Home » රටේ නිෂ්පාදන ආර්ථිකය සහ අලුත් අවුරුද්ද

රටේ නිෂ්පාදන ආර්ථිකය සහ අලුත් අවුරුද්ද

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

රටක නිෂ්පාදන ආර්ථිකය පිළිබඳ සාකච්ඡා කිරීමේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යෙදවුම් (ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය) යන මූලික කරුණු රටේ ජනතාවගේ සුබසාධනය උදෙසා ප්‍රශස්ත වශයෙන් භාවිත කිරීම යන කරුණ සම්බන්ධයෙන් වඩා වැඩි අවධානය කරනු ලබයි. මෑත කාලයේ සිට ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ සාකච්ඡාවලදී නිෂ්පාදන ආර්ථිකය වෙන කවරදාටත් වඩා ඉදිරියට පැමිණ ඇත. එයට ප්‍රධාන හේතු වූයේ විදේශ විනිමය හිඟය, ආනයන පුරුදු පරිදි පවත්වා ගත නොහැකි වීම, විදේශ ණය බර සහ විදේශ විනිමය නොමැති නිසා බාහිර ණය පැහැර හැරීම ආදියයි. අනුරාධපුර-පොලොන්නරු යුගවල සිට ආනයන-අපනයන කටයුතු සිදුවූ අතර සෑම දෙයක්ම පිටරටවලින් ආනයනය කර දිගටම පරිහරණය කිරීමේ සම්ප්‍රදායක් නොතිබුණි. හැකි සෑම දෙයක්ම නිෂ්පාදනය කළ අතර මෙරට නිෂ්පාදනය කළ නොහැකි දෑ පමණක් ආනයනය කරණ ලදී. යුරෝපා පාලන සමයේ, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යුගයෙහි, අපනයන ප්‍රර්වර්ධන සංවර්ධන මූලෝපායන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරණ ලදී. මේ නිසා නිදහස ලබන විට ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවත්නා රටවල් අතර සුවිශේෂී රටක් විය. එය අනෙකුත් දියුණු රටවලට අනුගමනය කිරීමට බොහෝ අය විසින් නිර්දේශිත සංවර්ධනය සඳහා වූ සුදුසු ආකෘතියක් විය.

ආර්ථිකයක කටයුතු සියල්ල සාරාංශ කොට නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය යැයි කොටස් තුනකට බෙදා වෙන් කරයි. තවත් විටෙක එය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, සැපයීම, මිලදී ගැනීම, විකිණීම සහ පරිභෝජනය යනුවෙන්ද වර්ග කරයි. රටක ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික සහ චාතුර්ථ ලෙසද වර්ග කරයි. කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තය, වන වගාව, පතල් කැණීම, සහ පාෂාණ ආශ්‍රිත කර්මාන්ත යන ක්ෂේත්‍රවල කටයුතු ප්‍රාථමික අංශයට ඇතුළත් වෙයි.

ද්විතියික අංශය සැකසීම, නිෂ්පාදන සහ ඉදිකිරීම් සමාගම්වලින් සමන්විත වේ. ඒ තුළ යකඩ හා වානේ නිෂ්පාදනය, මෝටර් රථ හා රෙදිපිළි නිෂ්පාදනය, නැව් හා බෝට්ටු තැනීම, ලී බඩු නිෂ්පාදනය, බලශක්ති උපයෝගිතා නිෂ්පාදන, සහ නොයකුත් කාර්මික නිෂ්පාදන කටයුතු යන ඒවා ඒ තුළ අන්තර්ගත වෙයි. තෘතීයික අංශය සමන්විත වන්නේ සේවා කටයුතුවලින්ය. ඒ අනුව තොග හා සිල්ලර වෙළෙඳාම,සංචාරක කටයුතු, විනෝදාස්වාද සේවාවන්, ප්‍රවාහන කටයුතු සහ මූල්‍ය සංවිධානවල කටයුතු ආදිය මීට ඇතුළත් වෙයි.

