Home » ඉල්ලා අස්වීම මගේ පුද්ගලික තීරණයක්

ඉල්ලා අස්වීම මගේ පුද්ගලික තීරණයක්

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

– චෝදනා ඇති අය කෝප් කමිටුවට පත් නොවිය යුතුයි
– කෝප් කමිටුව කතා සාප්පුවක් පමණක් වෙලා

වසර 2010 සිට කෝප් කමිටුවේ සමාජිකයකුව සිටි ඔබ හදිසියේ ඉල්ලා අස්වීමට තීරණය කළේ ඇයි?

පාර්ලිමේන්තුවට මම ආවේ 2010 වසරේදි. ඒ සමඟම මාව කෝප් කමිටුවට පත් කළා. එතැන් සිට කෝප් කමිටුවල සාමාජිකයකුව සිටියා. 2019 වසරේ කෝප් සභාපතිව සිටි ඩියු ගුණසේකර යටතේ බැඳුම්කර පරීක්ෂණ සිදුවෙද්දි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා වැඩ කරන්න බැරි වුණා. කෝප් කමිටුව වසර 45ක් තිස්සේ පැවැත්වෙනවා. මේ යටතේ විගණකාධිපති වාර්තාව පදනම් කරගෙන රාජ්‍ය ව්‍යාපාර, ව්‍යවසායවල වත්කම්, බැරකම්, ලාභ අලාභ, ද්‍රවශීලීතාව මෙන්ම කළමනාකරණයේ අඩුපාඩු සොයා බැලීමක් කරනවා. පසුව ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ රපෝර්තුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවට වගකීමක් නැහැ. වගකීම යන්නේ පාර්ලිමේන්තුවට. මෙය හොඳ සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මෙය කතා සාප්පුවක් පමණයි. ක්‍රියා සාප්පුවකට පරිවර්තනය විය යුතුයි. දෙවැන්න කෝප් එකේ බලතල වැඩි කළ යුතුයි. එසේනම් ස්ථාවර නියෝග වෙනස් කළ යුතුයි. මේ වෙනස්වීම ගැන මීට පෙර අපි අවධානය යොමු කළා. දූෂණයක් දැක්ක විට දූෂණ විරෝධි කොමිසමට යොමු කරන්න, එසේත් නැතිනම් නීතිපතිට යොමු කරන්න බලතල තිබිය යුතුයි. නමුත් මේ බලතල දුන්නේ නැහැ. බලතල වෙනස් කිරීමේ මේ යෝජනා රජය අනුමත කළේ නැහැ. මේ නිසා ඔවුන්ට මේ ගැන කටයුතු කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. අපිට පෙනුන දේ තමයි කෝප් කමිටුව හරහා වංචා දූෂණ ගැන කතා කරන්න ඉඩ දුන්නට ඒවා වහනවා. තුන්වැනි කරුණ වන්නේ කෝප් කමිටුවට පත්කරන්නේ කවුද යන්නයි පිළිබඳවයි.

කෝප් කමිටුවේ පත්කිරීම් සම්බන්ධයෙනුත් විවිධ ආන්දෝලනාත්මක තත්ත්වයක් පවතිනවා නේද? ඔබගේ ඉල්ලා අස්වීමත් ඊට හේතුවක් නේද?

මම ඉල්ලා අස්වූයේ එක් පුද්ගලයකු එල්ල කරගෙන නෙමෙයි. මෙහි ක්‍රමවේදයන්හි පවතින විශාල ගැටලු සහගත තත්ත්වය නිසයි. කෝප් එකේ විශාල සංඛ්‍යාවක නියෝජනයක් තියෙනවා; 31ක් පමණ. නමුත් පසුගිය වසරවල කෝප් කමිටුවට මේ 31 දෙනාගෙන් සහභාගී වූයේ කීදෙනාද? සාමාන්‍යයෙන් කෝප් කමිටුවකට 10 දෙනෙක් එනම් තුනෙන් එකක් හිටියොත් හොඳටම ප්‍රමාණවත්. සාමාජිකයන් ප්‍රමාණය අඩුවිය යුතුයි. මේවාට පත්විය යුත්තේ මේ පිළිබඳ අවබෝධයක් ඇති අයයි.

කෝප් සාමාජිකයින් ඇතුළු සභාපති පත්කිරීම් සිදුවන්නේ කොයි ආකාරයෙන්ද?

