Home » පොලිස් නුවණින් හෙළි කරගත් අලව්වේ බෝම්බයාගේ මත්කුඩු ජාවාරම

පොලිස් නුවණින් හෙළි කරගත් අලව්වේ බෝම්බයාගේ මත්කුඩු ජාවාරම

by thanushika
April 13, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මත්කුඩු බෙදා හැරීමට විවිධ ක්‍රම භාවිත කරති. පොලිසියට සැම විටම හසුවන්නේ තෝරු මෝරුන් නොව හාල්මැස්සන්ය. ඒ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස සිටිනා ප්‍රධානීන් බොහෝ දෙනකු පිටරටවල සිටීම හේතුවෙන්ය. ඔවුන්ගේ ගෝලබාලයෝ තම ස්වාමියන් වෙනුවෙන් නිතර ඇතුළට යති; එති.

යුක්තිය මෙහෙයුම නිසා ඒ සියල්ලටම කණකොකා හඬන්නට පටන්ගෙන අවසන්ය. මේ කියන්නට යන්නේ ද අලව්ව පොලිසියේ නිලධාරින් විසින් අනාවරණය කරගත් සූක්ෂ්මව මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැනය.

අලව්ව පොලිසියේ නිලධරයන් ගිරිඋල්ල මාර්ගයේදී සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නේ පසුගියදාය. ඔවුන් සන්තකයේ හෙරොයින් තිබී හමුවීම නිසා පොලිස් නිලධාරින් මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම අරඹන්නේ එහි අග-මුල සොයා ගැනීමේ අරමුණෙනි. සැකකරුවන් මුලදී කිසිවක් නොකීවද පසුව සියල්ල පාපෝච්චාරණය කරන්නේ පොලිස් නිලධාරීන් හමුවේ තවත් බොරු කීමේ පලක් නැති බව තේරුම් යෑමෙනි.

“සර්…. මේවා විකුණන්නෙ කවුද කියලානම් අපි දන්නේ නෑ…. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීල තමයි අපි බඩු ගන්නෙ…”

දුරකතන අංකයක් ලියූ කුඩා තුණ්ඩු කැබැල්ලක් පොලිස් නිලධාරින් වෙත දුන් එක් අයෙක් එසේ කියා සිටියේය.

“හරි… කවුද උඹලට මේව ගෙනත් දෙන්නෙ…?” පොලිස් ස්ථානාධිපතිවරයා එසේ ඇසුවේ උස් හඬිනි.

“කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ සර්…. අපි බැංකුවට සල්ලි දැම්මම එයාලා තැන කියනවා. අපි එතෙන්ට ගිහින් අර ගන්නවා… බඩු ටික හරියට වෙලාවට ලැබෙන නිසා කවුද කින්ද මන්ද කියල අපි හොයන්නෙ නෑ….”

නිර්නාමිකව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීමට භාවිත කරනා එක් ක්‍රමයක් වන්නේ ‘ලොකේෂන් තැබීම‘ය. එසේ නම් මේ සිදු වන්නේ ද එම ක්‍රමයම බව තේරුම්ගත් අලව්ව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ ද උපදෙස් මත ඊළඟට සැලසුම් කරන්නේ මේ ජාවාරම පිටුපස සිටිනා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටය.

සැකකරුවන් පොලිසියට දුන් දුරකතන අංකවලට පොලිස් උපාය දූතයන් යොදවා කතා කළ ද කටහඬින් ඒ කවුද යන්න නිශ්චිත තොරතුරක් සොයාගත නොහැකි විය. ඒ මැජික් වොයිස් නම් ක්‍රමවේදය භාවිතයෙන් කටහඬ වෙනස් කර කතා කිරීම හේතුවෙනි. එම නිසා සැකකරුවන් සෙවීම සිතූ තරම් ලෙහෙසි පහසු නැත.

අලව්ව ප්‍රදේශයේ සිටිනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ විස්තර සොයා බැලීම ඇරැඹෙන්නේ ඉන් පසුවය. අලව්ව – ගිරිඋල්ල මාර්ගයේ සිටිනා ‘බෝම්බයා’ නමැත්තකුට පොලිස් උකුසු ඇස යොමු වන්නේ මේ අතරය. ‘බෝම්බයා’ කලක් බන්ධනාගාරගතව සිට මේ වන විට ඇප මත සිටින අයකු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නම ගිය අයකු බවත් පොලිස් පොත්වල ඒ වන විටත් ලියැවී තිබිණි. තවද මොහු මේ වන විට බන්ධනාගාරගතව සිට පැමිණ මාසයක පමණ කාලයක් ගතව ඇති බව ද තොරතුරු අනාවරණය කරගන්නේ පොලිස් නිලධරයන් සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

පොලිස් නිලධාරින් මොහු පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීම අරඹන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ‘බෝම්බයා’ පිළිබඳ සැකයක් මතුවී තිබීම හේතුවෙනි. ‘බෝම්බයාගේ’ නිවස අවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවන්නේ ඉන් පසුවය. ඒ ඔහු එහි සිටිනා වේලාවක් හරිහැටි දැන ගැනීමටය. බෝම්බයා නිවසට යන-එන වේලාවල් පිළිබඳ නිවැරදි තොරතුරු සොයා ගන්නා පොලිස් නිලධාරින් නිවෙස වැටලීමට තීරණය කරන්නේ ඉන් පසුවය.