මෑතක සිට චාතුර්ථ අංශය ලෙසට අලුත් අංශයක් එක්විය. එය තෘතීයික අංශයෙන් බිඳී ආ කරුණකි. ඉතා ඉහළ දියුණුවක් සහිත රටවල නූතන කටයුතු විශ්ලේෂණයට තෘතීයික අංශය ප්‍රමාණවත් නැතැයි යන තර්කය මත මෙය එකතු කරණ ලදී. මෙම අංශය තොරතුරු තාක්ෂණය, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු, තොරතුරු උත්පාදනය සහ තොරතුරු බෙදාගැනීම සහ උපදේශනය, ජනමාධ්‍ය, විදුලි සංදේශ, මූල්‍ය සැලසුම්කරණය, බ්ලොග්කරණය සහ සැලසුම් වැනි දැනුම දෑ පදනම් කරගත් සේවාවන් ඒ යටතේ වෙයි. සිව්වැනි අංශය හැරුණ විට අනෙකුත් අංශ ආර්ථික කටයුතු අවුරුදු සැමරීම සමඟ බැඳී පවතී.

එසේම නව වසරත් සමඟ එය ඉලක්ක කරගත් කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ද මෙරටේ වෙයි. මෙය සුවිශේෂ කරුණකි. කෘෂි නිෂ්පාදනවලට සම්බන්ධ රටේ අතිමහත් බහුතර ජනතාවක් මහ කන්න කෙළවර අලුත් අවුරුද්ද ඉලක්ක කරණු ලබයි. ඒ අනුව විවිධ ධාන්‍ය වර්ග, අල, එළවළු හා පලතුරු ආදිය වගා කරති. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වගා කන්න දෙකක් ඇත. ඒවා ඊසාන දිග හා නිරිත දිග දෙකට සමපාත වන මහ සහ යල කන්නයන්ය. ඊසාන දිග මෝසම් සමයට මහා කන්නය අයත් වෙයි. එය සැප්තැම්බර් මස සිට ඊළඟ වසරේ මාර්තු දක්වා ක්‍රියාත්මක වෙයි. යල කන්නය මැයි සිට අගෝස්තු අග දක්වා කාලය තුළ ක්‍රියාත්මක වේ. යල කුඩා කන්නය වශයෙන්ද සලකයි. මහ කන්නය විශාල කන්නයයි. එය රට පුරා බොහෝ අය ගොවිතැන් කරණ වකවානුවයි.