සාමාන්‍යයෙන් රජයට ප්‍රතිශතයක් ලබා දෙනවා. විපක්ෂයටත් ප්‍රතිශතයක් ලබා දෙනවා. සභාපති පත්කිරීම ඡන්දයෙන් සිදුවෙනවා. අධ්‍යාපන මෙන්ම වෘත්තීය සුදුසුකම් ඉතා වැදගත්. මේ සියල්ලටම වඩා වැදගත් සුදුසුකම වන්නේ සදාචාරය. රජයේ මුදල්, වත්කම් බැරකම් ගැන විමසද්දි තමන්නේ වත්කම් බැරකම්වත් ප්‍රකාශ කරන්න බැරි අය මෙහි වාඩි වී ඉන්නවා නම් ඒ අයට මේ ගැන සොයා බැලීමේ අයිතියක් නැහැ. ජනතා විශ්වාසය නැහැ. චෝදනා කාට හෝ එල්ල වී ඇත්නම් ඒ අය මෙයට පත් නොකළ යුතුයි. නඩු ඇති අය මේවාට පත් නොකළ යුතුයි.

ඔබ අද මේ චෝදනාව කරන්නේ පසුගිය කාලයේ මෙවන් තත්ත්වයක් කෝප් කමිටුව තුළ නොතිබි නිසාද? මීට පෙර සදාචාරයක් ඇති අය පත්වුණාද?

මේ ප්‍රශ්නය දිගින් දිගටම තිබුණත් මහ පරිමාණයෙන් තිබුණේ නැහැ. මේ නිසා අපි මුලින්ම විශ්වාස කළේ ඇතුළතින් ඒ තත්ත්වය වෙනස් කරන්න. නමුත් කරන්න බැරි තත්ත්වයක් උදා වූ විට ඉවත් වීමට මම තීරණය කළා. මෙය මගේ පුද්ගලික තීරණයක්. විපක්ෂයේ යෝජනාව වුණේ මාව කෝප් කමිටුවේ සභාපති කරන්න. නමුත් මම මේ වසරේ එය භාර ගත්තේ නැහැ.

ඇයි ඔබ ඒ අවස්ථාව මගහැරියේ…..?

මට ආරංචි වුණා රජය පැත්තෙන් නුසුදුසු අය ඇතුළත් කරන බවට. ඒ නිසා මට මගේ නම කැත කරගන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ නම නොදාන්න තීරණය කරගත් පසුවයි වෙන නමක් යෝජනා කළේ. කෝප් එකේ සභාපතිත්වය මම මීට පෙර දරලා නැහැ.

මීට පෙර කෝප් කමිටුවේ සභාපතිත්වය දරපු අය ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

මීට පෙර හිටපු සභාපති ගැනත් ප්‍රශ්නයක් මතු වුණා. ඒ අවස්ථවේ ඔහුට විරුද්ධ වුණේ රජයේ මන්ත්‍රිවරු. නමුත් ඒ අවස්ථාවේදී ඔහුට ඉල්ලා අස්වීමට නොකියා කෝප් කමිටුව අත් හිටුවීම සිදු කළා. මේ වතාවේ නාම යෝජනා කරද්දීත් ඔහුගේ නම යෝජනා කළා. කෝප් එක ව්‍යවස්ථාදායකයේ කොටසක්. කෝප් එකට සුදුසු දේ වන්නේ සභාපතිව විපක්ෂයෙන් පත් කිරීමයි.

සභාපතිවරයා විපක්ෂයෙන් යායුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළත් පසුගිය කාලයේ එය ක්‍රියාත්මක නොවූ බවටයි ඔබ චෝදන එල්ල කරන්නේ?

