Home » “දවසකට මට කුඩු පැකට් 40ක් ඕනේ”

“දවසකට මට කුඩු පැකට් 40ක් ඕනේ”

රාගමින් ඇල්ලු මත්ලෝලියෙක් පොලිසියට කළ හෙළිදරව්ව

by thanushika
April 13, 2024 12:30 am 0 comment

එදා-මෙදා තුර අප අසා තිබූ මත්ලෝලින්ගෙන් දිනකට හෙරොයින් පැකට් හතළිහකටත් වැඩි ප්‍රමාණයක් පානය කළ පුද්ගලයෙකු පිළිබඳව පසුගියදා රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා විය. මෙලෙස අසීමාන්තිකව මත්කුඩු පානය කිරීමට ඔහු තෝරාගෙන තිබූ පහසුම වෘත්තීය ගෙවල් බිඳීමය.

2010 වසරේ සිට මේ දක්වා රාගම පොලිස් බලප්‍රදේශය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශවල ද ගෙවල් බිඳුම් සිදුකර රන් ආභරණ, විදුලි උපකරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරාගෙන ඇති මෙම සැකකරු වයස අවුරුදු 16දී පමණ මතට හුරු වී තිබේ.

මේ වන විට වයස අවුරුදු 30ක පුද්ගලයෙකු වන මොහු රාගම ප්‍රදේශයේ උපන් අයෙකු වුවද ස්ථීර ලිපිනයක් හෝ මවුපියන් පිළිබඳව කිසිම තොරතුරක් තමන් නොදන්නා බව ඔහු පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ව වේ.

රාගම පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරියෙකුට පසුගිය 30 වනදා ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් රාගම තුඩුවේගෙදර ප්‍රදේශයට ගොස් නිවසක් වටලා ඇත. ඒ අවස්ථාවේදී නිවසේ සැඟව සිටි අයෙක් පොලිසිය මගහැර පලායාමට තැත් කළ ද ඔහුගේ උත්සාහය පොලිස් නිලධාරීන් ඉදිරියේ ව්‍යර්ථවීමෙන් පසුව පොලිසිය සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන තිබුණේ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සමඟිනි.

පොලිසියට රැගෙන ආ සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඉදිරියේ මේ සැකකරු තමන් පුරා වසර 15කට වැඩි කාලයක් මුළුල්ලේ සිදු කළ කොල්ලකෑම් සහ ඒ වෙනුවෙන් සිරබත් කෑ හැටි ද පාපොච්චාරණය කර තිබුණේ තමන්ට දිනකට හෙරොයින් පැකට් හතළිහක් පානය කිරීමට අවශ්‍ය බව හෙළි කරමිනි.

“අනේ සර් මම ඇත්ත කියන්නම්… මට කුඩු නොබී ජිවත් වෙන්න බැරි නිසයි ගෙවල්වලට පැනලා හොරකම් කළේ… එකක් දෙකක් නෙවි සර්… මට දවසට හෙරොයින් පැකට් හතළිහක්වත් බොන්න ඕනේ. කුඩු නැතුව මට එක මොහොතක් ඉන්න බැරි නිසයි මම හොරකමේ යන්නේ. මීට කලින් වතාවකත් මම පොලිසියට අහුවුණා. වරද පිළිඅරන් අච්චු වින්දා.“

“මහර බන්ධනාගාරේ අරගලය ඇති වුණු වෙලේ මම හිටියේ ඒ හිරගෙදර. මාව දන්න සමහරු හිතුවෙ ඒ අරගලෙන් මම මැරිලා කියලා. ඒත් මම ‘අච්චුව ඇදලා’ එළියට ආවා සර්. හිරේ ලැග්ගත් මට බැරි වුණා මේ පුරුද්ද අත්හරින්න. ආයෙත් මම හොරකමේ යන්න පටන්ගත්තෙ කුඩු බොන්න සල්ලි හොයන්න සර්…“ යැයි සැකකරු පොලිසියට එලෙස පවසා තිබුණේ හිරගෙදර වසර ගණනක් අච්චු වින්ද ද මිතුරන් ඇසුරේදී තමා නැවත මත්කුඩු පානයට හුරු වූ බව පොලිසියට පවසමිනි.

පොලිස් නිලධාරීන් ඉදිරියේ සැකකරු සිය ‘අතීත කතාව’ පවසද්දී නිලධාරීන් විස්මයට පත්ව සිටියේ මෙතෙක් කළ වැටලීම්වලදී දිනකට හෙරොයින් පැකට් හතළිහක් බොන අයෙක් අත්අඩංගුවට ගත් බවක් මතකයේවත් නැති නිසා විය හැකිය.

