Home » මගේ ෆෝන් එක මේ අවුරුදු දාහත‍ෙරම වයිෆ් අතේ තියෙන්නේ

මගේ ෆෝන් එක මේ අවුරුදු දාහත‍ෙරම වයිෆ් අතේ තියෙන්නේ

දිනේෂ් තරංග

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– මම මා එක්කම ෆයිට් කරලා ස්ථාවර තැනකට ඇවිත් ඉන්නවා
– මගේ අධිෂ්ඨානයෙන් ශක්තියෙන් හිට ගනිද්දී හැමදාම හෙවණැල්ල වගේ බිරිඳ මා එක්ක හිටියා

දිනේෂ් තරංග කියන්නේ මුළු ලංකාවම දන්න ආදරණීය ගායකයෙක්. ඒ එක්කම දිනේෂ් – රැන්ඩෙලා ආදර කතාවත් එක්කම දිනේෂ්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳවත් විටින් විට සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්වෙනවා. කොහොම නමුත් සුන්දර ආදරණිය පවුල් ජීවිතයක් ගත කරන දිනේෂ් තරංග මේ කාලේ මොනවද කරන්නේ කියලා දැන ගන්න ඔහු හා කළ කතාබහයි මේ.

මේ දවස්වල මොනවද වෙන්නෙ?

මගේ අලුත් සින්දුවක් එන්න තියෙනවා. මේ වෙද්දී එහි ටික් ටොක් කට් එක අවුට් කරලා තියෙන්නේ. ඒ හැර මේ දවස් ටිකේ තියෙන ප්‍රසංග වලට සහභාගි වෙනවා. ඒ දේවල් එක්ක කාර්‍යබහුලව කාලය ගත වෙනවා. තව මගේ තුන්වෙනි ඩ්‍රාමා එක එන්න තියෙනවා ‘ද ටාර්ගට්‘ කියලා.

අලුත්ම සින්දුව ගැනත් කියමුද?

සින්දුවේ ටයිටල් එක වෙන්නෙ “මේ හිත පාර පාර”. හැමදාම වගේ උදේශ් ආර්යන් පදරචනය කළේ. සංගීතය අසීර ප්‍රනාන්දු. සින්දුවට ගැළපෙන විදිහට ලස්සනටම වීඩියෝ එක කළේ හිරාන් චන්ද්‍රසේන.

කවුද දිනේෂ්ගෙ හිත පෑරුවේ?

ඒ ප්‍රශ්නයට නම් උත්තරය අහන්න ඕනේ උදේශ්ගෙන්. උදේශ් තමයි හැමදාම ඔය වගේ කතන්දර ලියන්නෙ. උදේශ් ආර්යන් කියන්නෙ හදවතේ රචකයා. ලෝබ නැතුව මට පද රචනාවලින් උදවු කරන කෙනෙක්.

කොහොමද මේ දවස්වල ප්‍රසංග නිසා සරුද?

අප්‍රේල් මාසේ කියන්නේ ඕනෙම කලාකරුවෙක්ගේ කාර්යබහුලම මාසයක්. මේ මාසේ මාලදිවයිනේ සංචාරයකුත් තියෙනවා. මම සහ වයිෆ් සහභාගී වෙන පළමු විදෙස් සංචාරයත් මේ අවුරුද්දෙම සිදු වෙනවා. මින් පෙර පෞද්ගලික සංචාර ගිහින් තිබ්බත් ප්‍රසංගයකට අපි දෙන්නම සහභාගී වෙන පළමු අවස්ථාව.

ගායකයෙක් වෙලානේ නළුවෙක් වෙන්නේ, සින්දු කියන එකද ලේසි රඟපාන එකද?

සින්දු කියන එක ලේසියි. මොකද ඒ දේ ඇ‍ෙඟ්ම තියෙන දේ නිසා. රඟපෑම කියන එක හදාරමින් උත්සාහ කරනවා රංගනයට සාධාරණයක් කරන්න. ඒ උණත්, ආසාවත් සික් එක තියෙන නිසා තමයි රඟපෑමට පොඩ්ඩක් කකුල තියලා බැලුවේ.

ගායකයෙක් වෙලා නළුවෙක් වෙද්දී කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තම කියනවා නම් ගායකයෙක් විදිහට නම් සීයට සීයක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මගේ මියුසික් වීඩියෝ හැම එකකම වගේ රංගනයෙන් දායක වෙන්නේ මමමයි. නමුත් මියුසික් වීඩියෝ කලාව එකක් ටෙලි නාට්‍යය කලාව තව එකක්. ටෙලි නාට්‍යය කියන තැනට ආවම මට දෙබස් කියන්න තියෙනවා. ඒ නිසා රංගනයට දැනට සීයට පනහ පනහ වගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවමත් මම මේ ගමන හදාරමින් යන නිසා ලැබෙන ප්‍රතිචාර ගැන සතුටක් තියෙනවා.