ඔව්. අපේ කාලයේ මේ සම්ප්‍රදාය ඇති කළා. සුනිල් හඳුන්නෙත්ති, ඩියු ගුණසේකර වගේ අය සභාපතිව සිටියා. රාජපක්ෂ ආණ්ඩුව ඇවිත් මේවා විනාශ කළා. ඔවුන් මේ ක්‍රමවේද පවා වෙනස් කළා. මෙහි වැදගත්කම මේ අය තේරුම් ගත්තේ නැහැ. ඉන්දියාවේ පළමු ලෝක් සභාවේ කථානායක ජී.වී.මාවලංකාර්. ඔහු කියනවා කථානායක අපක්ෂාපාති විය යුතු බව. ඔහු ජවහල්ලාල්නේරුගේ පක්ෂයෙන් ආවත් කථානායක වූ පසු ඔහු තමන්ට පක්ෂයක් නැති බව කිව්වා. ඔවුන් ස්වාධීනත්වය පිළිබඳ යම්කිසි සම්ප්‍රදායක් ඇති කළා. සෑම එකක්ම නීතියෙන් පමණක් නොබැලිය හැකි බව ඔහු කිව්වා. ඉන්දියාවේ ජවහල්ලාල් නේරු මේ ගැන ගොඩාක් කතා කළා. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරියට යන්න නම් ගත යුතු පියවර රැසක් තියෙන බව කිව්වා. මේ අය ඉන්දියාවේ විශාල දෙයක් කළා. කථානායක බහුතරයකින් පත් වුණත් ඔහු ස්වාධීන විය යුතුයි. ආණ්ඩු පක්ෂයෙන් කථානායක පත් වූ පසු ඔවුන් සම්ප්‍රදාය අනුව යමින් නියෝජ්‍ය කථානායක පත්කළේ විපක්ෂයෙන්. නමුත් අපේ පාර්ලිමේන්තුවේ මේ සම්ප්‍රදය නැහැ. කෝප් හා කෝපා එකෙත් මේ තත්ත්වය දකින්න නැහැ. බහුතර ඡන්දයෙන් සැමදේම පුළුවන් කියන සංකල්පයෙන් අපි ඉවත් විය යුතුයි. අද බහුතර ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මේ තත්ත්වය තේරුම් නොගත් නිසයි.

ඔබ පවසන්නේ වසර 45ක් පුරාවට කෝප් එකෙන් කිසිදු දෙයක් සිදු නොවූ බවද?

එසේ පැවැසුවොත් මම අසාධාරණයි. කෝප් එකෙන් දුන්න අදහස් ඒ ඒ අයගේ අවකාශය තුළ ක්‍රියාත්මක කර තියෙනවා. නමුත් අද රටේ බලාපොරොත්තුව ඊට ඉහළයි.

ඔබගේ ඉවත් වීම පුද්ගලික තීරණයක් බව සඳහන් කළත් ඔබගෙන් පසුව තවත් විපක්ෂයේ පිරිසක් කෝප් එකෙන් ඉවත් වුණා. ඒ සභාපතිත්වය මුල්කරගෙන?

මම හිතන්නේ ඔවුන් ඉවත් වුණේ ඒ ඒ අය ගත් පුද්ගලික තීරණ මතයි. මම ගත් තීරණය කවුරු හෝ සමඟ එකතු වී ගත් දෙයක් නෙමෙයි. නමුත් මම මගේ තීරණය දැනුම් දුන්නා. මම දැනුම් දුන් පසු අඟහරුවාදා සිට එක් එක්කෙනා ඉවත් වෙන්න ගත්තා. ඒ මේ අයගේ පුද්ගලික තීරණ මත. මම මේ මන්ත්‍රිවරු ගැන ආඩම්බර වෙනවා. ඒ අයටත් ප්‍රශ්නයක් තියෙන බව පැහැදිලි වෙලා තියෙනවා. සභාපති ගැන සමහරුන්ට ප්‍රශ්න ඇති. ඒ වගේම සිස්ටම් එකේත් ප්‍රශ්න තිබීම තවත් හේතුවක්. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

විපක්ෂයේ සහභාගිත්වයක් නොමැතිව කෝප් කමිටුව පවත්වා ගෙන යන්නේ කෙසේද? දැන් වන් මෑන් ෂෝ එකක්නේ?

කරගෙන යන්න තියෙන්නේ මොනවද? මේකට නිසි පිළිගැනීමක් නැහැනේ. කෝප් එක වහලා දැම්මත් ප්‍රතිඵලය එකයි. වහලා දාන්න. කිසිදු දෙයක් වෙන්නේ නැහැ. ආණ්ඩුව මේ තත්ත්වය තේරුම් නොගත්තොත් අපිට කරන්න දෙයක් නැහැ. මේ සභාවේදී අපි පෙනී සිටියේ මහජනතාව වෙනුවෙන්. මහජනතාව වෙනුවෙන් අපි තීරණයක් ගත්තා. අපේ වගකීම අපි ඉටු කරලා තියෙන්නේ.

සජබ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් ඔබ කියූ මේ වෙනස්කම් ඉටු කළ හැකි වෙයිද?

අපි අනිවාර්යයෙන්ම මේ වෙනස්කම් කරනවා. විපක්ෂයට සභාපතිකම දෙන එක අනිවාර්යයෙන්ම කරනවා. මම කියන්නේ අපි එතැනින් එහාට යා යුතුයි. එහාට ගොස් බලතලත් වැඩි කළ යුතුයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division