ගොඩමඩ දෙකම සරුසාර කාලයයි. මහ කන්න කෙළවර වන විට රටේ සෞභාග්‍ය ඉහළට පැමිණෙයි. අලුත් අවුරුද්ද එළඹෙන්නේ මෙකි සෞභාග්‍ය වකවානුවේය. සම්ප්‍රදායික වගාවන්හි ප්‍රමුඛ ස්ථානය ලැබෙන්නේ වී වගාවටයි. බත් පමණක් නොවෙයි. මෙරට සම්ප්‍රදායික බොහෝ අාහාරවල පදනම සහල්ය. සහල් ප්‍රධාන ආහාරයක් ලෙස බත් පිසිමට පමණක් නොව බොහෝ රසකැවිලි වර්ග සෑදීම සඳහා ද සහල් පිටි භාවිත කරයි. සහල් යනු ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාරයයි. සියලුම දිස්ත්‍රික්කවල තෙත්බිම් බෝගයක් ලෙස වී වගා කෙරේ. චාල්ස් බෲක් එලියට් 1938 ලංකාවේ ජන ජීවිතය ගැන සඳහන් කරමින් ලිව්වේ ‘පැරණි ලංකාවේ ආර්ථිකයේ පදනම වී වගාව බවය. වී මිනිසුන්ගේ ජීවිතය විය. වී නොමැති විටක කුසගින්න සහ මරණය ජීවිත පරාජය කළේය යන්නයි. මහ කන්නයේ වී අස්වැන්න නෙළා අටුකොටු පුරවා සම්ප්‍රදායික සමාජයේ අවුරුදු උත්සවය සමරන ලදී. හැමෝම වී වගා නොකළා වුවත් තාමත් ලාංකේය ජන සමාජයේ මේ ලක්ෂණය නොනැසී පවතී. වීවලට අමතරව තවත් ධාන්‍ය වර්ග ගණනාවක් මුල් කාලයේ සිටම මෙරට වගා කර ඇත. මෙම ආහාර ද්‍රව්‍යවල ප්‍රභේදවලට කුරක්කන්, තල, තණ, මෙනේරි, මුං, විවිධ වර්ගවල බෝංචි සහ ඇට වර්ග ඇතුළත් විය. මේවායින් තල වගා කළේ මහ සහ යල කන්න අතරය. එහෙත් අවුරුද්දට විවිධ අාහාර වර්ග පිසීම සඳහා පමණක් නොව තෙල් ලබාගැනීම සඳහා තල දිගු කාලයක් නිවාසවල තබාගන්නා ලදී. බොහොමයක් ධාන්‍ය හේන් යටතේ හෝ ලඳු කපා පුලුස්සා දමා වගා කරයි.

ශ්‍රී ලංකාව තුළ පාරම්පරික සහ දේශීය අල වර්ග 55ක් පමණ ඇති බව සමහර වර්තා පෙන්වා දෙයි. මේවා බොහොමයක් රටේ සෑම ප්‍රදේශයකම පාහේ වගාකළ හැකි වෙයි. සම්ප්‍රදායික අල අතර රාජාල, ඇඟිලි අල, උඩල, ගහල, කටු කුකුළල, ගෝනාල, කහට අගල, රටල, සුදු අල, කටු අල, බුත්සරණ, කිරි අල, හිඟුරල, කිරි හබරල, හුලංකීරිය හා ඉන්නල ප්‍රධාන ස්ථානයක් ගනී. මඤ්ඤොක්‌කා හා බතල, සහ අර්තාපල් යුරෝපා පාලන සමයේ හඳුන්වා දෙන ලද ඒවාය. බොහොමයක් සම්ප්‍රදායික අල වර්ග මහ කන්නයේ වගා කළත් අස්වැන්න නෙළීම කරන්නේ නැත. සමහර අල වර්ග ප්‍රධාන ආහාරයක් ලෙස ගන්නා අතර තවත් ඒවා ව්‍යංජන පිසීම සඳහා යොදා ගනී. තවත් සමහරක් අරමුණු දෙකම සඳහා යොදා ගනී. මහ කන්නයේ බටු, කරවිල, වට්ටක්කා, වැටකොළු, පිපිඤ්ඤා, කැකිරි, පුහුල්,

මෑකරල්, සහ කරවිල වැනි පහත රට එළවළු අස්වැන්න ලැබෙයි. මෙවන් සමහරක් නරක් නොවී කාලයක් තබා ගත හැකිය. අවුරුදු ඉල්ලුම ඉලක්ක කොට වෙළෙඳ පොළ උදෙසා මෙවැනි එළවළු වගා කිරීමක් දැකිය හැකිය. එසේම උඩරට එළවළු වගා කරන්නෝද අවුරුද්ද ඉලක්ක කොට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