මාර්තු 31 වැනිදා පොලිස් කණ්ඩායමක් ‘බෝම්බයාගේ’ නිවස වටලන්නේ කාටත් සිතා ගැනීමටවත් ඉඩ නොතියාය. ඒ වන විට ‘බෝම්බයා’ ද නිවෙසේ සිටි අතර ඔහුගේ ඉනේ සඟවාගෙන තිබූ හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 320ක් සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි වන්නේ ඔය අතරය. තවද මොහු සන්තකයේ දුරකතන කිහිපයක් ද තිබී හමුවිය.

‘ලොකේෂන් ක්‍රමය‘ට මත්ද්‍රව්‍ය බෙදන්නේ ‘බෝම්බයාම’ ද යන්න දැනගැනීම පොලිස් නිලධාරින්ට තිබූ ඊළඟ අභියෝගයයි.

පොලිස් නිලධාරින්ට ලැබී තිබූ දුරකතන අංකයට එවලේම ඇමතුමක් ගන්නේ මේ ජාවාරමට ‘බෝම්බයා’ සම්බන්ධදැයි දැනගැනීමටය. එහෙත් එය ක්‍රියා විරහිතය. පොලිස් නිලධාරින් එකිනෙකා දෙස බලාගන්නේ උත්සාහය අසාර්ථක ද යන හැඟීමෙනි.

තවදුරටත් ‘බෝම්බයාව’ පරීක්ෂා කරනා පොලිස් නිලධාරින් මොහු සඟවාගෙන සිටි සිම් කාඩ්පතක් සොයාගන්නේ ඉන් පසුවය. එවෙලෙහිම එය ‘බෝම්බයාගේ’ දුරකතනයට ඇතුළු කරන පොලිස් නිලධාරින් නැවතත් පෙර අංකයට ඇමතුමක් ගන්නේය. දුරකතනය නාද වන්නට විය. උත්සාහය සාර්ථකය. එසේ නම් ලෝකේෂන් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදාහැර තිබෙන්නේ ‘බෝම්බයා’ බවට පොලිස් නිලධාරින්ට දැන් සාක්ෂි ඇතිවම තහවුරු වී අවසන්ය.

එහෙත් ඒ කිසිවක් පොලිස් නිලධාරීන් ‘බෝම්බයාට’ ඇඟ⁣වෙන්නට අරින්නේ නැත. යළිත් පොලිස් නිලධාරින් ‘බෝම්බයාගේ’ නිවස පරීක්ෂා කරන්නේ තවත් කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමටය. බෝම්බයාගේ නිවසට ආසන්නයේ පිහිටි පාළු නිවසක ද මොහු නිතර ගැවසෙනා බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. පොලිස් නිලධාරින් එම නිවස ද පරීක්ෂා කිරීමේදී ‘බෝම්බයාගේ’ ගෝලයකු යැයි සැක පුද්ගලයකු ද හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 150ක ප්‍රමාණයක් සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා අතර බෝතල් මූඩි කිහිපයක් ද අත්අඩංගුවට ගැනිණි.

මෙලෙස අත්අඩංගුවට ගන්නේ වයස 27ක් පමණ වන ‘බෝම්බයා’ නමැත්තා සහ ඔහුගේ ගෝලයකු යැයි කියනා තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් පමණ වන අයෙකි. සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගන්නා පොලිසිය සියල්ල අනාවරණය කරගන්නේ ඉන් පසුවය‍.

මොවුන් මෙම ජාවාරමට අවශ්‍ය සිම් කාඩ්පත් වෙනත් පුද්ගලයන්ගේ හැඳුනුම්පත් භාවිත කරමින් ලබාගෙන තිබේ. තවද හෙරොයින් ගැනුම්කරුවන්ට ලබා දී ඇත්තේ ද බැංකු ගිණුම් අංකයකි. ඒවා ද රු. 10,000ක් පමණ දෙමින් වෙනත් පුද්ගලයන්ගේ නමට සාදා ඇති ගිණුම් බවට ද පසුව අනාවරණය විය. වෙන්නප්පුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට මෙම ගිණුම සාදා තිබී ඇති අතර එම පුද්ගලයාගෙන් ද පොලිසිය කටඋත්තරයක් ගෙන තිබිණි. මේ ගිණුම්වලට වැටෙන මුදල් ඒ.ටී.එම්. මැෂින්වලින් ලබාගෙන ඇත්තේ ද ‘බෝම්බයාගේ’ ගෝලයායි.

ගැනුම්කරුවන් බැංකු ගිණුමට මුදල් තැන්පත් කළ වේලාව කෙටි පණිවිඩයකින් යැවූ පසු ‘බෝම්බයා’ මත්ද්‍රව්‍ය තබනා ස්ථානය ගනුදෙනුකරුට දැනුම් දෙයි. බොහෝ අවස්ථාවලදී ලයිට් කණු ආදි ප්‍රදේශයේ ප්‍රසිද්ධ මංසලකුණු තිබෙනා ස්ථාන මොවුන් ඊට භාවිත කරන අතර ඒවා බෝතල් මූඩිවල දමා මූඩිය තළා ආරක්ෂිතව සැඟවීමට කටයුතු කරන බව හෙළි විය.

සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල යන නිලධාරින්ගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්, කුරුණෑගල දිස්ත්‍රික් (iv) සහකාර පොලිස් අධිකාරි පී.ඩී. රංජිත් කුලතුංගගේ මෙහෙයවීමෙන් අලව්ව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර දෙකඳුවල, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මංජුල කුමාර, උප පොලිස් පරීක්ෂක අජිත්, සැරයන්වරුන් වන (56695) බණ්ඩාර, (56668) කපිල, (38601) දොඩන්කුඹුර, පොලිස් සැරයන් රියැදුරු (12947) සියනායක යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

ගයාන් සංජය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division