරම කියන්නේ තාත්තී ඔයා නම් සීරියස් තාත්තී කෙනෙක් වෙන්න එපා කියලයි.

ලක්ෂාන් කියන්නේ සාහිත්‍යමය වටිනාකම් නිර්මාණ සඳහා දිය හැකි රචකයෙක්. ඇයි ඔබේ ලියැවිල්ලත් වාණිජමය පරමාර්ථයට යට කරන්නේ..?

ඒකට හේතු ගොඩක් තියෙනවා. ආයතනවලින් ඉල්ලන නිර්මාණ අපිට දෙන්න වෙනවා. ඒ වගේම අපි ලියන්න කැමති විදිහෙ නිර්මාණත් කරන්න පුළුවන් අවස්ථා එනවා. මමත් ක්ලැසික් පැත්තට බර කෙනෙක්. එහෙම වැඩක් කරන්න ලැබුණොත් මම බොක්කෙන්ම කරනවා. ලංකාවේ සිස්ටම් එකට අපිට අනුගත වෙන්න සිදු වෙනවා. අවර ගණයේ නිර්මාණ කළත් ඒවා ඕඩියන්ස් එක ප්‍රතික්ෂේප කරනවා නම් ඕඩියන්ස් එක ඉල්ලන්නෙ මොනවද කියන රහ තේරුම් අරන් එය ඕඩියන්ස් එකට දෙන්න වෙනව. එතැනදි ලියන අපි දැනගන්න ඕන ඒ අස්සේ කොහොමද හරවත් වචන භාවිතා කරන්නේ කියලා , මම කරන්නේ මුල් ටික ඕඩියන්ස් එක ඉල්ලන විදිහට ලියලා ඒ අස්සේ වටිනාකම දෙන්න , එහෙම මම ලියූ සිදු නාට්‍යයේ දෙබස් එහෙම පාර්ලිමේන්තුවේ පවා කතාබහට ලක් වුණා, ඉතිං ඉල්ලන ක්‍රමය වෙනස් කරන්න ගිහිං අපිට ඉල්ලන් කන්න වෙන්නේ, ඒ නිසා ක්‍රමය ඇතුළේ ඉඳලා ක්‍රමය වෙනස් කරන එකයි කරන්න ඕන. මම කරන්නේ ඒක.

ඔබේ පළමු නව කතාව මිහාරා ළඟදීම පුංචි තිරයට ගෙන එනවා කියලා ආරංචියි ..?

මුල් කාලේ ලියපු පැණි පොතක් මිහාරා කියන්නේ. ඒත් මිහාරා බොහෝ දෙනෙක් අතරට ගියා. කතාබහට ලක් වුණා. මම මේක ටෙලිනාට්‍යක් කරන්න අදහස් කරගෙන මීට වසර 12ට කලින් තමයි පිටපත ලියන්නේ, දවසක් නිරෝෂන් ඉලේපෙරුම අයියා පිටපට ඉල්ලගෙන කියෙව්වා. ඊට පස්සේ මම මේක කරන්නම් මල්ලි කිව්වා. මම හරි කැමැත්තෙන් ඔහුට දුන්නා, දැන් එහි නිෂ්පාදන කටයුතු සූදානම් කරලා තියෙන්නේ ,

පුංචි වීරයෝ කණ්ඩායම දැන් දුරස් වෙලාද..?

දෙව්මී හා හර්ෂ අමෙරිකාවේ. තේජානි ඔස්ට්‍රේලියාවේ, මමයි තාරකයි තමයි ලංකාවේ ඉන්නේ. අපේ යාළුකම් එහෙමමයි. වෙනසක් නැහැ , ඒත් හැමෝම කාර්යබහුල ජීවිතේ එක්ක එක එක තැන. කට්ටියම එකතු වෙලා වැඩක් කරන්න අදහසක් තියෙනවා . බලමු.

අවුරුදු 24 ට පෙර බිහි වූ පුංචී වීරයෝ තවම කාගෙත් හදවත්වල ඉන්නවා, ඒ ගැන ලක්ෂාන්ට සතුටු ඇති ..?

අවුරුදු 25ක් පිරෙනවා ලබන අවුරුද්දට. ඒ කාලේ බලපු අය දැන් විවාහකයි, දරුවොත් ඉන්නවා. ඒත් පුංචි වීරයෝ මතකය ඔවුන්ගේ මතකයෙන් ගිලිහිලා ගිහිං නැහැ. දැන් පරම්පරාවේ අයත් බලලා ප්‍රතිචාර දක්වනවා. ඒ ගැන හරි සතුටුයි

 හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division