ගායන ලොවේ හෝ තිරයේ පෙම්වතුන් වෙනවා වගේ නෙවෙයි සැබෑ ජීවිතේ හොඳ පෙම්වතෙක් සැමියෙක් වෙන එක. දිනේෂ් තරංග කියන්නේ නම් සැබෑ ජීවිතෙත් හොඳ පෙම්වත් සැමියෙක්. කොහොමද ඒ ආදරේ එක්ක යන ජිවිතේ?

ඒ ආදරේ එක්ක ගෙවන ජීවිතේ ගොඩක්ම සුන්දරයි. මේ දෙසැම්බර් පළමු වනදාට අපේ ආදර කතාවට අවුරුදු 14ක් වෙනවා. ගොඩක් සතුටින් ඒ ආදරේ එක්ක මගේ පවුල් ජීවිතේ සහ කලා ජීවිතේ ගත කරගෙන යනවා.

ඔය අවුරුදු 14ටම එකම සැරයයිද ෆෝන් එක දීලා ගියේ. ඒ දවසේ ද ප්‍රශ්නයක් වෙලා තිබ්බේ?

ඔව්. ඔව්. ඒ වගේ ප්‍රශ්නයක් වුණු එකම පාර.

ඒ කියන්නේ ආයේ ෆෝන් එක දීලා ගියේ නැද්ද?

මගේ ෆෝන් එක මේ අවුරුදු දාහත‍ෙරම වයිෆ් අතේ තමයි තියෙන්නේ. මගේ සෝෂල් මීඩියා ඔක්කොටම රිප්ලයි කරන්නෙත් එයා. මේ වෙද්දීත් එයා මා එක්ක ප්‍රසංගයකට යන ගමන්.

බිරිඳ කවදාවත් තහංචි පනවලා නැද්ද?

ඉස්සර තහංචි තිබුණා. දැන් නම් නැහැ. මගේ නිදහස මට උපරිමයෙන් දීලා තියෙනවා. අද වුණත් කියන්නේ ඔයා යන තැනක ඔයාගේ ජොබ් එක හොඳින් කරලා ගෙදරට එද්දී ඔයා මගේ කියන එක විතරක් මතක තියා ගන්න කියලා. මුලදී තිබ්බ තහංචි දැන් මුකුත් නැහැ. රංගනයේ දී ඒ නිර්මාණය වෙනුවෙන් යම් දෙයක් කරන්න සිදු වුණොත් ඒ දේවල් මට කරන්න සම්පූර්ණ නිදහස දීලා තියෙන්නේ.

ආපස්සට හැරිලා බලද්දී ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

මම අද ඉන්නේ හරි ස්ථාවර තැනක. මගේ මුල් කාලේ ගත්තම මම ආස කරන දේවල් කර ගන්න බැරි කාලයක් තිබ්බා. අද මම මට ආස කරන ඕනෙම දෙයක් කර ගන්න පුළුවන් තැනකට ඇවිත් තියෙනවා. මම මා එක්කම ෆයිට් කරලා ස්ථාවර තැනකට ඇවිත් ඉන්නවා. මම හිතනවා මම ඇතුළු මගේ බිරිඳ සහ දරු දෙන්නා. අපි හැමෝම මේ වෙනකොට සතුටින් කාලය ගත කරනවා. මගේ අධිෂ්ඨානයෙන් ශක්තියෙන් හිට ගනිද්දී හැමදාම හෙවණැල්ල වගේ බිරිඳ මා එක්ක හිටියා.

දිනේෂ්ට මේ කාලේ තව තියෙන ඉලක්ක අරමුණු මොනවද?

ඇත්තම කියනවා නම් මගේ ජීවිතේ අරමුණු ඉලක්ක තියා ගන්නෙ මගේ නිර්මාණ එක්ක. මගේ ස්ථාවරත්වය රඳවා ගන්න නම මම මට ආදරේ කරන මිනිසුන්ට හොඳ නිර්මාණයක් දිය යුතුයි. ඒ නිසා නෙක්ස්ට් ස්ටෙප් එක මොකක් ද කියන එකත් එක්ක තමයි මම මා එක්කම ෆයිට් කරන්නේ.

මේ අවුරුද්දේ තව නිර්මාණ එන්න තියෙනවද?

මේ වෙද්දී මම ටෙලි නාට්‍යය දෙකක මියුසික් කරලා තියෙනවා. තව මේ අවුරුද්දට එළිදක්වන්න සින්දු තුනක් ලැයිස්තගත වෙලා තියෙනවා.

ව්‍යාපාර පැත්තකුත් තියෙනවා නේද?

ඒක මම නිශ්ශබ්දව හිමීට කරගෙන යන දෙයක්. ඒක මම ලොකුවට හයිලයිට් කරන්නේ නැහැ. මියුසික් කියන ක්ෂේත්‍රය හැමදාම ස්ථාවරව නැහැ. හොඳම උදාහරණය තමයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සහ කොවිඩ් වසංගත කාලය. ඒ කාලය තුළ ඇතිවුණු පසුබෑම අපි හැමෝටම තියෙනවා. ඒ නිසා පුළුවන් කාලේ බිස්නස් එකක් කරලා ආර්ථිකය ශක්තිමත් කර ගන්න මම හැම තිස්සෙම උත්සාහ කරනවා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division