Home » පොලිස් කූඩුවෙන් නිම වූ රාලහාමිලාගේ මත්ද්‍රව්‍ය පාටිය

පොලිස් කූඩුවෙන් නිම වූ රාලහාමිලාගේ මත්ද්‍රව්‍ය පාටිය

by thanushika
April 13, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පොලිස් නිලධාරීන් 134ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ද ඒ සියලු දෙනා පොලිස් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ පසුගියදාය.

මෙලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පොලිස් නිලධාරීන්, වෛද්‍යවරු හමුවට යවා සිදු කරන පරික්ෂණවල ප්‍රතිඵල අනුව මෙලෙස ඔවුන් සේවයෙන් පහකිරීමට පියවර ගන්නා අතර එසේ වෛද්‍යවරු හමුවට යාම ප්‍රතික්ෂේප කරන මත්ලෝලී පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවද පොලිස්පතිවරයා පෙන්වා දී තිබිණි.

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සිදු කරන ලද මෙම කරුණු පැහැදිලි කිරීම විග්‍රහ කරද්දී මත්ද්‍රව්‍ය මොන තරම් විනාශයක් සිදු කරමින් සිටීදැයි ඕනෑ කෙනෙක්ට ඉතාම පහසුවෙන් තේරුම්ගත හැකිය. නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට බැඳී කැපවී සිටින පොලිසිය වැනි විශාල ආයතනයක සමහර නිලධාරීන් පවා මෙලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බව ඇසීමත් කනගාටුවට කරුණකි.

මෙලෙස ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණු පොලිස් නිලධාරීන් දසදෙනෙකුට වැඩි පිරිසක් මේ වසරේ මේ දක්වා පොලිසියටම කොටු වීම සුවිශේෂිය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි හිටපු උප පරීක්ෂකවරයෙක් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔහුගේ නිවසේදීය. ඒ අයිස් මත්ද්‍රව්‍ය සමඟිනි.

මෙම උප පරීක්ෂකවරයා යාපනය ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටියදී සේවය හැර ගොස් සිටි අයෙක් වන අතර දීර්ඝ කාලයක් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි අයෙකි.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී ඔහු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. සමහර පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටීම පිළිබඳව පොලිසිය විසින්ම විමර්ශනයක් සිදු කරමින් සිටින මොහොතක පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ගණිකාවන් ද සමඟ එක්ව පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් ගැන තොරතුරු පසුගියදා වාර්තා වූයේ මොරටුව මූලස්ථාන පොලිසියෙනි.

මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස්ට පසුගියදා තොරතුරක් ලැබෙන්නේ කටුබැද්ද ප්‍රදේශයේ නවාතැන් පොළක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වෙන බවටය.

මේ පිළිබඳව තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද දැනුම්වත් කරන මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස්, නිලධාරීන් කණ්ඩායමක් ද කැටුව අදාළ ස්ථානයට යන්නේ සිද්ධිය ගැන විමර්ශනය සඳහාය.

මොරටුව, කටුබැද්දේ අදාළ නවාතැන්පොළ පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කරන්නේ ඉන් අනතුරුවය. මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස්ට ලැබුණු තොරතුර සියයට සියයක්ම නිවැරිදි විය. පොලිස් නිලධාරීන් අදාළ නවාතැන්පොළ වටලන ලද අවස්ථාවේදී එහි මත් සාදයක් පැවැත්වෙමින් තිබූ අතර පිරිමි අය තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මේ මත් සාදයට සහභාගී වී සිටින අයුරු පොලිස් නිලධරයනට දැක ගැනීමට ලැබිණි.

මෙම පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන පොලිස් කණ්ඩායම අනාවරණය කරගන්නේ මේ පුද්ගලයන් පස්දෙනාගෙන් දෙදෙනෙකු පොලිස් කොස්තාපල්වරුන් බවය.

ඉතිරි පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනාගෙන්ද ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් හෙළි කරගන්නේ කතුන් දෙදෙනා ගණිකාවන් බවත් සෙසු පුද්ගලයා මේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට ගණිකාවන් සැපයූ පුද්ගලයා බවත්ය.

සැකකාර කොස්තාපල්වරු දෙදෙනාගෙන් එක් අයෙක් අඟුලාන පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත අයකු බවත් ඔහු පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධරයකු ලෙස සේවය කරන අයකු බවත් පොලිසිය හෙළිකර ගන්නේ ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය. සෙසු කොස්තාපල්වරයා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට අනුයුක්තව සේවය කරන අයකු බව ද හෙළි වන්නේ ඔය අතරය.

අඟුලාන පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් විශේෂ කාර්යාංශයේ කොස්තාපල්වරයා සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් අත්අඩංගුවට ගැනීමට මොරටුව මූලස්ථාන පොලිසියේ අදාළ වැටලීම සිදු කරන ලද නිලධාරීන්ට හැකි විය.

දෙහිඅත්තකණ්ඩිය පොලිස් සේවයේ නිරත කොස්තාපල්වරයා සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 20ක් සහ විදත් තරාදියක් පොලිසිය විසින් සොයා ගනු ලැබීය. මේ දෙදෙනා සන්තකයේ තිබී ‘තුල්’ මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 260ක් සහ අයිස් මිලි ග්‍රෑම් 40ක් පමණද සොයා ගැනීමට පොලිසියට හැකි වන්නේ දීර්ඝ ලෙස සිදු කරන ලද විමර්ශනයේදීය.

මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් සාදය වෙනුවෙන් උපයෝගි කරගන්නා ලද උපකරණ කිපයක් ද පොලිස් භාරයට ගැනිණි. දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ සේවයේ නිරත කොස්තාපල්වරයා මෙලෙස මත්ද්‍රව්‍ය සාදයේදී පොලිසියට කොටු වන්නේ ඔහු රාජකාරියක් සඳහා දෙහිඅත්තකණ්ඩියේ සිට කොළඹට පැමිණ සිටි අවස්ථාවේදීය. සැකකරු දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ නඩුබඩු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන එන අතරේ සිය මිතුරා වන අඟුලාන පොලිසියේ විශේෂ කාර්යාංශ කොස්තාපල්වරයා සමඟ මෙම මත්ද්‍රව්‍ය සාදයට සම්බන්ධ වී ඇති බව ද මොරටුව පොලිසියේ අදාළ වැටලීම සිදු කරන ලද නිලධාරීන් කළ විමර්ශනයේදී හෙළි විය.

දෙහිඅත්තකණ්ඩියේ රාලහාමිව කටුබැද්දේ නවාතැන්පොළේ මත්ද්‍රව්‍ය සාදයට කැඳවාගෙන පැමිණ ඇත්තේ අඟුලානේ රාලහාමි විසින් බව ද හෙළිකර ගැනිණි. මෙහිදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සෙසු පුද්ගලයා ගණිකාවන් දෙදෙනා නවාතැන්පොළට කැඳවාගෙන පැමිණි තැනැන්තා බවට හඳුනා ගැනිණි. මේ සැකකාරියන් දෙදෙනා මරදාන, ඩින්ස් පාර, ස්ටුවට් මාවතේ පදිංචිකාරියන් වන අතර සැකකරු මරදාන, ස්ටුවට් මාවතේ පදිංචිකරුවෙකි.

ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේගේ උපදෙස් මත මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division