ශ්‍රී ලංකාවේ වගාකරන ප්‍රධාන පලතුරු වර්ග වන්නේ අඹ, පැපොල්, අන්නාසි, අලි ගැටපේර, කෙසෙල්, කොමඩු, රඹුටන්, මැංගුස්, දිවුල්, බෙලි, පේර, දෙළුම් සහ කොස් ය. මේවායෙන් මැංගුස්, දිවුල්, බෙලි, අඹ, අලිගැටපේර යන පලතුරු බහු වාර්ෂික බෝගවන අතර කොමඩු, පැපොල් වැනි ඒවා නිරන්තරයෙන් වගා කළයුතු ඒවාය. පැපොල්, අන්නාසි, කෙසෙල් වැනි පලතුරු අවුරුදු ඉලක්ක කොටගෙන වගා කරණු දැකිය හැකිය. බහු වාර්ෂික පලතුරු බොහොමයක් අවුරුදු කාලයටම ලැබෙන්නේ නැත. කජු පුහුලන්, කොස්/පොලොස් ආදිය අවුරුදු කාලයට ලැබෙයි. මිරිස්, ලූනු, කිරි, බිත්තර, මස්, මාළු, කරවල ආදියද අවුරුද්ද ඉලක්ක කොට වැඩිපුර නිෂ්පාදනය කිරීමක් දැකිය හැකිය. එසේම බඩ ඉරිඟු වැනි මුදල් භෝග අතිරේක අාදායම් බලාපොරොත්තුවෙන් අවුරුද්ද ආසන්නයේ අලෙවි වගා කිරීම සිදුකරයි.

නව අවුරුද්ද සහ කර්මාන්ත ක්ෂේත්‍රය සලකා බැලීමේදී අවුරුද්ද නිසා කාර්මික නිෂ්පාදනවලට නව පණක් ලැබේ. ගෘහ කාර්මන්ත මෙයින් වැදගත් තැනක් ගනී. ගෘහ කර්මාන්තයක් යනුවෙන් අදහස් කරන්නේ කුඩා නිෂ්පාදන ව්‍යාපාරයකි. එය සාමාන්‍යයෙන් නිවසක් හෝ මඩුවක් තුළ ක්‍රියාත්මක වන අතර, එය තනි පුද්ගලයකුට හෝ පවුලකට අයත් වන්නකි. මෙරට ගෘහ කර්මාන්ත අතර අත්යන්ත්‍ර රෙදිපිළි, පිත්තල කර්මාන්තය, ඇඳුම් මැසීම, බතික් කටයුතු, මැණික් කැපීම හා ඔප දැමීම, ලාක්ෂා කටයුතු, හා මැටි භාණ්ඩ නිපදවීම ආදිය කැපී පෙනෙයි.

ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

නව සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගත් ගෘහ කාර්මාන්ත ගත්විට විනාකිරි සෑදීම, රෙදි මැසීම, හැළිවළං සෑදීම, රසකැවිලි නිෂ්පාදනය, රතිඤ්ඤා සහ මල්වෙඩි කර්මාන්තය, කිතුල් හා පොල් පැණි, හකුරු, කේක්, පපඩම් නිෂ්පාදනය ආදිය කැපී පෙනෙයි. මේවායෙන් සමහරක් දැන් මාධ්‍ය හා මහ පරිමාණ කර්මාන්ත බවට පත්වී ඇත. මෙම නිෂ්පාදන අවුරුද්ද ඉලක්ක කොට විශාල භාණ්ඩ තොග නිපදවා වෙළෙඳ පොළට නිකුත් කරයි. මීට අමතරව බිස්කට්, කෝඩියල්, ජෑම්, තුනපහ, මත්ස්‍ය හා මාළු නිෂ්පාදන, රෙදිපිළි, හා කේක් වැනි කර්මාන්ත මධ්‍ය හා මහ පරිමාණ ලෙසට විශාල තොග වශයෙන් භාණ්ඩ නිපදවා වෙළෙඳ පොළට එවයි.