පොලිසියෙන් බේරී පලායාමට නොහැකිව විලංගු වැටුණු සැකකරු පසුගිය කාලයේ රාගම පොලිස් බල ප්‍රදේශය තුළදී නිවෙස් දෙකකින් සොරාගත් රන් ආභරණ, මුදල් සහ වටිනා විදුලි උපකරණ පිළිබඳව ද ඔහුට එම රන් ආභරණ මුදල් කර ගැනීමට සහාය දුන් සිවුදෙනකු පිළිබඳව ද පොලිසියට කරුණු හෙළි කිරීමෙන් පසු පොලිසිය එම සැකකරුවන් සොයා ගොස් ඔවුන්ද පොලිස් භාරයට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළි කර තිබුණේ 2010 වසරේ සිට මේ දක්වා තමන් කළ සොරකම්වලින් උපයාගත් මුදලින් අසීමාන්තිකව හෙරොයින් පානය කළ බව සහ මීට පෙර මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන බන්ධනාගාර ගතවී අච්චු විඳි බවය. පසුව නිදහස ලබා පැමිණ නැවත සුපුරුදු රැකියාවේ යෙදුණු බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ස්ථීර ලිපිනයක් නොමැති මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් පොත්වල සඳහන්වී ඇති අපරාධ වාර්තා සියල්ල පොලිස් නිලධාරීන් විසින් මේ වන විට සොයාගෙන ඇත.

සැකකරු ඉකුත් 2010 වසරේදී සිදු කළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ලබාගත් ඇඟිලි සලකුණු සහ මෙවර ඔහුගෙන් ලබාගත් ඇඟිලි සලකුණු සමාන බව තහවුරු වී ඇත. මෙතෙක් ඔහු විසින් සොරාගෙන තිබු විදුලි උපකරණ ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් රාගම ප්‍රදේශයේ බෝඩිමක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

පසුගිය පෙබරවාරි මස 27 වනදා රාගම, නාරංගොඩ පාළුවේ නිවසකට ඇතුළු වී රුපියල් හයලක්ෂ හතළිස්හයදහසක දේපළ සොරාගෙන ඇති සැකකරු මාර්තු මස 28 වනදා රාගම කුරුකුලාව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රුපියල් හත්ලක්ෂ දසදහසක දේපළ සහ මුදලින් රුපියල් ලක්ෂ හතරක් සොරාගෙන තිබිණි.

සොරාගත් මුදලින් රුපියල් ලක්ෂ දෙකක මුදලින් “ඩිස්කවරි” වර්ගයේ යතුරුපැදියක් මිලදී ගෙන ඇත. ඉතිරි ලක්ෂ අටකට ආසන්න මුදල් ද රන් භාණ්ඩ උකස් කර ලබාගත් මුදල් ද වැය කරමින් සැකකරු අසීමාන්තික ලෙස හෙරොයින් පානය කර ඇත.

නිවෙස්වලින් සොරා ගත් රන් ආභරණ පවුම් එකොළහකට වැඩි බරකින් යුතු බව පවසන පොලිසිය උකස් මධ්‍යස්ථාන වෙත ගොස් ඒවා හොර බඩු බව පහදා දී පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු නිතර ගමන් පහසුව සඳහා යොදා ගත් ත්‍රීරෝද රථයේ හිමිකරු බව කියන සැකකරුගේ බාප්පා සහ රන් ආභරණ උකස් කිරීමට සහාය දුන් තොටළඟ ප්‍රදේශයේ කාන්තාවක් ද පිරිමි පුද්ගලයන් තිදෙනෙකුද පසුගිය 31 වනදා රාගම පොලිසිය විසින් සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුට සහාය දුන් කාන්තාව සහ පිරිමි පුද්ගලයන් තිදෙනා ද කොල්ලකෑමට ආධාර අනුබල දෙමින් ප්‍රවාහන පහසුකම් සලසා දුන් ත්‍රීරෝද රථයේ හිමිකරු ද ප්‍රධාන සැකකරු ද පසුගිය 31 වනදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය සහ කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. වයි. බැසිල් ක්‍රිෂාන්තගේ උපදෙස් මත කැලණිය සහකාර පොලිස් අධිකාරී 5 අර්ජුන කොඩිකාරගේ අධීක්ෂණයෙන් රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විශ්ව කාංචන, සැරයන් (27096) උපනන්ද, කොස්තාපල්වරුන් වන (67675) මහින්ද, (79574) සඳුන්, (33250) හෙට්ටිආරච්චි, (103755) රිදීවිට යන නිලධරයෝ වැටලීමට එක් වූහ.

කැලණිය - කේ. එස්. හැන්නදි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division