අවුරුද්ද ඉලක්ක කරගත් සේවාවන් බෙදා හැරීම ද පුළුල්ව සිදුවෙයි. මගී ප්‍රවාහනය බැංකු හා මූල්‍ය කටයුතුවල සේවාවන්, තැපැල්, ගුවන් විදුලිය, රූපවාහිනි විදත් මෙන්ම පුවත්පත් සඟරා ආදියද මේ හිඟය ඉලක්ක කර නව නිපැයුම් සිදුකෙරේ. විශේෂයෙන්ම මඟී ප්‍රවාහනය සුවිශේෂත්වයක් ගනියි. පොදු ප්‍රවාහන සේවය මෙන්ම ලොකු, කුඩා පුද්ගලික වාහන භාවිතයෙන්ද මගී ප්‍රවාහන කටයුතු සමන්විතයි. එමඟින් ආර්ථිකයට පුළුල් බලපෑමක් කරයි. බක්මහ කේන්ද්‍ර කරගෙන මංගල උත්සව බොහොමයක් රට පුරා දකින්න ලැබෙයි. විශේෂයෙන් දුම්රිය,ලංගම බස්රථ සේවාවන් සහ පුද්ගලික අංශයේ පොදු ප්‍රවාහන සේවා පද්ධතිය මේ කාල වකවානුවේදී පුළුල් වෙයි.

අවුරුදු පරිභෝජනයේ බලපෑම් රැසක් වෙයි. අවුරුදු උණුසුමේ බොහෝ කටයුතු පරිභෝජනයෙන් කෙළවර වෙයි. පාරිභෝගික වියදම් ආර්ථිකයක විශාලතම ධාවකයයි. කෙටි කාලීනව පරිභෝජනය ආර්ථිකයේ වර්ධනය කිරීමට උපකාරී වන බැවින් එය අතිශයින් වැදගත් වේ. පාරිභෝගිකයින් නිෂ්පාදන මිලදී නොගන්නේ නම් ව්‍යාපාරවලට දිගු කලක් ව්‍යාපාරයේ රැඳී නොසිටිනු ඇත. දිගුකාලීන ආර්ථික වර්ධනයට ශ්‍රම ඵලදායිතාව වැඩිවීම, ප්‍රාග්ධන සමුච්චනය, තාක්ෂණික ප්‍රගතිය සහ ධනාත්මක ආයතනික වෙනස්කම් අවශ්‍ය වෙයි. නව අවුද්ද හා බැඳුන සෑම කටයුත්තක්ම ජාතික නිමැවුමට එකතු නොවේ.

අවූරුදු වෙනුවෙන් කරණ පිරිසිදු කිරීම් ඉවුම් පිහුම්, දරුවන් රැකබලා ගැනීම, සාප්පු සවාරි යාම, ගෙවතු වගාව, නෑගම් යාම, පන්සල් යෑම ආදිය ජාතික නිමැවුමේ සංඛ්‍යා ලේඛනවලින් ආවරණය නොවේ. මේවා කිසිවක් වෙළෙඳ පොළ ගනුදෙනු හරහා ගමන් කරන්නේ නැත.

නව අවුරුදු උදාවත් සමඟ ආර්ථික නිෂ්පාදන අංශයේ නව පිබිඳිමත් වෙයි. නිෂ්පාදනය වැඩි වෙයි. වෙළෙඳ පොළ ප්‍රසාරණය වෙයි. මේ උණුසුම දිගු කාලීනව පවත්වාගෙන යාමට අපි කටයුතු කළ යුතුයි. මේ අමතර නිෂ්පාදන වසරේ වෙනත් කාලවලදීත් නිෂ්පාදනය කරමින් ඒ සඳහා ජාතික හෝ ජාත්‍යන්තර වෙළෙඳ පොළක් සොයා ගැනීමට කටයුතු කළ යුතුයි විශේෂයෙන් මේ කාල වකවානුවේදී නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදනවලට සංචාරකයන්ගෙන් හොඳ ඉල්ලුමක් ඇති භාණ්ඩ වෙයි. මේවාට වෙළෙඳ පොළක් සොයා ගැනීමට මේ නිෂ්පාදකයන් කටයුතු කළ යුතුයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division